සාපරාධි කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ නියමය සහ යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  2649 readers have read this article !
2019-01-11

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

දින පනස් එකේ දේශපාලන
අස්ථාවරත්වය නිසා
අපේ ආර්ථිකයට
මරු පහරක් වැදුණා

'ඔක්තෝබර් 26 වැනිදා මේ රටේ සිදුවූ දේශපාලන වියවුල් හේතුවෙන් සියලු කටයුතු එක තැන තිබුණා. දවස් 51ක් පුරා පැවැති දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථාවර මට්ටමකට එළැඹෙමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුණා' යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවැසීය.

අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙසේද සඳහන් කළේය.

'දේශපාලන, සමාජයීය හා ආර්ථික අභියෝග රාශියක් අද අප ඉදිරියේ තියෙනවා. 2015 වසරේ අප ආණ්ඩුව භාර ගනිද්දී මුළු රටම ඉතා අනතුරුදායක ණය උගුලකට සිරවී තිබුණා. ඒ ණය උගුලෙන් උපායශීලීව ගැලවෙන්නට අපි පියවර ගත්තා. ණය උගුලට හසුවී අපේ වරාය, ගුවන්තොටුපොළ වැනි ආයතන වෙනත් රටවලට සින්න වීමේ අවදානමෙන් අපේ රට ගලවා ගන්න අපට පුළුවන් වුණා. අපි දහසක් අසීරුතා මැද රටේ ආර්ථිකය ස්ථාවර තැනකට ඔසවා තැබුවා.

නමුත් මේ වසරේ ආර්ථික ක්‍ෂේත්‍රයෙන් අපට බරපතළ අභියෝගයක් තියෙනවා. වැඩිම ණය ගෙවීම් ප්‍රමාණයක් අපට කරන්න තියෙන්නේ මේ අවුරුද්දෙයි. 2019 වර්ෂය තුළ අපි ගෙවිය යුතු මුළු විදේශ ණය හා පොලිය ඇමෙරිකානු ඩොලර් මිලියන 5900ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වැනිදා. ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක්.

පසුගිය රජය සමයේ ගත් ණය ආපසු ගෙවීම රටේ සාමාන්‍ය ජනතාවට බරක් නොවන අයුරින් සිදු කිරීමේ සැලැස්මක් අප සකස් කර තිබුණා. දේශීය ආර්ථිකය නංවාලීම, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජන ඉහළ නැංවීම ආදී ක්‍රමික සැලසුම් අප දියත් කරමින් සිටියා.

පසුගිය වසරේ ගෝලීය ආර්ථිකයේ ඇතිවූ යම්යම් වෙනස්කම් හා ප්‍රවණතා හේතුවෙන් රුපියලේ අගය දුර්වල වුණා. අප රුපියල ස්ථාවර කරලීමේ උපාය මාර්ග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරමින් සිටියා.
මේ අවිචාරාත්මක කාල පරිච්ඡේදය තුළ තීරණ ගැනීමක් සිදුවුණේ නැති නිසා රජයේ සංවර්ධන වැඩසටහන්, ව්‍යාපෘති නතර වුණා. ප්‍රාග්ධන අරමුදල් වියදම් කළේ නැහැ. මේ කාලය තුළ ආර්ථිකයට සිදුවූ සම්පූර්ණ හානිය එක්වරම පෙනෙන්නේ නෑ. නමුත් රටේ අනාගත ආර්ථික වර්ධනයට ඉතාමත් නරක විදියට මෙය බලපානවා.

අපි මේ දින 51 නැති වුණ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනඟා ගන්නට කාලයක් ගතවෙනවා. ආයෝජකයන්ගේ විශ්වාසය අපට නැති වුණා. එම විශ්වාසය යළි ගොඩ නඟාගත යුතු වෙනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන බව ලෝකයට පෙන්වීමට අවශ්‍ය වෙනවා. අන්තර් ජාතික ප්‍රජාවගේ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය නැවතත් ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙනවා.

ගරු කථානායකතුමනි,
ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝක අවධානයට පාත්‍ර වී ලෝකයේ හොඳම ගමනාන්තයක් ලෙස නම් කර තිබියදී තමයි රටේ අස්ථාවරභාවය ඇති වුණේ. සමහර රටවල් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස නම් කළා. සංචාරකයන් බොහෝ දෙනෙක් සිය ගමන් වාර අවලංගු කළා. අපට ලැබෙන්න තිබුණු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නැතිව ගියා.

මේ දින 51 කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය සියයට තුනයි දශම අටකින් (3.8%) අවප්‍රමාණය වුණා. 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාණ්ඩාගාර සුරැකුම්පත් ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය ‍ෙදාළහයි දශම නවයකුත් (312.9) භාණ්ඩාගාර බිල්පත් ඇමෙරිකානු ඩොලර් මිලියන විසි නවයයි දශම එකකුත් (29.1) භාණ්ඩාගාර බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම අටක් (29.8) වශයෙනුත් මුදල් රටෙන් එළියට ගියා.

මේ දවස් 51 කාලය තුළ අපේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන හත්දහස් නවසිය අනූ එකයි දශම පහේ (7991.5) සිට හයදහස් නවසිය අසූපහයි දශම හතර (6985.4) දක්වා පහළට ගියා.


ගරු කථානායකතුමනි,
රුපියලේ අගය අඩුවුණු නිසා අපි ශ්‍රී ලංකාවට ගෙන්වන අමුද්‍රව්‍යවල මිල ඉහළ යනවා. ඒ නිසාම අපේ නිෂ්පාදනවලත් මිල ඉහළ යනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක කළමනාකරණය කරගෙන 2018 ඔක්තෝබර් 26 තිබුණ තැනටත් වඩා ඉහළ තැනකට රට ආපසු ගෙන යන එක අපේ වගකීම වෙලා තියෙනවා.

අපේ පළමු සහ වැදගත්ම කටයුත්ත රුපියලේ අගය ස්ථාවර කිරීමයි. අපි ඒ සඳහා පියවර ගෙන තිබෙනවා. රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා සහාය ලබාගැනීම පිණිස අපි රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා පැවැත්වූවා. රටවල් කිහිපයක් අපට උදවු කරන්න කැමැත්ත පළ කළා.

ඉන්දීය මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට එකඟත්වය පළ කර තියෙනවා. ඒ සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (ඛ්භපපඥදජර ඉඹචන) පහසුකම යටතේ. තවත් ඩොලර් බිලියනයක් අපට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමු කර තියෙනවා.

චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපේ මුදල් ඇමැතිතුමා ලබන සතියේ වොෂින්ටන් නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වෙනවා.

ගරු කථානායකතුමනි,
2018 ඔක්තෝබර් 27 වැනිදා සිට දින 51ක් පුරා අපේ ආර්ථිකයේ ඇතිවූ දෙදරීම හා එතැනින් යළි නැඟීසිටීමේ අභියෝගයට මුහුණදීම පිළිබඳව කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ, 2016 ඔක්තෝබර් 27 වැනිදා මම මේ ගරු සභාව හමුවේ කළ කතාවක දැක්වූ අදහසක් උපුටා දක්වන්නට කැමැතියි.

වත්මන් ගෝලීය ගතිකයන් හා ශ්‍රී ලංකාව සතු ශක්තීන් හා අවස්ථා අප අවබෝධ කරගත යුතුයි. ඒ සියල්ලෙන් ප්‍රයෝජන ගත යුතුයි.

බන්දුල ගුණවර්ධන මහතා: අවුරුදු 3 1/2 තිස්සේ මේ රටේ ආර්ථිකය විනාශ කරලා. ඩොලරය 200 වෙනකන් අරගෙන ගිහිල්ලා. රට තවත් විනාශ වෙන්න දෙන්න බැරි නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රට භාර ගත්තේ. අද මේ අගමැතිතුමා කියන විදියට දවස් 51 තුළ මේ රට විනාශ වුණා කියලනෙ කියන්නෙ. පට්ටපල් බොරු කියන්න එපා. එහෙනම් අපිට මේ ගැන කතා කරන්න විවාදයක් දෙන්න. රට කාලකණ්ණි කරලා මොනවද මේ කියන්නේ.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි
විවාදයක් ඉල්ලන්න පුළුවන් ඔබතුමාලට.

රනිල් වික්‍රමසිංහ මහතා: මේ අවුරුද්දෙ මුල් භාගයේදී හැම රටකම ඩොලරය ශක්තිමත් වෙලා. ඒ රටවල මුදල් බාල්දු වුණා. අපේ රටටත්, ඉන්දියාවටත් ඒකට අහුවෙන්න වුණා. අනෙක් රටවල්වල ඒ මුදල් ශක්තිමත් වුණත් ලංකාවට එහෙම කරන්න බැරි වුණා. දවස් 51 නිසා තමයි අපේ රට ආපස්සට ගියේ. විවාදය කරන්න ඕනෙ අන්න ඒ දවස් 51 ගැන.

විමල් වීරවංශ මහතා: චීන වරාය, හම්බන්තොට වරාය බදුදෙන්න යනවද කියලා දැන ගන්න කැමැතියි. ඉන්දියාවෙන් ණය ගන්න යන්නෙ මේවා නිසාද?

රනිල් වික්‍රමසිංහ මහතා: චීන වරාය අපි එක්ක. හම්බන්තොට ගිවිසුමක් තියෙනවා. ඒකෙ අපෙත් කොටස් තියෙනවා. කොළඹ වරාය අපිත් එක්ක. අපි ඉන්දියාවට මොකුත් බදු දීලා නෑ. සාර්ක් කලාපයේ ගිවිසුම අස්සන් නොකර සිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

ව්‍යවස්ථාදායක සභාව
කටයුතු කරන්න ඕනේ
ස්ථාවර නියෝග අනුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (11දා) පෙරවරු 10.00 සිට 12.30 දක්වා රැස්වන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පෙරේදා (9දා) කථානායක නිල කාමරයේදී පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී එකඟවූ පරිදි මෙම රැස්වීම පැවැත්වෙන බවද හෙතෙම කීය.

මේ අවස්ථාවේදී විපක්‍ෂයේ මන්ත්‍රිවරු නියෝජ්‍ය කථානායකවරයාගේ තීරණයට විරෝධය දැක්වූහ.

විමල් වීරවංශ මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැස්වෙන්න දින තුනකට කලින් ඒ ගැන දැනුවත් කළ යුතුයි. අද එහෙම දින තුනකට පෙර දැනුවත් කිරීමකින් තොරව ඔබ අද කියනවා හෙට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා කියලා. එය කලින් එකඟ වූ දෙයට පටහැනියි."
නියෝජ්‍ය කථානායක - "පක්‍ෂ නායක රැස්වීමේදී ගත්තු තීරණය තමයි මම ඉදිරිපත් කළේ."

විමල් වීරවංශ මහතා - පක්‍ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුවට වඩා උත්තරීතර නෑනේ. නියෝජ්‍ය කථානායකතුමනි, දින 3කට කලින් දැනුම් දෙන්න ඕනෑ කියලා ඇතිවූ එකඟතාව තමයි දැන් මේ කඩ කරන්නේ. පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණය මට වැදගත් නෑ. එය මේ පාර්ලිමේන්තුව ගත් තීරණයට පටහැනියි."

අගමැති රනිල් වික්‍රමසිංහ - "මේ ගැන අපි සාකච්ඡා කරලයි ඔබතුමාට ඉදිරිපත් කළේ. මීට කලිනුත් පක්‍ෂ නායකයන් හෝ සභාවෙන් අනුමැතිය ඇතිවයි ක්‍රියා කරල තියෙන්නෙ. මෙතැන අලුත් දෙයක් නෑ."


දිනේෂ් ගුණවර්ධන මහතා - "ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්න ඕනේ ස්ථාවර නියෝග අනුවයි. ඒ අනුව හදිසියේ රැස්වෙන්න බෑ. මම ඒක ඊයෙත් කිව්වා. තවම නිල වශයෙන් පක්‍ෂ නායකයන්ට අදාළ කමිටුව පත් කළේ නෑ. ඒ නිසා පිළිවෙළකට ස්ථාවර නියෝග අනුව අපි වැඩ කළ යුතුයි. නැත්නම් මේක විහිළුවක් වෙයි."

නියෝජ්‍ය කථානායක - "මුලින්ම පක්‍ෂ නායක රැස්වීමට පැමිණීමට පෙරත් ඔබතුමන්ලා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේක මූලාසනයේ තීරණයක්. ඒ අනුව කටයුතු කළ යුතුයි."
විමල් වීරවංශ මහතා - "මූලාසනයට අවශ්‍ය පරිදි ඕන දෙයක් කරන්න බෑ. එහෙනම් ඔය ස්ථාවර නියෝග අයින් කරලා දාන්න."

නියෝජ්‍ය කථානායක - "මේක මගේ තීරණය. එය අපි න්‍යාය පුස්තකයට ඇතුළත් කරල තිබෙනවා. පස්සේ මේ ගැන
කථා නායකට පැමිණිල්ලක් කරන්න පුළුවන්."

ජීවිතයකට වටිනාකමක් තියෙනවා
ඒ ගැන මතයක්
රට තුළ ඇති කළ යුතුයි

"ජීවිතයකට වටිනාකමක් තියෙනවා. අපි එය රටට හෙළි කළ යුතුයි. ඒ ගැන මතයක් රට තුළ ඇති කළ යුතුයි" යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පැවැසුවාය.

සාපරාධී කාරණාවලදී සාක්ෂිකරුවන් හා සැකකරුවන් හඳුනා ගැනීම, ඔවුන් සිටින ස්ථාන පරීක්ෂා කිරීම, සාක්ෂිකරුවන් සම්බන්ධ කටයුතු ආදී කරුණු රැසක් මේ පනත යටතේ ක්‍රියාත්මක වුණා. ඒ කරුණු ක්‍රියාත්මක කිරීමේ මධ්‍යම බලධාරියා අධිකරණ අමාත්‍යාංශය. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව මෙම පනත සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩල රටවලට පමණක් බලාත්මක වූ මෙම පනත තවත් රටවල් ගණනාවකට ක්‍රියාත්මක වෙනවා.

තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභය අයකර ගැනීමේ පනත යටතේ වෙනත් නැතැත්තකුගේ අයුතු ක්‍රියාවක්, පැහැර හැරීමක්, නොතකා හැරීමක් වැනි කටයුත්තක් නිසා මරණයක් සිදුවූ විට අලාභ අය කර ගැනීමට හැකියාවක් මෙයින් ඇති කරනවා. ආදරය, සහසම්බන්ධතාව අහිමිවීම, පීඩාව
ආදිය නිසා මරණයක් වූ විට මෙම අලාභය අය කරගත
හැකියි.

අපි කටයුතු කරන්නේ
කාටත් එකසේ සලකන
රටක් නිර්මාණය කිරීමටයි

"රටේ වැදගත් මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරලා දැම්මා. ඒ කාලෙට අපි ස්ථීර වශයෙන්ම තිත තිබ්බා" යැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පැවැසීය.

"අපි කටයුතු කරන්නේ කාටත් එක සේ සලකන රටක් නිර්මාණය කිරීම සඳහායි. ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මා. රගර් ක්‍රීඩකයෙක් මරලා දැම්මා. අද කෝ ඒ අයට නීතිය ක්‍රියාත්මක වුණාද? අපි හදන්නේ හැම පුරවැසියකුටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. අද විපක්ෂයේ ඉඳගෙන පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණයට අවලාද කියනවා. අපි දැක්කා පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා ගහපු හැටි.


ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදන්න නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ශක්තිමත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ශක්තිය අපි පෙන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලෝකයට හෙළි කරන්න අපිට පුළුවන් වුණා. සටන් කරන්න. කතා කරන්න. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි පට්ටපල් බොරු කියලා සභාව මුළාවේ දාන්න එපා. එය රටේ ජනතාව ගොනාට ඇන්දවීමක් කරන්න එපා.

හොර පාස්පෝට් හදන විමල් වීරවංශලාට රටේ ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නෑ. අද ඇවිත් බොරු බේගල් පාර්ලිමේන්තුවේ කියලා ආයෙත් හොරෙන් ඇවිත් බලය අල්ලන්නයි මේ දඟලන්නේ. මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩය ජිනීවා විදුලි පුටුවෙන් බේරගත්තෙ අපි."

ඇමෙරිකාවේ ආධාර ලබන
එක්තරා නිකායකට සම්බන්ධ අය තමයි මෙහෙම තනතුරු දෙන්නේ

"ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලය නමැති අසූචි වළෙන් ඉවත්වෙලා තිබියදීත් ලංකාවේ නිල මැස්සා ඒ අසූචි වළේ තවමත් වහලා ඉන්නවා." යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

ඉදිරිපත් කරන සෑම පනතකටම වාගේ මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සළුවක් පොරවල තියෙනවා. මේ ඉදිරිපත් කරන ලද පනතටත් එවැනි සළුවක් පොරවලා තමයි තිබෙන්නේ. ඒ සළුව ගැලෙව්වාම තමයි ඇත්ත තත්ත්වය බලාගන්න පුළුවන් වන්නේ.

තමුන්නාන්සේලා ඉදිරිපත් කරපු හැම පනතක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ, මානව හිමිකම්
උල්ලංඝනය කිරීම පිළිබඳව ක්‍රියා කිරීමට හැකිවන ආකාරයටයි. දැන් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලය නමැති අසූචි වළෙන් ඉවත් වෙලා තිබියදීත් තවමත් ලංකාවේ නිලමැස්සා ඒක වහගෙන ඉන්නවා. මම නිල මැස්සා කියන්නේ ඒකට යන ඇමැතිවරයාටයි.

"කථානායකතුමා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබෙනවා ව්‍යවස්ථාදායක සභාව
ජේ‍යෂ්ඨත්වය අනුව විනිශ්චයකාරවරුන් පත් කරන්නේ නැහැ කියලා. ඇමෙරිකාවේ ආධාර ලබන එක්තරා නිකායකට සම්බන්ධ අයට තමයි මෙහෙම තනතුරු ලබා දෙන්නේ.

අධිකරණ ඇමැතිනි,
නියෝජ්‍ය කථානායකතුමනි, මේ මන්ත්‍රිතුමා සභාව නොමඟ යවනවා. ඔබතුමා මේ සභාවට කියන්න, මොකක්ද ඒ නිකාය කියලා. කවුද පත් කරපු විනිශ්චයකාරවරයා කියලා කියන්න.

විමල් වීරවංශ
අනේ තලතා දේවියනි අසනු මැනවි. පොඩ්ඩක් ඉවසලා ඉන්න. වෙන රටවල උසාවිවලට අපේ රටේ රණවිරුවන් ගෙනිහිල්ලා දඬුවම් කරන්න තමයි මේ පනත් ගෙන එන්නේ. තලතා ඇමැතිතුමිය, ඇත්තටම ඔබතුමිය දන්නේ නැහැ මේ පනත්වලින් වන හානිය. ඔබතුමිය කවුරුහරි ලියලා දෙන දෙයක් කියවන එක තමයි කරන්නේ.

අගමැති,
මේ නීති කෙටුම්පත් වැරදි නම් තමුන්නාන්සේලා ආණ්ඩු කරපු කාලයේ තිබුණා ඒවා ඉවත් කරන්න. තමන්ට කරුණු තියෙනව නම් දෝෂාභියෝගයක් ගේන්න. මේ සභාව තමුන්නාන්සේලා වට්ටලා තියෙන්නේ. කරුණාකරලා මෙතැන තත්ත්වය ඉහළ නංවන්න කටයුතු කරන්න. මේ ඇමෙරිකානු නිකායක් ගැන කතා කළා. එහෙම නිකායක් මම දන්නේ නැහැ. කරුණාකරලා ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු විවේචනය කරලා කතා කරන්න එපා.

විමල් වීරවංශ
අගමැතිතුමා විපක්‍ෂයේ හිටපු කාලයේ ඕන තරම් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව කතා කළා.

විනිසුරුවරුන් පත් කරද්දී ජේ‍යෂ්ඨත්වය කියන්නේ
එක සාධකයක් විතරයි

විනිසුරුවරුන් පත් කරද්දී ජේ‍යෂ්ඨත්වය කියන්නේ එක සාධකයක් විතරයි. පසුගිය කාලේ විනිශ්චයකාරවරුවන් හැසිරුණු විදිය අපි දන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

"අපි බලන්න ඕනේ විනිසුරුවරුන් පත් කරද්දී ඒ අය කොහොමද සාධාරණ විදිහට නඩු අහන්නේ කොහොමද කියලා. ඒ අනුවයි විනිසුරුවරුන් පත් කරන්න ඕනේ ජේ‍යෂ්ඨත්වය කියන්නේ එක සාධකයක් පමණයි.

ඒ වගේම මහා පරිමාණ මූල්‍ය වංචා කරපු හොරු අද නිදැල්ලේ ඉන්නවා. ඒ අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ අපරාධකරුවන් ආරක්‍ෂා කරන ක්‍රමයක් තමයි අපේ රටේ ඉතිහාසයේ තිබුණේ. අපි දැක්කා කොහොමද හොරු නිදහස් වෙලා හිටියේ කියලා.

හොරුන්ගේ නඩු කතා කරන්න විනිසුරුවරුන්ගේ දරුවන්ගේ මංගල උත්සව වලට මෝටර් රථ දුන්නු ඉතිහාසයක් අපි පසු කළා. ඊට පස්සේ ඒ තීන්දු වෙනස් වුණු හැටි අපි දැක්කා. දැන්වත් අපි ඒ ක්‍රමයෙන් මිදෙන්න ඕනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදය හොයන්නේ ඒ වෙනුවෙන්. එය පසුගිය දවස්වල ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුවලින් අපි දැක්කා."

ශ්‍රී ලංකාවේ කටයුතුවලට
ඇඟිලි ගැසුවැයි ප්‍රේමදාස ජනපති එදා
බි්‍රතාන්‍ය තානාපති නෙරපුවා

"ප්‍රේමදාස ජනාධිපතුතිමා, ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය තානාපතිවරයා රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නිසා රටින් පිටුවහල් කළා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.
මේ පනත වසර 17කට ඉහතදී සම්මත වූ පනතක්. ඒ යුගයේ ඇති නොවූ තත්ත්වයක් දැන් ඉස්මතු වී තිබෙනවා.

අතුරුදන් වූවන්ගේ පනත යටතේ දැන් ගිහිල්ල තොරතුරු එක්රැස් කරනවා. මේ තොරතුරු එක්රැස් කරල මියගිය අයගේ මවුපියන් හමුවෙලා ඒ අයට උගන්වනවා හමුදාවෙන් පැහැරගෙන ගිය බව කියන්න කියලා.
රටේ තානාපතිවරු කටයුතු කරන්න බැඳී සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකවයි. ආණ්ඩු පෙරළිය ඇතිවූ අවස්ථාවේ තානාපතිවරු පැමිණ අත්පොළසන් දීමෙන් පෙනී යන්නේ ඔවුන් එක්සත් ජාතික පක්‍ෂයේ සුරතලුන් බව ප්‍රදර්ශනය කිරීමයි.

ඒ දින පනස් එකේදී, තානාපතිවරු විවිධ ප්‍රකාශ කර තිබෙනවා. දුරකථන ඇමතුම් 67ක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ මම මගේ ලිපියකින් හෙළිකරනවා.

රටේ නායකයාගේ කාර්යභාරය ලෝකය හමුවේ ප්‍රකාශ කිරීම තානාපති-වරුන්ගේ කාර්යභාරයයි. දින පනහේ් ආණ්ඩු කාලයේ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බව පවසමින් එන්.ජී.ඕ. කල්ලි අද මාධ්‍ය ආයතන වටකරලා තියෙනවා. මේ අය මාධ්‍ය ආයතනවලට ගියේ තමුන්නාසේලාගේ අනුදැනුම ඇතිව බව කියනවා. එසේ නොමැති නම් මේ සභාවට කියන්න. එසේ නොමැති නම්, කළුමාධ්‍ය, කළු මාධ්‍ය කියන කළු පැල්ලම තමුන්නාන්සේලා ගේ පිටට පැටවෙනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon