මඟ හිරවුණු රට බෙදන කොන්ත්‍රාත්තුව

  👤  3366 readers have read this article !
2018-12-04

2009 මැයි 19දා ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධය ජයග්‍රහණයකින් නිම විය. එදා අපේ රටේ ජනතාව පී්‍රති ඝෝෂා නැඟුවේ බෙදුම්වාදීන්ගෙන් රට නිදහස් වීය යන අවංක විශ්වාසයෙනි.

නමුත් ඉන් වසර කිහිපයක් ගතවන්නටත් පෙර බෙදුම්වාදයේ අඳුරු මතකයන් යළි වතාවක් මතුවන්නට පටන් ගැනිණි. මෙවර බෙදුම්වාදීන් සටන් බිම ලෙස තෝරා ගත්තේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. මෙවර ඔවුන් සටනට පිවිසියේ තනිවම නොවේ. රටවල් ගණනාවක සහායද තමුන්ට ලබා ගනිමිනි. කොටි ත්‍රස්තවාදීන් විසින් ලොව පුරා ගොඩනඟා සුරක්‍ෂිතව තිබුණු විශාල මූල්‍ය ජාලයද ඔවුන්ගේ සවියට එක්ව තිබිණි.

මේ අභිනව සටන් පෙරමුණේ නායකයෝ උපාය මාර්ගවලින් ප්‍රභාකරන්ටත් වඩා ඉදිරියෙන් සිටියහ. ඔවුන් මුලින්ම කළේ සිය සමස්ත බලයම යොදවා ත්‍රස්තවාදය එදා අවසන් කළ ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ඡන්දයකින් පරාජය කිරීමට 29 වතාවක් ඡන්ද පැරැදී වික්ෂිප්තව සිටි රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමයි. මේ උපකාරයට ප්‍රතිචාර ලෙස ඔවුන්ට අවශ්‍ය දේ කරදීමට රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර කණ්ඩායම පොරොන්දු කරවා ගෙන තිබිණි.

2012දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතව තිබූ ලංකාවට එරෙහි යෝජනාවකින් ඇරැඹි කුමන්ත්‍රණය 2015 වන විට බොහෝ දුරට උඩුදුවා තිබිණි. 2012 පළමු යෝජනාවේ කියැවුණේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී යම් වැරැදි සිදුවූවාදැයි සොයා බැලිය යුතු බවය. බැලූ බැල්මට එම යෝජනාවේ බරපතළ කරුණක් අඩංගු නොවුණු නිසා බොහෝ රටවල සහාය එයට ලැබිණි. 2013 ආ දෙවැනි යෝජනාවේ යුද සමයට අමතරව ලංකාව තුළ සිදුවන දේශපාලන කටයුතු ගැනද යම් සඳහනක් තිබිණි. එහෙත් 2014 ඉදිරිපත්වූ යෝජනාවේ ලංකාවේ ස්වෛරිත්වයට දරුණු ලෙස බලපාන කරුණු අඩංගු වූ අතර ලංකාව පිළිබඳ පරීක්‍ෂණයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට නියෝග කරන ලෙස ඉල්ලා තිබිණි. මේ යෝජනාව සම්මත වී තිබුණේ ලංකාවට පක්‍ෂපාත වූ සමහර රටවල බරපතළ විරෝධය මධ්‍යයේය.

උදාහරණයක් වශයෙන් 2014 යෝජනාවට ඉන්දියාව හා පකිස්තානය යන දෙරටම විරුද්ධ වූයේ මෙය ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බව සඳහන් කරමිනි. එහෙත් අන්තවාදී දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත මේ යෝජනාවද සම්මත කර ගැනීමට බටහිර රටවල් සමත් වූහ. මේ වන විට රාජපක්‍ෂ ආණ්ඩුව එළවා දැමීමේ වගකීම කරට ගෙන තිබූ රටවල් අතර ඇමෙරිකාව, මහ බි්‍රතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ, කැනඩාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටියහ.

2015 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය රාජපක්‍ෂලා හා මෙම බාහිර බලවේග අතර වූ සටනක් විය. කොංග්‍රස් ආණ්ඩුව පරදා ඉන්දියාවේ අලුතින් බලයට පත්වී සිටි මෝඩි රජයද චීනය සමඟ ලංකාව ඕනෑවට වඩා සමීපය යන වැරැදි මතයක් ඇති කරගෙන සිටි නිසා මේ කාර්යයට එක්වූ බවක් පෙනේ. ඒ අනුව මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම, ඒ සඳහා සහායට දේශපාලන පක්‍ෂ රාශියක් ඒකරාශි කිරීම, මූලෝපමාය හා මූල්‍යමය සහාය නොමඳව ලබාදීම් ආදිය සිදුකරන ලද්දේ මේ බාහිර බලවේග විසිනි.

2016 ඇමෙරිකාවේ පළවූ රාජ්‍ය ලේඛනයක එවකට ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සඳහන් කොට තිබුණේ ලංකාවේ, බුරුමයේ හා නයිජීරියාවේ පැවැති රජයන් වෙනස් කිරීම සඳහා 2015දී ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 680ක් වැය කළ බවය. මින් තුනෙන් එකක් ලංකාව වෙනුවෙන් වැය වුණා නම් මහින්ද රාජපක්‍ෂ බලයෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකාව වියදම් කළ මුදල පමණක් රුපියල් කෝටි 3000කට වැඩි විය යුතුය. මහා පරිමාණ ප්‍රචාරක කටයුතුවලට උදවු දෙමින්, විශාල බොරු ගොඩක් ජනගත කරමින්, දේශපාලනඥයන් මිලදී ගනිමින් ඉතා ප්‍රබල ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්නට එකල විපක්‍ෂයට හැකි වූයේ කෙලෙසද යන්න මින් පැහැදිලිය.

ජිනීවාවල ලංකාවට එරෙහිව 4 වැනි යෝජනාව හෙවත් 30/1 යෝජනාව ඉදිරිපත් වන්නේ 2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකටම පසුවය. 2015 මාර්තුවල ඉදිරිපත් වීමට තිබුණු යෝජනාව සැප්තැම්බර්වලට කල් දමනු ලබන්නේ එහි අන්තර්ගතය ශ්‍රී ලාංකික ජනතාව දැන ගත්තා නම් එය 2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට පැහැදිලිවම අවාසි විය හැකිව තිබුණු නිසාය.

2015 සැප්තැම්බර්වල ඉදිරිපත්වූ 30/1 යෝජනාව හොඳින් විමසා බලන්නකුට පෙනී යන්නේ එය යටත් විජිතවාදී රජයක් විසින් යටත් කොලනියකට දෙන නියෝග මාලාවක් ලෙසය. මෙම යෝජනා මාලාව හරහා ලංකාවේ ස්වෛරීත්වය පැහැදිලිවම අභියෝගයට ලක් කොට ඇත. නම්බුකාර රටක් කිසිවිටක පිළිනොගත යුතු වූ මේ යෝජනාවලිය ඒ වන විට බලයට පත්වී සිටි යහපාලන ආණ්ඩුව හිස් මුදුනින් පිළිගත්තා පමණක් නොව එයට සම අනුග්‍රාහකත්වය දැක්වීමේ ද්‍රෝහිකම හරහා මෙම යෝජනාවට එරෙහිව අන් කිසිදු රටක් විසින් අදහස් දැක්වීම පවා වළක්වන ලදී.

එදා පටන් 2018 සැප්තැම්බර් මස වන තුරු යහපාලන ආණ්ඩුව හරියට කළ එකම දෙය නම් එකින් එක මේ යෝජනාවලියේ පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීමය. යෝජනාවේ සඳහන් වූ කරුණු 20කින් තව කරන්නට ඉතිරිව තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම පමණි.

මේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන ලද්දේ අන්තවාදී දෙමළ ඩයස්පෝරාවට විවිධ ක්‍රම හරහා සම්බන්ධ වන පුද්ගලයන් විසින් බව වටහා ගත නොහැක්කකු දේශපාලනය ගැන අදහස් දැක්වීමවත් සුදුසු නැත.

මෙම නව ව්‍යවස්ථාවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මධ්‍යම රජය දුර්වල කොට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමය. ඊළඟ පියවර වටහා ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. මියගිය ප්‍රභාකරන් අද සිටින තැනක සිට පුදුම වනු ඇත්තේ තමුන්ට වසර 30ක ආයුධ සන්නද්ධ යුද්ධයකින් කරගන්නට නොහැකි වූ දෙය ටයිකෝට්, වේට්ටිකාරයන් පිරිසක් එක්ව මෙතරම් පහසුවෙන් ලබා ගත්තේ කෙසේද කියායි.

2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආ බාහිර බලවේග තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට තෝරාගත් විශ්වාසවන්තයා පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නොව කවදත් තම වාසිය සඳහා කොළයක ඔතා රට විකුණන්නට වුවත් සූදානම් මානසිකත්වයක සිටි රනිල් වික්‍රමසිංහ මහතාවය.

ඒ නිසා කොන්ත්‍රාත්තුව ඉටුකර අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ බලයේ තබා ගැනීම ඉතා වැදගත් විය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය විමසා බලන ඕනෑම කෙනකුට පෙනී යන්නේ වසර 2-3කට වඩා තම ජනප්‍රියතාව රඳවා ගෙන බලයේ සිටීමට ඔහු අසමත් බවය. මින් පෙර 3 වතාවකම අගමැති වුණත් ඔහු වසර 3ක කාලයක් අගමැති ලෙස සම්පූර්ණ කර නොතිබිණි.

19 ව්‍යවස්ථා සංශෝධනය නමින් සෝභිත හිමියන් පවා රැවටූ කපටි උපක්‍රමයක් හරහා මන්ත්‍රිවරුන්ගෙන් 2/3ක ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසියක් ව්‍යවස්ථාවට එක් කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව මෙසේ තමා භාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා බලයේ තබා ගැනීම අත්‍යවශ්‍ය බැවිනි.

එහෙත් කුරුමානම වැරැදුණේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තමා ඉත්තකුව ඇති බව වටහා ගත් නිසාදෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යවස්ථාවේම සිදුරකින් රිංගා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිකමෙන් ඉවත් කොට පසුව ව්‍යවස්ථාවේම සඳහන් තම බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හළ බැවිනි.

හදිසියේ සිදුවූ මේ විපතින් අන්ද මන්ද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවාදායකයන් ඔහුට දී ඇති උපදෙස කිසිසේත්ම මේ තත්ත්වය පිළිනොගන්නා ලෙස විය යුතුය. මන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩය අතහැරියහොත් භාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් කළ නොහැකි නිසාය.

ජනාධිපතිවරයාගේ තීන්දුව අද උසාවියේ අභියෝගයකට ලක්වී ඇත්තේ මෙබැවිනි.

මේ අතර අද ජනතාව අසන ප්‍රශ්නය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිරිසේන ජනාධිපතිත

ªමා කළ ඉල්ලීම භාර ගන්නට ඉක්මන් වුණාද යන්නයි. කිසිසේත්ම නැත. ඔක්තෝබර් 26 අගමැතිකම භාරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා රට ගලවා ගත්තේ විශාල අනතුරකිනි. ඉන් සිදුවූයේ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගණනාවකට ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් යන දෙකම කල් දමා ගැනීමට තිබුණු කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි.

නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් පාර්ලිමේන්තුව විසින් තෝරා ගනු ලබන ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතව තිබිණි. සමහර විට කරු ජයසූරිය මහතා බලාපොරොත්තුව සිටියේ මෙය විය හැකිය. ඔක්තෝබර් 26ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ ආකාරයට නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත වීමට නියමිතව තිබුණු අතර එසේ වූවා නම් 2019 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැත.

අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගණන වෙනස්වීමට නියමිතව තිබිණි. ඒ 25 සිට 233 දක්වා වැඩිවීමට නියමිතව තිබිණි. කොට්ඨාස ප්‍රමාණය 160 සිට 140ට අඩු වීමට නියමිතව තිබිණි. ඒ සඳහා අලුතින් සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමට නියමිතව තිබිණි.

නමුත් මේ සඳහා කොපමණ කාලයක් දෙනවාද, එය යළිත් කල් දමනවාද යන්න තීරණය කිරීමේ බලය තිබෙනු ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පිළිපදින්නකු වන දුර්වල ජනාධිපතිවරයකුටය.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්‍ෂා කළ නොහැකිය. ජනතාව තේරුම් ගත යුත්තේ තවත් බලා සිටියා නම් පහසුවෙන් ඡන්දයකට ගොස් දිනන්නට තිබුණා යන මතය වැරැදි බවය. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය තවත් බොහෝ කලකට උදුරා ගන්නට ඔවුන් සැලසුම් කොට තිබූ කපටි උපක්‍රමයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා අගමැති මහින්ද රාජපක්‍ෂ නිසා වැළකිණි. අද ඔවුන් දෙදෙනාටම අවශ්‍ය බව පෙනෙන්නේ ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා නව පාලකයන් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබාදීමටය.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon