විශ්වාසභංගය පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ කැපූ හූනියම

  👤  3144 readers have read this article !
2019-01-06

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගත් අයෙක් එම ධුරය සඳහා නැවත වරක් තෝරා ගැනීම සුදුසු නොවන බවයි. දෙවරක් විධායක ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන 1988දී ඒ බව එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී මතකයට නඟමින් ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ආර්. ප්‍රේමදාස බව පැවැසුවේය.

මේ වන විටත් රටේ පැවැතියේ නොසන්සුන් වාතාවරණයකි.

ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කර තිබිණි. 1988 නොවැම්බර් 10 වැනිදා මෙරට දෙවැනි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනිණි.
ඒ සඳහා එජාපයෙන් ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලනිපයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔස්වින් අභයගුණසේකර යන තිදෙනා නාම යෝජනා භාර දුන්හ.
අනාරක්ෂිත හා අවිනිශ්චිතභාවය මැද 1988 දෙසැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විණි. ඡන්ද 25,69,199ක් ලබා ගනිමින් ඉන් ජය ගත්තේ ආර්. ප්‍රේමදාස මහතාය. ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුවක් සඳහා මහ මැතිවරණයක් පැවැත්වුණේ 1989 පෙබරවාරි 15 වැනිදාය.

1991දී ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි සැපයීම පිළිබඳ චෝදනා නඟමිනි. අනතුරුව ජනාධිපතිවරයාට දෝෂාභියෝග යෝජනාවක්ද ගෙන ආවේය. මේ නිසා කල් දැමුණු පාර්ලිමේන්තු සැසිවාරය, දෙවැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභා වාරය ලෙසින් 1991 සැප්තැම්බරයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අතින් විවෘත වූයේ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතා හා ඝෝෂා මධ්‍යයේය. පාර්ලිමේන්තු සැසි වාරයක් විවෘත කිරීමේ මංගල රැස්වීමකදී මෙවැන්නක් සිදුවූ මුල්ම අවස්ථාව මෙය විය.

පෙරවරු 10.34ට සභා ගැබට මන්ත්‍රිවරුන් කැඳවන සීනුව නාද වූ පසු ලලිත් - ගාමිණී කණ්ඩායම හැර ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රිවරු පැමිණ අසුන් ගත්හ. විපක්ෂයේ දෙමළ මන්ත්‍රිවරුන් දෙදෙනකු හා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරුන්ද පැමිණ අසුන් ගත් අතර විපක්ෂයේ අනෙක් අසුන් හිස්ව පැවැතිණි. පෙරවරු 10.39ට නියෝජ්‍ය වේත්‍රධාරි විජය පල්ලියගුරුගේ මහතා සභාවට විත් "ගරු ජනාධිපතිතුමා" යැයි සභාවට ප්‍රකාශ කළ විට ප්‍රධාන වේත්‍රධාරි රොනී අබේසිංහ සෙංකෝලය රැගෙන පළමුවත්, ඊට පසු ජනාධිපති ප්‍රේමදාස, කථානායක ඇම්.එච්. මොහමඩ් සහ ලේකම් මණ්ඩලයත් සභා ගැබට පිවිස සිය අසුන් කරා ගියහ.
විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු සභා ගැබට ආවේ පෙරවරු 10.40ටය. අනුර බණ්ඩාරනායක මහතා තම අසුන සමීපයට ගොස් "අපෝ..... තෙල් ගඳයි... හූනියම් තෙල් පුටුවල ගාලා. ගඳයි......... ගඳයි......" යැයි පැවැසුවේය.

රෙදි කැබැලිවලින් තම තමන්ගේ අසුන් පිස දමමින් විපක්ෂයේ සෙසු මන්ත්‍රිවරු "අපෝ........ අපේ පුටුවලත් හූනියම් තෙල් ගාලා........... මලයාලි කට්ට¾ඩියන් ගෙන්වලා හූනියම් කරලා............ හැම තැනම හූනියම් තෙල්..." කියමින් ඝෝෂා කරද්දී ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයත් ඒ දෙස බලා සිටියහ.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් අසුන් ගත් පසු පාර්ලිමේන්තුවේ මහ ලේකම් නිහාල් සෙනවිරත්න මහතා සැසිවාරය විවෘත කිරීමේ නිවේදනය කියවූයේය.
ඒ අවස්ථාවේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු එජාප මන්ත්‍රි පිරිසක් ආණ්ඩු පක්ෂය පැත්තේ ‍ෙදාරටුවලින් පැමිණ අසුන් ගත්හ. අනතුරුව සභා වාරය ආරම්භ කෙරිණි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස :
ගරු මන්ත්‍රිවරුනි...
විපක්ෂයේ සංවිධායක රිචඩ් පතිරණ:
ගරු ජනාධිපතිතුමනි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔබතුමාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් විසින් ඉදිරිපත් කර තිබෙන බව ඔබතුමා දන්නවා. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කල් තබා අද දින පැමිණ ගරු මන්ත්‍රිවරුන් අමතා කතා කිරීමෙන් දෝෂාභියෝග යෝජනාව මඟින් චූදිතයාව සිටින ඔබතුමා එම යෝජනාව සම්බන්ධයෙන් මූලික විනිශ්චයකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අනියම් ආකාරයෙන් බලපෑමක් කරන හෙයින් ඔබතුමන්ගේ කතාව නොපවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

(විපක්ෂ මන්ත්‍රිවරු මේසවලට තට්ටු කරමින් හඬ නඟා ඝෝෂා කරති.)
රිචඩ් පතිරණ (ගාල්ල):
ඔබතුමා සමඟ මලයාලි ගුරුකම්කාරයන් පිරිසක් පෙරේදා සවස මේ සභාගර්භය ඇතුළට ඇවිත් කොඩිවින කිරීම පිළිබඳව මන්ත්‍රිවරුන්ගේ බලවත් අප්‍රසාදය පළ කර සිටිනවා. දෝෂාභියෝග යෝජනාව ගැන තීරණයක් ගන්නා තුරු මෙම උත්තරීතර සභාව ඇමැතීමෙන් වළකිනවා නම් එය මන්ත්‍රිවරුන්ට කරන ගරු කිරීමක් ලෙස අප සලකනවා.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස:
ගරු මන්ත්‍රිවරුනි,...........
යමක් ඉල්ලූ විට එසැණින්ම එය ලබා දිය නොහැකියි... එය ලබා දෙන තුරු ඉවසා සිටීම හොඳ දෙයක්....
ජිනදාස නියතපාල (කොළඹ):
අපේ විපක්ෂ සංවිධායකතුමා කළ ඉල්ලීමට කන් දීලා කරුණාකර යන්න.
අපේ ඉල්ලීම ඒකයි.

(මේ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු යළි ඝෝෂා කරති. එය නොතකා ජනාධිපතිවරයා සිය කතාව කරගෙන යයි.)
අනුර බණ්ඩාරනායක (ගම්පහ):
මන්ත්‍රිවරුන්්ගේ ඉල්ලීමට කන් දෙන්න.

මහින්ද රාජපක්ෂ (හම්බන්තොට):

ජනාධිපතිතුමා............ ප්‍රශ්නයක්? මේකට උත්තර දෙන්න?........

(විපක්ෂයේ ඝෝෂාව වැඩි වෙයි. සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් වෙයි. මේ අතර ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා නොනවත්වාම සිය කතාව කරගෙන යයි. එහෙත් එය ඝෝෂාව නිසා පැහැදිලිව නොඇසේ.)
සී.වී. ගුණරත්න (කොළඹ):

ජෝසිම් ලංකාවට ගෙන්නෙව්වේ කවුද?

පෝසිම් ගෙන් උදවු ගත්තේ කවුද? ජෝ සිම් සමඟ නැටුවේ කවුද?

(විපක්ෂයේ ඝෝෂාව යළි වැඩි වෙයි.)

කථානායක ඇම්.එච්. මොහොමඩ් : කරුණාකර නිශ්ශබ්ද වෙන්න ....

(සභාවේ කෑකෝ ගැසීම් මධ්‍යයේ ජනාධිපතිවරයා දිගටම කතාකරගෙන යයි. අතැති ලිඛිත පිටපතින් තම දෙනෙත් ඉවත් කර ගෙන විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරමින් ජනාධිපතිවරයා කතා කළද ඒ කිසිවක් පැහැදිලිව නොඇසේ.)

එස්.බී. දිසානායක (නුවරඑළිය):
පුවත්පත් කාර්යාලවලට සී.අයි.ඩිය. පන්නලා ප්‍රශ්න කරනවා. ඕකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?

(ලබන කලාපයට)

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon