බල පෙරළියේ සැඟවුණු කතාව

  👤  2919 readers have read this article !
2018-11-20

අපේ රටේ උගතුන් යැයි කියනා බොහෝ දෙනෙක් පවා දේශපාලනය ගැන මතුපිටින් අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් ගැඹුරින් අධ්‍යයනය කොට තර්කානුකූලව විමසා වටහා ගැනීමට මහන්සියක් නොදරති. මහින්ද රාජපක්ෂ මහත්තයා තව මාස 8ක් ඉවසුවා නම් ගන්න තිබුණ ආණ්ඩුවනේ කියා අද මහින්ද රාජපක්ෂට ‍ෙදාස් නඟන්නේත් එවැනි පිරිසකි. 113 හදා ගන්න බැරි නම් දීල අයින් වෙන්න බැරිද කියා මධ්‍යස්ථ මතධාරීන් යැයි කියා ගන්නා පිරිසක් අසන්නේත් ඒ හේතුව නිසාමය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියා නම් මාස 8කින් තබා තව වසර ගණනාවකට ඡන්දයක් නොලැබෙන බව යමෙක් කීවොත් බොහෝ දෙනකු එය පක්ෂාග්‍රාහී කීමක් ලෙස ඉවත දමන්නේත් මේ දේශපාලන නොදැනීම නිසාය.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ බොහෝ බල පෙරළි පිටුපස සිටි අදිසි හස්තය වූ තම පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරේ යමින් තමුන්ද හීන් සූත්තරකාරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා හැමදාමත් බලයේ රැඳී සිටියේ ව්‍යවස්ථා ගැට භාවිතයෙනි. ලංකාවේ එකම දේශපාලන පක්ෂයක නායකත්වයේ වැඩිම කාලයක් සිටි පුද්ගලයා ලෙස ඔහු වාර්තාවක් තබා ඇත්තේ දැනට වසර 24කට පෙර එසේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට ගැසූ ගැටයක උපකාරයෙනි. 1994 ජනාධිපතිවරණයෙන් පැරදී අන්දමන්දව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් කිසිවකුට නොදැනී එදා ඔහු පක්ෂ ව්‍යවස්ථාවට කොන්දේසියක් රිංගවා ගත්තේ දිවි ඇති තුරාවටම තමන්ව නායකත්වයෙන් ඉවත් කළ නොහැකි ලෙසය. එම වගන්තියේ බරපතළකම අනෙකුත් පාක්ෂිකයන්ට තේරුම් යන විට ප්‍රමාද වැඩිය. එදා සිට විවිධ අවස්ථාවල පක්ෂයේ අනෙකුත් නායකයන් හා සාමාජිකයන් එක්ව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් මේ ව්‍යවස්ථා ගැටයට පින්සිදු වෙන්නට ඔහු අදත් පුටුවේ රැඳී සිටියි.

2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් වී මඳ කලකට පසු රනිල් වික්‍රමසිංහ මහතා නව ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළේය. එහි අරමුණ වූයේ පාර්ලිමේන්තුව සම්පූර්ණ වාර කාලය අවසන් කිරීමට පෙර විසුරුවා හැරීමට 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලබාදී තිබූ බලය ඉවත් කිරීමටයි. නමුත් මෙම සංශෝධනය අධිකරණයේ අභියෝගයට ලක්වූ අතර ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙවැනි බරපතළ තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තුවේ එකඟතාව ප්‍රමාණවත් නැති බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත්ය. එදා ශේ‍ර්ෂ්ඨාධිකරණය ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කළේ එලෙසය.

ඒ කෙසේ වෙතත් 2015 ජනවාරිවල යළි අගමැති ධුරයට පත් වූ පසු එම ගැටයම යළි ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය විය. නමුත් එදා ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේපිත යෝජනාව ඒ ආකාරයටම යළි ගෙන ඒම ගැටලුවක් වූ නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ස¼දහා කපටි උපක්‍රමයක් භාවිත කරන ලදී. ඒ පාර්ලිමේන්තුව කලින් විසිරවීමට ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබාදී ඇති බලය ඉවත්කරනු ලබන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මූලික පනත් කෙටුම්පතේ සඳහන් නොකොට සඟවාගෙන සිට එය අවසාන කාරක සභා අවස්ථාවේ සංශෝධනයක් ලෙස කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද වගන්තියක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රිංගවා ගැනීමය.

ඒ නව සංශෝධිත ව්‍යවස්ථාවේ අප දකිනා 70(1) ව්‍යවස්ථාවයි.

70(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රිවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රිවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වනතෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව බලයට පත්වී වසර 4 1/2 දක්වා විසිරිය නොහැකිය යන මතයක් ජනගත වූයේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත් 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට පැහැදිලිවම බලතල දෙන වගන්තියක්ද ජනාධිපති බලතල යටතේ ඇතුළත් කරනු ලැබ තිබිණි. ඒ 33 (2) (ඇ) ව්‍යවස්ථාවයි.
33(2) (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පතට මෙම වගන්තිය ඇතුළත් කරන්නට ඇත්තේ වරක් ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට ඇති අයිතිය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උදුරාගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් පැහැදිලිවම තීන්දුවක් දී තිබුණු නිසා විය යුතුය. කාරක සභා අවස්ථාවේ නිසි ක්‍රමවේදයට පිටුපා කඩිමුඩියේ නව සංශෝධන ගෙන එමින් වාද කිරීමට ඉඩ නොදෙමින් එම සංශෝධන සම්මත කරමින් අද කථානායක කරු ජයසූරිය මහතා හිතු මතයට විශ්වාසභංග සම්මත කරන ආකාරයේම මගඩියක් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම සැලැසුම් කර තිබෙන්නට ඇත්තේ ඒ කලබලය අතරම 33(20) (ඇ) වගන්තියද කාටත් හොරෙන් ඉවත් කර ගන්නට විය හැකිය.

නමුත් රටේ වාසනාවට ඔවුන්ට මෙය අතපසු වීම නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසිරුවීමට අවස්ථාව ලැබිණි. ඉන් තක්කු මුක්කු වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම අද අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවෙමින්, නව අගමැති පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු නීතිරීතිවලට පටහැනි ආකාරයට විශ්වාසභංග සම්මත කරමින් යකා නටන්නේ නොසිතූ වෙලාවක නොසිතූ ආකාරයකට සිදුවුණු දෙය දරා ගත නොහැකිවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1)(3) ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් මිස පාර්ලිමේන්තුව විසින් නොවේ.
'42(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.'
ඉතිහාසයේ පක්ෂග්‍රාහීම කථානායක ලෙස මේ වන විට තම නමට අඳුරු පැල්ලමක් එක් කරගෙන සිටින කරු ජයසූරිය මහතා නොදන්නක් මෙන් හැසිරෙන්නේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම දී ඇති මේ බලතලයි.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි කණ්ඩායමට බහුතරයක් ඇත්නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනතාවගේ විරුද්ධත්වයක් නැත. එහෙත් එය කළ යුත්තේ හන්දියේ චණ්ඩියකු මෙන් නොව පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රමවේදයට අනුව නීත්‍යනුකූලවය.

විරුද්ධ පක්ෂයට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා නිසි ක්‍රමවේදය භාවිත කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත නැවත විරුද්ධ පක්ෂයට පවසා ඇත. තමන් පත් කළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නට එපා කියා ජනාධිපතිවරයා කිසිවිටෙක පවසා නැත. වැරැදි ක්‍රමයට ඉදිරිපත් කරන ලද මුල් විශ්වාසභංග යෝජනා දෙකම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයාට සිදුවීම, වෙන රටක නම් තමුන්ට වැඩ බැරි බව පිළිගෙන කථානායකවරයා ඉල්ලා අස්වීමට හේතුවක් වන්නට තිබිණි.

එදා මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත තමා අගමැතිවරයා ලෙස පත්කිරීම පිළිගැනීම මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ඉටු කළ තවත් ඉතා වැදගත් කටයුත්තක් වන්නේ මන්ද කියා අපි මඳක් විමසා බලමු. එය කළ යුත්තේ හැඟීම්වලට වහල් නොවී තර්කානුකූලව කරුණු විමසීමෙනි.

රටට ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව මේ රටේ සංඝරත්නයත්, කාදිනල්තුමා ඇතුළු කතෝලික පූජකතුමන්ලාත්, බොහෝ දේශප්‍රේමී විද්වතුන් පුන පුනා කී නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත නොවැම්බර් මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වූ පසුගිය ආණ්ඩුව සැලැසුම් කර තිබිණි.

පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ හා තවත් සුළු ජාතික පක්ෂ කිහිපයකම සහයෝගය තිබෙන නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරන අතිශයින් පක්ෂග්‍රාහී කථානායකවරයකු මුල් පුටුවේ සිටින විට රට අගතියට හෙළන එම ව්‍යවස්ථාව ඉතා පහසුවෙන් සම්මත වීමට ඉඩ තිබිණි. ජනාධිපතිතුමා විසින් සිදු කළ හදිසි බල පෙරළිය නොවන්නට පාර්ලිමේන්තුවෙන් පිටත ජනමතය කුමක් වුවත් මුදලට විකිණෙන සමහරක් මන්ත්‍රිවරුන් සිටින වත්මන් පාර්ලිමේන්තුව තුළ එම ව්‍යවස්ථාව සම්මත වීම වැළැක්වීමට සක්කරයාටවත් නොහැකි වනු ඇත.

තමුන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා ඩොලර් කුට්ටි පිටින් විසි කරන්නට අන්තවාදී දෙමළ ඩයස්පෝරාව හා ඔවුන්ට සහාය දෙන බටහිර බලවේග සූදානම්ව සිටි බව නිසැකය. 30 වසරක් යුද්ධයකින් ප්‍රභාකරන්ට ලබා ගත නොහැකි වූ දේ බන්දේසියක තබා පාර්ලිමේන්තුව තුළින්ම ලබා දෙන්නට තිබුණු ඉඩකඩ ඇහිරුණේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ව ඉටුකළ ජාතික වගකීම නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිගින් දිගටම ජාතික සම්පත් විදේශිකයන්ට විකුණමින්, රටට අහිතකර ගිවිසුම්වලට එළැඹෙමින් රට සැබෑ ණය උගුලක පටලවමින්, රණවිරුවන් පාවා දෙමින්, ජනතාව මත අධික ලෙස බදු පනවමින්, රටේ නීතිය අවනීතිය කරමින් සිදුකරමින් සිටි සමාජ - ආර්ථික ව්‍යසනයද නතර කර ගැනීමට මේ තීන්දුව හරහා ඉඩ ලැබිණි.

රට බෙදන ව්‍යවස්ථා බලහත්කාරයෙන් මෙන් වත්මන් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම වැළකීම හරහා සිදු වූ තවත් ඉතා වැදගත් දෙයක් නම් ලංකාවේ ජනතාවගේ ඡන්ද අයිතිය තව බොහෝ කලකට පැහැර ගැනීමට තිබුණු කුමන්ත්‍රණයක්ද පරාජය වීමයි. නීතිය තම අභිමතයට වෙනස් කර ගැනීම හරහා දිගු කලක් බලයේ රැඳී සිටීම රනිල් වික්‍රමසිංහ මහතාගේ පුරුද්දක් බව මේ ලිපියේ ආරම්භයේදීම මතක් කොට දී තිබිණි. නව ව්‍යවස්ථාව හඳුන්වාදීම හරහා සැලැසුම් කොට තිබුණු තවත් මගඩියක් නම් පාර්ලිමේන්තු මැතිවරණ තව බොහෝ කලකට කල් දැමීමයි.

ඒ සඳහා භාවිත කොට තිබුණේ පළාත් පාලන මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දැමීමට පසුගිය ආණ්ඩුව භාවිත කළ උපක්‍රමයමය. නව ව්‍යවස්ථා කෙටුම්පතට අනුව ලංකාවේ මැතිවරණ සිතියම වෙනස් කිරීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා අලුතින් සීමා නිර්ණය කොමිසමක් පත් කළ යුතුව තිබිණි. මෙම සීමා නිර්ණය කොමිසමට තම වාර්තාව ලබාදීමට නව ව්‍යවස්ථාවේ දින නියම කොට නැත. ඒ අනුව නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් තව වසර ගණනාවකට මේ රටේ මැතිවරණයක් නැත.

මේ ගැඹුරු සත්‍යය වටහා නොගෙන මතුපිටින් පෙනෙනා දේ මත පමණක් විවිධ උපකල්පනයන් කිරීම මේ රටේ සිටින බුද්ධිමත් ජනතාව විසින් නොකළ යුතු දෙයකි.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon