වන සපු මල් සුවඳ දිගේ වන අරණේ තනි වුණා මුදලාලිගේ හොර සීලේ අනේ අතට අහුවුණා

  👤  3110 readers have read this article !
2019-01-06

ගුණපාල මහතාට මුලින්ම ගුරු පත්වීමක් ලැබුණේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක තිබූ කනිටු විදුහලකටය. ප්‍රදේශය කොතරම් දුෂ්කර වුවත් ගුරුවරුන්ට ලැගුම්ගැනීම සඳහා පාසල් පරිශ්‍රය තුළම ගුරු නිවාස දෙකක් තිබිණි. මුල්ගුරු නිවාසයත් උප ගුරු නිවාසයත්ය. මුල් ගුරු නිවාසයේ ලැගුම් ගෙන සිටි විදුහල්පති සිල්වා මහතා වයස අවුරුදු 45ක් තරම් වූ තනිකඩයෙකි. එතුමාගේ උපන් ගමද ගම්පහ ප්‍රදේශයේ වූ බැවින් ගම්පහ ප්‍රදේශයේම වූ ගුණපාලට ගුරු නිවාසයේ ලැගුම් ගැනීමට සිදුවීම විදුහල්පතිතුමාගේ බලවත් සතුටට හේතුවක් විය.

විදුහල්පති සිල්වා මහතා තනිපංගලමේ සිටි කෙනකු බැවින් කෑම බීම සපයා ගත්තේ කිට්ටුව තිබූ සිල්ලර කඩයකිනි. මේ නිසා ගුණපාල මහතාටද එතැනින්ම කෑම, බීම සපයා ගැනීමට සිදුවිය. දැන් කෑම වෙලාවට කෑම ගැනීම සඳහා දෙදෙනාම යන්නේ ඒ සිල්ලර කඩයටයි. ටික දිනකින්ම විදුහල්පති සිල්වා මහතා මෙන්ම කඩේ මුදලාලිද ගුණපාල මහතාගේ හොඳම හිතවත්තු බවට පත්වූහ. වටපිටාවේ කවුරුත් කීවේ කඩේ මුදලාලි යහපත් කෙනකු බවයි. සෑම පෝයකටම අටසිල් සමාදන් වන මුදලාලි නිතර ආශ්‍රය කළේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය. මුදලාලි මස් මාළු කන්නේද නැත. ඒත් ඉස්කෝලේ මහත්වරු දෙදෙනාගේ කෑම සඳහා නම් මස්, මාළු වැරදුණේම නැත. මුදලාලි මස්, මාළු පවා නොකන සිල්වතකු වුවත් විදුහල්පති සිල්වා මහතා නම් විනෝදකාමී හැඩිදැඩි පුද්ගලයෙකි. ඔහුගේ හොඳම විනෝදාංශය වූයේ මහ කැලේ දඩයමේ යෑමයි. බොහෝ විට දඩයමේ යෑම සඳහා ගුණපාල මහතාවද එක්කර ගැනීම විදුහල්පතිතුමාගේ සිරිත විය.

දිනක් විදුහල්පතිතුමා ගුණපාල මහතාවද කැටුව මහ වනය තුළට ඇතුළු වූයේ දඩයමක් කර ගැනීමේ අරමුණ ඇතිවය. කැලෑවේ බොහෝ දුරක් ඇවිදගෙන ගියත් සතෙක් දඩයම් කර ගැනීමට නොලැබුණු බැවින් මේ දෙදෙනාට තව තවත් කැලය තුළ ගමන් කරන්නට සිදුවිය. ඒත් සතෙක් මුණ නොගැසුණු නිසා බැරිම තැන ආපිට හැරුණේ පාසලට යෑම සඳහාය.

මෙසේ ටික දුරක් පැමිණි ලොකු මහතා පාර වැරදී ඇති බව ගුණපාල මහතාට කීවේ තරමක් බියපත් ස්වරයෙනි. දෙදෙනාම කැලේ අතරමංව ඇති බව වැටහුණේ එවිටය. කැලේට වැදුණු අවස්ථාවේ සිට ලොකු මහතා පිහියකින් ගස්වලට පොතු ගැලවෙන සේ කොට කොට ආවත් ඒ එක ගසක්වත් දැන් දකින්නට නැත. ජනාවාසයකින් නැඟෙන කිසිම ශබ්දයක් නැත. වාහනයක නළා හඬක්වත් ඇසෙන්නේ නැත. ලොකු මහත්තයා උස ගසක් මුදුනටම නැඟ අෑත පෙනෙන වටපිටාව ගැන විමසා බැලුවත් කිසිම හෝඩුවාවක් දැකගත නොහැකි විය.

දැන් මේ දෙදෙනාට ඇත්තේ ලොමු දැහැගැන්වෙන තරමේ බියකි. කෙසේ හෝ පාර සොයාගෙන ආපසු යන්නට නොහැකි වුවහොත් දෙන්නාටම සිදුවිය හැක්කේ මහා විනාශයකි. හසරක් නොදැන මෙසේ මහ වනයේ ඇවිදිද්දී ගෝන, මුව ආදී සතුන් දැකගන්නට ලැබුණත් ඔවුන් දඩයම් කර ගැනීමේ ආශාවක් කොහෙත්ම නැත. පිපාසය හා බඩගින්නද තදින් දැනුණත් කළ හැකි කිසිවක් නොවීය. බියපත් වීම නිසා සිරුරු ගැහෙන්නට ගත්තත් හව්හරණක් නොදුටු මේ දෙදෙනාට හදිස්සියේම දකින්නට ලැබුණේ හෙළිපෙහෙළි කර ඇති හේන් බිමකි.

ඒ දැක අතිෂයින් සතුටට පත් දෙදෙනා හේනට කිට්ටු වී බැලූ විට දකින්නට ලැබුණේ එහි වගා කර තිබුණේ බඩඉරිඟු බවය. ඇති යන්තම් බේරුණා යැයි සිතූ දෙදෙනා ඉරිඟු මණ්ඩියට ඇතුළු වී තව ටිකක් අෑතින් බලන විට හේන මැද වගාකර තිබුණේ ගංජා පැළ බව දුටුවේය. වටින් ඉරිඟු සිටුවා තිබුණත් මෙය නම් ගංජා වගාවකි. මෙවැනි ගංජා වගාවක් පිටස්තරයකු දුටුවහොත් හේනෙ හිමියා කෙසේ හෝ ඔහුව මරා දමන බව මේ දෙදෙනාම අසා ඇත. ඒ නිසා මේ දෙදෙනාට ඇතිවූයේ කබලෙන් ළිපට වැටුණා වැනි හැඟීමකි. එසැණින්ම ඔවුන්ට ඇසුණේ මිනිස් කටහඬකි. කන්දුන් විට ලොකු සර්! ලොකු සර්!! යැයි කිසිවකු කතා කරන බව වටහාගත් මේ දෙදෙනාට දකින්නට ලැබුණේ රූස්ස ගසක ඉහළ අතු අතර සාදා තිබූ පැල්කොටයකින් පහළට එල්ලී තිබූ ඉණිමඟක් දිගේ පහළට බසින කොලු ගැටයෙකි. හොඳින් බලන විට මේ බිමට බසින්නේ පාසලේ 10 වසරේ ඉගෙන ගන්නා සුගත් බව හඳුනාගත හැකි විය. ඇස් අදහාගත නොහැකි තරමේ විමතියකට පත් මේ දෙදෙනා කට අයා බලා සිටිද්දී කතා කළ සුගත් "සර්ලා කොහේ යනවා දැයි" ඇසුවේ බියපත් ආකාරයකිනි. උත්තර දුන් ලොකු මහත්තයා "අපිට පාර වැරදිලා කැලේ අතරමං වුණා" කියා කීවේ දැඩි කම්පනයකිනි.

මට සර්ලට පාර පෙන්නන්න එක්ක යන්න බැහැ. මුදලාලි එනකොට මම මෙතැන ඉන්න ඕන. මේ හේන පිට කවුරුත් දකිනවට අපේ මුදලාලි කැමැති නෑ. සර්ලා පුළුවන් තරම් ඉක්මනින් මෙන්න මේ පැත්තට කෙළින්ම කොයි පැත්තට වත් නොහැරී කෙළින්ම ගියොත් තව හැතැප්ම දෙකකින් විතර පුංචි බණ්ඩයියාගේ ඉරිඟු හේන හම්බ වෙනවා. ඒ හේනට ගියාම කිසිම කරදරයක් නැතිව ඉස්කෝලෙට යන්ඩ පුංචි බණ්ඩයියා පාර පෙන්නයි" කියා කොළුවා අත දික්කර පාර පෙන්වීය. තවදුරටත් කතා කළ සුගත් අර මුදලාලි දැන් එනවත් ඇති කියා කීවේ තැතිගත් ස්වරයකිනි. අවස්ථාවේ බිහිසුණුකම වටහා ගත් මේ දෙදෙනා සුගත් අත දික්කර පෙන්වූ දිශාවට ගමන් කරන්නට පටන් ගත්තේය. එදිශාවට සැතපුමක් පමණ දුර යන විට තුවක්කුවක්ද අතැතිව පිටේ එල්ලා ගත් බඩු පොදියක්ද සහිතව කැලෑව අතරින් එන යමකු දකින්නට ලැබිණි. මඟහැරිය නොහැකි වූයෙන් ඉදිරියට ගිය මේ දෙදෙනා දුටුවේ නෙත් අදහා ගත නොහැකි දර්ශනයකි. ඒ වෙන මුදලාලි කෙනෙක් නොව කෑම කන සිල්ලර කඩේ මුදලාලිය. අප හැඳිනගත් මුදලාලි පුදුමයෙන් අප දෙස බලා "මහත්තේලා මේ කොහෙද යන්නේ" යැයි ඇසුවේ සැඟවෙන්නට තැනක් නොවූ නිසාය.

"අපි මොර කඩන්න හිතාගෙනයි ආවේ" ඒත් පාර වැරදීලා අතරමං වෙලා ඉන්නකොටයි මුදලාලි දැක්කේ."

"ආ බය වෙන්න කාරියක් නෑ තව ටිකක් දුර ඔය පැත්තටම යන කොට පුංචි බණ්ඩාගේ බඩඉරිඟු හේන හම්බ වෙයි. ඊට පස්සේ ඉස්කෝලේට ගියා වගේම තමයි.
"එහෙම නම් කමක් නැහැ" ඒක නෙවෙයි "මුදලාලි මේ කොහෙද යන්නේ"

"අනේ මහත්තයෝ මම මේ බිං කොහොඹ පැළ ටිකක් හොයා ගන්ඩ තමා ආවේ. මේ හරියේ වලස්සු විමානේ. මහත්තේලා ඉක්මනට යන්ඩ. මම බිං කොහොඹ ටිකක් හොයාගෙනම එන්නං"
බිං කොහොඹ හොයන්නට යනවා කිව්වත් මේ යන්නේ නම් ගංජා හේනටම බව ඉස්කෝලේ මහත්තුරුන්ට රහසක් වූයේ නැත. උපාසක බළල්ලුන් මීයෝ අල්ලනවලු නේද?

සත්‍ය සිද්ධියකි.
නම් ගම් මන:කල්පිතයි

විශ්‍රාමික විදුහල්පති තල්ගහහේනේ විනී වරුසප්පෙරුම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon