දන්න දෙයක් කියල බේරෙන්න ඔබ වහන්සේ මරල පුලුස්සාවි

  👤  2823 readers have read this article !
2018-11-25

අප සමඟ විද්‍යාලයේ ඉගෙනීම කළ ශිෂ්‍යයකු අෑත ගේට්ටුවකින් පොලිසියට ඇතුළු වන අයුරු දුටුවෙමි. හෙතෙම මඳ වේලාවක් නැවතී සිට පොලිස් ස්ථානාධිපතිතුමාට මොනවා දෝ කියා ඉවත්ව ගියේය. මේ ශිෂ්‍යයා ඉංගී්‍රසීන්ට විරුද්ධ කටයුතු කරන අනෙක් ශිෂ්‍යයන් ගැන ඔත්තු සපයන චර පුරුෂයකු බව පසුව දැන ගන්නට ලැබිණි. ඔහු ශිෂ්‍යයන් මැද්දේ ක්‍රියා කළේ මහා විප්ලවවාදියකු මෙනි. මෙබඳු ශිෂ්‍යයෝ එකල බෙංගාලයේ පමණක් නොව මුළු ඉන්දියාවේ විදුහල්වල ඉගෙන ගනිමින් අධිරාජ්‍යවාදීන්ට ඔත්තු සැපයූහ. අප පොලිස් ස්ථානයේ සිටි අවස්ථාවේදී එහි පැමිණි මගේ මිත්‍ර ශිෂ්‍යයාද එවැනි චර පුරුෂයකු බව ස්ථිර වශයෙන් දැනගත්තේ බන්ධනාගාරයේදීය. ඔහු පොලිස් ස්ථානයට පැමිණියේ මා පොලිසියට හඳුන්වා දීම පිණිසයි.

ඒ තරුණයාට මේ රැකියාව වැඩි කලක් කැරගෙන යා නොහැකි විය. ඔහු ටික දවසකින්ම අතුරුදන් වූ බව දැන ගත්තෙමි.

එදා පොලිස් ස්ථානයේ උදේ දහය වන තුරු පොලිස් රැකවරණය යටතේ සිටි අප එතැනට පැමිණි හිරකරුවන් ගෙන යන රථයකට නංවාගෙන කල්කටාවේ ප්‍රධාන රහස් පොලිස් ස්ථානයට ගෙන යනු ලැබීය. එහිදී නානා පැතිවලින් ගෙන එනු ලබන සිය ගණන් ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ද, ගුරුවරුන් මෙන්ම වෙනත් නා නා තරාතිරමේ ඇත්තෝද අපට දක්නට ලැබුණහ. මේ ගෙන ආවේ ආණ්ඩුකාර තැන මරා දැමීමට කුමන්ත්‍රණය කළ වුන් අල්ලා ගැනීමේ එක්තරා වැඩපිළිවෙළක් යටතේය. මෙහිදී අප විද්‍යාලයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ මගේ මිත්‍රයෝද හමු වූහ. මේ අය දැක්මෙන් මගේ හිතටද උනන්දුවක් ඇති විය.

එහෙත් අපට වැඩි වෙලාවක් ළඟ ළඟම වාඩි වී සිටින්නට අවසර ලැබුණේ නැත. සියල්ලන්ම තැන් තැන්වල ආරක්ෂාව යටතේ නැවැත්වූ අතර මා වෙනම කාමරයක නැවැත්වූයේ මුරකරුවන් දෙදෙනකුගේ ආරක්ෂාව යටතේය.

එදා දවස පුරා නිරාහාරව සිටින්නට සිදු විය. රාත්‍රි 8ට පමණ මොනවාදෝ කෑමට ගෙනැවිත් මේසයක් මත තබා මට ඒවා ගැනීමට නියම කළේය. මා බෞද්ධ භික්ෂුවක බවත්, අපේ බුදුන් අපට නියම කොට ඇත්තේ ඉර හැරෙන්නට කලින් ආහාර ගත යුතු බවත් යැයි මම කීවෙමි. ඔවුහු පුදුමයෙන් බලා සිටියහ. සාමාන්‍ය සේවකයෝ මා සාධුවරයෙකැයි දැන කිරි වලඳන්නේදැයි විමැසූහ. මම මේ වෙලාවේ පලතුරු යුෂ හැර කිසිවක් නොගන්නා බව කීවෙමි. මෙහි උසස් නිලධාරියෙක් පැමිණ "අහිංසක සුද්දන් මැරීමට කුමන්ත්‍රණය කරන්නවුන්ට මොන විනයදැයි" කියමින් ආහාර ගන්නා ලෙස මහ හ¾ඩින් කියා සිටියේය. මම නිහඬ වීමි. රාත්‍රි 10ට පමණ තවකෙක් පැමිණ "දැන් ඔබ හිරකාරයෙකි. එබැවින් අප නීති අනුව කටයුතු කරන්නට ඕනෑ. අපි දෙන දෙයක් දෙන වෙලාවක කන්න ඕනෑ" යි කීය. එහිදීද මම නිහඬ වීමි. ටික වේලාවකට පසුව පැමිණි තවත් නිලධාරියෙක් "බලාපොරොත්තු වන්නේ මොන අන්දමේ පලතුරු යුෂ" දැයි ඇසීය.

"මිදි යුෂ"
මිදි රාත්තලක් පමණ ගෙනැවිත් මගේ මේසය මත තබා මිරිකා වීදුරුවක් පුරවා මා අබියස තැබීය. මම එය පානය කළෙමි. ගත වුණේ ටික වේලාවකි. එතැනින් අන් තැනකට යෑමට හිරකරුවන්ගේ රථයට නඟින ලෙස මට නියම කළේය. මම එයට එකඟ වීමි.

විශාල මන්දිරයක් ඉදිරියේ රථය නතර කොට ඒ මන්දිරයට ඇතුළු වන ලෙස මට නියම කළේය. එහි සිටි සන්නාහ සන්නද්ධ යුද්ධ භටයන් දැක්මෙන් මට මඳක් භය ඇති විය.

මා කෙළින්ම ගෙන ගියේ උඩ මාලයේ කාමරයකටය. එහි සුද්දෙක්ද, ඉන්දියානු නිලධාරීහු දෙදෙනෙක්ද වාඩි වී සිටියහ. මේසය වටා ටැලිපෝන් හයක් පමණ තබා තිබිණ. මේ රහස් පොලිස් නායකයාගේ කාමරයයි. මා රැගෙන ගිය නිලධාරීහු දෙදෙනා අෑත සිටම ඔවුන්ට ආචාර කළහ.

සුද්දා ප්‍රත්‍යාචාර කළ නමුත් අනෙක් දෙදෙනා එය ගණනටවත් නොගත්හ. මට වාඩි වීමට අසුනක් පෙන්වා මා සමඟ වචන කීපයක් කතා කොට, "දැන් අපේ ආණ්ඩුව මුහුණ පා ඇත්තේ අනතුරකටය. ත්‍රස්තවාදීන් එකතුවී ආණ්ඩුව විනාශ කිරීමටත්, නිලධාරීන් මැරීමටත් පටන් ගෙන තිබෙනවා. ආන්න, බලන්න බිත්තියේ එල්ලා තිබෙන නම් ලැයිස්තුව, මෙරට සේවය කළ උසස්ම නිලධාරීන් දහ දෙනකු මේ දුර්ජන කොලු කෙල්ලන් එකතු වී මරා දැම්මා. දැන් අප සැරසෙන්නේ මේ මිනීමැරුම් නවත්වන්නයි. රටට ආදරය කරනවා කියන්නේ, රටට සේවය කරන නිලධාරීන් මරා දැමීමට නොවෙයි. ඔවුන් හා සහයෝගයෙන් රට දියුණු කිරීමට කටයුතු කිරීමටයි.

මහත්මා ගාන්ධිතුමාගේ ව්‍යාපාරයට අපේ විරුද්ධත්වයක් නෑ. අහිංසාව උසස් ධර්මයක්. අහිංසා ව්‍යාපාරයට අපිත් ආධාර කරනවා. ඒකට ආධාර කරන ඉංගී්‍රසිකාරයොත් ඉන්නවා. ඔබවහන්සේ ලංකාවේ කෙනෙක්. මෙහි පැමිණ බුදු දහම ප්‍රචාරය කරනවා වෙනුවට මේ රටේ පාලකයන් මරන්නට ආධාර දීම මොන තරම් නරකද? දැන් ඔබවහන්සේගේ ආධාරය ඉංගිරිසි ආණ්ඩුවට ඕනෑ කර තිබෙනවා. ඒ නිසයි ඔබ වහන්සේ අප මෙතැනට කැඳවාගෙන ආවේ. බෙංගාලකාරයො මහ නරක මිනිස්සු. ජාතිද්‍රෝහී මිනිස්සු. ඔබ ඔවුන් විසින් නොමඟ යවා ගෙන ප්‍රයෝජනයට යොදා ගෙන තිබෙන බව අප දන්නවා. එදා විශ්වවිද්‍යාලයේදී ආණ්ඩුකාරයාට වෙඩි තැබීම ගැන ඔබ හොඳටම දන්නා බව අපට ආරංචියි. ඒ ගැන වාර්තා රාශියක් තිබෙනවා. ආණ්ඩුකාරයාට වෙඩි තැබූ පිස්තෝලය චන්දන නගරයේ සිට ගෙන ආවේ ඔබවහන්සේ බව අප දන්නවා. දැන් ඒ විස්තරය අපට වුවමනා නැහැ.

හෙට හෝ අනිද්දා හෝ මේ ගැන ප්‍රකාශ කරන්නට ඔබට අවස්ථාව දෙනවා. එවිට දන්නා සියල්ල වසං නොකොට කියන්න. භය වෙන්න දෙයක් නැහැ. ඊට පසු මෙහෙ කල්කටාවෙ සිටියත්, වෙන රටකට ගියත් අප ඔබවහන්සේට මිල මුදලින් සංග්‍රහ කරනවා. එංගලන්තයේ නැවතී ඉගෙන ගන්නට සතුටු නම් එයත් පිළියෙල කර දෙන්නම්, සිවුරු හැර ගිහි වී කටයුතු කරන්නට සතුටු නම් ඒවාත් පිළියෙල කර දෙන්නම්. අපට ඕනෑ ඔබවහන්සේ වැනි දේශප්‍රේමීන්ගේ ආධාරය පමණයි."

ආදී වශයෙන් හෙතෙම දිග දෙසුමක් සිදු කළේය. උදේ පටන් පොලිස් අත්අඩංගුවේ සිටි මම ද තද වෙහෙසට පත්ව සිටියෙමි. එබැවින් මට නිදිමත බව කියා විවේක ගන්නට සලස්වා දෙන ලෙස මම ඉල්ලා සිටියෙමි.
මගේ කීම පිළිගත් ඔහු මට පොලිස් බැරැක්කයේම විශේෂ කාමරයක් පිළියෙල කොට දුන්නේය. එය සැප පහසු කාමරයකි. එහි ඇඳ ඉතාම මොළොක් එකකි. සනීප පුටු, මුහුණ බලන කණ්ණාඩි, නාන කාමරය ආදී සියල්ලෙන් සම්පූර්ණ මගේ කාමරය දුටු මගේ හිතේ පැවති සියලු අමාරුකම් දුරු විය. මෙහෙම සැප පහසුකම් ඇතොත් හිරේ ඉඳීමට බැරි මොකදැයි මට හිතුණේය.

සනීප ඇඳේ දිග හැරෙනවාත් සමඟම මට නින්ද ගියේය. උදේ නැඟිටිනවාත් සමඟම නැන්දා මාමලාගේ ගෙදරට ගිය බෑනාට ලැබෙන සැලකිලි සම්මාන ලැබෙන්නට විය. උසස් නිලධාරීහු කිහිප දෙනෙක් පැමිණ මගේ සැප පහසුකම් විමසා දවල් 12ට පළමු මගේ ආහාරය සැපයීමට කොමසාරිස්වරයා නියම කළ බවද මට දැන්වූහ. උදේම නාගෙන තේ පානය කොට පත්‍රයද ලබා ගත්තෙමි. මා ඇතුළු ශිෂ්‍යයන් සවිසි දෙනකු හිරභාරයට ගත් බව පත්‍රයේ පළ වී තිබෙනු දුටුවෙමි. අනෙක් විසිපස් දෙනා කොහේදැයි මට දැන්වූයේ නැත. ඔවුහුද මා මෙන් විනෝදයෙන් සිටිතැයි මම සිතුවෙමි. දහවල් රාජකීය අමුත්තකුට ලැබෙන සැලකිලි හා ආහාරපානාදිය ලැබ හතර වන තෙක් නිදා ගත්තෙමි. හතරට හොඳ තේ කෝප්පයක් පානය කොට ජනේලය ළඟට වී මහ මඟ දෙස බලාගෙන සිටියෙමි. හයට පමණ මා හිරභාරයට ගත් නිලධාරියා පැමිණ මොටෝරියට නංවාගෙන නගරයේ වඩා ජනගහනයක් නැති පෙදෙසක සංචාරයකටද ගියෙමි.

පැයක් පමණ සංචාරය කොට ආපසු පැමිණි මට පළමු දවසේ මෙන්ම හොඳ මිදි යුෂ වීදුරුවක්ද දුන්නේය. ඒ සමඟම තවත් නිලධාරියෙක් කාමරයට ඇතුළු වී ප්‍රකාශයක් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මම එයට එකඟ වුණෙමි. ඊට පසු නිලධාරි තැන ප්‍රකාශය ලියන්නට පටන් ගත්තේය. මම කියාගෙනම ගියෙමි. නම, ගම, වයස, ගුරුවර මවුපියන්ගේ වතගොත, ගමේ ගොඩේ කතා, ඉන්දියා ගමන, ශාන්ති නිකේතනයේ ඉගෙන ගැනීම් ආදිය විස්තර කොට චිටගම් හා කල්කටාවට පැමිණෙත්ම, "මේ මොනවද අනම් - මනම් කියන්නේ? අපට දැන් වුවමනා මේ කුමන්ත්‍රණයට අවශ්‍ය කරුණු. ඒවා දැන් කියන්න" යැයි කීය. "මම කුමන්ත්‍රණයක් ගැන දන්නේ නැහැ. ඊට මගේ කිසිම සම්බන්ධයකුත් නැහැ." යි මම කීවෙමි. "අපි දන්නවා ඒ ගැන. කියනවද? නැද්ද?" හෙතෙම මහ හ¾ඩින් ගුගුලේය. මම කතා නොකළෙමි. පසුව ඒ ළඟම කාමරයට මා ගෙන ගොස් මරා දැමිය හැකි බවත්, එසේ පොලිසියට අවනත නොවුණු බොහෝ කපටියන් මරා දැමූ නමුත්, අද වන තුරු ඒවා ගැන කිසිවකු කිසිත් නොදන්නා බවත් කියා මටද සත්‍ය එළි නොකළහොත් එවැනි අවස්ථාවක් හිමි විය හැකි බවත් කීවේය. මා එයට කිසිවක් නොකීවේ පිළිතුරු දීමට ගියහොත් ඉරණම අඳුරු විය හැකියි කල්පනා වූ නිසාය.

වැඩි වේලාවක් ගත නොවීය. මහ මැරවර තාලයේ මිනිහෙක් පැමිණ "මෙහි පැමිණි කිසි කෙනෙක් ස්වාභාවික තත්ත්වයෙන් ආපසු ගියේ නැහැ. මුන් මිනීමරුවො. සමහර විට එළිවෙන්නට පෙර ඔබ මරා පුලුස්සා දමන්නට ද බැරි නැහැ. එවැනි දේ මෙහි නිතර සිදු වෙනවා. දන්න දෙයක් කියා පණ බේරා ගන්න" යැයි කීවේ හිතවත් බවක් පාමිනි. "ඔය කියන කුමන්ත්‍රණය ගැන මා කිසිත් දන්නේ නැතැ"යි මම කීවෙමි. "අප ලවා තමයි මුන් මිනී මරවන්නේ. දැන් මා පිටත් කර එව්වේ ඔබට ගුටි කීපයක් ඇනීමටයි. නමුත් ඔබ ඵකීර් කෙනෙක්. (ඵකීර් යනු මුස්ලිම්කාරයන් පූජකයන් සඳහා භාවිත කරන වචනයකි.) ඒ නිසා මගේ රක්ෂාව ගියත් ඔබේ ඇඟට මා අත තියන්නේ නෑ."

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon