බඹලොව බ්‍රහ්ම රාජයකුව ඉපදී ගතකළ දිවිය ගැන උන්වහන්සේගේ විවරණය

  👤  3550 readers have read this article !
2018-11-04

අප මාහිමිපාණන් වහන්සේ අතීත භවයන් පරීක්ෂා කළේ පටිච්ච සමුප්පාද වැඩීම සඳහාය.

මෙම අතීත භාව පරීක්ෂාවේදී උන්වහන්සේට පෙනී ගියේ මීට පෙර ආත්ම භාවයයි.
අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ මීට පෙර ආත්ම භාවයෙහි රුවන්වැලි මහ සෑ රඳුන්ගේ "මෛත්‍රි" නම් ආරක්ෂක දෙවියකු ලෙස අධිගෘහිතව වැඩ වාසය කර ඇති බව උන්වහන්සේට අරමුණු විය. මේ ආකාරයට උන්වහන්සේ මෙලොව ජනිත වන්නට පෙර ආත්ම භාවයේදී තම සිතට අරමුණු වී ඇත්තේ රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේය.

එම කුසල් අරමුණ හේතු කොටගෙන සෝමනස්ස සහගත ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උන්වහන්සේ මේ ආත්ම භාවය ලබා ඇත.

එම ආරක්ෂක දිව්‍ය ආත්මයට පෙර ආත්මයේ උන්වහන්සේ බඹලොව බ්‍රහ්ම රාජයකු වශයෙන්ද ඊට පෙර ආත්ම භාවයේ දඹදිව "මඛාදේව" නම් රාජ සෘෂිවරයකු ලෙසද උපත ලබා ඇති බවත් එම තාපස ආත්ම භාවය සිවු බඹ විහරණ සහ අනිත්‍ය සඤ්ඤාව වඩමින් භාවනාවන් ප්‍රගුණ කර ඇති බවත් උන්වහන්සේට අරමුණු වී ඇත.

ඊටත් පෙර ආත්මය දේව ආත්මයකි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි බව ලබා ඉතා උසස් ප්‍රව්‍රජ්‍යා ජීවිතයක් ගතකර ඇති බවද උන්වහන්සේට අවබෝධ විය.
ත්‍රිපිටකය ඉගෙන ගෙන ධාරණය කර ගැනීම, භාවනා මාර්ග ප්‍රගුණ කිරීම, ධ්‍යාන භාවනාවන් දියුණු කර සංඛාරුපෙක්ඛා ඥානය දක්වා විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීම වැනි ඉතා යහපත් පැවිදි දිවියක් ගත කළ එම ආත්ම භාවය තුළින් උන්වහන්සේ පෙර ආත්මභාවවලදීද සම්බුද්ධත්ව ප්‍රතිලාභ ප්‍රාර්ථනාව වඩා ඇති බව අරමුණු වී ඇත.

කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වීම දක්වා මෙසේ ආත්ම භාව පරීක්ෂාවේ යෙදුණු උන්වහන්සේට ආත්ම භාව 14ක් අරමුණු වන්නට විය.

අප මාහිමිපාණන් වහන්සේ පාරමී පුරමින් සසර සැරිසරමින් ආ ගමනේ දීර්ඝ බව පසක් වන්නේ බුද්ධාන්තරයක් තරම් කාලයක් සසර ගමනේ යෙදුණු බව පසක් වන විටදීය.

උන්වහන්සේ මේ ආශ්චර්යවත් වූ බෝසත් ගමන් මඟ දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය තෙක් අෑතට විහිදී යයි. ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරමින් අප මාහිමිපාණන් වහන්සේ නියත විවරණ ලබා ඇත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වූ යුගයේ බව උන්වහන්සේට අරමුණු වී ඇත.

එසේ නියත විවරණ ලබා සතර පද ගාථාවක් ශ්‍රවණය කර ශ්‍රාවක බෝධියෙන් නිර්වාණ ප්‍රතිලාභය කිරීමට තරම් පුණ්‍යවන්ත වූ උන්වහන්සේ දීපංකර බුදුපියාණන් වහන්සේ සෙවණේ පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභීත්වයද අෂ්ටාංග සමෝධානයද අෂ්ටධර්මයන්ගෙන් යුතු උතුම් ප්‍රාර්ථනාවන්ද අභීනීහාර වූ බල සතරක්ද ආශ්චර්ය අද්භූත ධර්ම සතරක්ද බුද්ධ භූමි ධර්ම සතරක්ද, පාරමිතා පිළිබඳ අධ්‍යාංශ දහයක්ද, පාරමී පූරණය පිණිස පවතින අධ්‍යාංශ හයක්ද ආදී වශයෙන් එම බුද්ධෝත්පාද කාලය තුළ අතිශය ප්‍රයෝජනවත් වූ ධර්මාවබෝධයක් ලැබීමද උන්වහන්සේට අරමුණු වී ඇත.

මේ ආත්ම භාවයේද උතුම් වූ ආදර්ශවත් වූ ආශ්චර්යවත් වූ පැවිදි දිවියක් ගත කිරීමට උන්වහන්සේට මහා ශක්තියක් වූයේ මෙම සංසාර හුරුවයි.

මේ ධර්මයේ ශක්තියයි. මේ ධර්මයේ සත්‍යයි. අනාගතයෙහි බුද්ධත්වයට පත්වන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනාගත වංශ දේශනාව ආදියෙන් පමණක් කියැවූ අයට එය සත්‍යයක් බව පසක් කළ මහා යතිවරයාණෝ අති පූජනීය නාඋයනේ අරියධම්ම අපේ මාහිමිපාණන් වහන්සේය.

මින් ගම්‍ය වන්නේ සියලු තන්හි සියලු දේට පිහිට නිර්මල උතුම් ශ්‍රී සද්ධර්මය බවය.

උන්වහන්සේ වැනි ශේ්‍රෂ්ඨ බුද්ධාංකුර සංඝ පීතෘන්වහන්සේ නමක් අපට, රටට, ලෝකයට අහිමි වීම මහා විශාල ශාසනික පාඩුවකි.

නමුත් සුජීවත්ව සිටි කාලය තුළ උන්වහන්සේ විසින් සමාජයට දායාද කළ සත්‍යය වූද නිර්මල වූද උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ සුවඳ තවත් බොහෝ කාලයක් මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස මේ ලෝකය තුළ නොනැසී රැඳී පවතිනු ඇත.

එමෙන්ම අප මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට දායාද කළ දෙස් විදෙස් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ වර්තමාන නායක මාහිමිපාණන් වහන්සේගේද අවවාද අනුශාසනා, මඟ පෙන්වීම් ලබමින් එම උතුම් ශාසනික මෙහෙවර ඉටු කරනු දැකීම සතුටට කරුණකි.

ඉගෙනීමෙන් හැකියාවෙන්, දේශනයෙන් ලේඛනයෙන්, වියත් විශාරද බවින්, උගත් බුද්ධිමත්කමින්, සංවර බවින්, කීකරු බවින්, සීලයෙන්, සමාධියෙන්, ධාරණ ශක්තියෙන්, මහත් ලැබීම්, සැලකිලි, සත්කාර, කීර්ති, ප්‍රසංශා, උපාධි තනතුරු, නිලතල, බලතල මෙන්ම ඇහුන්කන්දීමේ නිහතමානී ගුණයෙන් පරිපූර්ණව වැඩ විසූ අප මාහිමිපාණන් වහන්සේ බුදු මඟ යමින් දෝෂාරෝපණ, අපහාසද විඳිමින් ව්‍යසන රෝගාබාධ ආදියට පාත්‍ර වෙමින් මේ සියලු දෑ අට ලෝ දහම බව පසක් කරගෙන සිටි උන්වහන්සේ ඒ සියල්ල දෙස බලා වදාළේ සම සිතිනි. සම මෙතිනි.

එවන් මහා මෙහෙවරක් ඉටුකළ අති පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන අති උතුම් ප්‍රාර්ථනය වූ ශ්‍රී සම්බුද්ධත්වයට පත්ව නිර්වාණයම ලබත්වා!යි ප්‍රාර්ථනය කරමින් පුරා සති 25ක් තිස්සේ කොටස් වශයෙන් "මව්බිම ඉරිදා" පුවත්පතේ පළ වූ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමි මතක වත අවදි කිරීම මෙතකින් සමාප්ත කරමි.

මෙම ලිපි මාලාව පොතක් ලෙස මුද්‍රණය කර ධර්මදානය පිණිස නොමිලේ ලබාදීමේ අදහසක්ද මතුව ඇති අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේගේ අනුදැනුම, අනුශාසනා සහ මඟපෙන්වීම් මත "මව්බිම" අදහසද විමසා අනුග්‍රාහක පින්වතකු වෙතින් මුද්‍රණ අනුග්‍රහයක් ලැබුණු වහාම එම පොත මුද්‍රණය කරවා ධර්ම දානය පිණිස නොමිලේ බෙදාදීමට අදහස් කර ඇත.
එම පොතෙහි මුද්‍රණය කළ යුතු ප්‍රමාණය තේරුම් ගැනීම සඳහා එම පොත ඇවැසි "මව්බිම" පාඨක පින්වතුන් 070-3005360 දුරකථනය අමතා ඒ බව දැනුම් දෙන ලෙස සියලු දෙනා වෙත මෙයින් දැනුම් දෙමි.

සටහන - සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon