ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට චන්ද්‍රිකාගෙන් පිටු දහයක චෝදනා පත්‍රයක්

  👤  4058 readers have read this article !
2019-01-06

රුචිර දිලාන් මධුසංඛ

ආණ්ඩුවේ ස්ථාවරභාවය ඇතිකර ගැනීම සඳහා අගමැතිවරයා මේ දිනවල දැඩි උත්සාහයක නිරත වෙමින් තිබේ. එසේ සිදු කිරීමට සිදුව ඇත්තේ පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන් පිරිසක් ස්වාධීන වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය හේතුවෙන් සහ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් කැබිනට් අමාත්‍ය ධුර ඉල්ලා සිටීමත් සමඟය.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද අමාත්‍ය ධුර වැඩි කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රසාදයක් නොමැත. එබැවින් එම ක්‍රියාමාර්ගයද ගැනීමට නොහැකි විය. එයට විසඳුමක් ලබාගැනීමේ උත්සාහය අත් නොහරින එජාප ප්‍රබලයෝ මේ දිනවල ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගයකද නිරත වෙමින් සිටී. තවමත් එම ගැටලුව විස¼දා ගැනීමට නොහැකි වීමද, එජාප අභ්‍යන්තර ගැටුම් උත්සන්න වීමට හේතුවක් වී ඇත.

කෙසේ වෙතත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ශ්‍රී ලනිප මන්ත්‍රි පිරිසක් විපක්ෂයෙන් ගලවාගෙන ආණ්ඩුවට එක්කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වෙමින් සිටී. ශ්‍රී ලනිපය සුරැකීමේ සංවිධානය නමින් පිහිටුවාගත් සංවිධානයක් හරහා ඇය මෙම කල්ලිගැසීම ආරම්භ කර ඇත.

චන්ද්‍රිකාගේ මෙම ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලනිප අභ්‍යන්තරින්ද ගැටුම් හටගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද එම තනතුරෙන් ඉල්ලා අස්විය.

කැරලිකරුවන් ගියේ කොහේදැයි මෛත්‍රිට මාට්ටු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වසරේ වැඩ ආරම්භ කිරීමට ජනපති මෛත්‍රි බ්‍රහස්පතින්දා කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට ගියේය. මහින්ද අමරවීර, සරත් ඒකනායක ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපතිවරයා එහි කාර්යාල එකින් එකට ගොස් ඒවායේ කටයුතු සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කළේය.

ජනාධිපතිවරයා එහිදී පක්ෂ මූලස්ථානයේ සිටි කාන්තා සංවිධාන නියෝජිතයන්, තරුණ පෙරමුණු නියෝජිතයන් සමඟද සුහද කතාබහක නිරත වීම විශේෂයකි. කාර්යාලයේ කටයුතු අධීක්ෂණය කළ ජනාධිපතිවරයා සිය සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ රජික කොඩිතුවක්කුගේ කාර්යාලය වසා දමන ලෙස නියෝග කළේය. ඔහු මේ දිනවල පක්ෂ නායකත්වය විවේචනය කරමින් සිටීම ඊට හේතුව වී තිබේ.

අනතුරුව පක්ෂ කාර්යාලයේ සිටි සේවකයකු ඉන් ඉවත් කිරීමට කටයුතු කළ අතර ඊට හේතුව වී ඇත්තේ ඔහු කොළඹ නගර සභාවේ ස්ථීර සේවකයකු ලෙස හිඳිමින් වැටුපක් ලබන අතර පක්ෂ කාර්යාලයෙන් තවත් වැටුපක් ලැබීම නිසාය.

"තවත් අයින් කරන්න කට්ටිය ඉන්නවා. මම ආයෙ දවසක එන්නම්කො" කියමින් මෛත්‍රි ජනාධිපති ලේකම් කාර්යාලය බලා පිටත්ව ගියේය.

ඒ යන අතරතුර මෛත්‍රි විපරම් කර බැලුවේ එස්.බී. කොහේද කියාය
.
"එස්.බී. කොහෙද" මෛත්‍රි දුරකථනයෙන් එස්.බී. ට කතා කළේය.

"සර්... මම මාධ්‍ය සාකච්ඡාවක ඉන්නෙ තිලංගගේ ඔෆිස් එකේ. එස්.බී. කීවේය.

"හරි... ඕක ඉවර කරලා ඔෆිස් එක පැත්තෙ එන්න" මෛත්‍රි එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.

මේ බව එස්.බී. මාධ්‍ය හමුවේද කීවේය. මාධ්‍ය හමුව අවසන් වූ වහාම එස්.බී. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය. එහිදී ජනාධිපතිවරයා සහ එස්.බී. අතර විශේෂ කතා බහක් ඇති විය. ඒ පක්ෂයේ මහ ලේකම් තනතුර ගැනය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00ට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවත පිහිටි ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. මේ සඳහා ආණ්ඩු පක්ෂයට එක් වූ මන්ත්‍රිවරුන් සහ චන්ද්‍රිකා හැරෙන්නට සෙසු සාමාජිකයෝ පැමිණ සිටියහ.

මධ්‍යම කාරක සභාව ආරම්භ වී සුළු මොහොතකට පසු චන්ද්‍රිකා විසින් මධ්‍යම කාරක සභාවට එවන ලද ලිපි කිහිපයක් මෛත්‍රි, දුමින්ද, අමරවීර සහ පක්ෂයේ මහ ලේකම්වරයා අත තැබීමට නිලධාරියෙකු කටයුතු කළේය. එම ලිපිය එවා තිබුණේ මහ ලේකම්වරයාටය. එහිම සෙසු පිටපත් මෛත්‍රි, දුමින්ද සහ අමරවීරටද එවා තිබීම විශේෂත්වයකි.

අනතුරුව මහ ලේකම්වරයා විසින් පසුගිය මධ්‍යම කාරක සභා වාර්තාව සභාවට ඉදිරිපත් කළේය. එහිදී දුමින්ද වාර්තාව සංශෝධනය කළ යුතු යැයි යෝජනා කළේය.

"මම ගිය සැරේ කිව්වා පොහොට්ටුවට ගිය මන්ත්‍රිවරුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න ඕනෑ කියලා. ඒක පත්තරවල ගියා. නමුත් වාර්තාවේ නෑ. එය ඇතුළත් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා" යැයි දුමින්ද කීවේය.


අනතුරුව ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාව ඇමැතුවේය. මිනිත්තු 40කට ආසන්න කාලයක් මෛත්‍රි සිය කතාව කළේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කැරලි ගසන පුද්ගලයන්ටද දෙහි කපමිනි. ඒ අවස්ථාවේ මීයට පිම්බාක් මෙන් පිරිස දැඩි විමසිල්ලෙන් යුතුව ඊට සවන් දීමද විශේෂත්වයකි.

මේ දිනවල 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය" නමින් ඇති කිරීමට යන කැරලිකරුවන් පිරිස ගැනද මෛත්‍රි එහිදී කතා කළේය.

"සන්ධාන හදන එක ලේසි නෑ. අපි විවිධ මතධාරින් එක්ක සන්ධාන හදල තියෙනවා. සම සමාජ, කොමියුනිස් පක්ෂ එක්ක අපි සන්ධාන හැදුවා. මහජන එක්සත් පෙරමුණ එක්ක හැදුවා. 2004 තමයි අමාරුම සන්ධානය හැදුවේ. මමත් ඒවට ගියා. පැය ගාණක් සාකච්ඡා පැවැත්වුණා. චන්ද්‍රිකා එතැනදී කැමැතිවෙලා යනවා. ගෙදර ගිහින් බෑ කියනවා. මොකද ගෙදර ගියහම යශෝධරයි විමුක්තියි කියනවා අපේ තාත්තා මරපු අයත් එක්ක ඔයා මොකද සන්ධාන හදන්න යන්නේ කියල. එහෙමයි එදා සන්ධාන හැදුවේ. ඒ නිසා මේ කරන්න යන්නේ අමාරු වැඩක්. හැබැයි අපි යූ.එන්.පී. විරෝධී ගමනක් යන්නෙ. ඒ නිසා පොහොට්ටුවත් එක්ක සන්ධාන හදන එකට කවුරුත් කලබලවිය යුතු නෑ" යැයි මෛත්‍රි කීවේය.

අනතුරුව එදින පෙරවරුවේ ශ්‍රී ලනිප දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් මහජන පුස්තකාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුව ගැනද මෛත්‍රි කතා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් ඔවුන් වෙනම සංවිධානයක් ඇති කරගන්නා බවද එහිදී හෙළිවිය. මේ ගැනද මෛත්‍රි කතා කළේය.

"ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිනවා කිය කියා රැස්වෙන කණ්ඩායම් ඔක්කොම කතා කරන ඒවා මගෙ ළඟ තියෙනවා. අදත් මහජන පුස්තකාලේ ඒ අය මාධ්‍ය හමුවක් තියල තියනවා. ඒ අය ප්‍රසිද්ධියෙම ආණ්ඩුකාරවරයකුත් මේ කැරැල්ල ඇතුළේ ඉන්නවා කියලා ප්‍රකාශ කරල තිබුණා. මේ මාධ්‍ය හමුව ඉවර වෙලා මේ අය කෑම කන්න ගියේ කොහෙටද කියලා දන්නවද? ගියේ රාජිතගේ ගෙදර. එතකොට තේරෙනවා නේද පක්ෂය සුරැකීමේ කටයුතු කොතැනින්ද එන්නෙ කියලා. මේක පිටිපස්සෙ ඉන්නෙ චන්ද්‍රිකා කියලත් මම දන්නවා" යැයි මෛත්‍රි සැර කතාවක් කළේය.

ජනාධිපතිවරයා අදහස් දක්වන අතරතුර මහ ලේකම්වරයා තමන්ට චන්ද්‍රිකාගෙත් ලැබුණු දීර්ඝ ලිපිය කියෙව්වේය. එය පිටු 10ක ලිපියකි. පිටු 9. 1/2ක්ම මහ ලේකම්වරයාට කුණු බැණුම් බනිමින් එහි විවිධ අදහස් ලියා තිබීමෙන් මහ ලේකම්වරයාද වික්ෂිප්ත විය. ඊට හේතුව සියලු දෙනාගේම කුණු ඔහු පිටින් ගොස් ඇති බව ඔහුට වැටහී ගිය නිසාය.

"මාස 8කට පත්වුණු ඔබ තවත් පක්ෂයේ මහ ලේකම් ලෙස ඉන්නවා. පක්ෂය විනාශ කිරීමේ ගමනකයි දැන් තියෙන්නෙ. මට කිසිම පිළිගැනීමක් පක්ෂය තුළ පසුගිය දිනවල දුන්නෙ නෑ. මට කිසිම දෙයක් දැනුවත් කරන්නෙත් නෑ. මම අනුශාසකවරියක් ලෙස කටයුතු කළාට පක්ෂයේ දේවල් මට කියන්නේ නෑ" යැයි චන්ද්‍රිකා එම ලිපියෙන් පවසා තිබිණි.

ලියුම කිය වූ මහ ලේකම්වරයා තරමක් වික්ෂිප්ත විය. මඳ වේලාවකින් ඔහු තනතුරින් ඉල්ලා අස්වන බව මධ්‍යම කාරක සභාවට දැනුම් දුන්නේය.

"මම ටික කාලයකට මේ තනතුරු භාර ගත්තේ. හැබැයි ඒ කාලය තුළ මම පක්ෂයට කරන්න අවශ්‍ය සෑම යුතුකමක්ම කළා. මම ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම කළා. පක්ෂය දාලා ගිය පිරිස්, කලකිරුණු පිරිස් එකතු කරගන්න මම කටයුතු කළා. ඒ නිසා මට අවසරයි දැන් අයින් වෙන්න" යැයි රෝහණ ලක්ෂ්මන් කීවේය.

මේ අවස්ථාවේ මහාචාර්ය සම්පත් අමරතුංග නැඟී සිටිමින්,

"දැන් ඔබතුමා ඉවත් වෙන්නෙ චන්ද්‍රිකා මැතිනිය එවපු ලිපිය නිසා නම් දයාසිරි ඇමතිතුමාට ලිවුමක් එව්වොත් එයත් ලේකම් කමින් ඉල්ලා අස්වෙනවද? " යැයි කීවේය.

"නෑ නෑ. එහෙම එකක් නෑ එතුමා පසුගිය කාලේ සංවිධායකවරුන් කළ චෝදනාවලිනුත් ටිකක් කලකිරිලයි හිටියේ. මමත් ඔය තනතුරු කරල තියෙනවා. එහෙම වෙලාවල්වල සිත් රිදීම් ඇති වෙනවා. කොහොම වුණත් එතුමා එතුමාගේ වගකීම නිවැරැදිව සහ ඉතා වුවමනාවෙන් ඉෂ්ට කළ මහ ලේකම්වරයෙක්" මෛත්‍රි කීවේය.

"එහෙනම් සර්... එතුමට මෙහෙම යන්න දෙන්න බෑ. එතුමාට ගෞරවනීය සමුගැනීමක් දෙන්න ඕනෑ" කීර්ති උඩවත්ත කීවේය.

"ඔව් සර්... මෙතුමා එතුමාගේ වගකීම ඉතා හොඳින් ඉටු කළා. පක්ෂය පිළිබඳවයි. සංහිඳියාව සහ පක්ෂයේ කැඩී ගිය පිරිස් යළි පක්ෂයට ගැනීමට එතුමා විශාල වැඩකොටසක් කළා. ඒ ගැන අපි අගය කළ යුතුයි" සරත් ඒකනායක කීවේය.

"නෑ. නෑ. එතුමට යන්න දෙන්නෙ නෑ. එතුමාව මම ජනාධිපති ලේකම් කාර්යාලයට ගන්නවා" මෛත්‍රි කීවේය.

අනතුරුව පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත්කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ඊට කිසිවකු විරෝධයක් නොදැක්වීමද විශේෂත්වයකි.

අනතුරුව ජනාධිපතිවරයා දයාසිරිට වැඩ කිරීමට ඇති පක්ෂ කාර්යාලය ගැනද කතා කළේය.

"අද පක්ෂ මූලස්ථානය මට විරුද්ධව කටයුතු කරන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. කට්ටිය බංකුවල වාඩිවෙලා මට බනිනවා" යැයි මෛත්‍රි කීවේය.

සර්... අපේ උප ලේකම්වරු 10ක් ඉන්නවා. උප සභාපතිවරු 5ක් ඉන්නවා. අපි එක් එක්කෙනා ගිහින් ටික වෙලාවක් කතා කළා නම් ඔය ගතිය නතර වෙනවා." සරත් ඒකනායක කීවේය.

"ඔව් දැන් එහෙම වැඩපිළිවෙළකට යන්න ඕනේ" මෛත්‍රි කීවේය.

"ඔව් සර්... දැන් තදින් ඉන්නවනේ. අපි එහෙම තීන්දුවකුත් ගමු" සරත් සිනාසෙමින් කීවේය.

ඩඩ්ලි කරළියට

ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත්වන බවට මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබේ. ඊට හේතුව ඔහු විසින් පසුගියදා පොළොන්නරුවේ උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් නිසාය. මේ ගැන ඇතැම් දේශපාලනඥයන් මෙන්ම බොහෝ ව්‍යාපාරිකයන්ද ඩඩ්ලිට කතා කරමින් අදහස් විමසන්නට විය. පොළොන්නරුවේ ආසන සංවිධායක තනතුරක් ලැබීමට නියමිතව ඇත් දැයිද ඩඩ්ලිගෙන් බොහෝ දෙනෙක් විමසූහ.

අයියෝ... මොන පිස්සුද? අයියා කාට දුන්නත් මට නම් සංවිධායක කම් දෙන්නෙ නෑ කීයටවත්' ඩඩ්ලි ඔවුන්ට දුන්නේ කදිම පිළිතුරකි.

එහෙත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී සෑදෙන නව සන්ධානයට තමන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන බවද ඩඩ්ලි කීවේය.

කැබිනට් ඇමැති
විෂයන් අවුල
විසඳුණු හැටි

අමාත්‍යාංශ විෂයන් ගැසට් කිරීමේ කටයුතු පසුගිය 31 වැනිදා සිදුවිය. එහිදී අමාත්‍යාංශ කිහිපයක තිබූ විෂය පථයන් මුදල් ඇමැති මංගලට පවරා තිබීමද විශේෂයකි. රාජ්‍ය බැංකු මීට පෙර කිරිඇල්ල ඇමැතිවරයාගේ විෂය පථයට ඇතුළත් කර තිබූ අතර මෙවර එය අහිමි වීම ගැන කිරිඇල්ල කනස්සල්ලෙන් කතා කළේය. ජනාධිපතිවරයාටද චෝදනා කළේය.

නව වසරේ පළමු කැබිනට් හමුව පැවැත් වූ පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාද මේ ගැන කතා කළේය.

'විෂයන් ගැසට් කිරීම ගැන මට චෝදනා කරලා තිබුණා. මම කාගෙන්වත් පළිගන්න එහෙම කළේ නෑ. මේ ලැයිස්තුව එවීමේදීත් අගමැති කාර්යාලයෙන් ප්‍රමාදයක් වුණා. නව වසරේ වැඩ පටන් ගන්න ඕන නිසා විෂයන් ගැසට් කිරීම ඉක්මන් කළා. කිරිඇල්ල ඇමැතිතුමාගේ විෂය පථයන් ගැන මම අගමැතිතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එය සංශෝධය කළ හැකියි පසුවට' යැයි මෛත්‍රි කීවේය.

අනතුරුව නිකුත් කළ නව ගැසට්ටුවකින් කිරිඇල්ල ඇමැතිවරයා යටතට රාජ්‍ය බැංකු සහ විදුලිබල අමාත්‍ය රවි කරුණානායක යටතට ලොතරැයි මණ්ඩල දෙකම ගැසට් කර තිබිණි. මංගල සමරවීර ඇමැතිවරයා යටතේ තිබූ ආයතන ක්‍රමයෙන් ඉවත් කරන ස්වභාවයක් පෙනී යෑමද කැපී පෙනිණි.

මීට පෙර රවි කරුණානායක ඇමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය භාරව කටයුතු කරද්දීද එම ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතටද පවරා තිබිණි.

මෙවර කැබිනට් හමුවේදී විපක්ෂ නායක කාර්යාලය සඳහා අතිරේක ලේකම්වරයකු පත් කිරීම සඳහා අගමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවද අනුමත කිරීම පසුවට කල් තැබිණි. විපක්ෂ නායකවරයා පිළිබඳව පවතින මත ගැටුම ඊට හේතු විය.

'නෑ පත්වෙන ලේකම්වරයා විපක්ෂ නායකට ඕන කෙනෙක් පත් කර ගැනීම හොඳයි' මෛත්‍රි කීවේය.

අනතුරුව මෙවර කැබිනට් හමුව එකම ගාලගෝට්ටියක් බවට පත් වූයේ රවි සහ මංගලගේ උණුසුම් වචන හුවමාරුවත් සමඟය.

රටේ ණය වාරික පියවීම සඳහා රාජ්‍ය බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක් ගැනීමට මංගල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. රවි ඊට දැඩි විරෝධය දැක්වීය. මංගලද කැත්තට පොල්ල වගේ රවිගේ ඇඟට ගොඩවිය. රනිල්, මලික් සහ කිරිඇල්ලද මංගලට සහාය දැක්වීය.

'හරි එහෙනම් මගේ විරෝධය සටහන් කරන්න' රවි කීවේය.

රවිගේ විරෝධය සටහන් කිරීමෙන් පසුව කැබිනට් පත්‍රිකාව අනුමත වීමද විශේෂයකි.

අර්ජුන මහේන්ද්‍රන් කොටු කරගන්න බැරි හේතුව

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මැඳුරට පැමිණියේ මඳ අසනීප තත්ත්වයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව සහ මඳ උණ ගතිය ඊට හේතු විය. සෙසු සියලු හමුවීම් අවලංගු කළ ඔහු සමීප මාධ්‍යවේදීන් දෙදෙනකු පමණක් මුණගැසිණි. එහෙත් සුපුරුදු ලෙස අගමැතිවරයා හමුවීමට එහි පැමිණ සිටි මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟද කතාබහ කිරීමට අගමැතිවරයා අමතක කළේ නැත.

'මගේ ඇමැතිකමට තිබුණු ආයතන ඔක්කොම අයින් කරලා බංකොලොත් හතරක් තමයි දාලා තියෙන්නේ. මම මේගැන ඔබතුමා ඉදිරියේදීම ජනාධිපතිතුමාට කිව්වෙ ඒකයි. ඒක නිවැරැදි කරන්න එතුමාත් ඔබතුමාත් ඉදිරිපත් වීම හැමදාම එජාපය දිනන මහනුවර ඇතුළු කන්ද උඩරට ජනතාවට කරන ගෞරවයක්. ඔබතුමාගෙන් පළිගන්න ගැසට් එක එහෙම සකස් කළේ නෑ කියල ජනාධිපතිතුමා කියපු එකත් අපේ හිත්වල තිබුණු කහට ඉවත් කළා' ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.

'කැබිනට් ඇමැතිවරු පත් කළාට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිකමුත් පත් කරලයි ගැසට් එකට අදාළ ආයතන ලැයිස්තු ගත කරන්න අපි හිටියේ. ඒත් ජනාධිපතිතුමා රට ගිය නිසා තමයි පොඩි අවුලක් වුණේ. ඒත් ඒවා නිවැරැදි කරගන්න පුළුවන්' අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

'කිරිඇල්ල ඇමැතිතුමාට තිබුණු බැංකු හා වැවිලි සමාගම් මංගල හා නවීන් ඇමැතිතුමන්ලාටයි මෙවර දාල තියෙන්නේ. මංගල ඇමැතිතුමාට හුඟක් වැඩ වැඩියි. අය - වැය හදන්නම අවුරුද්දෙන් දින හැත්තෑවක්ම යන නිසා මෙපමණ ආයතන රැසක් බලන්න අමාරුයි කියල ඒ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් අගමැතිතුමාට කිව්වා. අනෙත් නිලධාරීන්ගේ ස්ථාවරයත් ඒකමලු. අනෙක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීමුත් මංගල ඇමැතිතුමාටයි. මේවා වෙනත් අමාත්‍යාංශවල බෙදිය යුතුයි කියන එකයි කාගේත් අදහස වෙන්නේ' අගමැති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් කීවේය.

'රටේ ඉහළම තනතුරුවලට පත් කිරීමේදී ජනාධිපතිතුමා කමිටුවක් දාලා කරන්න හදන්නේ මොකක්ද එතුමාට ඕන අයට විතරක් අනුමැතිය දෙන්නද හදන්නේ' මන්ත්‍රි චමින්ද විජේසිරි ඇසුවේද අගමැතිගෙනි.

'නෑ. ඒ කමිටුව හොඳයි. ජනාධිපතිතුමයි මගෙයි දෙන්නා බැගිනුයි මුදල් අමාත්‍යාංශයෙන් එක්කෙනකුයි ඒ කමිටුවේ ඉන්නවා. ඒ අය හරියට තීන්දු ගනීවි.' අගමැතිවරයා කීවේ සුබවාදීවය.

'ඇලෝසියස්ලට ඇප දෙන්න අධිකරණය තීන්දු කිරීම සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා. පොහොට්ටු නඩයේ සියයට අනූවක් අද එළියේ ඉන්නෙත් ඔය විදියටම ඇප ලබාගෙනයි. කෝටි හැටක සිල් රෙදි වංචාවට වැරැදිකරුවන් වූ දෙන්නටත් අධිකරණය දින 3කදී ඇප ලබාදීලා තියෙනවා' හේෂා කීවේය.

'දැන් මාස 3ක විතර ඉඳල නීතිය හා සාමය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේයි. බැඳුම්කරයට අදාළව නඩු දැමීමක් හෝ අර්ජුන මහේන්ද්‍රන් කොටු කර ගැනීමක් තාම සිදුවෙලා නෑ. අගමැතිතුමා මේවා බ්ලොක් කරගෙන හිටිය නම් දැන් ජනාධිපතිතුමාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ.' රංජිත් අලුවිහාරේ කළ විග්‍රහයට සියලු දෙනා එකඟවූහ.

'මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් නැති ඒත් ඇලෝසියස්ට විරුද්ධ කරුණු රැසක් තිබිල තියෙනවා කියල ආරංචියි. මහේන්ද්‍රන්ගේ සාක්ෂිවලිනුත් අවශ්‍ය නම් කොනක් අල්ලන්න තිබුණාලු. අනෙක සියලු ගනුදෙනු කළේ ඇලෝසියස්ල මිසක් මහේන්ද්‍රන් නෙවෙයි කියලත් පේනවා. මහේන්ද්‍රන් කරල තියෙන්නෙත් 'ෂැඩෝ රෝල්' එක්ක වගෙයි පේන්නේ' එජාප නීති නිලධාරියකු පැහැදිලි කළේය.

'ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරුවෙක් ලංකාවෙම පළමුවැනියා වීම හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට විතරක් ප්‍රශ්නයක් වෙලා. ගේ්‍රරු හා බන්දුලලා එකට ටියුෂන් හා ජාත්‍යන්තර පාසල් පටන් අරන් බන්දුල බංකොලොත් වුණාම දැන් ඉරිසියාවෙන් එයා පහර දෙන්න පටන් අරන්. ඒක කුහක වැඩක්. හරි නම් බන්දුල ඒ දරුවාගෙන් සමාව ගන්න ඕන. ආණ්ඩුවෙන් හදපු ප්‍රශ්න පත්‍රවලටයි ඒ දරුවා ඇතුළු සියලුම ළමයි මුහුණ දුන්නේ.' අකිල කීවේය.

'මේ බැරෑරුම් ප්‍රශ්නෙට ගේ‍ර්රුයි හරි නම් මුලින්ම උත්තර දෙන්න ඕන. අකිල ඊට පස්සේ කතා කළා නම් තමයි වඩා හොඳ' අගමැතිවරයා උපදෙසක් දුන්නේය.

'ශ්‍රී ලනිප ඇතුළේ මාර ආරවුල්ලු. චන්ද්‍රිකා පක්ෂයේ බලය අල්ලල මූලස්ථානෙටත් ඇතුළු වේවි කියලා බය වෙලා ජනාධිපතිතුමා මූලස්ථානෙටත් සීල් තියලලු රට ගියේ. අම්මා හදපු මූලස්ථානෙට චන්ද්‍රිකාට එන්න එපා කියල ජනාධිපතිතුමා කියලලු. එතුමා බලයට ගේන්නත් මුල් වුණේ ඇයයි. අනෙක විපක්ෂ නායකකම නිමල් සිරිපාලට දෙන්නයි ශ්‍රී ලනිපය තීන්දු කරල තිබුණේ. ඊළඟ දවසේ උදේ ඒක වෙනස් කරල මහින්ද පත් කරන්න කියලා තියෙන්නේත් ජනාධිපතිතුමා කියලා ආරංචියි.' මන්ත්‍රිවරයකු කීවේය.

'පෙබරවාරි මුල නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේනවා කියලා ඒකෙන් රට කෑලි නවයකට කැඩෙනවා කියල පොහොට්ටු කල්ලියයි කඩේ යන ජනමාධ්‍යයි රට නොමඟ යවනවා මේ මහා බොරුවට ආණ්ඩුව උත්තර දෙන්නේ නැද්ද?' නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

'ව්‍යාජ ආණ්ඩුවයි ව්‍යාජ අගමැතියි බිමටම වැටුණු නිසා දැන් බොරු කියලා බුදු පිළිමත් කඩලා රට ගිනි තියන්න හදනවා. අපි නව ව්‍යවස්ථාවකට අදාළ විශේෂඥයන්ගේ වාර්තාවක් කැඳවල තියෙනවා. ඒ වාර්තාවයි මගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂවල අය ඉන්න කමිටු වාර්තාවයි දෙකම අපි ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරල දැන් කළ යුත්තේ මොකක් දැයි ව්‍යවස්ථා සභාවෙන් අහනවා.

බිල්ලො මවල රට නොමඟ යවන්න බෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලත් අපි අහනවා. රටේ ඒකීය බවට හා බුදු දහමට තියෙන තැන ඒ විදියටම රැකිය යුතුයි කියලා අපි ව්‍යවස්ථා සභාවට කරුණු කියනවා. ඒ නිසා පටු දේශපාලන වාසි ලබා ගන්න යමෙක් උත්සාහ කළොත් ඒ ඔවුන්ගේ බංකොලොත්කමයි' අගමැතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

ගින්දර දෙන කෙනෙක්
ගැන මහින්දගෙන් ඉඟියක්

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ට සෙත් පැතීමේ පින්කමක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවත්විණි. ජනාධිපති මෛත්‍රි, විපක්ෂ නායක මහින්ද, ඇමැති සජිත්, හර්ෂ ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ. මෙහිදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා මෙන්ම ඇමැති සජිත් ද සුහද කතාබහක නිරත වීම විශේෂයකි.

එම පින්කමේදී මහින්ද සහ හර්ෂ අතරද කතාබහක් ඇති වූ අතර ඒ දෙස සෙසු ආරාධිතයන්ද බලා සිටීම විශේෂත්වයකි.

පොල්තෙල් පහන දැල්වීමට යෑමේදී මහින්ද හර්ෂ දෙස බැලුවේය.

"හර්ෂ නම් ඉතින් හැමදාම ගින්දර දෙන එක තමයි කළේ නේද?" මහින්ද සිනාසෙමින් කීවේය.

"මම කාටවත් ගින්දර දීලා නෑ" හර්ෂ මහින්ද දෙස බලමින් කීවේය.

මේ අතර මහින්ද රාජපක්ෂ නව වසර උදාවීමට ප්‍රථම විශේෂ ආගමික වතාවත්වල යෙදුණේය. ඔහු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශීර්වාද ලබාගත්තේය. අනතුරු ව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමටද ගියේය.

පසුගිය ඉරිදා මහින්ද කතරගම දේවාලයේ විශේෂ ආගමික වතාවත්වල යෙදීමද විශේෂයකි. මේ සඳහා බිරිය ශිරන්ති රාජපක්ෂ, නාමල් ඇතුළු මන්ත්‍රි පිරිසක්ද එක්ව සිටියහ.

නෙලුම් මාවතේ දී බැසිල් කිව්ව අමුතු කතාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම ජනවාරි පළමුවැනිදා පෙරවරුවේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවත ප්‍රධාන කාර්යාලයේදී සිදු කළේය. මහ සංඝරත්නය ප්‍රමුඛ හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයන්ගේ ආශීර්වාදය මධ්‍යයේ ආරම්භ වුණු උත්සවයට පොහොට්ටුවේ සභාපති ජී.එල්. ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

අපි ඉතින් තුන්සිය හැටපස් දවසෙම වැඩනේ..'

පැමිණ සිටි සැමට ආචාර කළ බැසිල් සිනහමුසු මුහුණින් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූයේ එසේ කියමිනි.

සතුටු සාමීචී මැද තේ පැන් සංග්‍රහය බුක්ති විඳීමෙන් පසු නෙලුම් මාවතේ කාර්ය මණ්ඩලය සමඟ බැසිල් අලුත් අවුරුද්දේ පළමු රැස්වීමට එක්විය. නෙලුම් මාවතේ ප්‍රතිඥාව ලෙස නම් කර තිබුණු නව වසර සඳහා වූ ප්‍රතිඥාව ඉදිරිපත් කරමින් රැස්වීම ආරම්භ වීමද විශේෂයකි.

ප්‍රතිඥාවේ ලියැවී තිබුණු 'මේ විජයග්‍රහණයේ වසරයි' යන කොටස හැමෝම කිව්වේ උස් හඬකින්.

'ඔබ සියලු දෙනාම කිසිම ප්‍රතිලාභයකින් තොරව බොහෝම මහන්සිවෙලා වැඩ කරනවා. කාර්යාලයේ ඔක්කොම එක සභාවක වාඩි වුණාම මට ඔබව පේන්නේ ලස්සන මල් ඉත්තක් වගේ.. හැමෝම උත්සාහ කරන්න ඕන මේ මල් ඉත්තේ කටුවක් නොවී මලක් වෙන්න.'

බැසිල් කතාව පටන් ගත්තේ අමුතු තැනකින්. එය කාගේත් සිත්ගත් අවස්ථාවක් විය.

'මේ රටට අලුත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ වැටුණු රට ගොඩගන්න පුළුවන් අලුත්ම වැඩපිළිවෙළකට විතරයි. ඊළඟ ආණ්ඩුව භාරගන්න ඉන්න කණ්ඩායම වන අපෙන් මේ රට ඒ අලුත් වැඩපිළිවෙළ ඉල්ලනවා. අපි ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරමු.' බැසිල් තවදුරටත් කීවේය.

'දැන් මම හැමෝටම අවස්ථාව දෙනවා කතා කරන්න. හැබැයි දිග කතා පවත්තන්න බෑ. කෙටියෙන් කියන්න ඕන. නැත්නම් මේ ඔක්කොම කතා පවත්වලා ඉවර වෙනකොට අවුරුද්දත් ඉවර වෙලා තියෙයි.' බැසිල් කීවේ සැවොම සිනහ ගන්වමිනි.

ප්‍රසන්නගෙන් අර්ද ශතකයක්

ප්‍රසන්නගේ 51 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ ජනවාරි මස 01 වැනි දිනටය. එදින මධ්‍යම රාත්‍රියේ සිටම ප්‍රසන්නගේ දුරකථනයට විවේකයක් නොතිබුණේ සුබ පතන්නන්ගෙන් අඩුවක් නොවීම නිසාය. මැති ඇමැතිවරුන්, පාක්ෂිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ප්‍රසන්නට දුරකථනයෙන් සුබ පැතූහ. එදින ප්‍රසන්නට තවත් විශේෂිත දුරකථන ඇමතුමක් ආවේ මහින්දගෙනි.

"කොහොමද ප්‍රසන්න" මහින්ද ඇසුවේය.

"හොඳින් ඉන්නවා සර්" ප්‍රසන්න උත්තර දුන්නේය.

අනතුරුව ප්‍රසන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ මහින්ද දුරකථන ඇමතුම විසන්ධි කළේය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සහ නගර සභාව විසින් සංවිධාන කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ උත්සව දෙකකට ප්‍රසන්න සහභාගි විය. ඒ අතරතුර ඉන්දික, රණවීර, ලන්සා ඇතුළු පිරිසක් ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවෙසට පැමිණ සිටියේ ජනවරි පළමුවැනිදා මෙන්ම උපන් දිනයටද සුබපැතීමටය. ඔවුන් එහිදී සාකච්ඡා කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

"අලුත් අවුරුද්දකුත් ආවා. හැබැයි ආණ්ඩුවට තාමත් වැඩ පටන් ගන්න බැරිවෙලා තියෙනවා" රණවීර පැවැසීය.

"කොහෙ වැඩ පටන් ගන්නද දැන්මම ආණ්ඩුවේ කචල්, ඇමැතිකම්වලට මරා ගන්නවාලු අමාත්‍යාංශවලට මරා ගන්නවාලු" ප්‍රසන්න කීවේය.

"යූ.ඇන්.පී.ය ගෑවිච්ච තැන ඉවරයි. එයාලා හදපු එක ආණ්ඩුවක්වත් කචල් නැති ආණ්ඩු වුණේ නැහැ. දැන් යූ.ඇන්.පී.යේ කාලේ ඉවරයි" ලන්සා පෙන්වා දුන්නේය.

"හැමතැනම අවුල්. මේවා මොනවත් නැහැ ඡන්දයකට ගිහින් ජනතාවට වගකියන ආණ්ඩුවක් හදාගත්තා නම්" ප්‍රසන්න පැවැසීය.

"කොහෙද ඡන්දයක් කිව්වම කකුල් වෙව්ලන අයනේ ආණ්ඩුවේ ඉන්නේ" ලන්සා කීවේය.

කරු කිලිනොච්චි ගිය ගමන

කථානායක කරු නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් උතුරු ප්‍රදේශවල ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ඇමැතිවරුන් වන දයා ගමගේ සහ පාඨලී චම්පික සමඟ කිලිනොච්චිය බලා පිටත් විය. කථානායකවරයා සමඟ එම ගමනට රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සහන සේවා කටයුතු භාර නිලධාරීන් පිරිසක්ද එක් වූහ.

මුලින්ම කිලිනොච්චිය කච්චේරිය වෙත ගිය කථානායකවරයා ඇතුළු පිරිස සමඟ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයන් වන සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ශ්‍රීධරන් යන මන්ත්‍රිවරු ද එක් වූහ. කථානායකවරයා අදාළ ප්‍රදේශයේ හමුදා ආඥාපතිවරු අතුළු ආපදා සහන සේවා කටයුතු භාර සිවිල් නිලධාරීහුද කැඳවා පවතින තත්ත්වය සමාලෝචනය කළ අතර සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අවශ්‍යතා පිළිබඳවද විමසා සිටියේය.

කිලිනොච්චිය දිසාපති අරුමේනායගම් මහතා ඇතුළු හමුදා නිලධාරීහු ගං වතුරින් ඇතිවූ හානිය සහ සහන සැලසීමේ කටයුතු පිළිබඳව ඉතා මැනවින් කථානායකවරයා ඇතුළු පිරිස දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
අනතුරුව මුලතිව් කච්චේරිය වෙතද ගිය පිරිස එහිදීද රැස්වීමක් පවත්වා තත්ත්වය සමාලෝචනය කළහ. මුලතිව් දිසාපතිනි කේධීෂ්වරන් මහත්මියද මුලතිව් වෙත බලපෑ ගංවතුර තත්ත්වය පිළිබඳව මැනවින් කරුණු ගෙනහැර පෑවාය. මේ සඳහා පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව අමතමින් කථානායකවරයා කියා සිටියේ "මෙය සහන සේවා කටයුතු සොයා බැලීම සඳහා පැමිණි නිල ගමනකටත් වඩා උතුරේ ඔබ වෙත සහෝදරත්වය සහ මනුෂ්‍යත්වය පිරි ආදරණීය හැඟීම රැගෙන පැමිණි ගමනක්. සෑම විපතක දීම ඉදිරියේදීද අප ඔබ ළඟින්ම සිටින බව සහතික වෙනවා.

මා කුඩා කාලයේ දකුණේ ඇතිවුණු මහා ජල ගැලීම්වලදී උතුරේ සහෝදර ජනතාව විශාල ආධාර ලොරි පුරවා ගෙන දකුණට ආ හැටි මට මතකයි.

මෑතකදී කොළඹ ආශි්‍රතව ගං වතුර ඇති වූ අවස්ථාවේදී උතුරේ ජනතාව සහෝදරත්වයේ දෑත දිගු කළා. ඔබේ ප්‍රදේශයේ මේ ගංවතුර ඇති වූ අවස්ථාවේදීත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වගේම දකුණේ ඔබේ සහෝදර ජනතාවත් ඔබ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කැප වීම අප දුටුවා. එහිදී ඔබගේ ජනතා පාර්ලිමේන්තුවේ ඔබගේ නියෝජිතයන් අවශ්‍ය නායකත්වය සහ මඟපෙන්වීම ලබාදුන්නා. විශේෂයෙන්ම මෙම විපතේදී යුද හමුදාව ඉටු කළ අති විශිෂ්ට කාර්යභාරය සහෝදරත්වයේ හැඟීමට විශාල උත්තේජනයක් ලබාදුන්නා. එමෙන්ම තම යුතුකම් ඉටු කළ පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටත් මගේ ප්‍රණාමය පුද කරනවා" යැයි කථානායකවරයා කීවේය.

අලිමංකඩ සහ දේශපාලන මංකඩ ගැන සජිත් හෙළි කරයි

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ කාර්යබහුලව සිටියේ ඔක්තෝබර් මාසය අවසානයේදී මුළුමනින්ම අත්හිටුවනු ලැබූ උදා ගම්මාන වැඩසටහන යළි සක්‍රිය කරමින් 144, 145 සහ 146 වැනි උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කිරීම නිසාය. ඒ අනුව 144 වැනි උදා ගම්මානය වන පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, පහළ පුලියන්කුලමේ 'රන්වියන්පුර' 4 වැනිදාත්, 145 වැනි සහ 146 වැනි උදා ගම්මාන වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, ඉහළගම ඉදි වූ 'දිවිදිනුගම' සහ 'හිරුකිරණගම' 5 වැනිදාත් සජිත් අතින් විවෘත කෙරිණි. 'රන්වියන්පුර' ජනහමුවේදී ජනතාව ඇසුවේ 'අපේ රංගෙ බණ්ඩාර මහත්තයට ඇමැතිකමක් නැත්තෙ මොකෝ?' කියාය. සජිත් කීවේ 'රංගේ බණ්ඩාර මැතිතුමායි, මායි පාර්ලිමේන්තුවට ගියේ එකටයි. එතුමාට කැපිල්ලක් නෑ. එතුමා දක්ෂයි. මම එතුමාට අභියෝගයක් දෙනවා.

පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ උදා ගම්මාන 200ක් හදන්න' කියාය. රංගේ බණ්ඩාර කීවේ, 'අභියෝගය භාර ගන්නවා විතරක් නෙවෙයි. අදම වැඩේට බහිනවා' කියාය. 'රිවිදිනුගම' සහ 'හිරුකිරණගම' උදාගම්මාන දෙකේ නිවාස 50ටම චන්දිම ගමගේ මන්ත්‍රිවරයා සමඟ යමින් සිටියදී කතා බහට එක්වූ ජනතාව කීවේ 'සර් මෙතැන ගෙවල් 50ක් තිබෙනවා.

මේ පැත්තේ තවත් පවුල් දහස් ගාණක් ඉන්නවා කුලී ගෙවල්වල, බද්දට, කුලියට, මවුපියන්ගේ මහගෙදරය. ඒ අය ගැනත් බලන්න ඕනෑ. ගෙවල් හදන වැඩේ මෙතැනින් නවතිනවාද?' කියාය. සජිත් කීවේ 'මේ ගම්මාන දෙක හදන්න ගත්තෙත් අභියෝග මැද්දේ. මෙතැන අලි මංකඩක් කියලා මේ ගෙවල් හදන එක නතර කරන්නයි බැලුවේ. මේක දේශපාලන මංකඩක් කරගෙන ඉඩම් ටිකට විදින්නයි සමහරු මාන බැලුවේ. එහෙම වුණා නම් මේ උදා ගම්මාන දෙක අවලංගු වෙන්නයි තිබුණේ.' කියාය. මෙම ජනහමුව රසවත් කිරීමට ගායන ශිල්පියකු සහ ශිල්පිනියක්ද සහභාගි වී සිටීම විශේෂයක් විය. එනම්, දයාරත්න පෙරේරා සහ නිර්මලා රණතුංගයි. උදා ගම්මාන වැඩපිළිවෙළ හරහා මෙවැනි සංස්කෘතික වැඩසටහන් තව තවත් ජනතාව අතර රැගෙන යෑමට සජිත් අදහස් කරයි.

හිස්බුල්ලා වෙනුවට
ශාන්ත බණ්ඩාර

නව ආණ්ඩුකාරවරුන් පස්දෙනෙකු සිකුරාදා දිවුරුම් දුන්නේය. ඒ අතර හිටපු ආණ්ඩුකාරවරුන් කිසිවෙකුත් නොසිටීමද විශේෂත්වයකි. නව ආණුඩුකාරවරුන් අතර හිටපු මහ ඇමතිවරුන් දෙදෙනෙකුද වෙති. ඒ පේෂල සහ සරත් ඒකනායකයි. පේෂල වයඹටත් සරත් ඒකනායක උතුරු මැදටත් පත්කර ඇත. මෛත්‍රි ගුණරත්න මධ්‍යමටද අසාද් සාලි කොළඹටද හිස්බුල්ලා නැගෙනහිරටද පත්කර තිබේ.

ආණ්ඩුකාර ධුරයක් ලැබීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූ හිස්බුල්ලා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා ජනාධිපති මහජන කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නියමිතය.

ශාන්ත බණ්ඩාර මහතා ලබන පාර්ලිමේන්තු සභා වාරය රැස්වන 08 වැනිදා හෝ 09 වැනිදා සිය මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර විසින් නව පත්කිරීම ගැන මැතිවරණ කොමිසම් සභාව වෙත දැනුම් දී ඇත.

1997 වසරේ අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ලෙස දේශපාලනයට පිවිසි ශාන්ත බණ්ඩාර මහතා 2002 වසරේ එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ලෙස පත්විය.

2004 වසරේ පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස වයඹ පළාත් සභාවට තේරී පත් වූ ශාන්ත බණ්ඩාර මහතා 2009 වසරේ එම පළාතේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත්විය.

2010 පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ ඒ මහතා 2015 වසරේ දින 100 ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය.

එම වසරේම පැවැති මහ මැතිවරණයෙන් මනාප 42,823ක් ලැබූ ශාන්ත බණ්ඩාර මහතා මනාප 131ක් අඩු වීම හේතුවෙන් පරාජයට පත්විය.

අනතුරුව ජනාධිපති මහජන කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්වූ හෙතෙම ලංකා දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

දඹදෙණිය ආසනයේ ශ්‍රී ල.නි.ප. සංවිධායක ලෙස කටයුතු කරන ශාන්ත බණ්ඩාර මහතා එම පක්‍ෂයේ තරුණ පෙරමුණ සභාපතිවරයාද වේ.

ව්‍යවස්ථාව ගැන බිල්ලෝ

පසුගිය දිනවල සිදු වූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ සංවාදය මැකී යමින් තිබියදී මේ දිනවල මාතෘකාව බවට පත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගැනය. ඇතැම්හු කියා සිටින්නේ එය ෆෙඩරල් හා රට බෙදන ව්‍යවස්ථාවක් බවය. තවත් පිරිසකට මර උගුලකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු ජවිපෙටත් චෝදනාවක් එල්ල කරති. ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය පළමුවැනිදා රැස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළහ. 'සුමන්තිරන් කියල තිබුණා පෙබරවාරි 4ට කලින් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපිවත් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඒක අල්ලගෙන ජවිපෙට ගහන්න පටන් අරගෙන.' බිමල් රත්නායක කීවේය.

'අපේ රටේ බොරු බිල්ලෝ මවන කණ්ඩායමක් ඉන්නවා. රාජපක්ෂ කණ්ඩායමට ජාතිවාදය නැතිව දේශපාලනයක් නෑ. ඒ අය තමයි මේ බොරු මත හදන්නේ. ජවිපෙ රට බෙදන යෝජනා ගේන හැමවෙලාවෙම පාරට බැහැලා ඒවා පැරද්දුවා. ඒවා දේශපාලනය ගැන අවබෝධයක් තියෙන ජනතාව දන්වා. පැකේජයට එරෙහිව මුලින්ම පාරට බැස්සේ අපි. සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව ඇමැතිකම් දාලා ආණ්ඩුවෙන් එළියට බැස්සා. සමහරු ඇඳන් යට හැංගිලා ඉන්නකොට උතුරු නැඟෙනහිර වෙන්කරන්න නඩු කීව්වේ අපි. ඒ නිසා රට බෙදන යෝජනාවලට අපි විරුද්ධයි කියලා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැමදාමත් ජවිපෙට මඩ ගහන අය අලුත් විදියට මඩ අවලාද පොම්ප කරනවා' ටිල්වින් සිල්වා කියා සිටියේය.

'නව ව්‍යවස්ථාවක් ඕනෑ කියන එක අපි ඉන්න ස්ථාවරය. 78 ජේ.ආර්. ගෙ ව්‍යවස්ථාව වෙනුවට සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු ව්‍යවස්ථාවක් දැන් රටට ඕනෑ. නමුත් රනිල්ගෙ, සුමන්තිරන්ගෙ හෝ මහින්දගේ ඔළුවේ ඇතිවෙන හිතලුවලට අනුව ව්‍යවස්ථා හදන්න බැහැ. පාර්ලිමේන්තුවේ 2016 යෝජනා කළේ මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරන්න. ඒ අනුව තමයි ක්‍රමවේදය සකස් වෙන්නේ. මහින්දගේ කණ්ඩායමත් ඒකෙ ඉන්නවා. විශාල ක්‍රියාවලියක් තියෙනවා. අඩුම තරමේ තවම කෙටුම්පතක්වත් නැහැ.

ඒක හැදුවත් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනෑ. මහින්දගෙ කණ්ඩායම නැතිව 2/3ක් ගන්නත් බැහැ. ජනමත විචාරණයක් ඕනෑ. එහෙම තියෙද්දී බොරු බිල්ලෝ මවනවා. කනගාටුවට කරුණ බොරු සමාජගත කරන්න මාධ්‍යයත් හවුල් වෙන එකයි.' අනුර දිසානායක කීවේය. 'කුමන්ත්‍රණ කරලා කුජීත වෙලා ඉන්න රාජපක්ෂ කණ්ඩායම දැන් පරාජය වහගන්න ජාතිවාදය වපුරනවා දකුණේ. ඒකට හරියන්න උතුරේ කණ්ඩායම් ජාතිවාදී ප්‍රකාශ කරනවා. මේ අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. 2019 මැතිවරණ වසරක් නිසා ඡන්ද ගොඩ වැඩිකරගන්න හදන්නේ ජාතිවාදය වපුරලා.'

සුනිල් හඳුන්නෙත්ති කීවේය. 'අපේ රටේ මාධ්‍යයත් වගකීමෙන් වාර්තා කරන්න ඕනෑ. ඇතැම් දේශපාලන කණ්ඩායම් කියන ඕනෑම බොරුවක් ප්‍රචාරය කරන්න ගියාම බොරු මතයක් තමයි සමාජගත වෙන්නේ. අද ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගිහින්. ව්‍යාජ ප්‍රශ්න වොයිස්කට්වලින් ප්‍රශ්න බවට පත් කරනවා. ඒ නිසා අපේ අරමුණ විය යුත්තේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න උඩට ගන්න එකයි. මේ අවුරුද්දට අය - වැයක් නැහැ. වැටුප් වැඩිවීම් නැහැ. ගොවියාගේ ධීවරයාගේ ප්‍රශ්න කතා කෙරෙන්නේ නැහැ. බොරු මාධ්‍ය සන්දර්ශන ටිකක් විතරයි පේන්න තියෙන්නේ.' ලාල්කාන්ත කියා සිටියේය.

ආණ්ඩු කුමන්ත්‍රණ අස්සේ 'ගුරුගෙදර' කුමන්ත්‍රණයත් පරාදයි

'පක්ෂය මැදිහත් වෙලා රටේ ක්‍රමන්ත්‍රණය පරද්දනකොට ගුරු සංගමය 'ගුරුගෙදර' කුමන්ත්‍රණයත් පරාජය කළා' ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ විජිත හේරත්ට මෙසේ පැවැසුවේ 'ගුරුගෙදර' සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් අතරතුරය.

'ගුරුගෙදර' හෙවත් අධ්‍යාපන සේවා වෘත්තිකයන්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ පාලනය හොබවන්නේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරුසේවා සංගමය විසිනි. එහි 2016 පැවැති ඡන්දයෙන් දෙවැනි වරටත් ලංකා ගුරු සේවා සංගමය 90% අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාලන බලය දිනාගන්නා ලදී.

කෙසේ වෙතත් පළමු වතාවේ 2009දී ඡන්දයෙන් බලයට පත් ලංකා ගුරුසේවා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 2011 බලහත්කාරයෙන් සමුපකාර සමිතිය පවරාගත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ වෙළෙඳ ඇමැති වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

ඔහු විසින් පත් කළ අතුරුපාලක මණ්ඩලය 2016 දක්වා ගුරුගෙදර පාලනය කළහ. අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ වර්තමානයේ පොදුජන පෙරමුණේ ලේකම්වරයා බවද පැවැසේ. එවකට මිලියන 500ක පමණ ආදායමක් ලැබූ ගුරුගෙදර ආදායම් මට්ටමද පහළ දැමූ අතුරු පාලක මණ්ඩලය වංචා, දූෂණ නාස්තියෙන් විශාල මුදලක් ගුරුගෙදරට අහිමි කර තිබේ. කෙසේ වෙතත් 2016න් පසුව බලය ලබාගත් ගුරුසේවා සංගමය 2011 සිට 2016 දක්වා ගුරුගෙදර සිදු වූ වංචා, දූෂණ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යෑම ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ හිටපු සභාපතිනිය ලවා නඩුවක් ගොනු කොට ගුරුගෙදර වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය වාරණය කරන ලදී.

නමුත් ලංකා ගුරු සේවා සංගමය විසින් කරුණු දැක්වීමෙන් පසුව අධිකරණය විසින් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා තිබූ වාරණය ඉවත් කරන ලදී. දැන් ලංකා ගුරු සේවා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය නැවත පාලන කටයුතු ආරම්භ කර ඇති අතර රාජපක්ෂ කණ්ඩායම අවලාද ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. 'බලාගෙන ගියාම ආණ්ඩු ගන්නත් කුමන්ත්‍රණ කළේ රාජපක්ෂ කණ්ඩායම. ගුරුගෙදර බලය ගන්නත්, ජවිපෙ සමිතියට මඩ ගහන්නත් කුමන්ත්‍රණ කරන්නේ රාජපක්ෂ කණ්ඩායම.' විජිත හේරත් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon