රතු අතකොළුව

  👤  3350 readers have read this article !
2019-01-10

1971 අප්‍රේල් 5, ලංකා ඉතිහාසය දන්න අයට අමතක නොවන දවසක් බවට සැකයක් නැත. ඒ 1818 කැරැල්ලෙන් පසු වැඩිම ජීවිත ගණනක් බිලිවූ දෙවැනි කැරැල්ලේ උච්චතම දිනය අප්‍රේල් 5 නිසයි. රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පොලිස් ස්ථාන 92කට පහර දුන්නේ ය. 57ක් විනාශ කළේ ය. 5ක් යටත් කර ගත්තේ ය. පොලිසියේ 37ක්, හමුදාවේ 26ක්, සිවිල් වැසියන් 41ක් ජවිපෙ කැරැලිකරුවන් අතින් ඝාතනය වුණේ ය. හමුදාව සහ පොලිසිය අතින් ජවිපෙ කැරැලිකරුවන් 5000ක් පමණ මැරුම් කෑවේ ය. අප්‍රේල් මහ නඩු‍ෙවි විත්තිකරුවන් වූ 41දෙනාගෙන් 4ක් නිදහස් වුණේ ය. විජේවීර ජීවිතාන්තය දක්වා හිරේ ගියේ ය. වසර තුනකට අත්හිටුවූ සිර දඬවම් නියම විය. 28ක් හිරේ ගියේ ය. 6ක් කැරැල්ලේදීම ඝාතනය වුණේ ය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යටතේ 248ක් සිරදඬුවම් වින්දේ ය. ජවිපෙ අප්‍රේල් 5 සමරන්නේ ඒ කැරැලිකරුවන් ය.

1977දී සමඟි පෙරමුණ හෝදාපාළුවට ලක් කරමින් යූඑන්පිය බලය අතට ගත්ත ගමන් ජේ.ආර්. කළේ ජවිපෙත් එකතු කරගෙන මැතිනිය නැති කරන එකය. ජේ.ආර්. විසෙන් විස නැසුවේ ය. 1977 අගෝස්තු ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කළේ ය. මැතිනිය එයට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. කොමිසම නීතියට පටහැනි බව අභියාචනාධිකරණය තීරණය කළේ ය. එවිට ජේ.ආර්. කළේ ඕනෑම නඩු කටයුත්තක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශේ‍ර්ෂ්ඨාධිකරණයට පවරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පාර්ලිමේන්තුවට බලය දෙන එක ය. ඒ අනුව ඒකපාක්‍ෂිකව විභාග කළ ජනාධිපති කොමිසමෙන් 1980 සැප්තැම්බර් 25 මැතිනිය වරදකාරිය කළේ ය. 1980 ඔක්තෝබර් 16 පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කර සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට තහනම් කර පාර්ලිමේන්තුවෙන්ද නෙරපා දැමීය.

යූඑන්පී ආණ්ඩුව විසින් 1977 ඔක්තෝබර් 27 වැනිදා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත අහෝසි කළේ ය. ජේ.ආර්.ගේ සත්ත්ව කරුණාවෙන් විජේවීර ඇතුළු දීර්ඝ කාලීන සිර දඬුවමට නියම වූ සිරකරුවන් 125ක්, 1977 නොවැම්බර් 2 වැනිදා නිදහස ලැබුවේ ය. නිදහස ලැබූ විජේවීර සිය ප්‍රථම රැස්වීම කොළඹ නගර සභා පිටියේදී පැවැත්වූයේ ය. එහිදී එක දිගට පැය තුනක් කතා කළේ ය. මේ අල්ලපනල්ලේ රොස්මිඩ් පෙදෙසේ කෙළවරේ සිය රථය නවතාගත් හිටපු අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, විජේවීරගේ කතාවට කාටත් හොරා සවන් දුන්නේ ය. ජවිපෙ ක්‍රියාකාරී අධිනීතිඥ එම්.බී. රත්නායක මුණගැසුණු අවස්ථාවකදී ෆීලික්ස්, විජේවීරගේ කතාව ගැන කියා තිබුණේ "ඔයාලගේ ලොක්කා විකට් එක බේරලා අනිත් හැම පැත්තටම බෝල් කළා" කියා ය. කතාව ඇත්ත ය. එදා විජේවීරගේ කතාවේදී ජේ.ආර්. ප්‍රමුඛ යූඑන්පියට කෙළින් පන්දුවක් යොමුවූයේ නැත.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ වැඩපිළිවෙළට ජවිපෙ හැර අන් සියලු විරුද්ධ පක්‍ෂ විරුද්ධ වුණේ ය. 'ශ්‍රී ලනිප ගමනක අවසානය' නමින් ජවිපෙ රැස්වීම් තිය තියා රටවටා ගියේ ය. එහි ප්‍රථම රැස්වීම 1979 සැප්තැම්බර් 26 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.

ජවිපෙට දෙකොන රත් වුණේ ඉන්දු-ලංකා ගිවිසුම කරළියට ඒමෙන් ය. ඒ සමඟම ජවිපෙ ඊළඟ කැරැල්ල ඇරඹුවේ ය. යූඑන්පිය එළවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් හදන්න ජවිපෙ තීරණය කළේ ය. ව්‍යවස්ථාවට අනුව 1988 අවුරුදේ අන්තිමට ජනාධිපතිවරණයක් අනිවාර්යය බැවින්, ජවිපෙ ශ්‍රී ලනිප සමඟ හේත්තු වුණේ ය. ශ්‍රී ලනිපය එක්ක එකඟතාවකට ආපු ජවිපෙ මහජන එක්සත් පෙරමුණ, එක්සත් ලංකා ජනතා පක්‍ෂය, මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්‍ෂය, ද්‍රවිඩ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය සමඟ ද 'ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් සඳහා පක්‍ෂ 8 සාකච්ඡාව' නමින් සාකච්ඡා වටයක් ආරම්භ කළේ ය. 1988 අගෝස්තු සිට නොවැම්බර් දක්වා මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මඟිනි. අන්තරය වෙනුවෙන් එම සාකච්ඡාවලට ආවේ එවකට මොරටු සරසවියේ ඉන්ජිනේරු ශිෂ්‍ය චම්පික රණවක සහ ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ෆ්‍රැන්සිස් ගාමිණීය. 1988 දෙසැම්බර් 8දා ලංකා ජනතා පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර සමඟ වාහනයකින් ගමන් කරමින් සිටියදී ආරක්‍ෂක අංශ විසින්් පැහැරගත් ෆ්‍රන්සිස්ගේ මළසිරුර 1988 දෙසැම්බර් 11දා මොරටුවේදී හමුවිය.

සාකච්ඡා පැවැත්වූයේ මැතිනිගේ රොස්මිඩ් නිවෙස, රුක්මන් සේනානායකගේ වුඩ්ලන්ඩ්ස් නිවෙස, හලීම් ඉෂාක්ගේ නිවෙස, අනුරුද්ධ රත්වත්තේගේ නිවෙස සහ බන්දුල ගුණවර්ධනගේ නිවෙසේදීය. පක්‍ෂ 8 සාකච්ඡාවේ සියලු විස්තර මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම්. අෂ්රොෆ් විසින් එ.ජා.ප. ජනාධිපති අපේක්‍ෂක අගමැති ප්‍රේමදාසගේ කනට සැපයූ බව නොරහසකි.

මැතිනිගෙන් බැට කා ජේ.ආර්.ට කඩේ ගිය ජවිපෙ කරපිටින්ම ගිහින් මැතිනිගේ කට වැසූ ජේ.ආර්., විජේවීරගේ ඔළුවටත් මිටියෙන් ගැහුවේ 'වම' නැඟිටිනවාට බය නිසා ය. ජේ.ආර්.ට ඕනෑ වුණේ ශ්‍රී ලනිපය බෙලහීන කරන්නට විතර ය. 71 කැරැල්ලේදී ෆීලික්ස්ලාගෙන් කාපු කෑම අමතක කළ ජවිපෙ, ඊළඟට කළේ ෆීලික්ස්ලව එකතුකරගෙන මැතිනිට කඩේ ගිය එකය. ජවිපෙ මෙදා පාරත් කළේ ඒක ය.

88-89 කාලේ යූඑන්පී ආණ්ඩුව පොදි පිටින් ජවිපෙ තරුණයන් මරා දැමුවේ ය, වධ දුන්නේ ය. රට හැමතැනම වධකාගාරවල තරුණයන් දහ දුක් විඳ මැරුම් කෑවේ ය. රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන ගියා යැයි කියන බටලන්ද වධකාගාරය ඊට හොඳ උදාහරණයක් ය. ඒ අතීතය අමතක කළ ජවිපෙ මෛත්‍රිගේ තීන්දුව හමුවේ බලය රැකගන්න දඟලන රනිල්ට කඩේ ගියේ ය. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව උසාවි ගියේ ය. ධනවාදී පක්ෂවල බලකාමී නායකයන්ගේ පැත්තේ බය නැතිව ජවිපෙ හිට ගත්තේ ලැජ්ජා බයක් නැතිව ය.

එදා මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම උදෙසා ජේ.ආර්. අභියාචනාධිකරණ නඩු ශේ්‍රෂ්ඨාධිකරණයට ගෙන යෑමේ බලය පාර්ලිමේන්තුවට ගනිමින් අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කරද්දී ජවිපෙ නොදැක්කා සේ සිටියේ ය. එදා ශ්‍රී ලනිප නායිකා මැතිනිට එරෙහිව රනිල්ගේ මාමා ජේ.ආර්. එක්ක ජවිපෙ නායක විජේවීර එකතු වුණේ ය. අද ශ්‍රී ලනිප නායක මෛත්‍රිට එරෙහිව ජේ.ආර්.ගේ බෑනා රනිල් එක්ක ජවිපෙ නායක අනුර එකතු වුණේ ය.

ජවිපෙ පිහිටෙන් නැවතත් අගමැති වූ රනිල්, දැන් වැඩ කරන්නේ එයාට ඕන විදියටය. රනිල් දැන් ජවිපෙට පල නොකියා පලා බෙදන්නේ ය. ඒකාධිපති නායකයා කියා මහින්දව පතුරුගැසූ ජවිපෙ දැන් කියන්නේ විධායක බලය නැති කිරීම උදෙසා මහින්ද සමඟ එකතු වෙන්න සූදානම් කියා ය. ඉතිහාසයේ ඉඳන්ම ජවිපෙට සිද්ධ වුණේ මහ පක්ෂ දෙකේ අතකොළුවක් වන්නට ය. එදා සහ අද ජවිපෙ නායකයන්ට මේක නොතේරුණා විය නොහැකි ය. පක්ෂයක් වශයෙනුත් පුද්ගලයන් වශයෙනුත් ඔවුනුත් පවතින්නට ඕනෑ ය. ඒ ඕනෑකම වෙනුවෙන් ජවිපෙට වොලිබෝලයක් මෙන් දෙපැත්තට විසි වෙවී ඉන්නට සිදුවී ඇත. කොයි පැත්තෙන් හෝ වදින සැර පහරකින් කොයි වෙලේ ජවිපෙ වොලිබෝල් කෝට් එකෙන් එළියට විසි වෙයි ද කියා කියන්නට දන්නේ නැත.

ශ්‍රී ලනිපය ඉවර කරන්න ජේ.ආර්. එදා ජවිපෙ අතකොළුවක් කරගත්තා සේ අද රනිල් ද ශ්‍රී ලනිපය ඉවර කරන්න ජවිපෙ අතකොළුවක් කරගැනීමට සැරසෙන බව පෙනේ. ඒක එහෙම වෙයිද?

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon