සඳක් මෙන් බැබළුණු ලොවක් මන්මත් කරවූ දෙවඟනක් වගේ ලස්සන මධුබාලා

  👤  3225 readers have read this article !
2019-01-06

කුඩා කාලයේදීම දෛවෝපගතව මෙන් සිනමාවට අවතීර්ණ වූ නිළියන් අතරින් ඉදිරියට විත් භාරත සිනමාව හැඩ කළ අය අතර මධුබාලාට හිමියන්නේ මුල් තැනකි. එහෙත් ඇයගේ ගමන පටන් ගැනෙන්නේ දුක් කම්කටොලු රැසක් මැදිනි. කුඩා කල ඒ තරම්ම දුකක් වින්ද ප්‍රමුඛතම නිළියක් ඇත්දැයි සිතෙන තරමට මධුබාලාගේ ළමා කාලය දුක්බර එකක් වූයේය.

1933 පෙබරවාරි 14දා සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක "මුම්ටාස් ජෙහාන් බේගම් දෙල්ලාවි" යන නමින් උපත ලද ඇයට සොයුරු සොයුරියන් 10 දෙනෙකි. එදා පෙෂාවෝර් නිම්නයේ සිට දිල්ලියට පැමිණි සිය පියාට කළ රැකියාව අහිමි වීම නිසා මධුගේ පවුල අන්ත අසරණ අඩියකට වැටිණි. එහිදී හදිසි ගින්නකට හසුවූ ඇගේ සොයුරියන් තිදෙනකු හා සොයුරන් දෙදෙනකුද මියගියේ අවාසනාවන්ත ලෙසය. මධුබාලා බේරුණේ ඒ මොහොතේ පිටතට ගොස් සිටි නිසාවෙනි. ජීවත්වීමට රැකියාවක් සොයා බොම්බායේ චිත්‍රාගාර වෙත පියා සමඟ පැමිණි ඒ ගමන ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවටම පත්වූයේය. වයස අවුරුදු 9ක මේ පුංචි කෙල්ලට ළමා චරිත රඟපාන්නට ලැබීමෙන් යම් මුදලක් උපයාගන්නට හැකිවීම අසරණව සිටි සිය පවුලම ජීවත් කරවන්නට මහත් උපකාරී වූයේය.

ඇය පසු කලෙක ඒ අතීත කටුක බව ගැන කීවේ මෙලෙසය.

"මට උර්දු, හින්දි කතා කළ හැකිව තිබුණත් ඉංග්‍රීසි වචනයක්වත් දැන සිටියේ නෑ. නමුත් මට ඒක ඉගෙන ගන්න වුණා. මගේ් කුඩා කාලයේදී මම කොහේවත් සංචාරය කරලා තිබ්බේ නෑ. විසිතුරු ඇඳුම්, මාල, වළලු හීනයක් වුණා. අතමිට හිඟයි. නමුත් දෙවියන් ඒ හැමදේම මට දැන් දීලා. මම දැන් හරිම සතුටෙන්"

ඇයගේ ප්‍රථම රංගනය 1942 තිරගතවූයේ "බසාන්ට්"ය. එහි ඇය මුම්ටාස් ශාන්ති නම් නිළියගේ දුවණිය ලෙස රඟ පෑවාය. "බේබි මුම්ටාස්" ලෙස ඒ කළ රංගනය මතක සිටින්නක් විය. "බසාන්ට්" චිත්‍රපටයද ඉහළ ආදායමක් ඉපැයූ අතර වයස අවුරුදු 9ක්වූ ඇය ළමා නිළියක් ලෙස ඉන් ප්‍රකට වීම නිසාවෙන් බොම්බායේ චිත්‍රාගාර තුළ රූගැන්වූ චිත්‍රපට බොහෝමයක රඟපාන්නට තෝරා ගැනීම ඇගේ වාසනාවක්ම විය.

මෙකල තවත් ළමා නිළියක්ද වූ අතර මේ චිත්‍රාගාර කිහිපය අතර රැඳෙමින් ඇයද රඟපාමින් සිටියාය. මධුබාලාව සොයා පැමිණි ආගන්තුක අනෙක් ළමා නිළිය පසුකලෙක ජනප්‍රියම නිළියක් වූ මීනා කුමාරි නම් වූ නිළිය වීම දෛවෝපගත සිදුවීමක්ම විය. මධු, මීනා කුමාරිගේ රසිකාවියක්ද වීම නිසා මේ දෙදෙනාගේ මිතුදමද වැඩිවිය. මධුබාලාටද ළමා නිළියක ලෙස චිත්‍රපට පෝලිමට රඟපාන්නට ලැබුණේ මේ අතරය. ඒවා නම් "දත්තා බගත් (1945), පූජාරි (1946), පුල්වාරි (1946), රාජ්පුටානි (1946)" ය. මේ අතර පුල්වාරි චිත්‍රපටය ඉතා සාර්ථක වූයේය.

එවක ජනප්‍රිය නිළියක හා චිත්‍රපට නිෂ්පාදකවරියකද වූ දේවිකා රාණි බේබි මුම්ටාස්ගේ නම චිත්‍රපට සඳහා ගැළපෙන්නේ නැති බව පවසා වෙනස් කොට මධුබාලා ලෙස නම් කරන්නේ ඉන්පසුවය. මෙසේ යද්දී මධුබාලාට වයස අවුරුදු 14දී ප්‍රධාන චරිතයක් රඟපාන්නට ලැබුණේය. ඒ 1947 තිරගත වූ රාජ් කපූර් නම් දැවැන්තයාද රඟපෑ නීල් කමල් චිත්‍රපටයයි. නීල් කමල් චිත්‍රපටය බේබි මුම්ටාස් ලෙස ඇය රඟපෑ අවසන් චිත්‍රපටය විය.

මේ වෙද්දී මධුබාලා තරු ගොන්නට ළං වූ ජනප්‍රිය චරිතයක්ව සිටි නිසා යෙදූ නමද ඇයට අගේටම ගැළපුණේය. 1949 වසර ඇය ප්‍රධාන නිළියගේ රංගාවරණයට බෞතිස්ම ලද වසර වූයේය. ඒ 1949 තිරගත වූ මහල් චිත්‍රපටයයි. ඇය එහි රඟපෑවේ එවක ජනප්‍රිය නිළියක වූ සුරෙය්යා සමඟය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ කමල් අම්රෝහි ඇය තෝරා ගත්තේද තිර පරීක්ෂණයකින් පසුව වන අතර චිත්‍රපටයද අති සාර්ථක වූයේය. මේ හැරවුම නිසාම මධුට චිත්‍රපට ලැබුණේ එක විටය. ඒ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ "දුලාරි (1949) බෙකාසුර් (1950), තරානා (1951) සහ බාදල් (1951)" ය.

මධුබාලාගේ රූපය හොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි මැර්ලින් මොන්රෝට සමාන බවත් ඇය වඩාත් ගැළපෙන්නේ බටහිර සිනමාවට බවත් පැවැසූවෙක් විය. ඒ ජේම්ස් බෘෘක් නම් ඡායාරූප ශිල්පියාය. ඔහු ලයිෆ් සඟරාවට ඇයගේ රුවක් තෝරා ගනිමින් එය පළ කළේය. පසුව  Theatre Arts  සඟරාවේ ඇයගේ ලිපියක් කියැවූ ඇකඩමි සම්මානයෙන් පුද ලද ඇමෙරිකානු අධ්‍යක්ෂවරයකු වූ Frank Capra ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලට පැමිණි අවස්ථාවේ හොලිවුඩ් චිත්‍රපටයකට ඇයට ඇරයුම් කළද මධුබාලාගේ පියාගේ විරෝධය මත එය එසැණින්ම වැළැකී ගියේය.

ඇය රඟපෑ මහල් චිත්‍රපටය අති සාර්ථක වූයේ එය භාරත සිනමාවේ පළමු පුනරුත්පත්ති කතාවක් වීමද නිසාය. ලතා මංගේෂ්කාර් නම් ජනප්‍රිය ගායිකාව ගයන "අයෙගා ආනේවාලා......... අයෙගා" ගීතය අදටත් ජනප්‍රියයි. ඇය රඟපෑ දුලාරිද අතිශය ජනාදරයට පත්කර වන්නක් විය.

එහිදී ඇය ගීතාබාලි සමඟ රඟපෑවාය. එහි රාෆි ගයන "සුභානි රාත් ඩල් චුකී" ගීය අමරණීයම ගීයක් වූයේය. දුලාරි කෙතෙක් ජනප්‍රිය වීද යතොත් 1958දී තෙලිඟු බසටද හැරවුණේය.

ඇය ඉතා වාසනාවන්ත තැනැත්තියකි. ඇය හා ප්‍රධාන චරිත රඟපෑවේ ජනප්‍රියම නළුවන්ය. ඒ අශෝක් කුමාර්, රාජ් කපූර්, රෙහ්මාන්, ප්‍රදීප් කුමාර්, ෂම්මි කපූර්, දිලිප් කුමාර්, සුනිල් දත් හා දේව් ආනන්දය. ඇයට කරට කර රඟපාන්නට ලැබුණේ ජනප්‍රියම නිළියන් වූ කාමිණී කෞෂාල්, සුරෙය්යා, ගීතා බාලී, නාලිනී ජෙයවන්ත්, ශ්‍යාමා සහ නිම්මිය. ඇයව අධ්‍යක්ෂණය කළේද ප්‍රමුඛම චිත්‍රපට අධ්‍යක්ෂවරුය.


ඒ මොහෙබුබ් ඛාන් (අමර්), ගුරුදත් (මිස්ටර් ඇන්ඩ් මිසිස් 55), කමල් අම්රෝහි (මහල්), කේ අසිෆ් (මෝගල් ඊ අසාම්) වැනිය වුන්ය. මධුබාලා චිත්‍රපට නිෂ්පාදිකාවකද වූවාය. ඒ "නාටා" (1955) සහ මාලෝන් කේ. කවාබ් (1960) යන චිත්‍රපට දෙකය.

මධුබාලා රඟපෑ මෝගල් ඊ. අසාම් චිත්‍රපටයේ ප්‍යාර් කියාතෝ දර්නා ගීතය අදටත් අමරණීයය. ඇයගේ විවාහ දිවිය එතරම් සාර්ථක එකක් නොවීය. චල්තේ කා නාම් ගාදි හි ඇය හා රඟපෑ කිෂෝර් කුමාර් හා ඇය විවාහ වෙද්දී ඇයට වයස අවුරුදු 27කි. දිලිප් කුමාර් හා පෙමින් වෙළී උන්නද ඔහු ඇයව විවාහ කර නොගැනීම නිසා කිෂෝර් හා විවාහ වීමට තීරණය කළ බවටත් පුවත් එමටය.

හින්දු චාරිත්‍ර අනුව කිෂෝර් ඇයව විවාහ කර ගත්තේ වුව ඔහුගේ මවුපියන් ඇය මිය යන තුරුම පිළිගත්තේ නැත. විවාහයෙන් පසු මධුසමය ගත කරන්නට දෙදෙනාම ලන්ඩනයට ගිය අතර රෝගී වූ මධුබාලා පරීක්ෂා කළ වෛද්‍යවරයකු ඇයට පැවැසුවේ ඇය තවත් වසර 2ක් පමණක් ජීවත් වන බවය. කිෂෝර් රෝගී ඇය අත්හැර දැමූ අතර එයින් වේදනාවෙන්ම ඇය මිය ගියාය. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 36ක් විය.

සජිත් රෝහණ ලියනගේ 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon