බාරහාර වුණාට පස්සේ මෑණියන්ගේ පිහිටෙන් අතුරුදන්ව සිටි සැමියා ගෙදර ආපු හැටි

  👤  2941 readers have read this article !
2018-11-04

කාලි මාතාවගේ උග්‍ර වේශයක් ලෙස සැලකෙන ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය නපුරට නපුරු ලෙසද යහපතට යහපත් ලෙසින්ද ප්‍රතිචාර දක්වන බව බැතිමතුන්ගේ විශ්වාසය වී ඇත. ඇත්තෙන්ම ප්‍රත්‍යාන්ගිරා දේවිය වන්දනා කිරීමෙන් බැතිමතුන්ගේ සිත්සතන් පහන් වී ජීවිත සැනසිල්ල ලබා දෙන බව ආචාර්ය රාමමූර්ති විසින් රචිත ප්‍රත්‍යාන්ගිරා දේවි ග්‍රන්ථයේ සඳහන්ය. යක්ෂ, ප්‍රේත, පිශාච දෝෂවලින් ප්‍රමාණවත් නොව අනවින, කොඩිවිනවලින්ද බේරීමට හැකිවන්නේ සිත පහන් වී සැනසිලි ජීවිතයක් ගත කරන විටය. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය වන්දනා කරන බැතිමතුන්ට අයහපත් සිතිවිලි දුරු කොට යහපත් සිතිවිලි ඇති කර ගැනීමට එම පුද පූජා ක්‍රම මඟින් ලැබෙන්නේ නොමඳ සහායකි.

'භක්තිකයන්, අවංකව නමස්කාර කරන අයට මෑණියන් අනිවාර්යයෙන්ම පිහිට වෙනවා කියලා කියන්නේ ඒ නිසායි. තමන් නිවැරැදිව, සාධාරණ ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනෑ. එතකොට ඒ අයට මෑණියන්ගේ බැල්ම වැටෙනවා.' හලාවත අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පැවැසීය.

මෑතකදී කෝවිලට කිහිප දෙනෙක් ආවා. ඒ අය මට කියපු විස්තරයට අනුව ඒ කට්ටියක් එක්ක ආපු කාන්තාවකගෙ සැමියා දවස් හත අටකින් ගෙදර ඇවිත් නෑ. අතුරුදන් වෙලා සිටි ඒ මනුස්සයා ණය මුදලක් අරගෙන ඒක ගෙවා ගන්න බැරිවෙලා. ණයකාරයෝ ඒක ඉල්ලා කරදර කරන නිසා මෙයා වෙනත් ප්‍රදේශයකට ගිහින් හැංගිලා තියෙනවා. ණය දුන් කට්ටිය ටික දිනක් ණය නොදී හැංගිලා ඉන්න මේ මනුස්සයා ගැන හොඳ හෙවිල්ලේ ඉඳලා එයාව හොයාගෙන පැහැරගෙන ගිහින් සල්ලි ගන්න එයාට නොයෙකුත් හිරිහැර කරලා.

සැමියා ගෙදර ආවෙ නැති නිසා එයාගේ බිරිය කෝවිලට ඇවිත් මෑණියන්ට බාරයක් වුණා. එයා හොයා දෙන්න කියලා. එහෙම බාර වෙලා දවස් දෙකකින් මේ මනුස්සයා ගෙදර ආවා. හැබැයි මෙයා ගෙදර එනකොට අහල පහළ කිසි කෙනකුට මෙයාව පෙනිලා නෑ. මෙයා ගෙදර ආවත් හිටියේ නිකම් හෝන්දු මාන්දු ගතියෙන් වගේ. වැඩිය කතා කරන්නෙත් නෑ.

ඉතින් සැමියාවත් එක්කරගෙන අර කාන්තාව කෝවිලට ආවේ මෑණියන්ගේ පිහිට පතාගෙන. කෝවිලට ආවට පස්සේ පුද පූජා තියලා මෑණියන්ට බාරයක් වුණා. ඊට පස්සේ එයාට හොඳ සිහිය ලැබිලා විස්තරය කිව්වා.


ණයකාරයන්ගෙන් බේරෙන්න එයා වෙන ප්‍රදේශයක ගෙදරක නැවතිලා ඉන්න කොට අර කට්ටියට මෙයා ගැන ආරංචි වෙලා පැහැර ගෙන ගිහින් ගත්ත මුදල දෙන්න කියලා හිංසා කරලා තියෙනවා. ඒත් මේ මනුස්සයා ළඟ සල්ලි තිබුණෙ නැති නිසා පොලිසියට අරන් ගිහින්. පොලිසියට අරන් ගිහිල්ල තියෙන්නේ පොලිසියට කියලවත් සල්ලි ලබා ගන්න. ඒත් ණය ගත්තු බවට කිසිම ලියැවිල්ලක් නැති නිසා පොලිසියටත් කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මිනිහව මුදා හැරලා තියෙනවා.

ඒ වෙලාවෙ තමයි මේ මනුස්සයා ගෙදර ඇවිත් තියෙන්නෙ. ඊට පස්සේ එයා ආකූල ව්‍යාකූල තත්ත්වයක තිබුණු නිසා තමයි කෝවිලට එක්කගෙන ආවේ. කෝවිලට ඇවිත් බාර හාර වුණාට පස්සේ පියවි තත්ත්වයට ආවා.


පස්සේ අර ණයකාරයොත් එක්ක කතා කරලා ණය මුදල් කොටසින් කොටස ගෙවන්න පොරොන්දු වෙලා අවුල ලිහා ගත්තා යැයි මහේන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon