ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ගිලී ගිය අබිරහස් ප්‍රදේශයක් පිළිබඳ තොරතුරු මෙන්න

  👤  3311 readers have read this article !
2018-12-02

ඉන්දියාවට දකුණු දිගින් පිහිටි මහාද්වීපයක කොටසක් හෝ විශාල භූමි ප්‍රදේශයක් මුහුදේ ගිලී ගිය බවත් එහි නටබුන් හා පිළිගත හැකි සාක්ෂි තවමත් මුහුදු පත්ලේ ඇති බවට තොරතුරු පළ වීම නිසා මේ වන විට ඒ පිළිබඳ උනන්දුව දැඩි වී ඇත. මෙය හුදු කතාවක් හෝ ජනප්‍රවාදගත කටවහරින් එන දෙයක් ලෙස ඇතැමුන් කීවද ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්‍රන්ථවලද ඒ පිළිබඳව සඳහන්ව තිබීම විශේෂයකි.

විශේෂයෙන් දෙමළ සාහිත්‍යයේ එන ශේ‍ර්ෂ්ඨ වීර කාව්‍යයන් 5කි. ඉන් එකක් සේ සලකන ක්‍රි.පූ. 2 වැනි සියවසේ ලියැවුණු. 'සීලප්පදිකාවේ' කෘතියේ වර්තමානයේ දකුණු ඉන්දියාවේ පන්රුලි හා 'කුමාරි නදී' පිහිටා ඇති භූමියේ තිබුණු පාණ්ඩ්‍ය රාජ්‍යයක් මුහුදට ගිලී ගිය බවක් කියැවෙයි.

මෙම තොරතුරු හා කාලාන්තරයක් පුරා ප්‍රවාදගත කතා අනුවත් මෙහි යම් සත්‍යයක් තිබිය හැකි යැයි අදටත් විශ්වාස කරන දකුණු ඉන්දියානුවෝ බොහෝය. ඒ අනුව අද නැතත් එදා ඉන්දියාවේ දකුණු දිගින් විශාල භූමියක් මීටත් වඩා සාගරයට මුහුණලා පැවැත ඇත. එය කිලෝමීටර් 10.06ක පමණ දුරක් විහිදී ගිය එකකි.

ඒ අනුව එකී භූමිය වර්ග කිලෝමීටර් 7041ක් පමණ විය හැකි යැයි දැඩි විශ්වාසයක් පවතී.

ක්‍රි.පූ. 7 වැනි සියවසේ තරම් අෑත කාලයක ලියැවුණු දෙමළ සාහිත්‍ය කෘතියක් වන ඉරයියානර් අක ජපෝරුල් නමැති කෘතියේ 'කුමාරි කන්දම්' නම් මහාද්වීපයක් පැවැති බවත් එය පාලනය කළ පාණ්ඩ්‍ය රජවරුන් කිහිපදෙනකුගේ නාමාවලියක්ද ඇතුළත්ය. මේ අනුව 'කුමාරි කන්දම් රාජ්‍යය' වසර 11,000ක් පමණ පැවැති බවට අනුමාන කළ හැකි බැව් කියැවේ.

මේ ගැන ගැඹුරින් හදාරන දෙමළ විද්වතුන්ගේ අදහසට අනුව පාණ්ඩ්‍ය දෙමළ රජ පෙළපත් කවියට හා සාහිත්‍යයටද දැනුමටද අගතැන්පත්ව සිටි බවත් ඔවුන් මේ අනුව දෙමළ සංගම් තුනක් ස්ථාපිත කළ බවත් ඉන් දෙකක් මේ කියන 'කුමාරි කන්දම්' හි පිහිටි බවත් ඔවුන්ගේ ලිපි ලේඛන අනුව කියැවේ. ඒ පිළිබඳ 'සාක්ෂිද ඇති බවත් මේ වන විට ප්‍රකට වී ඇත. මොවුන් හඳුන්වන මේ කියන භූමි ප්‍රදේශය 'කන්‍යා මහාද්වීපය' බවටත් අදහසක් ඇත.

භූගෝල විද්‍යාත්මකව පෘථිවියේ භූ තල කිහිපයක් ඇති බව අද පිළිගන්නා සත්‍යයකි.

එකී භූ තල තෙරපීමෙන් ප්‍රබල භූමිකම්පා ඇති වන බවත් එය විනාශකාරි සුනාමි රළ ඇති කරන බවත් අද වෙද්දී අප අත්දකිමින් සිටින සත්‍යයකි.

එසේ නම් ඉන්දීය භූමියේ දකුණු අර්ධයේ තිබී මුහුදට ගිලා බැස්ස, විපතට පත් වුණු මේ කියන භූමි ප්‍රදේශය සාගර පත්ලේ තිබිය යුතුය. එසේ වූයේ නම් සාහිත්‍ය මූලාශ්‍රවලින් කියැවෙන ජනප්‍රවාදගතව වසර දහස් ගණනක් පුරා පැවත එන කතාවලට පදනමක් ලැබෙනු ඇත.

මෙගස්තීනස් නම් ග්‍රීක මානව විද්‍යාඥයාගේ වාර්තාවල දැක්වෙන පරිදි (ක්‍රි.පූ. 350-290) තැප්‍රොබේනය හෙවත් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව තිබුණා යැයි කියැවෙන්නේ නදියකිනි.

එය එසේ වී නම් 'කුමාරි කන්දම්' භූමි ප්‍රදේශයත් ලංකාවත් නදියකින් වෙන්ව තිබූ එකම භූමියක පිහිටියා වන්නට පුළුවන. වෙන්ව තිබූ නදිය 'කමිර හා රණී' බවත් සඳහන් වේ. එයට 'පොරුණායි නදිය' යනුවෙන්ද හඳුන්වා තිබේ. අදටත් තමිල්නාඩුවෙන් මුහුදට ගලා බසින 'පොරුණායි' නම් නදියක් ඇත. එය සාහිත්‍ය මූලාශ්‍රවල කියැවෙන එකී පෙරුණායි නදියම දැයි ස්ථිර නැත.

ගෝවේහි පිහිටි සමුද්‍ර විද්‍යා ජාතික ආයතනය මඟින් මේ පිළිබඳව යම් ගවේෂණයක් සිදු කර තිබෙන බවට වූ තොරතුරු ඉන්දියානු පුවත්පත්වල මහ ඉහළින් පළ වූ අවස්ථාද ඇත. එම ආයතනයේ එක නිගමනයකට අනුව ක්‍රි.පූ. 300දී පමණ 'පුම්පුගාර්' නම් නගරයක් සුනාමි රළ පහරින් හා භූ කම්පන හේතුවෙන් නොකඩවා අනතුරට ලක්වී මුහුදට ගිලා බැස ගිය බවක් කියැවේ. එම ආයතනය ඒ සඳහා සාක්ෂි වශයෙන් 4 වැනි සියවසට අයත් මැටි භාණ්ඩ කිහිපයක් සොයා ගන්නටද සමත්ව ඇත.

මේ වන විට ගිලා බැස්සා යැයි කියන ප්‍රදේශය දැක්වෙන සමුද්‍ර නිධිය ගවේෂණයකට ලක් කර ඇති අතර එහි මුහුදු පත්ලේ ඇතැම් තැන්වල මීටර් 200ක් පුරා විහිදී ගිය ගැඹුරු තැන්වල සාක්ෂි කිහිපයක් හමු වී ඇත. එහෙත් මේ මහා ප්‍රදේශය ගිලී ගොස් තැන්පත්ව තිබෙන්නේ මීටර් 2000ක් තරම් ගැඹුරේ බවත් සොයාගෙන ඇත.

මෙම ප්‍රදේශය හා ඒ අවට දැනට ඇති ප්‍රදේශවල භූමි ලක්ෂණ, වෘක්ෂලතා හා මනුෂ්‍ය වර්ගයාගේ ලක්ෂණද විද්‍යාත්මකව පර්යේෂණයට හසු කරගනිමින් ගැඹුරු සාගර පත්ලට කිමිඳ මේ රහස සොයා ගන්නට ඉන්දීය ගවේෂකයෝත් විදේශීය විශේෂඥයෝත් යුහුසුලුය. එය නිවැරැදිව සිදුවූයේ නම් මේ මඟින් ලක්දිවත් දකුණු ඉන්දියාවත් අතර වූ සැබෑ කතාවක රහස්ද එළියට එනු ඇත.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon