මෛත්‍රි-රනිල් දින 100 ආණ්ඩුව

  👤  2813 readers have read this article !
2018-12-02

"ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි"

මේ අතර 2015 පෙබරවාරි 17 වැනිදා යම් සුවිශේෂී දිනයක් විය. කුරුවිට නගර මධ්‍යයේ නාලන්ද පිළිරුව ඉදිරිපිට පැවැත්වෙන 18 වැනි නාලන්ද එල්ලාවල ගුණ සමරුවට සහභාගි වීම සඳහා මම එහි ගියෙමි. නාලන්දගේ එකම සොහොයුරිය මට ඊට සහභාගි වන ලෙස ආරාධනය කර තිබිණි. එහි ගිය මට ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට ඩලස් ඇමැතිතුමා මුණගැසුණි. පසුව රාත්‍රියේ මම රත්නපුර බටුවිට පිහිටි නිවෙසට ගියෙමි. එහි ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර හා තිස්ස කරල්ලියද්ද යන හිටපු අමාත්‍යවරු සිටියහ. රාත්‍රි 2 පමණ වනතුරු ඇදුණු සාකච්ඡාව තුළ ශ්‍රී ලනිපයේ අනාගතය පිළිබඳ අපගේ පරිමාණයෙන් වැදගත් කරුණු කිහිපයක්ම සාකච්ඡාවට ගැනුණි. 2015 මාර්තු පළමු වැනිදා කටුනායක 'ෆුල් මූන් හොලිඩේ රිසෝට්' හෝටලයේ පැවැති ශ්‍රී ලනිප මන්ත්‍රි වැඩමුළුව පිළිබඳ මූලික අදහස පැමිණියේ එම සාකච්ඡාව තුළිනි.

ඒ අනුව ඩිලාන්, ශිරාල් හා මා එක්ව ජනාධිපතිතුමාගේද එකඟතාව මත අදාළ වැඩමුළුව සංවිධානය කළෙමු. ඊට ශ්‍රී ලනිප මන්ත්‍රිවරු 90කගේ පමණ සහභාගිත්වයක් තිබිණි. ජනාධිපතිතුමාද දින දෙකෙහිම ඊට සහභාගි විය.

කටුනායක වැඩමුළුව පෞද්ගලිකව මගේ ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. එනම්, ඒ වන විට ශ්‍රී ලනිප මන්ත්‍රිවරු බොහෝ දෙනකුගේ ඉල්ලීමක්ද තිබුණ හෙයින් අපගේ ප්‍රසන්ටේෂන් විග්‍රහය පැය 2කට අධික කාලයක් පුරා එම වැඩමුළුව හමුවේ ගෙනහැර දැක්වීමට අපට අවස්ථාව උදා විය. පැමිණ සිටි සියලු මන්ත්‍රිවරු ඉතා උනන්දුවෙන් එම විග්‍රහය නැරැඹූ අතර ඊට පෙර මෙය නරඹා තිබූ ඇමැතිවරු අතරින් පතර තම තමන්ගේ අදහස්ද ඊට එක් කළහ. එහිදී බොහෝ දෙනාගේ අදහස වූයේ මෙම විග්‍රහය තුළින් ජනවාරි 8 වැනිදාටත් වඩා ශ්‍රී ලනිපයේ අනාගතය පිළිබඳ මෙමඟින් පාඩම් උගත හැකි බවයි. විශේෂයෙන්ම සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ජෝන් සෙනෙවිරත්න යන ජේ‍යෂ්ඨ නායකයෝද ලලිත් දිසානායක මන්ත්‍රිතුමාද එය සංවර්ධනාත්මක දෘෂ්ටිකෝණයකින් ඇගයූ අතර කුමාර වෙල්ගම මන්ත්‍රිතුමා පමණක් එතරම් පැහැදිලි නැති එහෙත් ඊට විරුද්ධ මතයක් ඉදිරිපත් කළේය. සියල්ල අවසානයේ රාත්‍රි සුහද හමුවේදී තවත් මන්ත්‍රිවරු මා වෙතට පැමිණ වැඩිදුරටත් කරුණු විමසූහ. ඒ අතර විනයාගමූර්ති මුරලිදරන මන්ත්‍රිතුමා ඉතා තියුණු විග්‍රහයක් සිදුකෙළේය. කෙසේ වෙතත් අපගේ විග්‍රහය ඉදිරිපත් කළාට පසුව වැඩමුළුව ඇමැතුවේ වසන්තප්‍රිය රාමනායක හා අශෝක අබේගුණවර්ධනය. මා බලාපොරොත්තු වූ ආකාරයටම අශෝක තම කතාව ආරම්භ කළේම මලිත්ගේ විග්‍රහය කිසිදු වැදගැම්මකට නැති කාලය කා දැමීමත් ලෙස හුවා දක්වමිනි.

වැඩමුළුවේ පළමු දින අවසන් අංගය වූයේ ගරු ජනාධිපතිතුමා සභාව ඇමැතීමය. එතුමා කතාව ආරම්භ කළේම දින කිහිපයක සිට පළ වී තිබුණ පුවත්පත් කිහිපයකම ප්‍රධාන ශීර්ෂ පාඨ එකින් එක කියැවීමත් සමඟය. අදටත් මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ එතුමා එහිදී කළ කතාව තුළින් වැඩමුළුවේ ආරම්භක අරමුණ, අභිමතාර්ථ යම් පමණකට බිඳවැටුණාය යන්නය. විශේෂයෙන්ම මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රි ජනාධිපතිතුමාට පක්ෂය භාරදී තිබුණද යළිත් හිස එසවීම පිණිස යම් යම් ප්‍රකාශ කිරීම ආරම්භ කළ පළමු දින කිහිපයයි. ජනාධිපතිතුමා එවැනි තත්ත්වයක් උදාවේ යැයි බලාපොරොත්තු නොවූවා සේය. කටුනායක දෙදින වැඩමුළුවේදී පැමිණි වැදගත්ම තීරණය වූයේ ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවකට යෑම පිළිබඳ ප්‍රශ්නයයි. සහභාගිකයන් සියලු දෙනාගේම අනුමැතිය ඊට හිමිවන බවක් පෙනෙන්නට තිබිණි. දෙවැනි දිනයේ වේගවත්ම කතාව සුපුරුදු පරිදි ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමා විසින් සිදු කරන ලද අතර ශ්‍රී ලනිපයේ අනාගත අභියෝග පිළිබඳ විග්‍රහයක් ශිරාල් ලක්තිලක විසින් සිදු කරන ලදී.

කටුනායක වැඩමුළුවේදී ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වීම පිළිබඳ ඉදිරියට පැමිණි මූලික අදහස පක්ෂයේ නිල යෝජනාවක් බවට පත් කිරීමේ අරමුණින් ඊට දින කිහිපයකට පසු විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එම යෝජනාවට මධ්‍යම කාරක සභා සාමාජිකයන් එක් අයකුගේ හැර අන් සියලු දෙනාගේම අනුමැතිය හිමි විය. විරුද්ධ වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රිතුමා පමණි. කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට පුරා පන්සල් යෑම ආරම්භ කර තිබිණි. ප්‍රශ්නය උග්‍ර වූයේ 2010 ආණ්ඩුවේ ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර දැරූ සියලු දෙනාම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර බලාපොරොත්තු වීමත් සමඟය. ආරම්භයේදී අමාත්‍ය ධුර නොලද පිරිසට තම දිස්ත්‍රික් දේශපාලන බල අරගලයටත්, තම පාක්ෂිකයන් හා හිතවතුන් ඉදිරියටත් යෑමේදී යම් හීනමාන මානසිකත්වයක් ගොඩනැඟුණා වැනිය. එතැන් සිට අමාත්‍ය ධුරය නොලද මන්ත්‍රිවරු තම අසහනය දුරුකර ගැනීම වස් ඒ වන විට කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව පන්සල් යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එක්ව පන්සල් යෑමට පටන් ගත්හ. තවද, ඊට සමගාමීව ඔවුන් ජාතික ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් වෙද්දී ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබිණි.

මෙම තත්ත්වය තුළ එම කණ්ඩායම ශ්‍රී ලනිපයේ ප්‍රගතිශීලී රැඩිකල් කැරැලිකරුවන් පිරිසක් සේ මාධ්‍ය තුළ දිස්වන්නට විය. සැබවින්ම දින 100 ආණ්ඩුව තුළ ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලනිපයේ කොටසක් සම්බන්ධ වීම උපක්‍රමික වරදකි. ශ්‍රී ලනිපය ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවට එක්විය යුතුව තිබුණේ අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසුවය. ශ්‍රී ලනිපය මෛත්‍රි - මහින්ද පිල් වශයෙන් රට ඉදිරියේ දෙකට බෙදෙන්නේද ඒ අවසරයෙන් මහින්ද රාජක්ෂ මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් තුළ මෛත්‍රි ජනාධිපතිතුමා කෙරෙහි යම් වෛරී සහගත සිතිවිල්ලක් ගොඩනඟන්නේද ජාතික ආණ්ඩුව දඩමීමා කරගනිමිනි.

2010 මහ මැතිවරණයෙන් එජනිසට මන්ත්‍රිවරු 144ක් හිමි වූ අතර පසුව ආණ්ඩුවට එක් වූ එජාප මන්ත්‍රිවරු සමඟ ගත් විට එම සංඛ්‍යාව 158ක් විය. ඒ අය අතරින් ශ්‍රී ලනිපයේ 7 දෙනකු ජනවාරි 8 වැනිදා විට පක්ෂය හැර ගොසින්ය. ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන්ගේ මන්ත්‍රිවරු පිරිස හැරුණු විට තවත් මන්ත්‍රිවරු 142ක් ජනාධිපතිවරණයෙන් පසුවද සන්ධානය තුළ ඉතිරිව සිටියේය. එතැන් සිට ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලැබූ පිරිස මෛත්‍රි පිලද නොලැබූ පිරිස මහින්ද පිලද ලෙස රට හඳුනා ගත්තේය. සැබැවින්ම මෙම බෙදීම පක්ෂයට අවැඩකි. දින 100 ආණ්ඩුව තුළ මෙම බෙදීම සිදු නොවුණා නම් සන්ධානය තුළ සිටි බහුතර ශ්‍රී ලනිප මන්ත්‍රිවරු ක්‍රමයෙන් මෛත්‍රි ජනාධිපතිතුමා වෙතට පැමිණෙනු ඇත. ඒ අවසරයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කරගත හැකි වනු ඇත. දින 100 ආණ්ඩුව තුළට ශ්‍රී ලනිපයෙන් කොටසක් සම්බන්ධ වීම අවැඩක් බව ප්‍රත්‍යක්ෂ වන්නේ අගෝස්තු 17 මහ මැතිවරණ ප්‍රතිඵල හා එහි මනාප ඡන්ද සංඛ්‍යා විමසා බැලීමෙනි.

දින 100 ආණ්ඩුව තුළට ශ්‍රී ලනිපය සම්බන්ධ වීම තුළ ඊට සමගාමීව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය යළි හිස එසවීම තවත් ආකාරයකටද විග්‍රහ කළ හැකිය. එනම්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු තම පක්ෂය නිර්වචනය කරනු ලබන්නේ රටේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවිරුද්ධ එමෙන්ම විකල්පයක් විය හැකි සාම්ප්‍රදායිකව එජාපයේ පරම සතුරු දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙනි.

කසුප් විතානගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon