පළාත් සභා ඡන්දය කඩිනම් කළ යුතුයි

  👤  3191 readers have read this article !
2019-01-13

විසුරුවා හරිනු ලැබූ පළාත් සභා සඳහා ඡන්ද පැවැත්වීම වසර එකහමාරකින් පමණ ප්‍රමාද වී තිබේ. එළැඹෙන සිංහල අවුරුදු සමය වනවිට සියලුම පළාත් සභාවල කාලය අවසන් වීමට නියමිතය. පළාත් සභා ක්‍රියාකාරිත්වය එතැන් සිට නිලධාරි පාලනයට යටත් වේ. පළාත් සභා විෂය පථයට ගැනෙන මහජන සේවාවන් එවිට නිසැක ලෙසම දුර්වල වනු ඇත.

පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ ප්‍රශ්නයට තවමත් නිශ්චිත විසඳුමක් ලබාදී නැත. දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඇඟිල්ල දිගු කරන අතර සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පිච් එක හදා දෙන ඕනෑම මොහොතක මැච් එක ගහන්නට මැතිවරණ කොමිසම සූදානම් බවය.

ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීම වූ කලී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අස්සන් තැබුණු ඉන්දු - ලංකා ගිවිසුමේ අතුරු ඵලයකි. 1987 ජූලි මස 29 දින එම ගිවිසුම අස්සන් තැබිණි. ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය හඳුන්වා දුන්නේය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154 (අ) සිට 154 (ඩ) දක්වා නව පරිච්ඡේදයක් ඇතුළත් විය. ඊට අනුගත වෙමින් 1987 අංක 47 දරන පළාත් සභා පනත සම්මත කරන ලදී.

ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ඉන්දියානු මොඩලයට ක්‍රියාත්මක වන්නක් බව පිළිගත යුතුය. පළාත් සභා බිහි වූ තැන් සිටම ඊට බරපතළ විවේචන එල්ල වේ. පළාත් සභා රටට බරක් වූ සුදු අලියකු බවට තිබෙන මතය ඉන් එකකි. උතුරු නැඟෙනහිර පළාත්වල වර්ධනය වූ ජනවාර්ගික ගැටුමට විකල්පයක් ලෙස බලය බෙදා හැරීම පළාත් සභා පිහිටුවීමේ මූලික අපේක්ෂාව වූයේය.

පළාත් සභා ක්‍රමය හුදු සාකච්ඡා සංවාද තුළින් බිහි වූවක් නොවේ. එය ගින්දර, යකඩ, ලේ සහ කඳුළු මතින් බිහිකර ගත්තකි. බොහෝ තරුණ ජීවිත අහිමිකොට ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූවකි. බොහෝ අසීරු අවස්ථාවන් පසුකොට පළාත් සභා ක්‍රමය මේ වනවිට වසර 30ක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ කාලය තුළ පළාත් සභා සම්බන්ධයෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රවණතාවන් රැසකට ජනතාව මුහුණ දී ඇත. පළාත් සභාවලට ව්‍යවස්ථාවෙන් හිමි බලතල මධ්‍යම ආණ්ඩුව විසින් ලබානොදෙන බවට නැඟෙන චෝදනාව පසුගිය තිස් වසර පුරාම අසන්නට ලැබිණි.

ඒ මොනවා වුණත් පළාත් සභා මෙරට පරිපාලනය විමධ්‍යගත කිරීමේදී අත්හළ නොහැකි ප්‍රබල මහජන නියෝජිත ආයතනයක් බවට පත්ව ඇති බව පිළිගත යුතුය. එය එසේ නම් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමකි.

ලංකාවේ පවතින දේශපාලන සන්දර්භයට අනුව මේ සියලු කාරණා දෝලනය වන්නේ ඒ ඒ පක්ෂවල දේශපාලන අභිමතයන්ට අනුරූපව බව රහසක් නොවේ. මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය විසින් රටේ පැවැති දේශපාලන සංස්කෘතිය විනාශ කළ බවට බොහෝ දේශපාලන පක්ෂ විසින් චෝදනා කරනු ලැබීය. සමානුපාතික ඡන්ද ක්‍රමය හා කොට්ඨාස ක්‍රමය ඒකාබද්ධ කළ නව ඡන්ද ක්‍රමය සම්පාදනය කළේ ඊට විකල්පය ලෙසිනි. දැන් නැවතත් පරණ ක්‍රමය වඩා හොඳ යැයි ප්‍රකාශ කරන්නේ දේශපාලකයන් මිස ජනතාව නොවේ.

පළාත් සභා ක්‍රමය දැන් ව්‍යවස්ථාපිතව තහවුරු වී තිබේ. එබැවින් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණ පවත්වා පළාත් සභා බලගැන්වීම ආණ්ඩුවේ වගකීම වේ. කවර හේතුවක් නිසා හෝ එය ඉටු නොවේ නම් ඒ සඳහා පියවර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ වගකීමය. එබැවින් පැරැණි සමානුපාතික ඡන්ද ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති වී තිබේ නම් තවදුරටත් බෝලය උඩ දමමින් නොසිට පාර්ලිමේන්තුවට සරල සංශෝධනයක් ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් සම්මත කොට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට බලය ලබා දිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon