මා දේශපාලන සිරකරුවකු ලෙස ඉන්දියාවෙන් පිටුවහල් කළා

  👤  2990 readers have read this article !
2019-01-06

බරණැස ගංගා නම් ගඟ අසබඩ නිතර පාහේ පාන්දර ඇවිදින්නට යෑමට මම පුරුදුව සිටියෙමි. සමහර දිනෙක ගඟට නෑමට යන්නටද පුරුදුව සිටියෙමි. එහි ගඟබඩ බොහෝ හින්දු දේවාල ඇත. ඇතැම් කෝවිල සංචාරක සාධුවරයෝ ද නවාතැන් ගෙන සිටිති. නිර්වස්ත්‍ර සාධුවරයෝද ප්‍රාතිහාර්ය පෑමෙහි යෙදී සිටින්නෝ ද එමට වෙති.

දිනක් සාධුවරයකු හොණ්ඩරයක් තරම් බර ඇති විශාල ගලක් ලිඟුයෙහි එල්ලාගෙන සිටිනු දුටුවෙමි. එය පුදුමයකි. භක්තිමත් ස්ත්‍රී පුරුෂයෝ එහි පැමිණ සැදැහැයෙන් මුදල් පුදා ගුණ වැනුමෙහි යෙදුණාහ. නිතර ශාරීරික ව්‍යායාමයෙහි යෙදුණ මේ සාධුවරයෝ ශක්ති සම්පන්නයෝය. ලෙඩ රෝගවලින් තොර වූවෝය. ඇතැමෙක් මේ ක්‍රියා ගැන නාසය හකුළා අහක බලා ගනිති. මට නම් එසේ කළ නොහැකි විය. "ඒවා උසස් යැයි හෝ සත්‍ය යැයි හෝ මගේ පිළිගැනීමක් නැත. එහෙත් එහි යම්කිසි අධිෂ්ඨාන ප්‍රතිබද්ධ වීර්යයක් පවත්නා බව පිළිගත යුතුය.

දිනක් හිමිදිරියේ ගැඹුරු හේවිසි හඬක් ඇසී මම මහ වීදිය දෙසට ගියෙමි. අෑත එන මහා පෙළපාළියක් දකින්නට ලැබිණ. අලි - ඇතුන්, අසුන් හා ඔටුවන් සහිත මේ මහ පෙරහරේ සතුන් පිට නැඟී ගමන් කළාහු නිර්වස්ත්‍ර මහා නායක ධුරන්ධරයෝය. ඒ ළඟට දහසක් පමණ නිර්වස්ත්‍ර භට සාධුවරුය. දෙපේළියට සෑදී පඤ්චතූර්ය නාදයෙන් යුක්තව මේ පිරිස ගමන් කළේ ගංගානම් ගඟේ පවිත්‍ර ජලයෙන් පිරිසුදු වීමටය. ලස්සනට වාත්තු කළ පිළිම මෙන් පෙනුණු මොවුහු සමාන වයසේම වූවෝය. නිර්වස්ත්‍ර වුවද ඔවුන් දක්නා කවුරුන් තුළ හෝ හට ගත්තේ භක්තියකි. එයට හේතුව ප්‍රතිපත්ති ගරුක වීම යැයි සිතේ. එහෙත් ඔවුන්ගේ නායකයෝ රදල ඉඩම් හිමියන් මෙන් මේ බැතිමතුන් වහලුන් කරගෙන සැප වින්දෝය. ශිෂ්‍යයෝ නායකයන් වෙනුවෙන් වහල් වැඩ කළෝය.

මේ අන්දමට අවුරුදු හතරක්ම බාරාණසියේ හිර ජීවිතයක් ගත කළ මට බෙංගාලයේ අඳුරු කාමරයේ සිටීමේ විපාක දැනෙන්නට විය. දෙනෙත් අසනීප විය. "බැරි බැරි" නම් රෝගය වැලඳී ඔත්පළ වුණෙමි. වෛද්‍යවරු වහාම ප්‍රදේශය වෙනස් කරන්නැයි අවවාද කළහ. එහෙත් එයට රජයේ අවසරයක් නැත. මම පෙත්සම් ලියන්නට පටන් ගත්තෙමි. ප්‍රතිඵලයක් නැත. අන්තිමේ වෛද්‍යවරු වහාම ඇස්වලට ප්‍රතිකාර කළ යුතු බවත් එය ප්‍රමාද නොකළ යුතු බවත් කීහ. ඉන්පසු වෛද්‍ය සහතික අනුව දහසකුත් එකක් තහනම් නීති යටතේ කල්කටාවට යන්නට අවසර ලබා ගතිමි.

දිනක් සවස 4.30 බරණැසින් පිටත් වන දුම්රියෙන් කල්කටාව බලා පිටත් වුණෙමි. පොලිස් භටයන්ගෙන් නිදහස්ව කලකින් ගමනක් යන්නට ලැබීම මට මහත් සතුටට කරුණක් විය. එහෙත් අතරමඟ සෑම දුම්රියපළකදීම රහස් පොලිසිය පැමිණ මා ගැන කරුණු විමසන හැටි පසුව දැනගත්තෙමි. ඔවුන් මේ සඳහා අනුගමනය කළ වැඩපිළිවෙළ ඉතා සියුම්ය. රාත්‍රි 12ට පමණ අමුතු පෙනුමකින් යුත් පුද්ගලයෙක් මා ළඟට පැමිණ රහසක් කීමට අවසර ඉල්ලා සිටියේය. මම එකඟ වුණෙමි. තමා රහස් පොලිස් භටයකු වශයෙන් හැඳින්වූ හෙතෙම තවත් රහස් පොලිස් භටයකු මා ගමන් කරන දුම්රියේ සිටින බවත් ඒ හැර සෑම දුම්රියපොළකින්ම ඒ ඒ දුම්රියපොළට සමීප පොලිසිවලින් රහස් පොලිස් භටයන් පැමිණ මා ගැන පරීක්ෂා කරන බවත් කිසිවකු නොපිළිගන්නා ලෙසත් දන්වා තමාගේ වැයික්කිය එතැනින් නිමාවන බව කියා යන්නට ගියේය.

"අපි බෙංගාල පොලිස් සේවකයෝ. අපි රක්ෂාවයි කරන්නේ. අපිට කවුරුත් අමාරුවේ දමන්නට වුවමනා නැහැ. ඔබට ඕනෑ කෙනකු සමඟ ඕනෑම රහසක් කතා කළාට අපෙන් බාධාවක් නැත." මෙසේ කීයේ ඊළඟට රැකවලට පැමිණි චර පුරුෂයා විසිනි. මම පුදුමයෙන් ඔහු දෙස බලා "අද මුළු ඉන්දියාවේම රහස් පොලිස් නායකයන් බෙංගාලියන් බව මම දන්නවා. බොරු නැතිව උඹලාගේ බඩ වියත රැක ගන්නට රටත්, ජාතියත් සුද්දන්ට විකුණාගෙන කාපල්ලා" යැයි මම කීවෙමි. ඊට පසු තමා විප්ලවවාදී දේශප්‍රේමීන්ට ආධාර දෙන බව කියා තමාගේ දේශප්‍රේමීත්වය විදහා පෑමට උත්සාහ කළ නමුත් මම ඔහුට අෑත් වී මා රැකබලා ගන්නා ලෙස කීවෙමි.

මා දේශපාලන හිරකරු බෞද්ධ පූජකවරයකු බව දැනගත් බොහෝ දෙනා අතරමඟ මට නා නා අන්දමින් සැලකිලි දැක්වූ බව සිහිපත් කරන්නේ ඉතාම පී්‍රතියෙනි.

සුදු අධිරාජ්‍ය යුගයේදී සුද්දන්ට වඩා ජාතික විමුක්තිය පතා වැඩ කළවුන්ට ද්‍රෝහිකම් කැරුණේ ස්වදේශීය ජාති ද්‍රෝහීන්ගෙනි. ඒ නිසා යටත් විජිතවල බොහෝ ජාතික වීරයන්ට ජීවිත පූජා කරන්නට සිදුවූ බව ඒ ඒ රටවල ඉතිහාසය කියැවීමෙන් තේරුම් ගත හැකිය. ලංකාවේ සිදු වූයේත් එයමය. එය අපේ ඉතිහාසය කියවා දැන ගත යුතුය.

පසුදින උදේ හතට පමණ කල්කටාවේ දුම්රිය පොළට පැමිණෙන විට මා පිළිගැනීමට පැමිණ සිටියේ බෙංගාලයේ චරපුරුෂ සේවයේ උසස්ම නිලධාරීහු දෙදෙනෙකි.

මට කල්කටාවට ඇතුළු වීමට අවසර දුන් මේ දෙදෙනා සවස 6ත් උදේ 6ත් අතර නැවතී සිටින නිවෙසින් බැහැර නොයන ලෙසත්, වෛද්‍යාධාර හැර වෙන කිසිම කටයුත්තකට පිට නොවන ලෙසත් නියම කළහ. ඒ හැර සවස 4ට සෑම දිනම පොලිසියේ පෙනී සිටිය යුතු බවද කීහ. මම ඉතා දුක සේ මෙම නීති රැකගෙන සිටියෙමි.

එහෙත් නීතිය කැඩීමට අවස්ථාවක් පැමිණියේය. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා කල්කටාවේ ප්‍රසිද්ධ විද්‍යාඥයකු වූ මහාලනවිෂ් මහතාගේ නිවෙසට පැමිණි බව මට ආරංචි විය. එතුමා හමුවීමට වුවමනා නිසා මා එහි ගියේ රහසිගතවය. මා දුටු විගස තාගෝර්තුමා පැමිණ මා පිළිගත්තේ සාදරයෙන් වැලඳ ගනිමින්ය. "ඔබ බන්ධනාගාරයෙන් පැන ආවේ දැ"යි විමසා කවටමකමක්ද කොට, තොරතුරු විචාළේය. මම ඇත්ත ඇති හැටි කීවෙමි. එතුමා පී්‍රති වී මට සුබ ප්‍රාර්ථනා කොට මා පිටත් කළේ එතුමාගේම මෝටර් රථයෙනි.

දින කිහිපයකින් මට නැවත බරණැසට යන්නට සිදුවිය. මගේ ඇස් අසනීපය බලගතු විය. ඒ ගැන පුවත්පත්වල ලිපි පළ වීමෙන් පසු ඉන්දියානු ජාතික සංගමයේ නියෝජිතයන් වශයෙන් ආචාර්ය ක්‍රිපලානිත්, ජවහල්ලාල් නේරු මහතාත් බාරාණසියට පැමිණ මා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ඒ වාර්තාව රජයට ඉදිරිපත් කළේය. එකල පැවැති ඉන්දියානු රජය වාර්තාව පිළිගෙන ඒ අනුව මා ලංකාවට පිටත් කර යැවීමට බෙංගාල රජයට නියම කළේය.

විශේෂ පොලිස් බළ ඇණියක රැකවරණය ඇතිව, 1936 අප්‍රේල් මාසයේදී මා කල්කටාවට ගෙනැවිත් එහිදී මට නැවත ඉන්දියාවට ඇතුළු නොවන ලෙස අණ කොට වෙනත් පොලිස් හමුදාවක් සමඟ ලංකාවට පිටත් කොට එවීය.

මා ලංකාවට පිටුවහල් කර එවන ලද්දේ 1936 අප්‍රේල් අවසාන භාගයේදීය. එකල ලංකාවේ පැවැත්තේ ඩෝනමෝර් ආණ්ඩුවයි. දේශපාලන වශයෙන් ලංකාවේ සංවිධානාත්මක වූ පක්ෂයක් වශයෙන් එකල පැවැත්තේ ලංකා සමසමාජ පක්ෂයයි. මේ වනවිට ලංකා ජාතික සංගමයද ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයද තරමක් දුරට පිරිහී තිබිණි. අමද්‍යප ව්‍යාපාරය පටන් ගත් තැන් පටන් කිසි කලෙක ලංකාවේ බල සම්පන්න ව්‍යාපාරයක් බවට පත් නූනත් එයට සම්බන්ධ වූ හොඳ දේශප්‍රේමීන් සිටිය බව සඳහන් කළ යුතුය. මහජනයා බීමට කැමැති නම්, එය ඔවුන්ට නැතිවම බැරි යැයි සිතන්නේ නම් නොබොන අය කොතරම් උනන්දු වුවත් එබඳු ව්‍යාපාරයක් සාර්ථක විය හැකිද?

නීතියේ ආධාරයෙන් පංචශීලය රැකිය නොහැකිය. ඊට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. බීම සම්බන්ධවත් එය මැයි. නොබොනවා නම් ඉතාම හොඳයි. බලකර බීම නැවැත්විය නොහැකිය. එහෙත් ව්‍යාපාරයක් කරනවාය කියා කාලය ගත කරන අයට එය කාලය ගත කිරීමට හොඳ වැඩකි. කළ යුතු වැඩ කොතෙකුත් තිබේ.

ඉන්දියාවේ නැඟී ආ අධිරාජ්‍ය ජාතික සටනට සහභාගි වී හිර නීති යටතේ දුක්විඳ ලෙඩ වී පැමිණි මා දෙස එවකට මෙරට සිටි බොහෝ දෙනා බැලුවේ අසහනයකිනි. මා සමඟ කතා කළොත් මා ඇසුරු කළොත් එය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සැකයට හේතු වෙතැයි යන බියෙන් ඇතැම් අය මූණ වසා ගත්හ. චරපුරුෂයන් නිතර මා පසුපස්සේ සිටි නිසා මට සිදුවුණේ මහත් කරදරයකි.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon