තුනෙන් දෙකක් ගන්න නම් මහින්දවත් ෂේප් එකේ තියාගන්න ඕනෑ

  👤  3907 readers have read this article !
2018-12-09

නීතිපතිගේ කරුණු පැහැදිලි කිරීම

රටේ පැවැති දේශපාලන අර්බුදයට මේ සඳහා විසඳුමක් ලැබී නැත. ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණයේ ගැටුමක් බවට අද එය පත්වෙමින් තිබීම ගැන ජනතාව පසුවන්නේද දැඩි කනස්සල්ලෙනි.
ව්‍යවස්ථාදායක ආණ්ඩු පක්ෂයක් නොමැතිව පාර්ලිමේන්තුව රැස්කරමින් එහි බල මහිමය රටට පෙන්වීමට සියලු වෙර වීර්යයන් දරමින් සිටී. ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව රැස්වීම නීති විරෝධී යැයි පවසමින් එය වර්ජනය කරමින් සිටී.

ඔවුන් තැන් තැන්වල රැස්වී කුමන තීන්දු ගත්තද අවසානයේ මේ සියලු දෙනාම වගකිවයුත්තේ ජනතාවටය. ජනතාවට මන්ත්‍රිවරුන් 225 දෙනාම වගකිවයුතුය. නමුත් ඔවුන් සියලු දෙනාම මේ දිනවල හැසිරෙන්නේ එම ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහාද යන්න බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.

තත්ත්වය එසේ තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ පසුගිය අඟහරුවාදා සිට ආරම්භ කර තිබිණි. මෙහිදී නීතිපතිවරයා විසින් සිය මතය පසුගියදා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පැවැසීය.

පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා මෙහිදී ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පැහැදිලි කර දුන්නේය.

එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා මෙහිදී දීර්ඝ විස්තරයක් කළේය.

ඉන් අනතුරුව ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කථානායකවරයා වෙත යොමු කළ යුතු බවද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවද කියා සිටියේය.
පෙත්සම් විභාගය සිකුරාදා දිනයේද පැවැත්වීමට තීරණය වූ බැවින් අතුරු තහනම් නියෝගය සෙනසුරාදා දක්වා දීර්ඝ කිරීමට සිදුවිය.

අගමැතිකම අරන් එන්න මෛත්‍රි හමුවට ගිය එජාප මන්ත්‍රිවරු
හිස් අතින් ගෙදර ගිය හැටි

අගමැති තනතුර සහ ආණ්ඩුව වෙනස් කිරීම ගැන තවත් සාකච්ඡාවක් පසුගිය සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝ පිරිසක් සහ එජාප මන්ත්‍රින් පිරිසක් එක්ව සිටියහ. මෙහිදී සියලු දෙනා බලාපොරොත්තු වූයේ මෛත්‍රි එජාපයට ස්ථිර විසඳුමක් ලබාදෙනු ඇති කියාය. සිනහමුසු මුහුණින් ඔවුන් සියලු දෙනා එම හමුවට සහභාගි වීමද විශේෂත්වයකි.

එහෙත් ජනාධිපතිවරයාගේ මුහුණෙහි එතරම් සතුටුදායක ගතියක් පෙනෙන්නට නොමැති වූයෙන් ජනාධිපතිවරයා පැමිණ අසුන් ගන්නවා සමඟ මෙම පිරිස තරමක් කුතුහලයට පත්වූහ.

අසුන් ගන්නවාත් සමඟ ජනාධිපතිවරයා මන්ත්‍රි පිරිස දෙස බලමින් කීවේ අපූරු කතාවකි.

\'ඔයගොල්ලන්ට ඉන්නේ රනිල් විතරද? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන කෙනෙක් නැද්ද? මෛත්‍රි විමසීය.

ජනාධිපතිවරයා සජිත් දෙස බලමින් එසේ කියූ නිසා ඊට පිළිතුරු දීමටද සජිත් ඉදිරිපත් වීම විශේෂත්වයකි.

\'ජනාධිපතිතුමනි අපට මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඒ නිසා ඔබතුමා බහුතර බලයක් තියෙන පැත්තට ආණ්ඩුව දෙන්න. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි අගමැති රනිල් වික්‍රමසිංහ හැර වෙන කෙනෙක් ගැන හිතලවත් නෑ\' සජිත් කීවේය.

අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාට තරමක් කේන්ති ගියේය. ඔහු ආවේගයෙන් අදහස් දක්වන්නට පටන් ගත්තේය.

\'ජනාධිපතිතුමනි, බරපතළ තීන්දු දෙකක් ගත්තා. ඒ තීන්දු දෙකම නිවැරැදි නැති බව සනාථ වෙමින් තියෙනවා. ඔබතුමාගේ පෞද්ගලික කැමැත්ත අකැමැත්ත මෙතැන්ට අදාළ නෑ. අපිට බහුතරය තියෙනවා. ඒ නිසා අපට ආණ්ඩුව දෙන්න\' කිරිඇල්ල කියාගෙන කියාගෙන ගියේය.

කිරිඇල්ලගේ අදහස් දැක්වීමට ජනාධිපතිවරයාටද හොඳටම කේන්ති ගියේය.

\'ඔබතුමාලා, ඔහොම නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාම අස්සන් කළත් මම රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ\' මෛත්‍රි දැඩිව කීවේය.

කිරිඇල්ල යළිත් කට ඇරියේය. \'ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා ඔප්පු වුණොත් ඔබතුමාට හිරේ යන්න වෙනවා කියලා සමහර නීතිඥයෝ කියනවා\' කිරිඇල්ල කියා සිටියේය.

මම අරගෙන තියෙන හැම තීන්දුවක්ම ගත්තේ රට වෙනුවෙන්. මේ රටට නොගැළපෙන මිනිස්සු මේ රටේ දේශපාලනයට හරියන්නෙ නෑ. ඒක හොඳට මතක තියාගන්න\' මෛත්‍රි කේන්තියෙන් කීවේය. සාකච්ඡාව එයින් නතර විය. ප්‍රශ්නයට විසඳුමක් නොමැතිවිය. සිනාමුසු මුහුණින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මන්ත්‍රි පිරිසට හිස් අතින් ගෙදර යෑමට සිදුවීමද විශේෂත්වයකි.

රුපියල කඩාවැටීමට ගැන
මෛත්‍රි කරුණු පහදයි

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් මෙරට වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක් පසුගිය අඟහරුවාදා පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා රටේ ප්‍රධාන ව්‍යාපාරික නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ. මෙහිදී ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කියා සිටියේ ජනාධිපතිවරයා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළට ඔවුන්ගේ සියලු සහය ලබාදෙන බවය.

"ඔබතුමා රටේ ආර්ථිකය නඟා සිටුවන්න විශාල කැප කිරීමක් කරනවා. ඒ සඳහා අපට දෙන්න පුළුවන් උපරිම සහාය අපි ලබාදෙනවා" යැයි ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් කියූහ.

"බොහොම හොඳයි ඔබතුමාලගෙ ස්ථාවරය ගැන. රටේ දේශීය කර්මාන්ත සියල්ල ආරක්ෂා කර ගනිමින් අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඕන. ඒ ස්ථාවරයේ තමයි මම දිගටම හිටියේ" මෛත්‍රි කීවේය.

"ජනාධිපතිතුමනි, රටේ දේශපාලන අස්ථාවර භාවය අපේ රටේ සංස්කෘතික ක්ෂේත්‍රයට බලපානවා. ඒ සඳහා ඉක්මනින් ඔබතුමා මැදිහත් වුණොත් ඒක අපට ලොකු ශක්තියක් වාණිජ මණ්ඩල සාමාජිකයෙක් කීවේය.
"ඔව්.. ඒක හරි. තව සතියක් ඇතුළත මේ සියල්ල අවසන් වී රට ස්ථාවර තත්ත්වයට එනවා" මෛත්‍රි කීවේය.

"ජනාධිපතිතුමනි, රුපියල එන්න එන්නම කඩාගෙන වැටෙනවා. ඒ සඳහාත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි කියලා අපි හිතනවා." තවත් වාණිජ මණ්ඩල සාමාජිකයකු ජනාධිපතිවරයාට කීවේය.
ජනාධිපතිවරයා එකවරම ඔහු දෙස බැලුවේය.

"රුපියල කඩා වැටීම මේ මාසයට වෙච්ච දෙයක් නෙවෙයි. මේ අවුරුද්දෙ මුල ඉඳලම කඩා වැටෙන්න පටන් ගත්තා. මේ මාසෙට රුපියල අමුතුවෙන් කඩා වැටුණෙ නැහැ. දැන් මහ බැංකුවේ බැඳුම්කර කොල්ලය වුණා. ඒකෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වුණා. පොලී අනුපාතය ඉහළ ගියා. ඔබතුමාලා ඒ කාලේ මාව හමුවෙලා මේ ගැන කිව්වෙ නෑනෙ. ඒකයි පුදුමෙ"
මෛත්‍රි වාණිජ මණ්ඩල සාමාජිකයන්ට ඇඟටපතට නොදැනී ටොක්කක් ඇන්නේය.

මේ අතර අඟහරුවාදා ජනාධිපති ලේකම්, අගමැති ලේකම් ඇතුළු සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා හමුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. ඒ වනවිටත් අගමැතිවරයාගේ සහ ඇමැති මණ්ඩලයේ තනතුරු අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම්වලට අදාළ තීන්දුව ලැබී තිබිණි. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ ලේකම්වරුන් කැඳවා උපදෙස් ලබාදීමට, අධිකරණ නියෝගය තිබුණද ජනාධිපතිවරයාට නීතියෙන් බාධාවක් නොමැත.

"මේ දේශපාලන අර්බුදය ඔබතුමාලට බාධාවක් නොවේ. ඔබතුමාලා සියලු අමාත්‍යාංශවල කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න. ජනතාවට කරන කිසිම සේවාවක් නතර කරන්න එපා. කිසිම සංවර්ධන ක්‍රියාවක් නතර කරන්නත් එපා" යැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසය.
ඒ අතරවාරයේ මහින්ද රාජපක්ෂ මහතාද අවස්ථා කිහිපයකදීම පැමිණ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

අනතුරුව ජනාධිපතිවරයා අඟහරුවාදා පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලනිප විශේෂ පක්ෂ සම්මේලනයටද එක්විය. මෙහිදී ජනාධිපතිවරයා පවතින දේශපාලන අර්බුදය සඳහාද පිළිතුරු දුන්නේය.


ඒ සඳහා දින 7ක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

මේ සඳහා පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

"මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගත් තීන්දුව ඊයේ දිනට, අද දිනට මෙන්ම හෙට දිනටත් නිවැරදියි. එය කරනු ලැබුවේ රට බේරාගැනීමේ අරමුණින් බව කියන්න ඕනා. පාර්ලිමේන්තුවේ 225 දෙනාම අස්සන් කර දුන්නත් රනිල් අගමැති කරන්නේ නැහැ. හේතුව ඔහුගේ හා මගේ පෞද්ගලික ප්‍රශ්නයක්, පාට පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි. ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසයි. ශේ්‍රෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබී ඇති නමුත් තවමත් අවසන් තීන්දුවක් ලැබී නැහැ. එම දේශපාලන නඩු පිළිබඳව අධිකරණය ලබාදෙන අවසන් තීන්දු තීරණ මම ගෞරවයෙන් භාරගන්නවා. නමුත් ජනතාව අධිකරණය පිළිබඳව දරන මතය විවිධාකාර බව කිව යුතුයි.

දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව රට තුළ යහපත් සමාජයක් ගොඩනැඟීමට මම එම තීන්දු දෙකම ගත්තා.

2015 ජනවාරි 9 වැනිදා තමන් ඉදිරියේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එදා ලක්ෂ 62කට වැඩි ඡන්දයෙන් බිහිකළ පවිත්‍ර යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළා. එය වසර තුනහමාරක් තිස්සේ ඉවසමින් මම ආ ගමන ලේසි පහසු එකක් නොවේ.

ඔහු ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම හදිසි තීන්දුවක් නොව වසර තුනහමාරක් දුෂ්කර ගිරි දුර්ගයක ගමන් ගනිමින් ගත් තීන්දුවක්. රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, රට, එක්සත් ජාතික පක්ෂය මෙන්ම මාවද යම්තාක් දුරට විනාශ කළා. ඒ සියල්ලට දිය හැකි පිළිතුර වූයේ ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීමයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික ලිබරල්වාදී වැඩපිළිවෙළෙහි කුණුගොඩක් බවට රට පත්නොවිය යුතු යැයිද ජනාධිපතිවරයා කීවේය.

අස්සන් පනස් ලක්‍ෂය
මහින්ද අතට

මේ අතර මහ මැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අස්සන් පන්ලක්‍ෂයේ පෙත්සම මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සංකේතාත්මකව භාරදීම නාරාහේන්පිට අභයාරාමයේදී බ්‍රහස්පතින්දා පෙරවරුවේදී සිදු කෙරිණි.
මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ එම පෙරවරුවේදී පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මහින්දට භාර දුන්හ.

මෙම අවස්ථාව සඳහා ඕමාරේ කස්සප, ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, පැවිදි හඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ, දේශ විමුක්ති ජනතා පෙරමුණේ උප සභාපති ගලගම ධම්මරංසි හිමියෝ ඇතුළු මහ සංඝරත්නය විශාල පිරිසක් එක්වූහ.

පැවිදි හඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මහ මැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අස්සන් පන් ලක්‍ෂයේ පෙත්සමට අස්සන් ගැනීම පසුගිය 29 වැනිදා ආරම්භ කළේය.

\'මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය සමථයකට පත් කරලා සියලුම රටවැසියන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි. නිදහසේ ජීවත් වූ අපි යම් යම් පිරිස්වල බොරු මත ප්‍රකාශයන්වලට ඇහුම්කන් දෙමින් රටේ වෙනසක් කරන්න ඕනෑ කියන බලාපොරොත්තුව කොටසකට තිබුණා. ඒ වෙනස දැන් රටේ සියලු දෙනා හොඳින් භුක්ති විඳිමින් සිටිනවා.

මේ වෙනස නිසා අද රට අරාජිකයි. අද රටට අගමැතිවරයෙක් නැහැ. කැබිනට් එකක් නැහැ. ඒකාධිපති ස්වරූපයකට අද රට පත්වෙලා තියෙනවා. ඒ සිදුකළ වෙනස වෙනස් කිරීමට අද අපිට සිද්ධ වෙලා තියෙනවා.
රට මෙවැනි අරාජික තත්ත්වයකට පත්වූ හැම අවස්ථාවකදීම මේ රටේ මහ සඟරුවන ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් කටයුතු කරනවා. අද මේ රට පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය කොච්චර ද කියන එක අද හැමදෙනාටම පෙනී යනවා\' යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙහිදී පැවැසූහ.

මහ මැතිවරණය ගැන
ගම්පහ පොහොට්ටු
බළකාය ගත් තීන්දුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව පසුගිය සෙනසුරාදා රැස්වූයේ ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවෙසේදීය. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුවට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් පොදුජන පෙරමුණට එක් වූ සුදර්ශනී ද සහභාගි වී සිටීම සුවිශේෂී කරුණකි.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. ප්‍රථමයෙන් ප්‍රසන්න වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක් කළේය. එහි ගැබ් වී තිබුණේ මහින්ද ඔක්තෝබර් මස 26 වැනිදා ගත් තීන්දුව සම්බන්ධ කරුණුය. ප්‍රසන්න කීවේ තීන්දුව කුමක් වුවත් මහින්ද සමඟ දිගටම කටයුතු කිරීම සිය ප්‍රතිපත්තිය බවය.

\'දැනට මහ මැතිවරණය පැවැත්වීම වගේම අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සම්බන්ධ කාරණාත් තියෙන්නේ අධිකරණය හමුවේ. ඒ වුණත් අපි ඕනම දේකට සූදානමින් සිටින්න ඕනේ කියන එකයි මගේ මතය. අපිට පුළුවන් වෙන්න ඕනේ අධිකරණය දෙන තීන්දුව අනුව හැරි හැරී ඉන්නේ නැතිව ඉදිරි කටයුතු ටික කරගෙන යන්න. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීත්‍යනුකූලයි කිව්වොත් ඡන්දයක් එනවා. අපි ඒකට ලැහැස්තියෙන් ඉන්න ඕනේ.

දෙවැනි කාරණය තමයි මහ මැතිවරණයකදී අපි තරග කළ යුත්තේ කොහොමද කියන එක. අපි අවුරුදු තුනක් තිස්සේ වෙහෙසිලා ගොඩනඟපු පක්‍ෂයක් අපට දැන් තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි ඉල්ලන්න ඕනේ ඒ පක්‍ෂයෙන් කියලයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපි තීන්දුව අරගෙන ඒක මහින්ද මහත්තයාටයි බැසිල් මහත්තයාටයි දැනුම් දෙමු කියලා මම යෝජනා කරනවා\' ප්‍රසන්න පැවැසීය.

\'පොහොට්ටුව තමයි අපේ පක්‍ෂය. මිනිස්සු දැන් ඉන්නේ පොහොට්ටුව එක්ක. ඒ නිසා මම ඒ යෝජනාව අනුමත කරනවා\' ලන්සා කීවේය.

\'මටත් දෙයක් කියන්න තියෙනවා. එදා ඉඳලා මේ සටනේ අපි හිටියත් ඔක්තෝබර් මාසේ අගමැති ධුරය අරගෙන ආණ්ඩුවක් පිහිටුවපු වෙලාවේ අපට අසාධාරණයක් වුණා කියලයි මම විශ්වාස කරන්නේ. අපේ ප්‍රසන්න මහත්තයා තමයි මේ දිස්ත්‍රික්කයේ නායකයා. හැබැයි ආණ්ඩුව හදද්දී එතුමාට ඇමැතිකමක් ලැබුණේ නැහැ\' ඉන්දික පැවැසීය.

\'පොඩ්ඩක් ඉන්න ඉන්දික. මේ වෙලාවේ අපි ඇමැතිකම් ගැන කතා කරන්න ඕනේ නැහැ. ඕවා නෙවේ ප්‍රශ්න. මම නම් මුල ඉඳලම හිටිය මතය තමයි රටට වැඩක් වෙනවා නම් මහින්ද මහත්තයා මේ රටේ බලයට එනවා නම් ඇමැතිකම් අවශ්‍ය නැහැ කියන එක. අපි හැමදාම වැඩ කළේ මහින්ද මහත්තයා වෙනුවෙන්. ඒ නිසා ඒවා ගැන කතා නොකර ඉමු. දැන් තියෙන්නේ මහින්ද මහත්තයා තවදුරටත් ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණයයි. ඒ නිසායි මම කියන්නේ පොහොට්ටුවෙන් තරග කරමු කියලා\' ප්‍රසන්න පැහැදිලි කළේය.

\'මගෙත් මතය දිනන ලකුණ පොහොට්ටුව කියන එකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නේ වෙනම හැඩයක්. එතැනදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම උපක්‍රමය තමයි පොහොට්ටුවෙන් තරග කරන එක. මම ඒ වෙනුවෙන් උපරිමයෙන් පෙනී ඉන්නවා\' මධුමාධව කීවේය.

\'මමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා\' ජා.නි.පෙ. නියෝජනය කරන ලලන්ත ගුණසේකර පළාත් සභා මන්ත්‍රිවරයා ද පැවැසීය.

\'පොහොට්ටුවෙන් තරග කරන්න ඕනේ කියන එක අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි පක්‍ෂ නායකත්වයේ අදහසුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ\' සිසිර කීවේය.

\'ඒක තමයි මම කියන්නේ අපි මේ යෝජනාව පක්‍ෂ නායකත්වයට දන්වලා යවමු කියලා\' ප්‍රසන්න පැවැසීය.

ඒ අනුව ප්‍රසන්නගේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරුණු අතර එම යෝජනාව මහින්ද සහ බැසිල් වෙත දන්වා යැවීමටද තීරණය කෙරිණි.

අගමැති සහ ඇමැති මණ්ඩලයේ කටයුතුවලට වාරණයක් පනවමින් අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් වන විට ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රිවරුන් සිටියේ යුක්තියට හඬක් සංවිධාන කළ ජනවරමට අවසරයි ජනරැලියට සහභාගි වෙමිනි. පණිවුඩය ලැබුණු වහාම එතැන සිටි මන්ත්‍රිවරුන් සියලුදෙනාම පාහේ මහින්දගේ විජේරාම නිල නිවෙසට ගියෝය. කෙහෙළිය, සුසිල්, අනුර, ප්‍රසන්න, පවිත්‍රා, පියල්, දිනේෂ් ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියහ.

\'මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. එතුමා ඉන්නෙත් අපි ඉන්න මතයෙමයි. මෙතැනදී අපේ තනතුරු අත්හිටුවලා නැහැ. රාජකාරි කරන එකට පමණයි වාරණයක් නිකුත් කරලා තියෙන්නේ\' මහින්ද පැහැදිලි කළේය.
අනතුරුව එම තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරුණු අතර පසුදින ප්‍රථම පැයේදීම තීන්දුවට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට යන බවත් මහින්ද පැවැසීය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද ඒ මොහොතේම නිකුත් කෙරිණි. අනතුරුව සාකච්ඡාවට ලක් කෙරුණේ එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධයෙනි.

\'එක්සත් ජාතික පක්‍ෂය අද එල්ලෙන්න වැල් නැති පක්‍ෂයක් වෙලා ඉවරයි\' ප්‍රසන්න පැවැසීය.

\'මේ සියල්ලට මුල වෙලා තියෙන්නේ 19 වැනි සංශෝධනයයි. කඩිමුඩියේ ගෙනැල්ලා මේක සම්මත කරගත්තා මිසක් ඒකෙන් වෙන්න පුළුවන් අහිතකර දේවල් කවුරුවත් හිතුවේ නැහැ. දැන් පේනවානේ උදා වෙලා තියෙන තත්ත්වය\' උදය පැහැදිලි කළේය.

\'ඒක නම් ඇත්ත තමයි. අද රටම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් වැරැද්ද නිසාමයි\' පවිත්‍රා කීවාය.

\'අද යූ.ඇන්.පී.යයි ජේ.වී.පී. යයි ටී.එන්.ඒ. එකයි එක වල්ලේ පොල් වගෙයි\' පියල් පැවැසීය.

මන්ත්‍රි පිරිස ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැන දීර්ඝ සාකච්ඡාවක් කැඳවූ අතර එදින රාත්‍රියේම නීතිඥයන් ගෙන්වා උපදෙස් ලබා දුන්හ.

මහ ලේකම්ගේ පියාගේ මරණයේදී කරු - මහින්ද
කතා කළේ මොනවාද?

කරු ජයසූරිය සහ මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය සතියේ නිදහසේ මුණගැසුණේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියාණන්ගේ අවමඟුල් උත්සවයේදීය.

කොළඹ පෞද්ගලික අවමඟුල් උත්සව ශාලාවකදී පැවැති එම අවස්ථාවට කථානායකවරයා ප.ව. 3.00 පමණ වන විට පැමිණ සිටි අතර, මහින්ද ඊට ස්වල්ප වේලාවකින් පැමිණ කථානායකවරයාට යාබද අසුනේ අසුන් ගත්තේය. දෙදෙනා සුහද කතාබහකට මුල පිරූ නමුත්, විනාඩි කිහිපයක් ගතවෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකථන පණිවුඩයක් ලැබිණි.

දුරකථන ඇමතුම නිමා කර කථානායකවරයා දෙසට හැරුණු රාජපක්‍ෂ මහතා ඇසුවේ \'දන්නවාද තීන්දුව\' කියාය. ඒ වන විටත් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මඟින් ලැබී තිබූ අග්‍රාමාත්‍යවරයා හා කැබිනෙට්ටුවේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තීන්දුව කථානායකවරයා කියවා තිබූ බැවින් කථානායකවරයා කීවේ \'ඔව්\' මටත් දැනගන්න ලැබුණා\' කියාය.

කෙසේ වෙතත්, තීන්දුව ගැන දිගු කතාබහකට නොගොස් දෙදෙනාම ඉක්මනින් රට ස්ථාවර කළ යුතුය යන්න පිළිබඳව අදහස් පළ කළහ.

\'පසුගිය කාලයේ කථානායකවරයා හැටියට මම හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තේ ප්‍රතිපත්තිමය කරුණු මත බහුතරයේ මතය වෙනුවෙන් පෙනී සිටීමටයි. ඔබතුමා යටපත් කර දාන්න හරි වෙන කවුරුහරි ඉස්මතු කරන්න හරි මට වුවමනාවක් නැහැ. පෞද්ගලිකව ඔබතුමා හෝ වෙන කිසිවෙක් සමඟ මට කිසිම ද්වේෂයක් නැහැ\' කරු කීවේය.

එයට සිනහවකින් හිස වනා ප්‍රතිචාර දැක්වූ මහින්ද ඔව්, ඔව්, ඒක තමයි යැයි කීවේය. කෙසේ වෙතත් අවමඟුල් උත්සවයට පැමිණ සිටි මාධ්‍යවේදීහු කිසිවෙක් මෙම අවස්ථාව මඟනොහැර සිය කැමරා කාචවල සටහන් කර ගැනීමට දැක්වූයේ දැඩි උනන්දුවකි. පසුදින පුවත්පත්වලද එම ඡායාරූපයට ඉහළ ප්‍රචාරයක් දී තිබිණි.

මේ අතර අභියචනාධිකරණ තීන්දුව නිකුත් වූ දිනට පසුදින නිවේදනයක් නිකුත් කළ කථානායකවරයා සැප්තැම්බර් මස 26 වැනි දින පැවැති රජය වෙනස් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණයෙන් පසුව කථානායකවරයා ලෙස තමා ගත් ක්‍රියාමාර්ග පියවරෙන් පියවර පැහැදිලි කර තිබිණි.

එතුළින් ඔහු අවධාරණය කර තිබුණේ මෙතෙක් ගත් සියලු ක්‍රියාමාර්ග ලෝක පාර්ලිමේන්තු සංගමයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකුලව ගනු ලැබූ බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු මිස කිසියම් පුද්ගලයකු හෝ පාර්ශ්වයක් ශක්තිමත් කිරීමක් හෝ දුර්වල කිරීමක් සිය අපේක්‍ෂාව නොවූ බවය.

මේ අතර ගෙවී ගිය සතියේ තවත් උත්සව ගණනාවකට එක්වූ කථානායකවරයා කොළඹදී පැවැති රබර් අපනයනකරුවන්ගේ සම්මේලනය මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ ජාතික දින උළෙලෙහිද ප්‍රධානත්වය ගත්තේය.

මේ අතර මිල්ලනිය ප්‍රදේශයේ පැවැති පූජ්‍ය පොල්වත්තේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේට දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උළෙලේදී කථානායකවරයාට භික්‍ෂුන් වහන්සේගෙන් ලැබුණේ විශාල ප්‍රසාදයකි. නමුත් මෙහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් පැවැසුවේ \'කථානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ගනු ලැබූ උත්සාහය අගය කරන මුත්, පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ද්‍රවිඩ සන්ධානයට හිමිවීම අනුමත කළ නොහැකි බවයි.

කථානායකවරයා සිය කතාවේදී ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වූයේ \'අපේ අනුනායක හිමියන් වහන්සේ ගැන මට තිබෙන්නේ විශාල ගෞරවයක්. ඔබවහන්සේ පෙන්වා දුන් කරුණු මට හොඳින් අවබෝධ වෙනවා. එතැන ප්‍රශ්නයක් තිබෙන බව බැලූ බැල්මට ඔබවහන්සේට පෙනී යෑම සාධාරණයි.

නමුත් කථානායකවරයා ලෙස මට ක්‍රියා කිරීමට සිදුවන්නේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායට අනුවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල බලය හිමි එම පක්‍ෂය, නායකයා හා මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් ජාතික ආණ්ඩුවට නිල වශයෙන් එක් වුණා. එම මතය පිළිනොගත් පිරිසක් තමයි විපක්‍ෂයේ වාඩි වුණේ. නමුත් කථානායකවරයා ලෙස මට පිළිගැනීමට සිදුවුණේ එම පක්‍ෂයේ නිල මතයයි.

එම පක්‍ෂයේ නිල මතය ආණ්ඩුවට එක්ව කටයුතු කිරීම නිසා එම පක්‍ෂයේ තවත් පිරිසකට විපක්‍ෂ නායක ධුරය පිරිනැමීමට නීතිමය හැකියාවක් තිබුණේ නැහැ. මම මෙහිදී ක්‍රියා කළේ හෘදසාක්‍ෂියට එකඟව හා නීතියට එකඟවයි. ඉදිරි කාලය තුළත් ඔබ වහන්සේ සැමට මම සහතික වෙනවා මේ මාතෘ භූමිය වෙනුවෙන් හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරනවා කියලා යැයි කථානායකවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමද විශේෂත්වයකි.

මෛත්‍රිගේ කතාවට
රනිල් දුන්නු උත්තරේ

ශ්‍රී ලනිප සමුළුවේදී එජාපය ගැන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට රනිල් ඊට පසුදා පැවැති රැස්වීමකදී පිළිතුරු දුන්නේය.

\'අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා.. ඒ හරහා අපි අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ශීඝ්‍ර සංවර්ධනය, සාමය හා සංහිඳියාවයි.. බුදුන් සමයේදී අක්කෝසභාරද්වාජ බමුණා බුදුන් වහන්සේට නිග්‍රහ සහ අපහාස කළා.. බුදුන් බමුණාගෙන් ඇසුවේ බමුණ, ඔබේ නිවෙසට යමෙක් පැමිණුනු විට ඔබ ඔවුන්ට සංග්‍රහ කරනවාද එම සංග්‍රහ ඔවුන් පිළිගන්නේ නැති නම්.. එම ආහාර අයිති වන්නේ ඔබටම නේද.. බුදුන් විමසුවා..

ඒ වගේම මට අවලාද පරිභව කළ කිසිවකුට මා ‍ෙදාස් කියන්නේ නැහැ.. ඉහත කී ආහාර සියල්ල බමුණාටම ඉතුරු වුණා සේ මට නිග්‍රහ කළ සියල්ලම එසේ කළ අයම සතු වේවි.\' ගාලුමුව‍ෙදාර හෝටලයේ පැවැති වෘත්තිකයන්ගේ සම්මන්ත්‍රණයකදී රනිල් මෙම පිළිතුරු ලබාදුන්නේය. මෙම සම්මන්ත්‍රණය සඳහා සිය බිරිය මෛත්‍රි වික්‍රමසිංහද පැමිණ සිටීම විශේෂත්වයකි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ රනිල් විවාහ මංගල්‍යයකට යෑමට සූදානම්ව සිටියදී එජාප මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් ඔහු හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.

\'ජනාධිපතිතුමා කිව්වා රනිල් මැතිතුමා එයාව ටිකක් විනාශ කළා කියලා.. ඇයි ඔබතුමා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු කෙනෙක් ටිකක් විනාශ කරලා නැවැත්තුවේ.. අපිට ඒ නිසා ඔබතුමාට ‍ෙදාස් කියන්නත් වෙනවා.. නලින් බණ්ඩාර කතාව ආරම්භ කළේ කාගේත් සිනහා මැදය.

\'තානාපතිවරු සහ ජාත්‍යන්තරය මේ රටේ ව්‍යාකූලතාව ගැන මාස එකහමාරකට පස්සේ දැන් මොකක්ද ඔබතුමා හමුවෙලා කිව්වේ..\' නවීන් විමසුවේ රනිල්ගෙනි.

\'මේ රටේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඔවුන් දන්නවා. ඔවුන් විතරක් නෙවෙයි ලෝකයම දන්නවා. තානාපතිවරු සහ ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු බහුතරය එකඟ වන නිවැරැදි දේ සිදුවිය යුතුයි කියලායි.. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ලංකාව ආධාර දෙන සියලු රටවල් සහ සංවිධාන ඒ සියල්ල නවත්වමිනුයි දැන් ඉන්නේ.. මේ රට මේ ආර්ථික දෙදරීම දරා ගන්නේ කොහොමද\' රනිල් පිළිතුරු දුන්නේය.

\'නීතිපතිතුමා කියන්නේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා.. එතුමා 19 වැනි සංශෝධනයේ තියෙන දේවල් අපේ ව්‍යවස්ථාවට අයිති නෑ කියලා හිතනවද මං දන්නේ නැහැ. නමුත් එතුමා රජයේ පාර්ශ්වය සනසාලන්න මොනවා හරි කියන්න ඕනෑ නිසා මේවත් කිව්වද කියලත් නීති අංශවල විශාල කතාබහක් යනවා..\' එජාප නීති උපදේශකවරයෙක් කීවේය.

ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලලා අභියාචනාධිකරණයට ගියහම මහින්දයි ඒ ආණ්ඩුවයි නීති විරෝධී කියලා තහනම් නියෝගයක් ලැබිලා තිබෙනවා. උසාවි පලයල්ලා කියලා කෑ ගහපු රාජපක්ෂලා දැන් උසාවි තීන්දුවටත් අභියෝග කරලා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඊට විරුද්ධව ඉල්ලීම් කරලා තියෙනවා. ඒත් ජනාධිපතිතුමා නිසි කලට ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් නොකළ නිසා ඒ නඩුව අහන්නත් දැන් මිනිස්සු නැහැල්ලු.. රටේ හැම තැනම හිරවෙලා තියෙන්නේ\' චමින්ද විජේසිරි කී දේ අගමැති ඇතුළු කාගේත් අවධානයට ලක්විය.

මහින්ද මහත්තයා මාර තර්ක ඉදිරිපත් කරන්නේ.. මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධියටත් නිගා දෙනවා.. 1952දී හා 1959දී ඩී.එස්. හා බණ්ඩාරනායක මැතිතුමන්ලා මිය ගියාට පස්සේ පත්වෙච්ච අගමැතිවරු කෙටි කලකින් මහ ඡන්දයකට ගිය නිසා මේ පාරත් එහෙම කරන්නලු.. ඒක පුදුම කතාවක්.. අපේ අගමැතිතුමා හොඳට ඉන්නවා.. ජනාධිපතියි මහින්ද මහත්තයයි එකතු වෙලා හොර ආණ්ඩු හදලා රට අර්බුදයට යවලා දැන් ඒ අර්බුදයෙන් බේරෙන්න මහ ඡන්ද ඉල්ලනවා.. ව්‍යවස්ථාවේ එහෙම ඉඩක් නැහැ.. දැන් ඉක්මනින්ම පැවැත්විය හැකි එකම මැතිවරණය ජනපතිවරණයයි. 2019 ජනවාරි 08ට පසු ජනාධිපතිතුමාට ඒ තීන්දුවට ඕන නම් යන්න පුළුවන්..\' හේෂා කළ විග්‍රහයද කාගේත් පැසසුමට ලක්විය.

\'බණ්ඩාරනායක මහතා මිය ගියාට පස්සේ දහනායක මහතා ආණ්ඩුව කරගෙන යනකොට ඔහුට බහුතරය අහිමි වුණා.. ඊට පස්සෙයි ඔහු මහ ඡන්දයකට ගියේ..\' රනිල් ඉතිහාස කතාව මතක් කර දුන්නේය.
\'මහ මැතිවරණයක් පවත්වනවා නම් අපෙන් පික් පොකට් ගහපු ව්‍යාජ ආණ්ඩු යටතේ ඒක කරන්න අපි එකඟ නැහැ.. ඔක්තෝබර් 26ට පෙර තිබූ ජනතාව පත් කළ රජය ස්ථාපිත කළොත් අපි සියලු පක්ෂ එක්ක සාකච්ඡා කරලා සාධාරණ ඡන්ද පවත්වනවා..\' කිරිඇල්ල කීවේය. \'ජනාධිපතිතුමා අන්තිමට හමුවූ සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය ඉවර වේවි යැයි රටම බලා හිටියා. ඒත් එදා මොකක්ද එතැන වුණේ\' චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ ඇසුවේ එකම විදියේ පැනයකි.


\'225 අස්සන් කළත් රනිල් අගමැති කරන්න බෑ කිව්වා.. මම කැමැති මට ගැළපෙන මාත් එක්ක වැඩ කළ හැකි කෙනෙක් තමයි මට අගමැතිකමට ඕනෑ කියලා එතුමා කිව්වා.. මම කිව්වා ව්‍යවස්ථාවේ ඔබතුමා කියන එවැනි සඳහන් නැහැ කියලා.. ව්‍යවස්ථාවේ තියෙන්නේ පාර්ලිමේන්තු බහුතරය ඇති කෙනාට අගමැතිකම හා ආණ්ඩුව අනිවාර්යයෙන් ලබාදිය යුතුයි කියලායි. ඒ නිසා ඔබතුමා මාස ගණනක් අකර්මණ්‍යව තියෙන මේ රටට තවත් හානි නොකර අඩියක් පස්සට අරගෙන මේ ප්‍රශ්නය විසඳන්න කියලා අපි කිව්වා..\' කිරිඇල්ල එදින සිදුවීම විස්තර කළේය.

\'දැන් මේ රටේ අගමැතිලත් නැහැ ආණ්ඩුවකුත් නැහැ.. විපක්ෂ නායකලත් නැහැ විපක්ෂයකුත් නැහැ.. ගිනස් වාර්තාවක් මේක.. මහ ඡන්දයකට වැරැදිලාවත් අපි යනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවිය යුතුමයි.. ඒ ආණ්ඩුව බහුතරය ඇති කණ්ඩායමට ලබාදීම අනිවාර්යයි\' නවීන් කීවේය.

\'ජනාධිපතිතුමායි මහින්ද ඇතුළු කණ්ඩායම හා එජාපෙ අපි හම්බවුණු වෙලාවේ මම මහින්දට කිව්වා ඔබ දෙවරක් ජනාධිපතිකම් කළාටත් පස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පස්ස ‍ෙදාරෙන් අගමැතිකම් ගැනීම ඔබේ ප්‍රතිරූපයට හානියක් නේද කියලා මම මුහුණටම ඇහුවා.. ඒ වගේම මම ජනාධිපතිතුමාට කිව්වෙත් ඔබතුමා අඩි 6ක් යටට යවනවා කියපු, සිගරැට් කොම්පැනි ළඟ හෑල්ලු කළ බව කියපු, මොරගහකන්දට සල්ලි දුන්නේ නැහැ කියපු, මහින්ද සමඟ එකට හිටගන්න පුළුවන් නම් රනිල් එක්ක හිටගන්න බැරි ඇයි කියලායි... මේවා අහනකොට මේ දෙන්නම බිම බලාගත්තා මිසක් උත්තරයක් දුන්නේ නැහැ..\' කිරිඇල්ල තවත් විස්තරයක් කියාගෙන ගියේය.

\'පාර්ලිමේන්තුවේදී විස¼දාගත හැකි ප්‍රශ්නයක් ජනාධිපතිතුමාගේ දරදඬුකම නිසා උසාවියටත් ගියා.. දැන් ඔවුන් උසාවියටත් අභියෝග කරන තැනට ඇවිත්.. මේ ප්‍රශ්නය මහ පාරෙදි ලේ හලලා දේපොළ විනාශ කරගෙන රටේ කීර්තියත් ජාත්‍යන්තර ලෙස නැත්තටම නැති කරගෙන විසඳන්නද උත්සාහ කරන්නේ.. ජාත්‍යන්තර මැදිහත්කරුවකු මේකට හවුල්කරගෙන මේ ප්‍රශ්නය නිමා නොකරන්නේ ඇයිද කියලා සමහරු අහනවා..

මම හැමදාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, ජනසම්මතවාදයට අනුව වැඩ කරන කෙනෙක්.. ඒ නිසා පාර්ලිමේන්තු බහුතරය ඇති කණ්ඩායමට ජනතාව පත් කළ ආණ්ඩුවේ බලය ලබාදීම හැර, ජනතාව කියන දරදඬු විකල්පවලට අපි හදිස්සි විය යුතු නෑ කියලායි මම අදටත් හිතන්නේ.. මම ප්‍රාර්ථනා කරනවා ජනාධිපති ඇතුළු කණ්ඩායමත් රට වෙනුවෙන් ඒ නිවැරැදි ස්ථාවරයට පැමිණේවා කියලා.. රනිල් කළ විග්‍රහය කාගේත් ප්‍රශංසාවට ලක්විය.


කොළඹ තානාපතිවරු ආයෙත් අරලියගහ මැඳුරට කැඳවයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ යළිත් කොළඹ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවා රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන පැහැදිලි කළේය. මෙහිදී තානාපතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත්තේ රටේ දේශපාලන අවුල විස¼දා ගැනීම සඳහා කුමක් කරනවද යන්නයි.

\'ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථාවට අනුව මේ ගැටලුව නිරාකරණය කරන්න තවම සූදානම් නෑ.\' රනිල් කීවේය.

\'දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇරුණහම ඔබටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි බලයක් නෑ නේද?\' තානාපතිවරයකු විමසීය.

\'නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් මම එක්ක ඉන්නවා. පුදුම වැඩේ කියන්නේ ජනාධිපතිතුමා මේ වෙනකන් ඒකට කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නෑ.\' රනිල් කීවේය.

\'ඔව්, ඒක තමයි අවසාන මොහොතේ හෝ ජනාධිපතිවරයා නියම තත්ත්වයට වැඩ කටයුතු කරනවා කියලා අපට විශ්වාසී යැයි තානාපතිවරු කියූහ.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝද එක්ව සිටියහ.

චන්ද්‍රිකාගේ සැර ලිපිය දැක මහලේකම් සිනාසෙයි

හිටපු ජනාධිපතිනිය මෙන්ම අත්තනගල්ල ශ්‍රී ලනිප සංවිධායකවරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මේ දිනවල පක්ෂය සමඟ මත ගැටුම් ඇති කර ගනිමින් සිටී. ඇය පසුගියදා පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත ලිපියක් එවමින් පක්ෂයේ වත්මන් ක්‍රියා කලාපය ගැන දැඩි ලෙස ‍ෙදාස් නඟා තිබිණි. ඇය එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඇයට ආරාධනා නොකිරීම ගැන ඇය මහ ලේකම්වරයාට ‍ෙදාස් නඟා ඇත. තමන් පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කරන අතර ඒ බව අමතක වී ඇත්දැයි චන්ද්‍රිකා සිය ලිපියෙන් මහ ලේකම්වරයාට දැනුම් දී ඇත. එම ලිපිය ලැබුණු පසු මහ ලේකම්වරයා එය කියවා බැලුවේය. අනතුරුව එය පසෙකින් තැබූ මහ ලේකම්වරයාට හිනා ගියේය. \'සර්.. මොකක්ද ලිපිය? සේවකයකු මහලේකම්වරයාගෙන් විමසීය.

\'චන්ද්‍රිකා මැඩම් මට ලියුමක් එවලා\' මහලේකම්වරයා කීවේද සිනාසෙමිනි.

පසුව එම සේවකයාද මහලේකම්වරයා පසෙකින් තැබූ ලිපිය කියවන්නට පටන් ගත්තේය.

\'සර්... මේකට නම් උත්තරයක් යවන්න වෙයි\' සේවකයා කීවේය.

\'ඒ මොකටද?\' මහලේකම්වරයා ගණනකටවත් නොගෙන කීවේය.

\'ඔව්.. නේද සර්... එතුමිය පක්ෂයේ අනුශාසකවරිය කියලා අඩුම තරමේ පක්ෂ කාර්යාලයටවත් අඩියක් තියලා නෑ. පසුගිය කාලේ කොහේ හිටියද කියල අපි දන්නෙත් නෑ. පසුගිය ඡන්දෙදි අත්තනගල්ල පට්ට පරාදයි. ඉතින් මොකටද මේ වගේ අනුශාසකවරු පක්ෂයට. සේවකයා දීර්ඝ විස්තරයක් කළේය.

මහලේකම්වරයා ඊටද සිනාසුණා මිස කිසිවක් නොකීමට වගබලා ගත්තේය.

මහින්දව ෂේප් කරගන්න ටී.එන්.ඒ. රහස් කතා අරඹයි

පවතින දේශපාලන අර්බුදය නිසා දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙද සිටින්නේ දැඩි කලබලයෙනි. ඔවුන්ද පාර්ලිමේන්තුවේ සහ ඉන් පිට මහින්ද පාර්ශ්වයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් සිටී. තත්ත්වය එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයද පසුගියදා හමුවී වත්මන් දේශපාලන අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම හමුවේදී ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ට තිබුණේ තරමක් වෙනස් මතයක් නිසා අවුල් සහගත තත්ත්වයක් හටගත්තේය.

ටෙලෝ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන්, විනෝනරාද සහ හිටපු මන්ත්‍රි එච්.ජී. සිවාජිලිංගම්, එන්. ශ්‍රී කාන්තා සහ කේ. කරුණාකරන් එක්ව සිටියහ.

හැමදාම අපිව දකුණේ නායකයන් රැවැට්ටුවා. ඒක තමයි දිගින් දිගටම වුණේ. අදටත් සිදුවෙමින් තියෙන්නේ ඒකම තමයි. අපිට හැමදාම රැවටෙන්න බෑ. මේ පාර එක්සත් ජාතික පෙරමුණට සහාය දෙනවා නම් ලිඛිතව කොන්දේසිවලට ගිවිසුමක් ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඔවුන්ට සහාය දෙන්නෙ නෑ. ටෙලෝ නියෝජිතයෝ දීර්ඝ ලෙස අදහස් දක්වන්නට වූහ. උතුරු නැඟෙනහිර ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරු නැඟෙනහිර යළිත් ඒකාබද්ධ කිරීම, පොලිස් බලතල ලබාදීම වැනි කරුණු එක්ක ගිවිසුමක් ඇති කරගත යුතු බව ටෙලෝ නියෝජිතයන්ගේ අදහස විය. මේ සඳහා ලිඛිත ගිවිසුමක් ඇතිකර ගන්නේ නම් එක්කෝ ජාතික පෙරමුණට සහාය දීමට ටෙලෝ තීරණය කර අත.

\'අපට මේ අවස්ථාවේ එක පාරටම ලිඛිත ගිවිසුමක් ඇතිකරගන්න බැරි වෙයි. කමක් නෑ. අපි මුලින් ඒ අයට සහාය දෙමු පසුව බලමු මොකක්ද කියන්නෙ කියලා.\' සම්පන්දන් කීවේ අපූරු කතාවකි.

\'දේශපාලන විසඳුමක් අපට ගන්න එක ලේසි නෑ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඕනෑ. තුනෙන් දෙකක් ගන්න නම් මහින්දගේ බලයත් ඕන වෙනවා. ඒ නිසා මහින්දව ඕනවට වඩා තරහා කරගන්න එක හොඳ නෑ. අපි එයාවත් ෂේප් එකේ තියාගන්න ඕනේ.\' ශ්‍රී කාන්තා කීවේය. මේ අවස්ථාවේ සම්පන්දන් ඇතුළු සෙසු නියෝජිතයන් කිසිවක් නොකීමට වගබලා ගැනීමද විශේෂත්වයකි.

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon