තෙල් මිල අඩු කිරීම හා ජනතාවට සහන දීම

  👤  2706 readers have read this article !
2018-12-06

ජාතිවාදය තරමටම නිතර උණුසුම් කතාබහක් ඇති වන මාතෘකාවක් නම් ඒ තෙල් මිලය. රාජපක්ෂ ආණ්ඩු සමයේ දිගින් දිගටම තෙල් මිල ඉහළ යෑම නිසා 2015 ජනාධිපතිවරණ වේදිකාවේ පොදු අපේක්ෂකයා ලබාදුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ තෙල් මිල අඩු කිරීමය. පොරොන්දු වූ පරිදිම සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව තෙල් මිල අඩු කළ අතර බස් ගාස්තු අඩු කිරීම ද ඊට සමගාමීව සිදුවිය. කනගාටුවට කරුණ වූයේ හවුල් ආණ්ඩුව තෙවසරක් ඇවෑමෙන් ඊනියා මිල සූත්‍රයක් හඳුන්වා දීමය.

මේ මිල සූත්‍රය නිසා ඉන්ධන මිල ටැක්සි මීටරයක් සේ මාසයෙන් මාසයට ඉහළ ගියේය. බස් ගාස්තුද ඉහළ ගිය අතර කොරේ පිටට මරේ කීවා සේ දුම්රිය ගාස්තුද වැඩි කෙරිණි. එහෙත් විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ ගියද ඊනියා මිල සූත්‍රය නිසා ඒ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට ආණ්ඩුව අසමත්ව සිටින බවය.

හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීම හේතුවක් කරගනිමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලයක් පත්කළේ මේ අතරය.

අගමැති ධුරයට පත්කළ මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස පාරිභෝගික ජනතාවට සහන කිහිපයක් ලබාදුන් අතර පෙට්රල් හා ඩීසල් මිල අඩු කිරීම ඒ අතර විය. ඊනියා මිල සූත්‍රය අහෝසි කළ බැවින් මෙලෙස තෙල් මිල අඩු කළ හැකි වූ බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. මාසයක පමණ කාලයක් ඇතුළත මේ වනවිට තෙල් මිල තෙවරකදී අඩු කර ඇත. ඇත්ත වශයෙන්ම එය ඉතා විශාල සහනයකි. මගී ත්‍රිරෝද රථවල අවම ගාස්තුව රුපියල් 60 සිට 50 දක්වා අඩු කර ඇති බව ත්‍රිරෝද සංගම් නිවේදනය කර තිබේ. එහෙත් බොහෝ ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ අවම ගාස්තුව අඩු කර නොමැති බවය.

පෞද්ගලික මගී බස් රථ සංගම් ප්‍රකාශ කර ඇත්තේ අමතර කොටස් මිල අඩු වී නැති නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවය. ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් අඩු වූ අවස්ථාවේදී බස් ගාස්තු සියයට 2කින් අඩු කළ බවත් ඊට පසුව දෙවතාවකදී ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කළ නොහැකි බව ඔවුහු කියා සිටිති. අවශ්‍ය නම් සියයට 3කින් ගාස්තු අඩු කළ හැකි බව බස් සංගම් අවධාරණය කළද ඩීසල් මිලේ අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ ජාතික ප්‍රවාහන කොමිසමේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

තෙල් මිල ඉහළ ගිය වහාම බස් ගාස්තු, ත්‍රිරෝද ගාස්තු වැනි සෘජු සේවා ගාස්තු මෙන්ම ආහාර පානවල මිලද ඉහළ දැමීමට අදාළ අංශ දෙවරක් සිතන්නේ නැත. එහෙත් තෙල් මිල පහත දැමූවිට විවිධ දේ කියමින් ඔවුහු මිල අඩු කිරීම මඟහැරීමට වෙර දරති. මෙවර සිදුව ඇත්තේ එයයි. වැඩ සිද්ධ වෙන්නේ තෙල් මිල පහළ යෑමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන තැනටය. ඒ නිසා ජාතික ප්‍රවාහන කොමිසම ජනතාවගේ පැත්තේ සිට දැඩි තීරණයක් ගැනීම වැදගත් වේ. ජනතාව විසින් රට පාලනය කිරීමට භාරදී ඇත්තේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවටය. බස් හිමියන්, ත්‍රිරෝද හිමිකරුවන්, ආපනශාලා හිමියන්, තොග වෙළෙඳුන් ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස 'මිල' තීරණය කිරීමට ඉඩදීම 'පාලනය' ඔවුන්ට ලබාදීම හා සමානය. මුදල් ඇමැතිවරයා ලබාදුන් 'සහන' පාරිභෝගික ජනතාව 'අතට' නොයන්නේ නම් ඉන් පලක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon