රදළකම් රැක ගැනීමට බුදු දහම කූඩයක් කර ගැනීම බුදුන්ට කරන නින්දාවකි

  👤  2953 readers have read this article !
2018-12-30

මේ අතර ආගමික වශයෙන් කළ යුතු කටයුතුද බැහැර ලූයේ නැත. අජිත් රායි මා නිතර ඇසුරු කළ තරුණයන්ගෙන් කෙනෙකි. හෙතෙම උග්‍ර දේවවාදියෙක් විය. එහෙත් මාක්ස්වාදය ඉගෙනීමෙන් පසු ඒ දේවවාදී මතවලින් ඉවත් වුණේය. හෙතෙම බරණැස මාක්ස්වාදී තරුණ සාහිත්‍ය කවයේ සාමාජිකයකුව සිටියේය.

මා දේශපාලන සැකකරුවකු මෙන් බරණැසට පිටුවහල් කර සිටින අතරතුර දවසකදී ගංගා නම් ගඟ අසල දශ ආශ්‍ර මේධ නම් තොටුපොළ අසලදී තරුණයෝ කීප දෙනෙක් හමුවූහ. මා බෞද්ධ භික්ෂුවක බවත් ඉංග්‍රීසි ආණ්ඩුවේ සැකයට ලක්වූ බවත් දැනගත් ඔවුහු මා සමඟ වඩා සුහද බවින් යුතුව සම්බන්ධ වූහ. ඊට පසුව සාහිත්‍ය, දේශපාලනය ආගම ආදී කරුණු ගැන නිතර අප අතර සාකච්ඡා ඇති විය.

මෙසේ පවතින අතර දිනක් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා බාරාණාසියට පැමිණියේය. එහිදී තාගෝර්තුමා කෙරෙහි දැක්වූ ගරු සැලකිලි දුටු මේ පිරිස මා කෙරෙහි වඩාත් හිතවත් වූහ. මා ඉංග්‍රීසීන් විසින් හිර කරන ලද බව අසා තාගෝර්තුමා කලින් මට සුබ පතා කල්කටා හිර ගෙදරට ලියුමක් එවා තිබුණා මට මතකයි. එය මට පෙන්වූවා මිස කියැවීමට වත් කල්කටා රහස් පොලිසියෙන් අවසර ලැබුණේ නැහැ. එහි ලියා තිබුණු දේ මා දැන ගත්තේ තාගෝර්තුමා බාරාණාසියට පැමිණි අවස්ථාවේදීය. ලියුම මට නොදුන් බව කී විට අපි කවුරුත් විදේශීය පාලකයන්ගේ හිරකාරයෝ යැයි එතුමා කීවේ කෝපයෙනි. මොවුන් මාත් හිරභාරයට නොගන්නේ කුමක් නිසාදැයි විමසුවේ සිනාසෙමිනි. කල්කටාවේදී මීට ටික කලකට පෙර තාගෝර්තුමා සම්බන්ධ වූ බවද මතක් කළෙමි.

ඉහත කී මගේ යහළුවන් අතර සිටි අජිත් රායි නමැති තරුණයා ගැන මම සඳහන් කළෙමි. හෙතෙම ඉන්ජිනේරුවෙකි. රැකියාව කළේ බරණැස විශාල තෙල් මෝලකය. ඔහු බුදු දහම ගැන පොත පත කියවන්නට පටන් ගත්තේ මා ඇසුරු කිරීමට පටන් ගත් පසුය. මාක්ස්වාදය පිළිගත් අජිත් රායි දිනක් මා වෙත පැමිණ බුදු දහම පිළිගැනීමට තමා කැමැති බව කීය. එහිදී අපි තවත් සාකච්ඡා

කළෙමු.

මම - ඔබ බුදු දහම පිළිගන්නේ ඇයි?

අජිත් රායි - නිවහල් නිදහස් මනුෂ්‍යයකු වීමටයි. මාක්ස්වාදය මගේ දේශපාලන මතයයි. බුදු දහම මගේ ආගම කරගන්නට මම කැමැතියි. එතකොට ජීවිතය සම්පූර්ණ වේයැයි මට හිතෙනවා. මට පේන හැටියට මාක්ස්වාදයෙන් තොරව මෙලොව දෛනික ප්‍රශ්න විස¼දා ගැනීමට වෙන කිසිම මඟක් නැහැ. මාක්ස්වාදී පාලනයක් ඇති රටේ පුද්ගලයාගේ දෛනික ප්‍රශ්න බොහෝ සෙයින් විසඳෙනවා. එහෙත් එයම පුද්ගලයාට ප්‍රමාණවත් නැහැ. පවිත්‍ර හිතක් ඇතිව මැරෙන්න ඕනෑ. එසේම ස්වාභාවික දුක්වලින් මිදෙන්න ඕනෑ. මේ කාර්යයට ඉතාම අවශ්‍ය බුදු දහම බවයි මට පෙනෙන්නේ. කොටින් කියතොත් මාක්ස්වාදයෙන් ජාතික, ආර්ථික, විමුක්තිය ලැබෙනවා. බුදු දහමින් ජාත්‍යාදී බව දුක් අවසාන කිරීමෙන් විමුක්තිය ලැබෙනවා.

දැන් මා තුළ කිසිම දේව විශ්වාසයක් නැහැ. දේව මතවල එල්බ ජීවත් වී මැරී යෑම මනුෂ්‍යත්වයට කරන නින්දාවක් ලෙස මට දැන් හොඳටම පැහැදිලියි.

චාරිත්‍රානුකූලව ඔබ තවම බුදු දහම වැලඳ ගත්තේ නැතත්, ඔබගේ අදහස් නියම බෞද්ධ අදහස් මැයි කී මම ඔහු ඉසිපතනාරාමයට කැඳවාගෙන ගොස් බුද්ධාගමට හරවා ගත්තෙමි. ඔහු පන්සිල් සමාදන් කළේ මහාබෝධි සමාගමේ තවමත් වැඩ සිටින දැවමොට්ටාවේ සාසනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

අජිත් රායි බුදු දහම පිළිගැනීම ගැන බරණැස ඇතැම් බමුණෝ මට දෝෂාරෝපණය කළහ. එහෙත් ඔහුගේ මාක්ස්වාදී මිතුරෝ බෙහෙවින් සතුටු වූහ.

නැවත දිනක් පැමිණි අජිත්රායි තමා පැවිදි වීමට ඉතා කැමැති බව කීවේය. එහිදී මම පැවිදිකමේ ඇති පහසු අපහසුකම, භික්ෂු ඉතිහාසය හා සාමඤ්ඤ ඵල සූත්‍රය ආදිය ආශ්‍රය කොටගෙන පැහැදිලි කළෙමි. බෞද්ධ භික්ෂුවක වශයෙන් පෙනී සිටගෙන අපේ රටේ පවතින කුලමල භේද, දේව විශ්වාස ආදියේ වරද පැහැදිලි කොට ජනතාව අතර ප්‍රබෝධයක් ඇති කිරීම මගේ ලොකුම පරමාර්ථයකැයි අජිත් රායි අවධාරණයෙන්ම කියා සිටියේය. මම ඔහුට මහණ වීමටද මඟ සලස්වා දුන්නෙමි.

පසුව අජිත් ලංකාවට පැමිණ වජිරාරාමයේදී පැවිදි බව ලබා ගත්තේය. එහෙත් ඔහු මෙරටින් පිටව ගියේ ලාංකික භික්ෂුන් ගැන උසස් අදහසක් ඇතිව නොවේ. ලාංකික භික්ෂුන් අතර කුල අනුව නිකාය භේදය රැඳී ඇති බැව් දුටු ඔහු ඉන්දියාවට ගියේ මඳ කලකිරීමකින් යුක්තවය. දිනක් නවදිල්ලියේදී හමුවූ ඔහු කීවේ ලංකාවේ වර්තමාන භික්ෂු ජීවිතය ගැන තමා කලකිරී සිටින බවය.

එහෙත් මේ බුද්ධිමත් භික්ෂුවට තමා බලාපොරොත්තු වූ සේවය කරන්නට නොහැකි විය. දිල්ලි විහාරයේ නැවතුණු හෙතෙම ටික දිනකින් මිය ගියේය.

සමානාත්මතාව ලොවට දෙසූ බුදුන්ගේ දහම පූජකවරුන්ට තම රදලකම් රැක ගන්නට කූඩයක් කර ගැනීමට ඉඩදී බෞද්ධයන් නිහඬව සිටීම බුදුන්ටත්, බුදු දහමටත් කරන නින්දාවකැයි ඔහු විසින් මට ලියන ලද අවසාන ලිපියේ සඳහන් විය.

බාරාණාසිය හින්දු ආගමේ උසස්ම පුණ්‍යස්ථානයයි. එහෙත් බරණැස තරම් අපවිත්‍ර තැනක් තවත් ඇද්දැයි සැක සහිතය. එහි පණ්ඩා නමින් හැඳින්වෙන බ්‍රාහ්මණ පූජකවරු යම දූතයන් වැන්න. වන්දනාවට පැමිණෙන නූගත් අසරණ බැතිමතුන්ට ඔවුන්ගෙන් ලැබෙන ගැහැට අපමණය. බ්‍රාහ්මණ පූජකවරුන් තුළ කිසිම තෙත් ගතියක් නැත. ඔවුන්ගේ එකම බලාපොරාත්තුව මිනී මරා හෝ ධනය හම්බ කිරීමයි. දේවස්ථානවල තත්ත්වයත් එසේමය. දේවාලයේ පූජාවට ලැබෙන ආහාර පවා විකුණා මේ බමුණෝ මුදල් ලබා ගිනිති. බුද්ධ පූජාව තහනම් ආහාරයක් සේ බුදුන් වහන්සේ දේශනා කරන්නට ඇත්තේද බමුණු පූජකයන්ගේ මේ පුරුද්ද අනාගතයේදී බෞද්ධ භික්ෂුන්ද ආදර්ශයට ගෙන ක්‍රියා කරතැයි යන සැකයේ ප්‍රතිඵලයක් නිසා විය හැකියැ මට විටෙක සිතේ. එහෙත් ද ඉන්දියාවේ ඇතැම් බෞද්ධ විහාරවලටද මේ නොමනා ජුගුප්සාජනක ව්‍යාපාරය හුරුවීගෙන එන බැව් කනගාටුවෙන් වුවද කිව යුතුය.

පැරැණි හින්දු පූජකවරුන් ආත්මාර්ථකාමීත්වයෙන් දේපොළ රැස් කිරීමට දඟලන අතර හින්දු පූජකවරුන්ගේ අලුත්ම කොටස වූ රාමක්‍රිෂ්ණ මීසම ජන සමාජයටත් හින්දු ආගමටත් මහත් මෙහෙයක් කරගෙන යන බැව් කිව යුතුය. බාරාණාසියේ රාමක්‍රිෂ්ණ ආරෝග්‍යශාලාව ඒ පෙදෙසේ හින්දු මුස්ලිම් ආදී සෑම දෙනකුටම විශාල සේවයක් කරගෙන යයි. මෙහි සේවකයෝ

රාමක්‍රිෂ්ණ මීසමට අයත් පූජකයෝය. හිතවත් වෛද්‍යවරු බොහෝ දෙනෙක් එහි නොමිලයේ සේවය කරති. රාමක්‍රිෂ්ණතුමා උගතෙක් නොවේ. බැතිමතෙක්ද නොවේ. එහෙත් බුද්ධිමතෙකි.

සතර දෙසින් රාමක්‍රිෂ්ණ සමාගමයට ආධාර ගලා එන්නට විය. සිය ගණන් උගත් ජනතාව විවේකානන්ද වටා රැස් වන්නට වූහ. තවද හෙතෙම ආගම නමින් කෙරුණු ගසාකෑම් හෙළා දැක්කේය. දේව පූජාව මානව පූජාවට හරවන ලෙස ඉල්ලා සිටියේය. කුල භේදයට ජාති භේදයටද පහර ගැසුවේය. ඔයින් මෙයින් මිනීවළ කරා ගමන් කරමින් සිටි හින්දු ආගමට නව ජීවයක් ලැබුණේ ස්වාමි විවේකානන්දගෙනි. ඒ අතර අපේ අනගාරික ධර්මපාලතුමාද සහභාගි වූ ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති ආගමික සම්මේලනයට ස්වාමි විවේකානන්දතුමාටද ආරාධනයක් ලැබිණි.

ඉතා දක්ෂ කථිකයකු වූ ඔහුගේ ව්‍යක්ත දේශනය නිසා හින්දු ආගමටද ඇමෙරිකාවේදී තැනක් ලැබුණේය. ධර්මපාලතුමාට හමුවූ පෝස්ටර් මැතිනියටත් වඩා ධනවත් බැංකුකාරියක වන ඇමෙරිකා කාන්තාවකගේ සහාය ස්වාමි විවේකානන්දට ලැබුණේය. ඕ තොමෝ ස්වාමි විවේකානන්දගේ ශිෂ්‍යාවක වී මුළු ජීවිතය ඉන්දියානු ජන සමාජය වෙනුවෙන් කැප කළාය. කල්කටාවේ ඇති උසස් විද්‍යාලයක් වන සිස්ටර් නිවේදිතා විදුහල ඇයගේ ආධාරයෙන් ගොඩ නැංවුණකි.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon