කතානායකට ඇන්.ඇම්.ගෙන් ප්‍රහාරයක්

  👤  2917 readers have read this article !
2018-12-02

ඇතැම් රටවල දේශපාලනඥයන් ජනතාවාදී දේශපාලනයක නිරතවන්නේ ඔවුන්ගේ කෘතහස්ත බවත් පුළුල් බුද්ධියත් ජනතාවට විදහාපාමිනි. රට හා ජනතාව කෙරෙහි ඇති පුළුල් අවබෝධය ඔවුන් කෙරෙන් නිරතුරු විද්‍යමාන වෙයි. එවන් වැඩදායක දේශපාලනඥයන් සිටින රටක අල්ලස්, දූෂණ, වංචා, මැරකම් බැහැර වෙයි. සමස්ත සමාජයම ශිෂ්ට සම්පන්න වෙයි. එනමුත් ඉහත කී ගුණාංගවලින් පිරිපුන් දේශපාලනඥයන් එදා අප රටේද සිටි බව අපි දන්නෙමු.

නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා එවැනි විරල දේශපාලනඥයෙකි. එහෙත් බොහෝ දෙනා එනමින් ඔහු නොහඳුනයි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කීවොත් ඔහුගේ නම නොදන්නා කෙනෙක් ඇතැයි සිතිය නොහැකිය.
ඔහු 1936 මහ මැතිවරණයෙන් දේශපාලනයට පිවිසෙන්නේ කථානායකවරයකු වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිය වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි රුවන්වැල්ල අසුනින් පරදවමිනි. ඇන්.ඇම්. එදා සිටම මැති සබය තුළ කැපී පෙනුණු මන්ත්‍රිවරයකු විය. ඔහු නිතිපතා ඇන්දේ සුදු කලිසම, සුදු කමිසය, සුදු කෝට් එක සහ රතු "ටයි" පටියකි. ඔහු දේශපාලනය කළේ අවංකවය. ඉන් ඔහු යමක් හරිහම්බ කරගත්තේ නැත.

1970 සමඟි පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ ඔහු මිය යනතුරුම හිටියේ සමසමාජය පැත්තේය. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන හිටියේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් ඇති එජාපයේය.

එහෙත් දිගු කලක් තිස්සේ මැති සබය තුළදී එකට හමුවන ඔවුන් දෙදෙනා මිතුරන්ය. මේ මිත්‍රත්වය නිසා ජේ.ආර්. ජයවර්ධන 1977 දී උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි විය.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා 1977 මහ මැතිවරණයට යටියන්තොට අසුනින් ඡන්දය ඉල්ලුවේය. යටියන්තොට අසුනට එජාපයෙන් ඡන්දය ඉල්ලුවේ වින්සන්ට් පෙරේරාය. මේ දෙදෙනාගෙන් ඡන්දය දිය යුත්තේ කාහටදැයි ඡන්දදායකයන්ට කීමට ජේ.ආර්.ට නොහැකි විය. එක් පැත්තකින් ඇන්.ඇම්. පාර්ලිමේන්තුවට අවශ්‍ය අයෙකි, මිත්‍රයෙකි. අනිත් පැත්තෙන් යටියන්තොට අසුන එජාපයට ලබාගත යුතුය. ඒ අතරේ වින්සන්ට් පෙරේරා යටියන්තොට එජාප රැලියක් සංවිධානය කොට ජේ.ආර්.ට ඊට කතාවක් කිරීමට ඇරැයුම් කළේය.

ජේ.ආර්.ට මේ පෙරේරලා දෙන්නාම අවශ්‍යය. 1977 ජුනි මාසයේ පැවැති එම එජාප රැලියේදී ජේ.ආර්. මෙසේ කීවේය.

"මිත්‍රවරුනි, දේශපාලනය කොරන්ඩ, මන්ත්‍රිවරයෙක් වෙන්ඩ සුදුසුකම් රාශියක් වුවමනායි. ඒ නිසා ඒක හැමෝටම කොරන්ඩ බැහැ. ඒකට අවංකකම තියෙන්ඩ වුවමනායි. බුද්ධිය වුවමනායි. ජනතාවට ඔහු ගැන පිළිගැනීමක් තියෙන්ඩ වුවමනායි. මිත්‍රවරුනි, යටියන්තොටට දැන් පෙරේරලා දෙන්නෙක් මන්ත්‍රිකම බලාපොරොත්තු වෙනවා. එක පෙරේරා කෙනෙක් විරුද්ධ පක්ෂයෙන්. මා ඉල්ලා සිටින්නේ මේ දෙන්නාගෙන් මං කියාපු සුදුසුකම් තියෙන පෙරේරා තෝරාගෙන ඔබේ ඡන්දය ඒ පෙරේරාට දෙන්ඩ."

එසේ පවසමින් ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ වේදිකාවෙන් බැස ගියේය. එජාප නායකයා තමන්ගේ මැතිවරණ වේදිකාවට නැඟ මේ පැවැසුවේ කුමක්දැයි විමතියටත් කෝපයටත් පත් වින්සන්ට් පෙරේරා මහතා ගත් ඊළඟ පියවර කුමක්දැයි දන්නේ ඒ අවස්ථාවේ ඊට සහභාගි වෙමින් සිටි පිරිස පමණි.

1970 ගණන්වලදී පාර්ලිමේන්තුවේ කථානායක අසුනේ සිටියේ ස්ටැන්ලි තිලකරත්න මහතාය. පාර්ලිමේන්තුව තුළදී ඕනෑම අයකු කථානායකවරයා ඇමතිය යුත්තේ "සර්" හෝ "ඩ්ධදධභපචඡතඥ ඉනඥචඬඥප" හෝ සිංහලෙන් "ගරු කථානායකතුමනි" යනුවෙනි. දිනක් ඇන්.ඇම්.ට කුමක් හෝ සිදුවීමක් හේතුවෙන් දැඩි ලෙස කේන්ති ගොස් සිටියේය. ඔහු කේන්තියෙන් සිටිනවා දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් එවන් දිනයක් උදාවිය.

ආචාර්ය ඇන්.ඇම්. එදා පැටලී සිටියේ කථානායකවරයා සමඟය. ඔහු ඉංගී්‍රසියෙන් කථානායකවරයාට තදින් ‍ෙදාස් නැඟුවේ කිසිදිනෙක ඔහු භාවිත නොකළ වචනද උපයෝගි කර ගනිමිනි. අනෙකුත් මන්තිවරුද මේ සිදුවන්නේ කුමක්දැයි තුෂ්ණීම්භූතව බලා සිටියහ.

"සර්... ඔබට මුල අමතක වෙලා. ඔළුව ඉදිමිලා. තමුන්ගේ තරම දැනගෙන වැඩ කරන්න" ආදී වශයෙන් ඇන්.ඇම්.ගේ දැඩි වාග් ප්‍රහාරයට ලක්වූ කථානායකවරයා විනාඩි දහයකට සභාව කල් තැබුවේය. ස්ටැන්ලි තිලකරත්න මහතා සිය කාමරයට ගොස් ස්ථාවර නියෝග අධ්‍යයනය කළේ ඇන්.ඇම්. කළ ප්‍රකාශයට එරෙහිව ගත හැකි පියවරක් දැන ගැනීමටය.

ඇත්තෙන්ම ඇන්.ඇම්. වරදක් කර තිබුණේය. ඇන්.ඇම්. වැනි ප්‍රවීණ දේශපාලනඥයෙක් මෙලෙස හැසිරීම සම්බන්ධයෙන් වූ වැරැද්ද පෙන්වා දීමට අදිටන් කරගත් කථානායක ස්ටැන්ලි තිලකරත්න කථානායක අසුනට ගොස් යළි වාඩිවූයේ ඇන්.ඇම්.ට හොඳ පාඩමක් උගන්වන්නටය. එහෙත් කථානායකවරයාට ඊට අවස්ථාව නොලැබිණි.

ඇන්.ඇම්. නැඟිට්ටේය. මහත්මා ලීලාවෙන් ඔහු මෙසේ පැවසීය.

"ගරු කථානායකතුමනි, මීට ස්වල්ප වේලාවකට කලින් සිදුවූ දේ ගැන මගේ කනගාටුව මේ අවස්ථාවේ පළ කර සිටිනවා. සර්, මම වයස්ගත කෙනෙක්. ඒ නිසා ටිකක් තරහා යනවා වැඩියිනේ. සිදුවූ සියලු දේ ගැන මම නැවත වරක් කනගාටුව ප්‍රකාශ කරනවා. මා ප්‍රකාශ කළ දේවල් ඔබතුමා ගණන් ගන්න එපා. මා කියූ සියලු දේ ඉල්ලා අස්කර ගන්නවා."

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ නිහතමානිකම වටහාගත් කථානායකවරයා යළි වචනයක්වත් ඒ සම්බන්ධයෙන් සඳහන් නොකර සභාවේ ඉතිරි කටයුතු කරගෙන ගියේය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon