රාජකාරිය හා ආණ්ඩුව

  👤  2084 readers have read this article !
2018-11-21

රාජ්‍ය හා ආණ්ඩුව යනු එකක් නොව දෙකකි. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. දකුණේ මෙන්ම උතුරේ තරුණ තරුණියන් සන්නද්ධ අරගල කළේ මේ ජනරජයට එරෙහිවය. දකුණේ අරගලයේ අරමුණ වුණේ රාජ්‍යයේ බලය ලබාගෙන සමාජවාදී ජනරජයක් ස්ථාපිත කිරීමය. රාජ්‍යයෙන් කොටසක් වෙන්කර එහි දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම උතුරේ අරගලයේ අරමුණ විය. දකුණේ අරගලය එජාප ආණ්ඩුව විසින්ද උතුරේ අරගලය ශ්‍රී ලනිප ආණ්ඩුව විසින්ද තීරණාත්මකව පරාජය කර දැමුවේය.

රාජ්‍ය වෙනස් කිරීමට එවැනි අරගල කිරීම රාජ්‍ය ද්‍රෝහි වීමකි. එය බරපතළය. එහෙත් කලින් කලට වෙනස් වන ආණ්ඩුවට එරෙහි වීම එනම්, ආණ්ඩුව වෙනස් කිරීමට යෑම බරපතළ වරදක් නොවේ. ව්‍යවස්ථානුකූලව නියමිත කාලයට පසු පවත්වන මහ මැතිවරණයකදී අවශ්‍ය නම්  ආණ්ඩුව වෙනස් කිරීමේ බලය ඡන්ද දායක ජනතාවට ලැබේ. ජනාධිපතිවරයාද ඒ ආකාරයට ඉවත් කර දැමිය හැකිය.

එහෙත් බොහෝ දෙනකු ඇතැම් අවස්ථාවලදී රජය හා ආණ්ඩුව පටලවා ගනිති. ඒ අතර දේශපාලනඥයන් සිටීම අරුමයක් නොවුණද රජයේ නිලධාරීන්ද සිටීම පුදුමයට කාරණයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පරිපාලනය පවත්වාගෙන යෑම රජයේ නිලධාරීන්ගේ පරම වගකීමය. ඔවුන් ඍජුවම වගකිවයුත්තේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවටය. රාජකාරිය දේවකාරියටත් වඩා යන කියමන වහරට පැමිණ ඇත්තේ රජුට සේවය කිරීමේ අර්ථයෙන් වුවද නවීන ලෝකයේ රාජකාරියඅන් සියල්ලට වඩා වගකීම් සහිතය.

ඇඹිලිපිටිය සිසු ඝාතන නඩු තීන්දුවේදී විනිසුරුවරයා ඉතා පැහැදිලිව සඳහන් කර තිබුණේ මේ සිද්ධියට අදාළ හමුදා නිලධාරීන් කටයුතු කර ඇත්තේ රජයේ හමුදා නිලධාරීන් ලෙස නොව පැවැති එජාප ආණ්ඩුවේ නිලධාරීන් ලෙස බවය. ඉන් පැහැදිලි වන කාරණය වන්නේ නිලධාරීන් වගකිවයුත්තේ රජයට එනම්, ජනතාවට මිස ආණ්ඩුවට නොඑසේ නම් දේශපාලනඥයන්ට නොවන බවය. රජයේ නිලධාරීන්ට ඕනෑම දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තිබුණද ඔවුන්ට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය නොහැකිය. එහෙත් කාලයක සිට රජයේ ඇතැම් නිලධාරීන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.

මේ දේශපාලන අර්බුදය ආරම්භයේදීම ජනාධිපතිවරයා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නය දෙස බලා නොසිට රජයේ පරිපාලන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන ලෙසය. එතුමා මේ ඉල්ලීම කළේ පවතින තත්ත්වය ගැන අවබෝධයක් තිබෙන නිසා විය යුතුය. එහෙත් පරිපාලන නිලධාරීන්ගේ සිට රජයේ සාමාන්‍ය සේවකයා දක්වා සති දෙක තුනක් තිස්සේ \'මොකද වෙන්නේ\' යැයි විපිළිසරව සිටින බව පෙනේ.
ඊට හේතු දෙකක් තිබේ. පළමුවැන්න රජය හා ආණ්ඩුව පටලවාගෙන කටයුතු කිරීමය. අනෙක රජයේ සේවය දේශපාලනීකරණය වී තිබීමය. 1970 සමඟි පෙරමුණ ආණ්ඩුව මේ දේශපාලනීකරණයට පදනම දැමූ අතර 80-90 දශකවලදී බරපතළ කඩාවැටීමකට රාජ්‍ය සේවය, විශේෂයෙන් පරිපාලන සේවය මුහුණ දුන්නේය. වර්තමානයේදී ද එහි කිසිදු වෙනසක් සිදුවී නැත.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ 2000 වසරේ ශ්‍රී ලනිප - ජවිපෙ පරිවාස ආණ්ඩුව ප්‍රමුඛව සම්මත කළ 17 වැනි සංශෝධනය හා 2015 දී එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවෙන් සම්මත කළ 19 වැනි සංශෝධනය හරහා ස්වාධීන කළ ස්වාධීන කොමිෂන් සභාව නිසා රාජ්‍ය නිලධාරීන්ට යම් ප්‍රමාණයකට හෝ ස්වාධීනව රාජකාරිය කිරීමේ ඉඩකඩ විවර වී ඇත. මේ ආකෘතිය නිසා දේශපාලනඥයන්ට විවිධ අරමුණු තිබුණද ඒ කරා යෑම

දුෂ්කරව තිබේ. පාලකයන්ගේ අත්තනෝමතික කටයුතු පාලනය කර ගැනීමට මින් අවස්ථාව ලැබී ඇත. රජයේ කටයුතු සංවරණ හා තුලන ක්‍රමයකින් අධීක්ෂණයට ලක්වීම අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව පාලකයන් මෙන්ම ජනතාවද සැලකිලිමත් වීම වැදගත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon