මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම

  👤  4103 readers have read this article !
2018-11-06

2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය.

ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය.

ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී සිටි තවත් කණ්ඩායම්වලටය. එවකට අග්‍රාමාත්‍ය වශයෙන් මෙම ආසන 157ක මන්ත්‍රි කණ්ඩායමට නායකත්වය දුන්නේ දි.මු. ජයරත්න මහතාය.

ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති වශයෙන් පත්කිරීම සඳහා ඉන් මොහොතකට පෙර නව ජනාධිපතිරයා විසින් එක පෑන් පහරකින් ආසන 157ක් තිබූ අගමැති දි.මු. ජයරත්න මහතාව ඉවත්කොට තිබිණි.


මේ ක්‍රියාවට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැති දි.මු. ජයරත්න මහතාට කලින් දැනුම් දුන්නේ නැත. පාර්ලිමේන්තුවේ අදහස විමසුවේත් නැත. කථානායක චමල් රාජපක්ෂට කීවේත් නැත.
එහෙත් සුළුතර බලයක් පමණක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඔහුගේ යහපාලන සගයන්ට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයට හෝ බටහිර තානාපතිවරුන්ට මේ ක්‍රියාවේ කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී බවක් පෙනුණේ නැත. කට උල් කරමින් ඇස් නටවමින් කිසිවකු මෙය සදාචාර විරෝධී ක්‍රියාවකැයි කීවේද නැත.

එහෙත් ඉන් මාස 45කට පසු එම ජනාධිපතිවරයාම එම ක්‍රියාව එම ආකාරයෙන්ම කොට පාර්ලිමේන්තුවේ පැහැදිලිවම ආසන 72ක බලයක් තිබුණු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ විට රනිල් වික්‍රමසිංහ මහතාට, ඔහුගේ යහපාලන සගයන්ට, ජනතා විමුක්ති පෙරමුණට, ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙන්ම බටහිර තානාපතිවරුන්ට මේ ක්‍රියාවේ අතිශයින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස පෙනෙන්නට පටන් ගෙන ඇත. කට උල් කරමින් ඇස් නටවමින් සමහරු මෙය සදාචාර විරෝධී ක්‍රියාවකැයි කියන්නේ ඒ නිසාය.

මේ අය අද පතන්නේ 2015 අප්‍රේල් මස ඉතා ප්‍රෝඩාකාරී හා කොල්ලකාරී ලෙස සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ රැකවරණයයි. 1978 ව්‍යවස්ථාවට විටින් විට ඉදිරිපත් කරනා ලද සංශෝධන අතර පාර්ලිමේන්තුවේ සම්මත වූ අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනය නම් 2015 අප්‍රේල් මාසයේ කඩිමුඩියේ සම්මත කරගන්නා ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි.
රටේ ජනතාවත්, පාර්ලිමේන්තුවත් එවකට පත්ව සිටි නව ජනාධිපතිවරයාවත් නොමඟ යවමින් අතිශයින් ප්‍රෝඩාකාරී ආකාරයෙන් සම්මත කරගත් මේ සංශෝධනයෙන් රටට සිදු වී ඇති අගතිය වර්තමානයේ රටේ නිර්මාණය වී ඇති ව්‍යවස්ථා අර්බුදයෙන් පැහැදිලි වේ.

සාමාන්‍යයෙන් රටක අගමැතිවරයකු සිටිනා විට තමුන්ද අගමැති යැයි කියනා අය යවන්නේ මුල්ලේරියාවේ මානසික රෝහලටය. එසේ නොවී ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවට තමුන් තවමත් අගමැති යැයි කියාගන්නා පුද්ගලයකුට බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින්, ප්‍රකාශ නිකුත් කරමින් ජව්සන් නටන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අපැහැදිලිකම් නිසාය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රෝඩාකාරී හා කොල්ලකාරී ලෙස සම්මත කර ගත්තක් යැයි කිවහැක්කේ කෙසේද කියා අපි මඳක් විමසා බලමු.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කෙටුම්පතක් ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වූ විට ක්‍රියාකරන සම්මත ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කොට අණ පනත් සම්මත කර ගැනීමේ ප්‍රෝඩාකාරී හා කොල්ලකාරී යහපාලන පිළිවෙත අප මුලින්ම දුටුවේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගැනීම තුළිනි. ඒ සඳහා ඉතා කපටි මොළයක් අවශ්‍යයි. ඒ මහ බැංකුවක් පවා කොල්ල කා සිටින ආකාරයේ කපටි මොළයකි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කෙටුම්පතක් ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වූවිට ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් එම කෙටුම් පතේ ඇති යම් කොටස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි අතර යම් කොටස් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් සම්මත කරගන්නා ලෙස උපදෙස් දිය හැකිය. සමහර කොටස් ජනමත විචාරණයකට පවා ඉදිරිපත් කොට ජනතා අනුමැතිය ලබා ගත යුතු බව ශේ‍ර්ෂ්ඨාධිකරණය උපදෙස් දිය හැකිය. ශේ‍ර්ෂ්ඨාධිකරණය මතය අනුව සමහරක් කොටස් සංශෝධන සහිතව සුළු බහුතරයකින් වුවද සම්මත කරගත හැකි අවස්ථාද තිබේ.

මෙවැනි සුළු සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරනු ලබන්නේ පනත අවසාන වශයෙන් සම්මත කිරීමට පෙර කාරක සභා අවස්ථාවේදීය. එවැනි සංශෝධන එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අනේ‍යාන්‍ය එකඟතාවෙන් සම්මත කරගනු ලබන සුළු වෙනස්කම් මිස බරපතළ වෙනස්කම් නොවේ.

නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කාරක සභා අවස්ථාවට ඉදිරිපත් වූ විට ආණ්ඩුව කළේ හදිසියේම සංශෝධන ගණනාවක් කෙටුම්පතට ඇතුළු කොට ඒවා පිළිබඳ විස්තර මන්ත්‍රිවරුන්ට කල් වේලා ඇතිව නොදී, ඒවායේ භාෂා පරිවර්තන පිටපත් නොදී යළි විවාදයට ඉඩ නොතබා කඩිමුඩියේ සම්මත කර ගැනීමය. මෙසේ සම්මත කරගත් සමහර වගන්ති කිසිසේත්ම ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙන් වූ වගන්තිවලට කරනා සංශෝධන නොව තීරණාත්මක අලුත්ම වගන්තිය. ඒ අනුව ආණ්ඩුව කළේ ශේ‍ර්ෂ්ඨාධිකරණයටද කොකා පෙන්වා මන්ත්‍රිවරුන්ගේ ඇස් වසා කළ මහා මගඩියකි.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් පෙනී යන පරිදි මෙම කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාව 2015.04.28 දින රාත්‍රි 7.46ට ආරම්භ වී රාත්‍රි 11.10ට අවසන් වී ඇත. මේ අවස්ථාව වන විට දවල්ටත් පාර්ලිමේන්තුවේ බුදියන මන්ත්‍රිවරුන්ගෙන් කී දෙනකු අවදිව සිටියාද යන්න සැක සහිතය.

සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ ඒවායේ පිටපත් මන්ත්‍රිවරුන්ට ලබා නොදීය. ඒ නිසා සංශෝධනය වූයේ කුමක් දැයි මන්ත්‍රිවරුන්ට නිසි අවබෝධයක් නොතිබිණි.

එහෙම වෙන්න මන්ත්‍රිලා බබාලාද කියා යමෙක් ප්‍රශ්න කළ හැකිය. මෙහිදී සිදුවූයේ කපටිකමකැයි මුලින්ම කීවේ ඒ නිසාය. සිදුවූයේ නංගී පෙන්වා අක්කා දීමකි.

19 වැනි ව්‍යවස්ථාව ගෙන ඒමේ මුඛ්‍ය පරමාර්ථයන් වූයේ ජනාධිපති බලතල අඩුකොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ව්‍යවස්ථා සභාවන් නැවත පිහිටුවා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට කටයුතු කිරීමත් ඒ හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට තුළ ස්ථාපිත කිරීමත්ය. 19 වැනි ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන් බොහෝ මන්ත්‍රිවරු කාරක සභා අවස්ථාවේ රිංගවා ගත් තක්කඩි සංශෝධන රැසක් හරහා ජනතාවට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් මංකොල්ලකා ඇති බව වටහා ගන්නා විට පෙරහර ගොස් අවසන්ය.


මන්ත්‍රිවරුන් නිසි අවධානයකින් සිටියා නම් වළක්වාගත හැකිව තිබූ රටට හානිකර යෝජනා සමහරක්
පහත දැක්වේ.
• වසර 4 1/2 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ
බලය ජනාධිපතිවරයාට අහිමි කිරීම.
• මහ මැතිවරණයක් පවත්වන ලෙස ජනපතිගෙන්
ඉල්ලා පාර්ලිමේන්තුව තුළ සම්මත කරන යෝජනාවට
2/3ක බහුතරයක් අවශ්‍ය වීම.
• ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හරහා ඇමැති ධුර හා
නියෝජ්‍ය ඇමැති ධුර සීමා රහිතව වැඩිකර ගැනීමට
පාර්ලිමේන්තුවට බලය දීම.
• පාර්ලිමේන්තුවේ වැඩිම ආසන අයිති පක්ෂයට
අන් ඕනෑම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක්
එක්කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවා
එහි වාසි ලබා ගන්නට හැකි වීම.
• රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයකදී
අභියෝගයක් විය හැකි නිශ්චිත පුද්ගලයන් ඉලක්ක
කරගෙන ඔවුන් තරග බිමෙන් ඉවත් කිරීම සඳහා
ජනාධිපතිවරණ අපේක්ෂක කොන්දේසි සංශෝධනය
කිරීම.
• අගමැතිවරයා පත් කරනු ලැබීමෙන් පසු
ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කළ
නොහැකිය යන අතුරු වගන්තිය හොර රහසේම
කාරක සභා අවස්ථාවේදී සංශෝධනවලට
රිංගවා ගැනීම.


දේශපාලකයකු වුවද රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙක ජනතාව මත විශ්වාසය තැබූවකු නොවේ. ඒ නිසා තම දේශපාලන ජීවිතය පුරා හැමදාමත් ඔහු කළේ ව්‍යවස්ථා සටකපටකම්වලින් තම බලය සුරක්ෂිත කර ගැනීමය. ජීවත් වන තුරු ඔහුව එක්සත් ජාතික පක්ෂයේ නායක කමෙන් ඉවත් කළ නොහැකි බවට කොන්දේසියක් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට හොර රහසේ රිංගවා ගන්නට සමත් වීම නිසා අද ඔහු ආසියාවේ දිගම කාලයක් එකම දේශපාලන පක්ෂයක නායකත්වය දැරූ පුද්ගලයා වී සිටියි.

19 වැනි ව්‍යස්ථා සංශෝධනය හරහාද ඔහු උත්සාහ කළේ ඔහුගේ අගමැතිකම දිගටම පවත්වාගැනීමට හා අවශ්‍ය වේලාවට තරගකරුවන් නැති ජනාධිපතිවරණයකට මඟ පාදාගැනීමටය. ඒ බලාපොරොත්තුව ඉටු වුණා නම් ඔහු තවත් ව්‍යවස්ථා මගඩියක් හරහා මියෙනු තුරු රටේ පාලකයා වීමට ක්‍රමයක් සොයනු ඇත. රටේ වාසනාවකට ඔහුට මඟහැරුණු ව්‍යවස්ථා කපොල්ලක් හරහා රිංගා ව්‍යවස්ථානුකූලව නව අගමැතිවරයකු පත් කර ගන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් විය. දැන් ඉතින් මොන නැටුම් නැටුවත් පාර්ලිමේන්තු මැතිවරණයකින් දිනා මිස යළි අගමැතිවීම රනිල් වික්‍රමසිංහ මහතාට පහසු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon