පිරිත් කියන අතරේ අරලිය ගහ මැදුරේ මන්ත්‍රීන්ගේ ප්‍රෙෂර් බලපු ‍ෙදාස්තර

  👤  4725 readers have read this article !
2018-11-04

ශ්‍රී ලනිප සංවිධායකවරුන්ට මෛත්‍රි කිව්ව සැර කතාව


නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් වෙනස් වූ දේශපාලන බල පෙරළිය මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. මේ වන විට ආණ්ඩු පක්ෂය බවට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ බහුතරය පෙන්වීම සඳහා කටයුතු කරමින් සිටී. එක්සත් ජාතික පෙරමුණද සිය බහුතරය පෙන්වීම සඳහා දන්නා උප්පරවැට්ටි සියල්ලම දමමින් තිබේ.


එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රිවරු දිනෙන් දිනම ඇමැතිකම් ලබාගනිමින් මෛත්‍රි සහ මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණ තිබේ. එහෙත් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි

තත්ත්වය එසේ තිබියදී සිදුවූ දේශපාලන බල පෙරළිය ගැන කතා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය බදාදා ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවිය. කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්විණි.


'තමුන්නාන්සේලා කලබල වෙන්න ඇති මම මේ ගත්ත තීරණය ගැන. මට ආරංචි වුණා සමහරු තැන් තැන්වල මේ ගැන කතා කරලා තියෙනවා කියලා. මම ඒ ගැන කියන්න තමයි තමුන්නාන්සේලාට එන්න කිව්වේ. මම මේ තීරණය ගත්තෙ බොහොම ඉවසලා බැරිම තැන. ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වුණේ. 6 වැනිදා මට එජාපයේ කට්ටියගෙන් ලියුමක් එනවා ජනාධිපති ලෙස මාව පත් වුණාට පස්සෙ, පහුවදාම විධායක බලතල සියල්ල අගමැතිතුමාට පවරන්න කියලා. මම රතන හාමුදුරුවොයි, පාඨලී, රාජිතයි ගෙනැල්ලා මේ ගැන කිව්වා. පස්සෙ මම ලියුමක් යැව්වා එහෙම බලතල පැවැරීමක් කරන්න බෑ. මම රනිල් වික්‍රමසිංහව අගමැති කරනවා කියලා.

ඒ වගේම මම ඉන්නකන් බලය බෙදා හැරීම කවදාවත් වෙන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තරය අල්ලාගෙන කුමන්ත්‍රණයකින් හරි ආයෙ අගමැති වුණොත් මම එක මොහොතක් මේ පුටුවෙ ඉන්නෙ නෑ.
මම ජනතාව එක්ක පාරට බහිනවා.' යැයි මෛත්‍රි කීවේය.

මේ අවස්ථාවේ සංවිධායකවරුන් බොහෝ දෙනකු ජනාධිපතිවරයා ගත් තීන්දුවට ස්තුති කළේය. ඒ අතරවාරයේ දයාසිරි ජයසේකර මහතා නැඟී සිටියේය.


'මේ තීරණය ගැන ඔබතුමාට ස්තුති කරන්න ඕනේ. නිවැරැදි දේ වුණා. මොකද අපේ බොහෝ සංවිධායකයො මේ ප්‍රශ්නය නිසා කකුල් දෙක දෙපැත්තක තියාගෙන හිටියේ යැයි ජයසේකර මන්ත්‍රිවරයා කියනවාත් සමඟ සංවිධායකවරුන් බොහෝ දෙනකු දයාසිරි සමඟ ඇවිළෙන්නට පටන් ගත්හ.

'අපි කවුරුත් නම් එහෙම හිටියේ නෑ. තමුන්නාන්සෙ තමයි කකුල් දෙක දෙපැත්තටම තියාගෙන හිටියේ' සංවිධායකවරුන් කිහිපදෙනෙක් විරෝධය දක්වමින් පැවැසූහ.
අනතුරුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය.

'දැන් යූඑන්පීය කියනවා කොළඹට සෙනඟ ගෙනැල්ලා ලොකු විරෝධයක් තිබුණා කියලා. ඒ විරෝධයට ඇවිල්ල තියෙන්නෙ විසිදාහයි. ඒකෙනුත් අරලියගහ මන්දිරය ළඟට ඇවිල්ලා තියෙන්නේ 700යි. සෙනඟ ගෙනැල්ලා මේවා කරන්න බෑ. අපිටත් පුළුවන් සෙනඟ පෙන්වන්න. මෛත්‍රි තරමක් කේන්තියෙන් කීවේය.


මේ අතර ජනාධිපතිවරයාගේ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්විය. එහිදීද ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය ගැනද කතාබහ කළේය.
දැන් වුණත් යූඑන්පී එකෙන් එන්න ඕන තරම් ඉන්නවා. අපේ අය ඉවසනවානම්.


ඒ අයට ඇමැතිකම් දෙන්න පුළුවන්.


'අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා ගත් මේ අභීත ක්‍රියාව ගැන' තිලංග කීවේය.


'ඔව්, ඒක ඇත්ත අපි මේ වෙලාවේ පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕන' සරත් ඒකනායක කීවේය

.
අනතුරුව තිබුණු තත්ත්වය ජනාධිපතිවරයා පොළොන්නරුව බලා පිටත්ව ගියේ විශේෂ ආගමික කටයුතු සහ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවේය.


සඳගිරිගොඩ ගෙවිලියන්ගේ
ඇඹුල ජනපතිට


තිස්ස මහ සෑ රදුන් අබියස පිහිටි සඳගිරිගොඩ වෙල්යායේ පැවැති ජාතික වප්මඟුල් උත්සවය පසුගිය සඳුදා පැවැත්වුණේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය වීරවිල ගුවන් හමුදා කඳවුරට ගොඩබස්වන ලද අතර, මෛත්‍රි සමඟ එම ගුවන්යානයේම කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරද පැමිණියේය. මෛත්‍රි පළමුව තිස්ස විහාරයට ගොස් ආගමික වතාවත්වල යෙදුණු අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්වී සිටීම විශේෂත්වයක් විය. ඉන් අනතුරුව මෛත්‍රි අසලට පැමිණි මහින්ද තමාට අගමැති තනතුරේ වැඩභාර ගැනීම සඳහා කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බැව් පවසමින් ඉන් නික්මුණේ ජනපති මෛත්‍රිගේද ආශීර්වාදය ලබාගනිමිනි.
ඉන් අනතුරුව වප්මඟුල් උළෙලේ ආරම්භය සංකේවත් කරමින් ඒ සඳහා නිර්මාණය කළ විශේෂ ගොවි ඇඳුමක්ද ඇඳගත් මෛත්‍රි ඇතුළු පිරිස තිස්ස සෑ රදුන් අබියස වෙල්යායේ උත්සව භූමියට පැමිණියේ සුපුරුදු ගොවියන් ලෙසිනි. එහි සිටි පිරිස අතරින් මහ ඇමැති ෂාන් සුදු ඇඳුමකින් සැරසී සිටිනු දුටු මෛත්‍රි මහින්ද අමරවීරගෙන් විමසා සිටියේ මොකද මේ මහ ඇමැතිතුමාට විතරක් වෙන ඇඳුමක් කියායි. "නෑ සර්, මහ ඇමැතිතුමාට සරමක් විතරයි දුන්නේ ටී ෂර්ට් එකේ සයිස් එක හරියන් නෑ ඒකයි" අමරවීර කීවේ සිනාසෙමිනි. "හා, හා, හරි හරි, ෂාන්ට ඉතින් අපි වගේ ඕනම ඇඳුමක් ඇඟට හරියන්නේ නෑ නේද කියා අසමින් "කෝ අපේ දකුණේ මහ ගොවියා චමල්" ජනපති චමල් රාජපක්ෂ හෙව්වේ ඔහු කුඹුරේ නොසිටි නිසාවෙනි. ඒ වනවිටත් චමල් වේදිකාවට ගොස් සිටියේය.


කුඹුරේ චාරිත්‍ර සියල්ල ඉටුකොට පිරිස නික්මුණේ උත්සව සභාව සූදානම් කර තිබූ විශේෂ පීඨිකාව වෙතයි. ජනපති මෛත්‍රි අසුන්ගත් ආසනය දෙපසින් චමල් රාජපක්ෂත් මහින්ද අමරවීරත් අසුන්ගත් අතර මහින්ද අරමවීරගේ අසුන අසලින් මහඇමැති ෂාන්ගේ ආසනය පනවා තිබිණි. උත්සවයේ පිළිගැනීමේ කතාව මහින්ද අමරවීර මහතා සිදුකළ අතර ඒ සඳහා ඔහුට ආරාධනා කර සිටියේ හිටපු කෘෂිකර්ම ඇමැති වශයෙනි. මහින්ද අමරවීර පිළිගැනීමේ කතාව කරන අතරතුර ජනපති මෛත්‍රි අතින් සංඥා කරමින් මහ ඇමැති ෂාන්ට තමන් අසලට එන ලෙස කීය. ක්ෂණයකින් ජනපති අසලට පැමිණි ෂාන්ගෙන් මෛත්‍රි විමසා සිටියේ "කොහොමද ෂාන් අලුත් දේශපාලන තත්ත්වය, මොනවද මිනිස්සු කියන්නේ?" කියාය. "සර් මෙහෙමයි? ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි පහුවෙලා හරි සිද්ද වුණේ.


මාත් එක්ක කතා කරපු හැම දෙනෙක්ම වගේ සර් ගත්ත ක්‍රියාමාර්ග අනුමත කරලා තමයි කතා කළේ සර්" කීවේය. මෙහෙමයි ෂාන් මට අවුරුදු ගාණක් බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන තමයි මේ තීරණය ගත්තේ. මගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් ගැන හිතලා අන්තිමටම මම හිතුවා මහින්දව අගමැති කරන්න" මෛත්‍රි කියූ විට ෂාන් කීවේ "සර් ඒක මේ වෙලාවේ කරපු හොඳම දේ. අනිත් එක තමයි සරත් ෆොන්සේකාට සර් වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න බැරි නම් කා එක්කද ඉන්න පුළුවන්" යැයි ෂාන් කීවේය. ඊට මෛත්‍රි හිනාවුණා මිස කිසිවක් කීවේ නැත. අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමැතීය. "උත්සව සභාවේ නිවේදකයා අපේ මහින්ද අමරවීර මහත්තයාව හැඳින්වූයේ හිටපු කෘෂි කර්ම ඇමැති වශයෙන් නමුත් ඔහු ඉදිරියටත් කෘෂිකර්ම ඇමැති තමයි" මෛත්‍රි කීවේය. නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟින් කෘෂිකර්මාන්තයේ දියුණුව පිණිස රටේ විප්ලවීය වෙනසක් සිදුකරන බව මෙහිදී ප්‍රකාශ කළ මෛත්‍රි උත්සව සභාව අවසානයේ ගෙවිලියන්ගේ ඇඹුල භුක්ති විඳිමින් කොළඹ බලා පිටත් විය.


අලුත් අගමැතිගේ මැජික්


මුදල් අමාත්‍යවරයා ලෙස බදාදා වැඩ භාරගත් අගමැති මහින්ද රාජපක්‍ෂ බ්‍රහස්පතින්දා වන විට ඉන්ධන මිල සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ බැස්සවූ අතර බදු සංශෝධනයක්ද කළේ රටේ ජනතාවට මහත් බරක්ව පැවැති ඉන්ධන මිල රුපියල් 10කින් අඩුකරමින් වීම එහිදී කැපි පෙනුණි. ඊට අමතරව ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන බදු කිහිපයක්ම අඩු කළේය. ඒ විතරක් නොව පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රයද අහෝසි කළේය.
මේ අතර නව අගමැතිවරයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හමුවූයේ අගමැති කාර්යාලයේදීය. එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආර්ථිකය ජයගත හැකිද යන්න අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
"මාස හයක් වගේ කෙටි කාලයකින් සහන දීල මැජික් පෙන්වන්න මම ගෝගියා පාෂා නොවෙයි. නමුත් මට යම් දුරකට ඒ චරිතය ක්‍රියාත්මක කරන්නත් වේවි. විශාල සහනයක් දෙන්න බැරි වුණත් ජනතාවට සහන දෙනවා. ඉතා පැහැදිලිවම විදේශීයකරණ වැඩපිළිවෙළින් රට මුදා ගන්නවා" අගමැතිවරයා කීවේය.


කථානායකවරයාගේ වත්මන් භූමිකාව ගැනද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහින්දගෙන් විමසීය.


මට පේන විදියට කථානායකතුමා තමන්ට ලැබුණු බලය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒක ඔහුට හා තනතුරට හොඳ නෑ. මේ වෙනකම් සිදුවූ සියලුම දේවල් සිදු වුණෙත් නීත්‍යනුකූලවයි. මේ දක්වා නීතියට පිටින් කිසිම දෙයක් වෙලා නෑ." මහින්ද කීවේය.


මේ අතර නව අගමැතිවරයා සිකුරාදා පෙරවරුවේ කතරගම කිරිවෙහෙර වැඳපුදා ගැනීම සඳහා පිටත්ව ගියේය. අනතුරුව කතරගම මහා දේවාලයේ විශේෂ ආශීර්වාද පූජාවකටද අගමතිවරයා එක්විය.


රනිල් ගෝඨා හමුව


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පසුගිය බ්‍රහස්පතින්දා ගියේය.
ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙසය.


වික්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කර ඇති බවට පළවන වැරැදි ප්‍රචාර ගැන මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විමසා තිබේ.


ඊට අමතරව ඔහුගේ ආරක්‍ෂාව සහ අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වූ ආරක්‍ෂක පියවරයන් ගැනද ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ඔහු හමුවීමට ගොස් තිබේ.


යනකොට ඇමැති
එනකොට මන්ත්‍රි


විදේශගතව සිටි ප්‍රසන්න නැවත දිවයිනට පැමිණියේ සෙනසුරාදා අලුයමය. ප්‍රසන්න පිළිගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ජනකායක් සමඟ ඉන්දික සහ රණවීර ගුවන්තොට වෙත පැමිණ සිටියහ. රණවීර සහ ඉන්දික දෙදෙනා ප්‍රසන්නට වාතාවරණය පැහැදිලි කරන්නට තැත් කළද ප්‍රසන්න කීවේ තමන් සියල්ල දැන සිටි බවය. මහින්ද මෙන්ම බැසිල්ද වරින් වර දුරකථනයෙන් තමා ඇමැතූ බව ප්‍රසන්න ඔවුන්ට කීවේය.


"අපි මුල ඉඳලම හිටියේ මහින්ද මහත්තයා අගමැති කරවන සටනේ. අද ඒ සටන ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක කොහොම වුණාද කියන එක දැන් ගැටලුවක් නෙවෙයි. පසුගිය අවුරුදු තුනේම රට අගාධයට යමින් තිබුණා. දැන් තියෙන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ මේ රට ගොඩනැඟීමයි. අපි සියලු දෙනාම එකතු වෙලා ඒකට සහයෝගය දෙමු" ප්‍රසන්න පැවැසීය.


ප්‍රසන්න තවදුරටත් ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රැඳී සිටියේ සිය බිරිය එනතුරුය. ඒ අතරතුර එහි ආවේ රවුෆ් හකීම්ය. "මොකක්ද මේ වෙන්නේ? මම යනකොට ඇමැති එනකොට මන්ත්‍රි" හකීම් කීවේය.
"වෙන්න තිබ්බ හොඳම දේ තමයි වෙන්නේ" ප්‍රසන්න පැවැසීය.


"ඔයාට නම් ඉතින් ලොකු ඇමැතිකමක් හම්බ වෙයි. මේ සටනේ මුල ඉඳන් හිටපු කෙනා ඔයානේ" හකීම් කීවේය.


"අපි ඒවා ගැන බලාපොරොත්තුවක් නැහැ. අපි ඇමැතිකම් තියාගෙන ඉන්නේ ඔයාලට දෙන්නයි" ප්‍රසන්න පැවැසීය.


"අපිත් මේ පාර ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ"කී හකීම් පිටත්ව ගියේය.


ප්‍රසන්නට උදෑසනම මහින්දත් බැසිලුත් කතා කළේ ලංකාවට ආවේදැයි බලන්නටය. අනතුරුව ඔවුන් දෙදෙනාම කීවේ එදින උදෑසන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙසය. ඒ අනුව ප්‍රසන්න එදින උදෑසන එම සාකච්ඡාවට ගියේය. එතැනදී මහින්ද මන්ත්‍රිවරුන්ට අගමැති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
"අපිට සරල බහුතරයක් ඉක්මවලා මන්ත්‍රිවරුන් ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා" මහින්ද කීවේය.


ඒ අතරතුර දැනගන්නට ලැබුණේ රනිල් අරලියගහ මන්දිරයෙන් පිටත්ව යෑමට සූදානමක් නැති බවය. "එදා ජනාධිපතිවරණය පැරදුණාම සර් හිනාවෙවී අරලිගහ මන්දිරයෙන් එළියට යනකොට මිනිස්සු ඇඬුවා. අද රනිල් අරලිගහ මන්දිරයට වෙලා අඬ අඬා ඉන්නකොට මිනිස්සු හිනාවෙවී ඉන්නවා. ඔන්න ඕක තමයි සර් වෙනස" ප්‍රසන්න මහින්දට පැවැසීය.


සඳුදා උදෑසන නව අගමැතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වන්නට ප්‍රසන්න ගියේය. එතැනදී ප්‍රසන්නත් තිලංගත් ලන්සාත් අගමැතිවරයා මුණගැසුණේ වැඩ භාර ගැනීමට පෙරය. මහින්ද ඔවුන්ට කීවේ තමන්ට සහාය පළ කළ සුරේෂ් වඩිවෙල් හට ගැටලුවක් පැන නැඟී ඇති බැවින් වහාම ගොස් එය විසඳන ලෙසය. උත්සවය පසෙක තබා ප්‍රසන්නලා වහා වඩිවෙල් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.
එදින උදෑසන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් වඩිවෙල් අරලියගහ මන්දිරයට කැඳවාගෙන ගොස් තිබුණේ බලහත්කාරයෙනි. ප්‍රසන්නලා වඩිවෙල් හමුවී තත්ත්වය සමනය කළ වහාම නැවත වරක් බැසිල්ගෙන් දැන ගන්නට ලැබුණේ වසන්ත සේනානායක හටද ගැටලුවක් ඇති බවය. ඒ අනුව වසන්ත බේරා ගැනිමේ මෙහෙයුමද ආරම්භ කෙරිණි.


එතැනදී සිදුව තිබුණේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිවකු වසන්තට අමතා නොතිබීම නිසා ඔහු දෙගිඩියාවකින් සිටීමය. වහා වසන්තගේ නිවෙසට ගිය ප්‍රසන්න, තිලංග සහ ලන්සා කරුණු සාකච්ඡා කළහ. ප්‍රසන්න සිය දුරකථනයෙන් මහින්ද, බැසිල් මෙන්ම ගෝඨාභයද අමතා වසන්තට කතා කරන්නට සලස්වා ගැටලුව හමාර කළහ. මෙහෙයුම නිමාවී ඔවුන් එනවිට අගමැතිවරයාගේ උත්සවයද අවසන් වී තිබුණේය.


කලකිරුණු දුමීට
ඇමැතිකමක් දුන් හැටි


නව ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ගෙන බහුතරය සාදාගැනීමට මෛත්‍රි සහ මහින්ද පාර්ශ්වය වෙනුවෙන් බැසිල් දැඩි මෙහෙයුමක් දියත් කළේය. ඒ අතරවාරයේ දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් දසදෙනකු ස්වාධීන වීමට යන බව සැලවුණේය. ඒ පිටුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සිටින බවද වාර්තා විය. තත්ත්වය එසේ තිබියදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කංචන ජයරත්නට කීවේ දුමින්දට දුරකථන ඇමැතුමක් ගන්නා ලෙසය.
කංචන දුමින්දට කතා කළේය. "මල්ලී සර්ට පොඩ්ඩක් ඔයාට කතා කරන්න ඕනලු" කංචන දුමින්දට එසේ කියමින් සිය ජංගම දුරකථනය මහින්දට දුන්නේය.


"දුමින්ද මොකද මේ ඔයා වෙනම තීරණයක් ගන්න යනවා කියන්නේ" මහින්ද ඇසුවේය.


"නෑ සර්. මට සර් එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෛත්‍රි ජනාධිපතිතුමාගේ පැත්තෙන් අපිව මේ ගැන දැනුවත් කළා මදි කියලයි මම හිතන්නේ" දුමින්ද තරමක් කලකිරීමෙන් කීවේය.
"හරි හරි අපි හම්බවෙමු අද" මහින්ද එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.


එදින පස්වරු 2.00 පමණ වන විට කංචන දුමින්දට දුරකථන ඇමැතුමක් ලබාගත්තද දුමින්ද මහින්ද හමුවීමට පැමිණියේ නැත.
අනතුරුව දුමින්ද සමඟ සාකච්ඡාවකට මහින්ද කෙනකු යැව්වද ඔහු කියා තිබුණේ තමන් ස්වාධීනව සිටින බවකි. වහා බැසිල් කැඳවූ මහින්ද උපදෙස් දුන්නේ දුමින්ද සමඟ සාකච්ඡා කරන ලෙසටය. ඒ අනුව බැසිල් බදාදා උදෑසන ගොස් දුමින්ද මුණගැසුණේය. දුමින්ද බැසිල්ට කීවේ තමන්ට ප්‍රශ්න තිබෙන බවය.


"මට සංවිධායකවරුන් ‍ෙදාස් කියනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්නයි මම වැඩ කළේ. ඒ හින්දා අපේ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ" දුමින්ද පැවැසීය.


බැසිල් දුමින්ද අස්වැසුවේය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගමු යැයි කී බැසිල් ආවේ දුමින්දගේ සහයෝගය අගමැතිවරයාට ලැබෙන බවට සහතිකයක්ද සමඟය.


එදින උදෑසන වනවිට ඉලක්ක ගත මන්ත්‍රිවරුන් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබුණු බැවින් මහින්දගේ පාර්ශ්වයට ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණේ නැත. එදින බැසිල්ට නඩුවක් තිබුණු බැවින් මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට සහභාගි වන්නට පුළුවන්කමක් තිබුණේ නැත. බැසිල් ප්‍රසන්නට දැනුම් දුන්නේ තමන් වෙනුවට ගොස් පක්ෂ නායක හමුවට සහභාගි වන ලෙසය.


"අපිට ස්ථාවරත්වය ගැන කිසිම ගැටලුවක් නැහැ. අපේ මන්ත්‍රිවරුන් සංඛ්‍යාව දැන් 113ක් ඉක්මවලා ඉවරයි. දැන් තියෙන්නේ ආණ්ඩුවේ වැටකටයුතු ටික ඉස්සරහට කරගෙන යන එකයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දිවුරුම් නොදෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය" මෛත්‍රි කීවේය.


"අපි එන අයට ඉඩ දීලා ඒ ගැන පස්සේ බලමු" මහින්ද පැවැසීය.
"එහෙම නම් කමක් නැහැ. ඔයාලත් ඇමැති ධුර භාර ගන්න ඕනේ. එහෙම නොවුණොත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි එකතු වෙලා මේ ගමන යමු" මෛත්‍රි පැවැසීය.


අගමැතිකම නැති වුණ රනිල් අරලියගහ මන්දිරයේ
කළ මෙහෙයුම


පසුගිය 26 වැනි සිකුරාදා හිටපු අගමැති රනිල් ගාල්ල බලා ගියේ ඇමැති වජිරගේ ආරාධනයෙනි. දිස්ත්‍රික්කය තුළ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඇතුළු නව ගොඩනැඟිලි 4ක් එදින විවෘත විය. එදින රාත්‍රියේ ගාල්ලේ ගතකොට පසුදාට තිබූ තවත් නිල උත්සව කිහිපයකට එක්වීම හිටපු අගමැතිවරයාගේ අරමුණ විය. එහෙත් සවස්වන විට තමා අගමැති ධුරයෙන් ඉවත් කළ බවත් නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බවටත් පණිවුඩ ලැබුණේ එජාප හිතවතුන්ගෙනි. වහාම කොළඹට පැමිණීමට තීන්දු කළද ඒ වන විට රෑ බෝ වීම හා අධික වැසි නිසා හෙලිකොප්ටරය වෙනුවට බිමින් කොළඹ පැමිණීමට අගමැතිවරයා තීන්දු කළේය.
වාහනයේ එන අතරමඟදී ජනපති ලේකම් කාර්යාලයට කතා කොට අදාළ පුවත ගැන නිල දැනුවත් වීමක් ලැබූ වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට කතා කොට අරලියගහ මැඳුරට එන ලෙස දැන්වීය. ඔහු එන විට හිටපු මැති ඇමැතිවරු හා එජාප හිතවතුන් 1,000කට ආසන්න පිරිසකගෙන් අරලියගහ මැඳුර පිරී තිබිණි. කිරිඇල්ල, කබීර්, රවි, හරීන්, වජිර, ගයන්ත, දයා ගමගේ ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ රනිල් වහාම ජනමාධ්‍ය හරහා රටට ප්‍රකාශයක් ලබා දීමට තම ජනමාධ්‍ය ඒකක ප්‍රධානි සමන් අතාවුද ගැන විමසීය.


ඔහුගේ දුරකථනයෙන් ආවේ විදේශ රටක ඔහු සිටින බවය. එම රට කුමක්ද හෝ එහි ගියේ කුමන කටයුත්තකටද යන්න මාධ්‍ය අංශයේ කිසිවකු දැන සිටියේ නැත. පසුව හිටපු මැති ඇමැතිවරු විවිධ ජන මාධ්‍යවලට කතාකොට අගමැතිවරයාගේ ප්‍රකාශයට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය.


'මේ රටේ අගමැති මමයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා මිසක වෙනත් කෙනකු අගමැතිකමට පත් කළ නොහැකියි. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇති පුද්ගලයා කවුදැයි සොයාගන්න. මීට මාස කිහිපයකට පෙර මට එරෙහිව පැමිණි විශ්වාසභංගයේදී මගේ ස්ථාවර බව පාර්ලිමේන්තුවේදී ඔප්පු කළ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න' යැයි රනිල් රටට කීවේය.


29 වැනි සඳුදා පාර්ලිමේන්තුව කැඳවා තම ශක්තිය උරගා බැලීමට රනිල්ට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන්නේය. එහෙත් එදින මධ්‍යම රාත්‍රියේදී නොවැ. 16 දක්වා පාර්ලිමේන්තුව කල්දැමීමට ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාර ක්‍රියාකිරීම තුළ සඳුදා සියල්ල විස¼දාගැනීමේ පසුබිම යටපත් වූයේය. මේ හේතුව නිසා එජාපයේ උත්සාහය ව්‍යර්ථ වී ගියේය.


26 වැනි සිකුරාදා අගමැති ලෙස මහින්ද දිවුරුම් දී පැය 2ක් තුළ අරලියගහ මැඳුරේ සියලු මෙහෙයුම් කටයුතු භාරව සිටි නාවික හමුදාව ඉවත් කෙරිණි. ඔවුන් වික්‍රමසිංහ මහතාගෙන් සමුගෙන ගියේ කඳුළු පිරි දෙනෙතිනි. ඊට පසුදා හිටපු අගමැතිවරයා සතුව තිබූ ආරක්ෂාව 99%කින් කප්පාදු කොට ඇමැති ආරක්ෂක අංශයේ දසදෙනකු පමණක් ඉතිරි කෙළේය.


'ඔබතුමා මුල්වෙලා මහින්ද හා ගෝඨාභය මහත්වරුන්ට සිය ගණන් ආරක්ෂකයන් ලබා දුන්නත් අද ඔබතුමාගේ ආරක්ෂාව ඉවත්කිරීම පුදුමයි' අගමැති ලේකම්වරයකු කී විට අගමැති රනිල් මඳ සිනහවක් පා ඉවත බලාගත්තේය.
ඉන් පසුව අගමැති ලේකම් මෙන්ම අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයද ඉවත් කිරීම හා වෙනත් ආයතන සඳහා මාරු කොට යවා තිබිණි. ඒ අතරේ අරලියගහ මැඳුරට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ පැය 24 පුරා පිරිත් සජ්ජායනයක් ඇරැඹුණේ එජප හිතවත් සංඝරත්නයේ ඉල්ලීමකට අනුවය.


අර්බුදය හටගත් මොහොතේ පටන් එජාප මැති ඇමැතිවරු හා හිතවතුන් දහස් ගණනින් අරලියගහ මැඳුරට පැමිණි අතර ඔවුන් පැය 24 පුරාම එහි රැඳී සිටියහ. රාත්‍රියේ ඔවුහු ප්‍රධාන ශාලාවේ කාපට් උඩ නිදාගත්තේය. අරලියගහ මැඳුරේ තේ එකක් හෝ හැදුවේ නැතත් ආහාර හා තේ සියල්ල පිටින් පක්ෂ හිතවතුන් විසින් ගෙනෙන පසුබිමක් පෙනෙන්නට තිබිණි. රනිල් මධ්‍යම රාත්‍රිය තෙක් ගත කළේද විවිධ මෙහෙයුම්, සාකච්ඡා හා වෙනත් කටයුතුවලට යොමු වෙමිනි. එදින රනිල් හා සිය බිරිය මෛත්‍රි නිදාගත්තේ අරලියගහ පැරැණි මන්දිරයේය.


'මහින්ද 113 හදල නෙවෙයි දිවුරුම් දීල තියෙන්නේ. කෝටි 50 ගාණේ එජාප මන්ත්‍රිලට දීල බිලී බාන්න හදනවලු.' රන්ජන් රාමනායක කීය.


'එයාල පොරොන්දු වුණාට සල්ලි නොදී මඟ අරින බවට අතීත උදාහරණ තියෙනවා. කෝටි 50 ගාණේ දීල අපේ මන්ත්‍රිවරු බිලී බානවා නම් 10 දෙනෙක් බිලීබාන්න කෝටි 500ක් එනම් රු. ලක්ෂ 50,000ක් යනවා. ඡන්දයකටවත් කිසිම පක්ෂයකට එහෙම වියදම් කරන්න අමාරුයි. ගිය මිනිස්සුත් හැරිල එන තත්ත්වයක් දැන් තියෙන්නේ' රනිල් කීවේ සිනාසෙමිනි.


'අගමැතිකමට යළිත් රනිල් එනවා නම් ජනාධිපතිතුමා අස් වෙනවාලු. ඒක සූසයිඩ් ගේමක්. රටේ බහුතර මිනිස්සුයි පක්ෂවල අයයි ඒකට කැමැති ඇති මම හිතන්නේ.' චමින්ද විජේසිරි කීවේ සිනාසෙමිනි.
'තොණ්ඩලට, දේවානන්දලට ඇමැතිකම් දීම නිසා අනෙක් සියලුම දෙමළ කණ්ඩායම් කලකිරිල ඉන්නේ. මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපි ගැන අවුලක් නෑ.' දයා ගමගේ කීය.


'බදාදා එක්කෙනෙක්වත් බිලී බාන්න බැරි වුණා. ඒකෙන් එයාල වැටුණා. අපේ මන්ත්‍රිතුමියකට සංස්කෘතික ඇමැතිකම දෙන්න පොහොට්ටුවේ කෙනෙක් කතා කළාම එයා මහවැලි ඇමැතිකම ඉල්ලල තියෙන්නේ එජාප නායකත්වයටත් ඇහෙන්න ටෙලිෆෝන් එක සෙට් කරල කියලත් කතාවක් යනවා' චමින්ද විජේසිරි තවත් බෝම්බයක් අත ඇරියේය.


'ජාත්‍යන්තරය තදින්ම කියන්නේ රටේ නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පාර්ලිමේන්තුව කැඳවලා අගමැති තෝරන්න කියලයි. නැති නම් ජී.එස්.පී. නැතිවෙලා මාළු තහනම යළිත් ඇවිත් ලංකාවට ආර්ථික සම්බාධක ඇතිවේවි' තිලක් මාරපන කීය.


'ඩොලර් එක වෙනදටත් වඩා වේගයෙන් නඟිනවා. අනෙක බැඳුම්කරවලට මාසිකව ගෙවිය යුතු මුදලුත් මේ අර්බුදය එක්ක වැඩිවෙලා නිසා මිනිස්සු බැඳුම්කර විකුණලා දානවා. පාන් කෑල්ලටත් මරාගන්න සාගත රටක් බිහිවේද කියලයි මට බය' කිරිඇල්ල කියූ කතාව රනිල් ඇතුළු සියල්ල එය සනාථ කළහ.


'ලංකාවට සාම සාධක හමුදා ගේන්න කියල නායකතුමා ලිපි යැවූ බවත් බොරුවට හදපු ලිපියක් මෙන්ම අගමැති මාරුව ව්‍යවස්ථාවට එකඟයි කියල වැඩබලන නීතිපති කියලා යවපු ලිපියත් බොරු එකක් බව දැන් එළිවෙලා' හරීන් කීවේය.
'ජාත්‍යන්තර සහාය නැතිව මේ ආර්ථික අර්බුද මැද රටක් දුවන්න බෑ. ජනතාවටයි අන්තිමට පරිප්පුව කන්න වෙන්නේ' චමින්ද විජේසිරි කීය.


'එජනිසය යහහපාලන රජයෙන් ඉවත් වුණත් නායකතුමාට ඇමැතිවරු 30ක් එක්ක ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ලු' එජාප නීති නිලධාරියෙක් කීය.


'බිලීබාන අයට දැන් ඇමැතිකම් දුන්නට පස්සේ එයාලට ගේම දීලා පොහොට්ටුකාරයෝ ඇමැතිකම් කොල්ලකන වැඩපිළිවෙළකුත් එතැන තියෙනවලු' චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ කීවේ තමන්ට ලැබුණු තොරතුරකට අනුවය.
'පාර්ලිමේන්තුව 05දා කැ¼දවන්න දැන් තීන්දු වෙලා. ඉන්පසු එජාපෙ පක්ෂ එකමුතුව තවත් ශක්තිමත් වෙනවා. එජාප, ටී.එන්.ඒ. හා ජවිපෙ අස්සන් 129ක් හරහායි පාර්ලිමේන්තුව කැඳවන්න අපි බලකළේ. කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව නෑ. තානාපතිවරුන්ට අපි රටේ තත්ත්වය පැහැදිලි කළාම ලෝකයම නව අගමැති පත් කිරීමේ ක්‍රමය හෙළා දැක්කා. කොළඹට විශාල සෙනඟක් ගෙනත් අපි ජන බලයක් පෙන්නුවා. දැන් පාර්ලිමේන්තුව කැඳවූ විට සියලු බලතල හිමිවන්නේ කථානායකටයි. ඒ අනුව අපි මේ යටතේ පළමු පියවර ජයගත්තා. ඊළඟ පියවර පාර්ලිමේන්තුවේදී බලමු. ඒක කෑගහමින් කරන්න බෑ' රනිල් බ්‍රහස්පතින්දා තමාට සමීප මැති ඇමැතිවරු කිහිප දෙනකුට පැහැදිලි කළේය.
මේ දිනවල අරලියගහ මන්දිරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇත. එහි සනීපාරක්ෂක කටයුතු, නඩත්තු කටයුතු කරන සියලු සේවකයන් වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත.


රනිල් වික්‍රමසිංහ තවමත් අගමැතිවරයා ලෙස පවසමින් එජාපෙ පාක්ෂිකයන් මේ දිනවල අරලියගහ මන්දිරයේ අඛණ්ඩව රැඳී සිටී. ඔවුන් රැය පහන් කරන්නේද අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේය. මේ වන විට එම පරිශ්‍රය කැළි කසළවලින් පිරී ගොස්ය. තැන තැන ඉඳුල් දමා ඇති නිසා දැඩි දුර්ගන්ධයක්ද තිබේ.


නීත්‍යනුකූලව එම මන්දිරයේ භාරකරයා වන්නේ අගමැති ලේකම්වරයාය. ඔහු එම පරිශ්‍රය ගැන සොයා බැලීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පිටත් කර හැරියේය. සිදු වූයේ අරුම පුදුම දෙයකි. ඔත්තු බැලීමට මහින්ද එවා ඇතැයි පවසමින් අරලියගහ මන්දිරයේ සිටි පිරිස් හොඳටම එම නිලධාරීන් දෙදෙනාට පහරදී තිබේ.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පැවැසුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විරුද්ධව යාග හෝම පවත්වන බවය. තත්ත්වය එසේ තිබියදී බදාදා දිනයේ එජාපයට හිතවත් වෛද්‍යවරයකු පැමිණ එහි රැඳී සිටින මැති ඇමැතිවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කෙළේය. ඔහු පළමුව කළේ වික්‍රමසිංහ මහතාගේ සහ මන්ත්‍රි පිරිසගේ ප්‍රෙෂර් චෙක් කිරීමය. පළමුව එම පරීක්ෂණයට භාජන වූයේ හිටපු අගමැති ලේකම් සමන් ඒකනායකය. ඔහුගේ ප්‍රෙෂර් මට්ටම 110-160 ත් අතර ප්‍රමාණයේ පසුවිය. සිඩ්නි ජයරත්න මන්ත්‍රිවරයාගේ ප්‍රෙෂර් මට්ටම 120-170 ප්‍රමාණයක තිබීම නිසා වෛද්‍යවරයාද කලබලයට පත්විය.


අශෝක් අබේසිංහගේ ප්‍රෙෂර් මට්ටම 170-120 අතර ප්‍රමාණයේ විය. රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රෙෂර් මට්ටම බලාගත්තේය. එය 80-120 ලෙස සටහන් විය.
'අනෙක් ඔක්කොටම වඩා ඔබතුමාගේ නෝමල්නෙ' වෛද්‍යවරයා විමසීය.


'ඔව්... මම ඕව ඔච්චර ගනන් ගන්නේ නෑ.' රනිල් සිනාසෙමින් කීවේය. මේ සටහන තබන විටත් වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටී.
ඔහු ඉන් පිට නොවීමට දේශපාලන කරුණු කිහිපයක් බලපා තිබේ. ඔහු නීතිය නොදන්නා කෙනකු නොවේ. මෙයින් ඉවත් වී ගිය පසු ඔහු වටා තිබෙන පක්ෂයේ බලය ගිලිහී යන බවට දැනටමත් සලකුණු පහළවෙමින් තිබේ. රනිල් 5 වැනි පටුමඟේ පිහිටි සිය පෞද්ගලික නිල නිවෙසට ගිය පසු අද අරලියගහ මන්දිරයට එන පිරිස එහි එන්නේ නැත.


තත්ත්වය එසේ තිබියදී දැන් නැවතත් එජාප නායකත්වය වෙනස් විය යුතු බවද පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනකු කෑ මොර දෙමින් තිබේ. සජිත් ප්‍රේමදාස නැවතත් කරළියට පැමිණ ඇත. එම නිසා වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළද යළි කැරැල්ලක් නිර්මාණය කිරීමට ඉඩ තිබේ.


සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වූ බවද දැන් කරුණු වාර්තා වී තිබේ. එම නිසා එජාපයට ඍජුවම සම්බන්ධ නාළිකාවකින් මේ දිනවල සජිත් ප්‍රේමදාස මහතාට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඇත. මෙම තත්ත්වය හමුවේ සජිත්ගේ භූමිකාව ගැනද එජාප පාක්ෂිකයෝ දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටී.
ආණ්ඩුව පෙරළෙද්දී වෙනදා නැති කරුගේ කලබලය


හදිසියේම ඇති වූ බල පරිවර්තනය කථානායක කරු ජයසූරිය දැනගත්තේ ජනමාධ්‍ය මඟිනි. සවස් කාලයේ යොදාගෙන තිබූ කටයුතු රැසක් අවලංගු කළ හෙතෙම පැනනැඟුණු තත්ත්වය පිළිබඳව දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීමෙහි සහ නීති උපදෙස් ලබා ගැනීමෙහි නිරත විය.


කථානායකවරයා වඩාත් සැලකිලිමත් වූයේ හදිසි දේශපාලන වෙනස්කම නිසා ජනතාව අතර, යම් කැලඹීමක් ඇති වීම වළක්වා ගැනීමට උපරිමයෙන් මැදිහත් වීම කෙරෙහිය. වහාම නිවේදනයක් නිකුත් කළ ඔහු ආයාචනා කළේ පැනනැඟී ඇති දේශපාලන ව්‍යාකූලභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන් ගරු කරමින් ව්‍යවස්ථානුකූලව විස¼දා ගැනීමට ශිෂ්ටසම්පන්න සමාජයක් ලෙස හැකියාව ඇති බැවින්, සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙසය.


එමෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්ද ඇමැතූ කථානායකවරයා නීතියට අනුකූලව අපක්‍ෂපාතීව ප්‍රශස්ත අන්දමින් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ රාජකාරි ඉටු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.


කථානායකවරයා ලෙස උපරිම මධ්‍යස්ථභාවයෙන් යුතුව කටයුතු කරන නමුත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 දින දක්වා කල් තැබීම මහජන නියෝජිතයන්ගේ හඬ යටපත් කිරීමක් බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා වහාම ජනාධිපතිවරයා අමතමින් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා පවතින තත්ත්වය සමහන් කරන ලෙසය.


සඳුදා අලුයම මහනුවර බලා පිටත්ව ගිය කරු ජයසූරිය මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙපළද මුණගැසුණේය.


ඉතිහාසය පුරාම මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වූ විට මහ සංඝරත්නය පෙරටවිත් නිවැරැදිව මඟපෙන්වූ ලෙසට සියලු පාර්ශ්වයන්ට අවවාද, අනුශාසනා කරන ලෙස මහ නාහිමිවරුන් හමුවේ ඉල්ලා සිටි කථානායකවරයා වාර්තා වී ඇති ගැටුම්කාරී සිද්ධ සහ ඇතැම් විදේශ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත සිය රටවැසියන්ට නිකුත් කළ අනතුර හැඟවීමේ නිවේදන පිළිබඳවද පෙන්වා දුන්නේ ඉතාමත් හැඟීම්බරවය.
දේශපාලන පක්‍ෂ සහ විවිධ අංශවල පුද්ගලයන් සහ කණ්ඩායම් රැසක් කථානායකවරයා හමුවී කරුණු දැක්වීමට අපේක්‍ෂා කළ නමුත් පක්‍ෂග්‍රාහී නොවන වෘත්තීමය නිපුණත්වයක් සහිත කිහිප දෙනකු හැර අන් කිසිවකු හමු නොවීමට හෙතෙම වග බලාගත්තේය.


මේ අතර කථානායකවරයා හමුවූ විදෙස් තානාපතිවරු ඇතුළු ප්‍රමුඛපෙළේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් සාකච්ඡාවන්හි නිරත වූ අතර දුරකථන ඇමැතුම් මඟින්ද විදේශිකයන්ගෙන් කරුණු විමසීමද අඩුවක් නොවීය.
ඒ සෑම පාර්ශ්වයකටම එක් කරුණක් දැඩිව අවධාරණය කළ කථානායකවරයා කියා සිටියේ වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ පරිණතභාවයක් සහිත ශ්‍රී ලංකාවට ගෞරවනීය ආකාරයෙන් කඩිනමින් අවුල ලිහා ගැනීමට හැකි වනු ඇති බව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසියම් හෝ අහිතකර ක්‍රියාදාමයකට එළැඹීමට කිසිලෙසකින්වත් ඉක්මන් නොවන ලෙසයි.


පාර්ලිමේන්තුව කැඳවන ලෙස මොහොතින්, මොහොත තමන්ට කෙරෙන ඉල්ලීම් පිළිබඳවද ජනාධිපතිවරයා අමතා කරුණු දැක්වූ කථානායකවරයා ජනාධිපතිවරයා පැවැසුවේ හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සුදුසු බවයි.
ඒ අනුව බදාදා සාකච්ඡාවක් යොදා ගැනුණු අතර එදින පස්වරුවේ පැවැති සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් ඇදී ගියේය. පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාව පිළිබඳව කථානායකවරයා දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර සියල්ල සාවදානව අසා සිටි ජනාධිපතිවරයා පළ කළේ ඉතා යහපත් ප්‍රතිචාරයකි.


ඔබතුමා කියන කරුණු මම ඉතා දැඩිව සැලකිල්ලට ගන්නවා නිසැකවම ඉක්මනින්ම මාගේ තීරණය දැනුම් දෙන්නම් යැයි කියමින් ජනාධිපතිවරයා සාකච්ඡාව නිමාවට පත් කළේ නොවැම්බර් 16 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන බවට බලාපොරොත්තුවක් ලබා දෙමිනි.


එහෙත් එම දිනය වෙනස් කිරීම ගැන මෙතෙක් කිසිදු නිවේදනයක් නොමැත. කථානායක කරු ජයසූරිය මෙම දේශපාලන වෙනසේදී දැඩි උනන්දුවකින් සිය සීමාව ඉක්මවා පවා කටයුතු කරන බවක් සියල්ලන්ටම දැනෙන කරුණකි.
පාර්ලිමේන්තුව කල්තැබීම මහජන නියෝජිතයන්ගේ හඬ යටපත් කිරීමක් බව පෙන්වා දෙන කථානායකවරයා පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය කල් දමමින් ජනතාවගේ ඡන්ද අයිතිය යටපත් වීම ගැන හාන්කවින්සියක්වත් මතක් නොවීම ගැන දේශපාලන විචාරකයෝ් පවසති.


මේ අතර බ්‍රහස්පතින්දා පස්වරුව වන විට කථානායක කාර්යාලයෙන් නිවේදනය කළේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ පිළිගැනීමට කථානායකවරයා තීරණය කර ඇති බවය.


එදින පෙරවරුවේ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, පියංකර ජයරත්න, නිමල් ලාන්සා ඇතුළු ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන් පිරිසක් කථානායකවරයා හමුවීමට පාර්ලිමේන්තුවට ගියහ. ඒ අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ හිමි වරප්‍රසාද හා අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එහිදී මැති ඇමැතිවරුන් පිරිස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අගමැතිවරයාගේ පහසුකම් ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
'එතුමාට පාර්ලිමේන්තුවේ හිමි වරප්‍රසාද ලබා දෙන එක මට ගැලුවක් නෑ. දැනටමත් එතුමාට අගමැති පුටුව වෙන් කරන්න කියලා මම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නා. මට ඕනේ පාර්ලිමේන්තුව කැඳවලා මේ දේශපාලන අස්ථාවරවත්වය නැති කරන්න. දේශපාලන ස්ථාවරත්වය පාර්ලිමේන්තුව තුළ ඇති වුණාට පස්සේ මම කථානායකමින් අයින් වෙනවා' කරු කීවේය.


සන්ධාන මැති ඇමැතිවරු කිහිප දෙනකු මුහුණට මුහුණ බලා ගත්තේය. ඇතැමෙක් සිනාසුණේය. තවත් පිරිසක් බිම බලා ගෙන සිනාසුණෝය.


නෑ නෑ ඔබතුමා ඉල්ලා අස්වෙන්න වුමනාවක් නෑ. අලුත් ආණ්ඩුව හැටියට නව අගමැතිතුමාට සහ අපට උදවු කරන්න. සන්ධාන මැති ඇමැතිවරුන් කථානායකවරයාට කීය. පසුව සිකුරාදා පෙරවරුවේ කථානායකවරයාගේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් හමුවිය. පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ නිල නොවන හමුවක්ද එහිදී පැවැත්විණි.


'නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමා තීන්දු කරලා කියලා මට එතුමා දුරකථනයෙන් දැනුම් දුන්නා' යැයි කථානායකරවයා මෙහිදී කීවේය.
'දැන් එදාට අවශ්‍ය න්‍යාය පත්‍රය සකස් කරන්න ඕනේ. නව පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවරත්වයකට පත් කිරීමට මට උදව් කරන්න' කථානායකවරයා කීවේය.


කරු දෙගිඩියාවක


නව අග්‍රාමාත්‍ය ධුරය පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසුමක් සිදු නොකළ අතර නීතිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ කොට නොමැති බවත් කථානායකවරයා ප්‍රකාශ කළද අවස්ථා දෙකකදී ඔහු විසින් එවැනි විමසුමක් කර ඇති බව හෙළි විය. ඒ අවස්ථා දෙකෙහිදීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට ප්‍රතිචාරද ලැබී ඇති අතර ලිඛිත සාක්‍ෂිද ඇති බව අප හෙළි කළේය.
ප්‍රථම විමසුම කථානායකවරයා විසින් ඔක්තෝබර් මස 27 වැනි දින පෙ.ව. 10.18ට වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා වෙත යොමු කර තිබේ.


එදිනම පෙ.ව. 10.53ට එනම් විමසුම සිදු කොට මිනිත්තු 35ක් තුළ වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා විසින් සිය ප්‍රතිචාරය කථානායකවරයාට දන්වා යවා ඇත.
දෙවැනි වතාවට 2018 ඔක්තෝබර් මස 28 වැනි දින විදේශගත වීමෙන් පසුව සිය ධුරයේ කටයුතු ආරම්භ කරනු ලැබූ නීතිපති ජයන්ත ජයසූරිගෙන් කථානායකවරයා විසින් එකී කරුණ සම්බන්ධයෙන්ම නීතිපති මතය විමසීය. එම ලිපියට 29 වැනි දින සිය අවධානය යොමු කළ නීතිපතිවරයා කරු ජයසූරිය වෙත සිය ප්‍රතිචාරය 30 වැනි දින අංක ඛ්ජ්/26/2018 දරන ලිපිය මඟින්ද දන්වා යවා තිබේ.


කථානායකවරයා වැඩබලන නීතිපතිවරයා සමඟ දුරකථන මඟින් කරන ලද විමසුම තහවුරු කරමින් සිය විද්‍යුත් තැපෑල මඟින් දප්පුල ද ලිවේරාගේ විද්‍යුත් තැපෑල හරහා ඔහුට යවන ලද 2018.10.27 දින විමසුමට ප්‍රතිචාර වශයෙන් ඔහු දන්වා යවා ඇත්තේ, 2018 ඔක්තෝබර් 26 දිනැති අංක 2094/43 හා 2094/44 යන අති විශේෂ ගැසට් නිවේදනයන් මඟින් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම හා හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමද සිදුකොට ඇති බවත්, වැඩිදුරටත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) හි දැක්වෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්ය. කථානායකවරයා විසින් ඔක්තෝබර් මස 28 දින නීතිපතිවරයා වෙත යොමු කරන ලද දෙවැනි විමසුමට ප්‍රතිචාර වශයෙන් ඔහු දක්වා ඇත්තේ, එම කරුණු සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළ බවත් එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන නීතිපති ප්‍රතිපාදන අනුව නීතිපතිවරයා වශයෙන් එවැනි කාරණා සම්බන්ධයෙන් යම් මතයක් හෝ අදහසක් ප්‍රකාශ කිරීම තමන්ට අදාළ හෝ යෝග්‍ය නොවන බවය.


නීතිපති ජයන්ත ජයසූරියගේ ලිපිය මඟින් ඉතා නිරවුල්වම කථානායකවරයාගේ ලිපිය ඔක්තෝබර් 28 දිනැති බව දක්වා ඇතත් (31දා) මාධ්‍ය වෙත පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ලිපි ශීර්ෂයක් මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කොට ඇත්තේ 2018 ඔක්තෝබර් මස 27 වැනි දින තමා විසින් එවැනි විමසුමක් සිදු කළ බවත්ය.


ජවිපෙ ගත්
හදිසි තීන්දුව


මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබාදීමත් සමඟ දේශපාලන අර්බුදයක් පැන නැඟෙමින් තිබිණි. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේද විශේෂ අවධානයක් යොමු විය. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන් වෙත හදිසි දැනුම් දීමක් සිදු කළේය. සිදුවූ ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් සහ රටේ ඇති විය හැකි දේශපාලන අර්බුදයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සෙනසුරාදා (27දා) පෙරවරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබිණි.


එම දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදීය. කලින් යොදාගෙන තිබූ සියලු වැඩ අවලංගු කර ජ.වි.පෙ. නායකයෝ ප්‍රධාන කාර්යාලයට රැස්වූහ. 'මේ සිදුවෙලා තියෙන්නේ දේශපාලන ඉතිහාසයේ බරපතළ සදාචාර විරෝධී ක්‍රියාවක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. මේ දෙගොල්ල එකම කණ්ඩායමේ කොටස් දෙකක් තමයි. නමුත් මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන මරු පහරක්. ඒ නිසාම අපි මේකට මැදිහත් වෙලා කටයුතු කිරීම කළ යුතුයි' ටිල්වින් සිල්වා කියා සිටියේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවත් කල් තබා තියෙනවා. වීරයා වගේ තීරණ අරගෙන දැන් පූස් පැටවෙක් වගේ ‍ෙදාර මුල්ලෙ හැංගෙනවා. පාර්ලිමේන්තුව කල් තියන්නේ මොකටද බහුතරය තමන්ට තිබෙනවා නම්. අත්තනෝමතිකව තීරණ අරගෙන ජනතා නියෝජිතයන් ලෙස අපිට අදහස් දක්වන්න තිබෙන පාර්ලිමේන්තුවේ ‍ෙදාර වහනවා' අනුර දිසානායක කියා සිටියේය.


'කොහොම වුණත් අපි මේ එක පැත්තකටවත් සහාය පළ කිරීමෙන් වැළැකී ඉන්න ඕනෑ. මේ බල සූදුව ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මේ ආණ්ඩු පෙරළියෙන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. රනිල් අගමැති වෙලා හිටියත්, රනිල්ගේ අගමැතිකම මහින්දට ලැබුණත් රටේ ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට, සමාජයීය අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. බඩු මිල, තෙල් මිල අඩු වෙන්නේ නැහැ' ලාල්කාන්ත කියා සිටියේය. 'මේක රනිල්, මෛත්‍රි, මහින්දගේ බල සූදුවක්. රනිල් - මෛත්‍රි එකතු වෙලා රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරු ආරක්‍ෂා කළා. රනිල් හිතුවේ මෛත්‍රි මහින්ද බෙදලා තියාගෙන තමන්ගේ බලය වැඩි කරගන්න. මෛත්‍රි හිතුවේ පරණ හොරුන්ගේ, අලුත් හොරුන්ගේ ෆයිල් ටික අතේ තියාගෙන තමන්ගේ බලය වැඩි කරගන්න. මහින්දලා හිතුවේ කොහොම හරි තමන්ගේ වංචා දූෂණ, ඝාතන යටගහ ගන්න ක්‍රමයක්. මේ කවුරුවත් රට ගැනවත් ජනතාවගේ ප්‍රශ්න ගැනවත් හිතපු අය නොවෙයි' විජිත හේරත් කියා සිටියේය. දැන් වැදගත් වෙන්නේ ලක්‍ෂ 62ක් ඡන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් ගැනයි. ඒක රනිල් - මෛත්‍රි නියෝජනය කළේ නැහැ. දැන් මෛත්‍රි ලක්‍ෂ 62ක් පාවා දුන්නා. ඒ ජනතාව නියෝජනය කරන්න පුළුවන් ජවිපෙට පමණයි. ඒ නිසා අපි ක්‍රියාමාර්ග ගත යුත්තේ මේ බල සූදූවට එරෙහිව ගොඩනඟන ජනතා බලවේගයක් දෙසටයි' අනුර දිසානායක යෝජනා කළේය. පසුව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ඉරිදා දිනයේදී (28දා) පැවැත්වීය.


එම දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නත් සියලු ප්‍රගතිශීලී බලවේග එක් තැනකට රැස්කිරීමේ පියවරක් ලෙසත් කොළඹදී ජනතා රැලියක් පැවැත්වීමට තීරණය විය. ඒ සඳහා එකතු කළ හැකි සියලු සිවිල් සංවිධාන, සිවිල් බුද්ධිමතුන්, කලාකරුවන් සියලු දෙනාට ආරාධනා කිරීමටද තීරණය විය. ඒ අනුව 'ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලය ගොඩනඟමු' යන තේමාව යටතේ නුගේගොඩදී 01 වැනිදා රැලියක් පැවැත්වීමට තීරණය විය.


පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජ.වි.පෙ. මන්ත්‍රිවරුන්ගෙන් කථානායකට ලිපියක්


දේශපාලනයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කල් තැබූ පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාට ලිපියක් මඟින් ඉල්ලීමට ජ.වි.පෙ. තීරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනාගේ අස්සනින් යුත් ලිපියක් පසුගිය 29 වැනිදා (සඳුදා) කථානායකවරයාට භාරදෙන ලදී. එමෙන්ම පසුගිය 30 වැනිදා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදීද ජ.වි.පෙ. නායකයා විසින් අවධාරණය කරන ලද්දේ මෙය පාර්ලිමේන්තුවේදී විස¼දා ගත යුතු ගැටලුවක් බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. ඒ අනුව කථානායකවරයා පොරොන්දු වී තිබුණේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ජ.වි.පෙ. විසින් කථානායකවරයාට යවන ලද ලිපියේ මෙසේ සඳහන්ය.


මේ වනවිට රට තුළ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය මෙරට ජරාජීර්ණ දේශපාලන තත්ත්වයේම දිගුවක් ලෙසත් පොදු ජනතාව මුහුණ දෙමින් සිටින පොදු අර්බුදයේම කොටසක් ලෙසත් හඳුනා ගන්නා අපි පවත්නා බල පොරය මඟින් එම ගැටලුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බව පැහැදිලිව දනිමු.


කෙසේ වුවද දැන් ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රධාන ද්විත්ව පාර්ශ්වය බල පොරය වෙනුවෙන් සටන් වදිමින් සිටින අතර රටේ සාමාන්‍ය ජනතාව ඊට සම්බන්ධ කර ගැනීමටද ඔවුන් එහි පාර්ශ්වකරුවන් කර ගනිමින් එකිනෙකාට එරෙහිව උසිගැන්වීමටද උත්සාහ කරමින් තිබේ. 28 දින තෙල් සංස්ථා පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස ජීවිතයක් අහිමි වන්නේද මෙම තත්ත්වය තුළය.


රට තුළ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය කිසිසේත්ම රටටත් රටේ ජනතාවටත් හිතකර වන්නේ නැත. විශේෂයෙන්ම රටට එරෙහි විදේශීය බලවේගයන්ටද ඇති වෙමින් තිබෙන්නා වූ තත්ත්වය අනියමින් වාසි සලසන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.


මේ පිළිබඳව ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කළ යුතු ප්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කඩිනමින් සාකච්ඡා විය යුතුව ඇත. නමුත් මෙවැනි තීරණාත්මක වාතාවරණයක් තුළ සැසිවාර අවසන් කිරීමක් මඟින් පාර්ලිමේන්තුව මෙම සංවාදයෙන් බැහැර කොට තැබීම කිසිසේත්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවේ.


එබැවින් මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහා කැඳවීමට පියවර ගන්නා මෙන් පහත අස්සන් තබන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියොජිතයන් වන අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.ඟ


පක්ෂ නායක හමුව
රත්වූ හැටි


ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේ න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා කථානායක කරු ජයසූරියගේ නිල නොලත් ආරාධනයෙන් පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනද විපක්ෂය නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අජිත් පී. පෙරේරා යන මන්ත්‍රිවරුද එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනයේ කටයුතු සාකච්ඡා කිරීමට පැමිණි පිරිස අවසානයේ ඒ ගැන සාකච්ඡා නොකර උණුසුම් වචන හුවමාරුවකින් පසු විසිර ගොස් තිබේ. එම හමුව දැඩි උණුසුම් වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනා ජනාධිපතිවරයාටත් නව අගමැතිවරයාටත් බැනවැදීම නිසාය.


"අපි කොහොම හරි පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. ඒ බලය තියෙන්නෙ කථානායකතුමාට" අජිත් පී. පෙරේරා කීවේය.
"එහෙම බලෙන් පාර්ලිමේන්තුව තියන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි ක්‍රියා කළ යුත්තෙ" දිනේෂ් කීවේය.


"5 හෝ 7 අපි අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව තියන්නම ඕනේ" චම්පික රණවක ඇමැතිවරයාද කතාබහට එක්විය.
ඒ මොහොතේ කථානායකවරයා ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.


"මෙහෙම ගියොත් මරණ වෙයි. ලේ හෙල්ලීමක් වෙයි. ඒ නිසා කථානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුව කැඳවන්න" චම්පික රණවක කීවේය.


"මොකටද මරණ වෙන්නෙ? ඇයි ලේ හලා ගන්නෙ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමු. එහෙම නැතිව චණ්ඩි වගේ හැසිරෙන්න එපා" දිනේෂ් කීවේය.
"හොර අගමැති,.... මේ ජනාධිපති හොර පාරෙන් අගමැති ගෙනල්ල තියෙන්නෙ. අපියි ජනාධිපති ගෙනාවේ" චම්පික සහ රාජිත යළිත් කීවේය.


"කථානායකතුමනි, අපිට මෙතැන අනවශ්‍ය කතා වැඩක් නෑ. අපි ආවේ පාර්ලිමේන්තුව රැස්වන දවසෙ න්‍යාය පත්‍රය ගැන කතා කරන්න ඔබතුමා එන්න කිව්ව නිසා. එහෙම කතා කරගන්න නැත්නම් අපි යනවා. ඔබතුමා ඒ ගැන කතා කරන දවසට අපිට එන්න කියන්න" දිනේෂ් කීවේය.


"අපි කොහොම හරි පාර්ලිමේන්තුව තියනවා" අජිත් පී. පෙරේරා කීවේය.


"එහෙම බලයක් ව්‍යවස්ථාවෙන් කථානායකතුමාට දීල නෑ. හැබැයි කථානායකතුමනි ඔබතුමා ව්‍යවස්ථාවේ නැති බලයක් අරගෙන ඔබතුමා වැඩ කළොත් එහි නරක පලවිපාක අත්විඳින්න වෙයි" දිනේෂ් ඇතුළු පිරිස එසේ කියමින් නැඟිට ගියහ.


ආණ්ඩුවට යන්න ගිය නාවින්නගේ හිත වෙනස් කරන්න හෙලිකොප්ටරයෙන් ගිය හිටපු ඇමැති
ආණ්ඩු පක්‍ෂයට එක්වීමට සිටි එස්.බී. නාවින්න මහතා එම තීරණයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු දැඩි පරිශ්‍රමයක් දැරුවේය.
නාවින්න මහතා බදාදා දින සිය බල මණ්ඩලය කැඳවා මේ ගැන දැනුම් දුන් අතර එහිදී පාක්‍ෂිකයන

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon