විජේවීරට 71 නැවත මතක්කළ මොණරාගල ඡන්ද ප්‍රතිඵලය

  👤  2906 readers have read this article !
2018-11-25

1984 ජනවාරි මාසය දක්වාම රෝහණ විජේවීර වරින්වර පූනාගල වතුයායේ සුපවයිසර්වරයකුගේ නිල නිවාසයේ නතරව සිටියේය. පක්ෂයේ සංවිධාන කටයුතු සඳහා බැහැර ගිය නමුත් ඔහු නැවත එහි පැමිණියේය. එය කිසිවකුගේ අවධානය යොමු නොවන ආරක්ෂිත ස්ථානයක් විය. විජේවීර එහි සිටින බව ජවිපෙ ඉදිරිපෙළ දෙතුන් දෙනකු හැර අන් කිසිවකු දැනුවත්ව සිටියේ නැත.

තංගල්ලේ බෙනට් සිරිසේන මහතා විජේවීරගේ සමීප මිතුරෙකි. එම මිතුරුකම අද ඊයේ එකක් නොව බාල විය දක්වාම අෑතට දිව යන්නකි. බෙනට් මහතාගේ උපන් ගම ගන්දරය. විජේවීර කෝට්ටේගොඩය. දෙදෙනාගේම තාත්තලා වෙළෙන්දෝය. ඔවුන් දෙදෙනාම ‍ෙදාස්තර ඇස්.ඒ. වික්‍රමසිංහගේ අනුගාමිකයෝය. ඒ අනුව විජේවීරගේත් බෙනට්ගේත් තාත්තලා කොමියුනිස්ට්වාදියෝය. තාත්තලා එකට දේශපාලන වැඩ කරන නිසා මේ දෙදෙනා අවුරුදු හත අටේ සිටම මිතුරෝ් වූහ. තරුණ වියේ දේශපාලන වශයෙන් දෙදෙනා දෙපොළක සිටියෝය. විජේවීර බෙනට්ට ජවිපෙට බැඳෙන්නැයි කිසිදිනක් ඇරයුම් නොකළේය. දෙදෙනාගේ යාළු මිතුරුකමත් විශ්වාසකමත් අන් සියල්ල පරයා නැඟිණි.

හදිසි වුවමනාවක් ඇති වූ විට විජේවීර බෙනට් සොයා ගියේය. නැතිනම් පණිවුඩයක් ඇර බෙනට් ගෙන්වා ගත්තේය. බෙනට් සිරිසේන අවශ්‍ය හැම විටම විජේවීරට මුදලින් ආධාර කළේය. ගමනට බිමනට තම වාහනය දුන්නේය. රුසියාවේ අධ්‍යාපනය ලබා පැමිණියාට පසුවත් 1971 - 1978 කාලයේ සිරගතව සිට පැමිණියාට පසුවත් මේ යාළුකම නැවත දලුලා වැඩිණි. ජවිපෙ තහනම් කිරීමෙන් පසු යටි බිම්ගත දේශපාලනයට පිවිසි විජේවීර ඉක්මනින් පණිවුඩ යවා බෙනට් ගෙන්වා ගත්තේය.

ඔහු කැලයට ගියේද බෙනට් මහතාගේ වෑන් රියෙනි. පුණ්ඩළුඔය ‍ෙදාස්තර මහතාගේ නිවෙසේදී විජේවීරට බිරිය හා දියණියන් දෙදෙනා හමුවන්නට වාහනය සම්පාදනය කර දුන්නේද බෙනට් මහතාය.

දිනය 1984 පෙබරවාරි 3දා විය යුතුය. සිසිර රන්දෙණිය ගෙනා පණිවුඩයට අනුව බෙනට් මහතාගේ 38 ශ්‍රී 2147 ඩෙලිකා වෑන් රථය තංගල්ලෙන් පිටත් විය. මෙවර රථය පදවන ලද්දේද බෙනට් මහතාය. විජේවීරගේ මල්ලී ආනන්දත්, නංගි චිත්‍රානිත් බිරිය චිත්‍රාංගනීත්, ඊෂා සහ සුපුන් දියණියන් දෙදෙනාත් ගමනට එක්ව සිටියහ. ආනන්ද මල්ලි පාර දැනුවත්ව සිටියේය. ඔවුන් ගියේ පුණ්ඩළුඔය වත්තට යන්නය. නුවරඑළියට යන විටත් බොහෝ රෑ බෝ වී තිබිණි.

ඒ අතටත් මේ අතටත් වංගු ගසමින්යන වතුයායේ ගමන බෙහෙවින් අසීරු වූයේය. ඔවුන් වත්තට පැමිණෙන විටත් විජේවීර එහි පැමිණ සිටියේය. මාස හතරකට පසු නැවත අඹු දරුවෝ එක්වූහ. අයියා, මල්ලී සහ නඟා හමුවූහ. එදින අල්ලාප සල්ලාපයෙන් ගෙවී ගියේ අපමණ පී්‍රතියෙනි. විජේවීර සිටින තැන පාළු නැත. ඔහු බිණීමෙහි බුහුටිය. නිතර බොහෝ රසවත් කතා පවසයි. ඒ සෑම කතාවක්ම දේශපාලනයට සම්බන්ධය. උපහාසයෙන් යුතුය. ඒවා සත්‍ය කතාය. ඇතැම් ඒවා ජාත්‍යන්තර දේශපාලනයට සම්බන්ධ පොතපතින් එකතු කරගත් කතාය. ඒවා රසවත්ය. අර්ථවත්ය.

පෙබරවාරි 4 වැනිදා ජාතික නිදහස් දිනයයි. චිත්‍රාංගනීත් චිත්‍රානිත් ‍ෙදාස්තර මහතාගේ බිරියත් දිවා ආහාරය පිළියෙල කරමින් සිටි අතර දියණියෝ මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ. අධික සීතල නිසා දරුවන්ට ඊට ඔරොත්තු දෙන ඇඳුම් අන්දවා තිබිණි. විජේවීර සාලයේ සිට බෙනට් සමඟ රූපවාහිනිය නරඹමින් සිටියේය. රූපවාහිනියේ විකාශය වූයේ කොළඹ පැවැති නිදහස් දින සමරු පෙළපාළියයි. සන්නද්ධ හමුදා රථ සංදර්ශන පෙළපාළියේ ගමන් කරමින් තිබුණේය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ජුනියස් රිචට් ජයවර්ධන විශේෂ පීඨිකාවක සිට පෙළපාළිය පිළිගනිමින් සිටියේය. පක්ෂය තහනම් කිරීමෙන් පසු විජේවීර ජේ.ආර්. දුටු ප්‍රථම අවස්ථාව එයය.
"ජයවර්ධන ලොක්ක හිතා ඉන්නෙ රටේ මිනිසුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා එයා හැමදාම රජ වෙලා ඉන්න" විජේවීර කීවේය.

"බෙනට් අයියට මතකද 1982 ජනාධිපතිවරණ ඡන්දෙ අපිත් ඉල්ලපු එක" ඔහු බෙනට්ගෙන් ඇසුවේය.

"ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දි ඉස්සර වෙලාම කිව්වෙ මොනරාගල ප්‍රතිඵලය. මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය කීයද දන්නවද අපි ගත්ත ඡන්ද ගණන" විජේවීර ඇසුවේය. "මට හරියට මතක නැහැනෙ" බෙනට් මහතා පිළිතුරු දුන්නේය.

"අපිට 71 දෙසැරයක්ම මතක් කර දුන්නා. ඒ කියන්නෙ මොනරාගල, වැල්ලවාය, බිබිල ආසන තුනෙන්ම මට ලැබුණු ඡන්දවල එකතුව 7171යි. ඒක ඉතින් කවුරුවත් හිතලා දීපු ගණනක් නොවෙයිනෙ. දෙසැරයක්ම සොබාදහම අපට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවෙ 71 මතක තියාගන්න කියලා තේරුණයි. විජේවීර සිනාසුණේය.

(1982 ජනාධිපතිවරණයේ 70 සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ ලිපිය සමඟ පළවේ.)

‍ෙදාස්තර බංගලාව පිහිටියේ පුණ්ඩළුඔය වත්තේ කඳු ගැටයක් මතය. එහි පැමිණෙන විට වතුයාය තුළ බොහෝ දුර පැමිණ වත්තේ කම්කරු ලයින් කාමර පසුකොට තවත් ඉදිරියට යායුතුය. බංගලාවේ මිදුලට පැමිණ පහත බැලූ විට අෑතින් ලයින් කාමරවල වහලවල් හිරු එළිය වැටී දිලිසෙනු පෙනේ. එය අපූරු මනරම් දර්ශනයකි. ඔවුන් දින දෙකක් එහි සිට ආපසු විසිර යන්නට තීරණය කළෝය. ආනන්ද මල්ලිත්, විජේවීරගේ බිරිය, දරුවන් සහ නංගි චිත්‍රානිද නුවරඑළියේ සිට වෙනත් වාහනයක් කුලියට ගෙන තංගල්ලට යන්නටත්, විජේවීර සහ සිසිර, බෙනට් මහතාගේ ඩෙලිකා රථයේ කොළඹ යන්නටත් තීරණය කර තිබිණි.

පෙබරවාරි 5 වැනිදා උදේ ඔවුහු පුණ්ඩළුඔය වත්තෙන් පිටත් වූහ. තංගල්ලේ සිට පැමිණ සිටි පිරිස නුවරඑළියේදී වෙනත් වාහනයක් කුලියට ගෙන ඔවුන් පැමිණි මාර්ගය ඔස්සේම තංගල්ල බලා පිටත්ව ගියහ. විජේවීර, සිසිර සහ අතරමඟදී රියට නංවාගත් දයා වන්නිආරච්චිත් සමඟ බෙනට් මහතා පැදවූ රථය කොළඹ බලා පිටත් විය. ඒ ජවිපෙ තහනම් කිරීමෙන් පසු විජේවීර කොළඹ යන ප්‍රථම අවස්ථාවය. ඒ වනවිට විජේවීර සොයා ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබිණි. ඔහු අල්ලා ගැනීම සඳහාම විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් රට පුරා සැරිසරමින් සිටි බවද ඔවුන් දැන සිටියේය. එහෙත් මේ ගමන යා යුතුම යැයි එහි ඇති අවදානමද නොකමින් විජේවීර කියා සිටියේය.

එයටද එක් වැදගත් හේතුවක් තිබිණි. 83 ජූලි පක්ෂ තහනමෙන් පසුව අත්අඩංගුවට පත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ මේ වනවිට නිදහස ලබා එළියට පැමිණ සිටියේය. එහෙත් බෝපගේ පක්ෂයෙන් අෑත්වීමට අරඅඳින බව විජේවීරට දැන ගන්නට ලැබී තිබිණි. ලයනල් බෝපගේ පක්ෂයට ඉදිරිපත් කර තිබුණේ සුළු ජාතීන් සමඟ වැඩ කිරීමේදී ඔහු දුටු ගැටලු කිහිපයකි.

බෝපගේ පක්ෂ ස්ථාවරයෙන් බිඳී කරුණු දැක්වීය. ඒ සම්බන්ධ ඔහුගේ මතය අවසන් වරට ඉදිරිපත් වූයේ පක්ෂ තහනමට පෙර පැවැති අවසන් මධ්‍යම කමිටු සැසි වාරයේදීය. සිරගතව සිටි වකවානුවේදී බෝපගේ තම ස්ථාවරය තවදුරටත් තහවුරු කරගෙන තිබූ අතර බෝපගේ දැරූ මත පක්ෂ ස්ථාවරයෙන් අෑත් වූ ඒවාය. බෝපගේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් දරන ස්ථාවරය ඔහු සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට ජවිපෙට අවශ්‍යව තිබුණේය. එහෙත් ඊට අවස්ථාවක් ලැබී නොතිබිණි. දේශපාලන මණ්ඩලයේ රැස්වීම් සඳහා සහභාගි වන ලෙස ඔහුට දන්වා තිබුණද ඔහු එම අවස්ථා පැහැර හැර තිබිණි. බෝපගේ සමඟ සුමිත් සහ පියදාස රණසිංහ කරන ලද සාකච්ඡාද සාර්ථක වී නොතිබිණි. විජේවීර මෙම ගමනේ ඇති අන්තරායද නොසලකා පිටත්ව තිබුණේ ලයනල් බෝපගේ පක්ෂයට අහිමිවීම වළක්වා ගන්නටය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයකුව සිටියදී 1968දී විජේවීර සමඟ සම්බන්ධතා ඇතිකර ගනිමින් ජවිපෙ සමඟ එකතු වූ ලයනල් බෝපගේ ජවිපෙ ප්‍රධාන ලේකම් තනතුර දක්වා පැමිණි අතර 1971 කැරැල්ලේ මහ නඩු විභාගයේදී විජේවීර සමඟ එක් මතයක සිට ඊට මුහුණ දුන් කිහිපදෙනාගෙන්ද එක් අයෙකි. බෝපගේ විජේවීරගේ සිරගත ජීවිතයේදීද ළඟම සිටි සමීපතමයෙකි. ඔහු සිරගතව සිටියදී ඉන්ජිනේරු උපාධියද සම්පූර්ණ කොට අවසන් කළ අයෙකි. විජේවීරට අවශ්‍ය වූයේ බෝපගේ හමුවී ඔහු සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඔහුගේ ගැටලුවලට යම් විසඳුමක් ලබාදීමය. පක්ෂයට සිදුවිය හැකි යම් හානියක් වේ නම් එය එතෙකින් වළක්වා ගත හැකිවේ යැයි විජේවීර විශ්වාස කළේය.

එය එසේ වුවද ලයනල් බෝපගේ පක්ෂය සමඟ එකඟත්වයට නොපැමිණෙනවා නම් බෝපගේ හැර යෑමෙන් පක්ෂයට වන හානිය වළක්වා ගනිමින් පක්ෂයේ අනෙකුත් කාඩර්වරුන්ට තත්ත්වය පැහැදිලි කර දී බෝපගේ හැර යෑමෙන් පක්ෂයෙන් පදාසයක් ගැලවී යෑමට ඇති ඉඩකඩ වැළැක්වීමද විජේවීරගේ කොළඹ ගමනේ දෙවැනි අරමුණ වූයේය.

බෙනට් මහතා පැදවූ වෑන් රථය රාගල ගිනිගත්හේන, යටියන්තොට, අවිස්සාවේල්ල, හංවැල්ල ඔස්සේ කඩුවෙල දෙසට ගමන් කළේය. කඩුවෙලදී එය වැලි තොටුපොළක් අසල නතර කර බලා සිටියේ එහිදී හමුවිය යුතු පණිවුඩකරුවකු පැමිණෙන තුරුය. විජේවීර සහ දයා වන්නිආරච්චි පිටුපස අසුනේ සිටි අතර සිසිර, බෙනට් මහතාට යාබද අසුනේ සිටියේය. එකල පක්ෂයේ කටයුතුවලින් අෑත්ව සිටි වන්නිආරච්චි පක්ෂ තහනමත් සමඟ පක්ෂය අසීරුවට පත්ව ඇති අවස්ථාවේ පක්ෂයට නැවත උදවු කරන්නට එකතුව සිටියේය. විජේවීරත්, වන්නිත්, බෝපගේට ලෙහෙසියෙන් ඉවත හළ හැකි මිනිසුන් නොවන බව දෙදෙනාම දැන සිටියේය.

ඔවුන් පැමිණි වෑන් රථය නවතා තිබුණේ නවගමුව පසුකොට කෙටි දුරක් පැමිණි විට පාරේ දකුණු අතට වන්නට පිහිටි කැලණි ගඟ ආසන්නයේ වූ වැලි තොටුපොළකය. වෑන් රිය නවත්වා කෙටි වේලාවකින් පරණ රත්නපුර පාරේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රියක් දකුණට කපා විජේවීර සිටි වෑන් රථය පිටුපස නතර කළේය. ඉන් පිටතට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෑන් රිය දෙපැත්තෙන් ඉදිරියට ආවේය.
"තමුන් මොකද මෙතැන කරන්නේ?"

ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා බෙනට් මහතාගෙන් ප්‍රශ්න කළේය.

බෙනට් වෑන් රියෙන් බසින අතරම පිළිතුරු දුන්නේ,

"අපි කොළඹ යන ගමන් කර ගඳ ආවා පිටි පස්සෙ රෝදයක් බයින්ඩ් වෙලා පොඩ්ඩක් නිවෙනකම් ඉන්නවා"

බෙනට් පිටුපස දකුණු පස රෝදය අසලට ගොස් අත තබා පෙන්වන ගමන් පැවැසීය.

පොලිස් නිලධාරියකු ඒ සමඟ පැමිණ රෝදයට අත තබා බලා,

"රිම් එක නිවුණාම ගරාජයකට දාලා බ්රේක් හදාගන්න වෙයි දැන් නම් අත තියන්නත් බෑ" කියමින් නැවත ජීප් රථයට නැග්ගේය. සමහර විට ඒ නවගමුව පොලිසියේ නිරීක්ෂක සංචාරයේ යෙදුණු නිලධාරීන් වන්නට ඇත. ඔවුන් සැක නොකොටම පිටත්ව ගියේය. බෙනට් මහතා ඉදිරිපස අසුනේ වාඩි වූ විට සිසිර සිනාසුණේය.

"අර මොකෝ මලය හිනා වෙන්නෙ"

ඒ වනවිට අඩ නින්දේ මෙන් ඇලවී සිදුවූ සියල්ල බලා සිටි විජේවීර ඇසුවේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon