‘කසළ’ විසඳුම්ද කුණු වී ඇත

  👤  2585 readers have read this article !
2018-11-15

මෙරට දේශපාලනය කුණු වී මජර ගලමින් තිබේ. එහෙත් ඊනියා දේශපාලනඥයන්ට නම් ඒ ගැන වගේ වගක් නැත. ඔවුහු බල පොරයේ නිරතව සිටිති. පල් වළ ඉහගෙන කන්නෝද, දේශපාලන සට්ටැඹියෝ වාසි පිලට හුරේ දමමින් සිටිති. පොදු ජනතාවද වාද විවාදවල පැටලෙමින් කල් මරයි. රටට සිදු වී ඇති විපත ගැන කම්පා වන්නේ සබුද්ධික කොටස් පමණි.


කාරණය අනෙකකි.
ඊනියා දේශපාලනය මුළු රටම කුණු කර ඇති කාලයක 'කුණු' ප්‍රශ්නයට විසඳුම් නොදීම නිසා පොදු ජනතාවගේ ජීවිතයට තවත් අවුලක් එකතු කිරීමට මේ දේශපාලනඥයන් සමත්ව ඇත.


ඊයේ 'මව්බිම' දිනපතා පත්‍රය වාර්තා කර තිබුණේ මතුගම ඇතුලත්මුදලිගම කසළ අංගණයේ දුගඳ අවට ප්‍රදේශය පුරා පැතිරෙන බවත්, අංගණයෙන් බැහැර වන අපද්‍රව්‍ය, කඩිත්තමංකඩ ඇළට ගලා යන බවත්ය. මේ පරිසර දූෂණයට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වී ඇත. ප්‍රදේශවාසී ජනතාව කාලය නාස්ති කර ගනිමින් විනෝදයට උද්ඝෝෂණ කරන්නේ නැත.

පීඩාව ඉවසා දරාගත නොහැකි වූ විට මිස ඔවුහු පාරට නොබසිති. එලෙස ජනතාව පාරට බසිනතුරු ප්‍රාදේශීය සභා බලධාරීන් කළේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාසයට මන්ත්‍රිවරයකු පත් කිරීමට තීරණය කළේ වඩා හොඳ පළාත් පාලනයක් වෙනුවෙනි. එහෙත් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා නහයක් හෝ දෙනෙතක් ඇති පුද්ගලයකු වූවා නම් ජනතාව කරන චෝදනාව විමසා බලා පිළියම් යෙදිය යුතුව තිබිණි. ජනතාව තෝරාගත් කොට්ඨාසයේ මන්ත්‍රිවරයා ගඳ සුවඳ පවා නොදැනෙන අන්ධයකු විය යුතුය. ඇත්ත වශයෙන්ම ජනතාව තෝරා ගන්නා මන්ත්‍රිවරුන් සැලකිය යුතු පිරිසක් අඳ, ගොළු, බිහිරන්ය. ඔවුන් සංවේදී වෙන්නේ සාක්කුවට වැටෙන මුදල් ගැන හා ලැබෙන වරප්‍රසාද ගැනය. ඉඩක්කඩක් තිබුණොත් පමණක් මේ ඊනියා මන්ත්‍රිවරු ජනතා ප්‍රශ්න ගැන සොයා බලති.


'කුණු' ප්‍රශ්නය මෙරට ජාතික ප්‍රශ්නයකි. දැවෙන ප්‍රශ්නවලින් එකකි. එහෙත් ජාතික මට්ටමෙන් හෝ ප්‍රාදේශීය මට්ටමින් හෝ ඊට සාර්ථක විසඳුම් සෙවීමට පාලකයන් තවමත් අපොහොසත්ය. අනෙක් පැත්තෙන් විසඳුම් සෙවීමේදී ජනතාව දැනුම්වත් නොකිරීම නිසා ඊට විරෝධය එල්ල වෙයි. නොඑසේ නම් තක්කඩි දේශපාලනඥයෝ ජනතාව නොමඟ යවා අදාළ ව්‍යාපෘතිවලට එරෙහිව ඔවුන්ව උසිගන්වති.


කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්ද ගිනිගත් අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේය.
ජීවිත රැසක් විනාශ වූ අතර අහිමි වූ දේපොළද විශාලය. එහෙත් අදත් කොළඹ කුණු ප්‍රශ්නයට තිරසර විසඳුමක් නැත. එසේ තිබියදී රටේ තැන තැන කුණු ප්‍රශ්නයට දී ඇති විසඳුම්ද 'කුණු' වී ඇත. ඇතුලත්මුදලිගම කුණු ප්‍රශ්නයෙන්ද පෙනෙන්නේ එය මිස අනෙකක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon