විශ්වවිද්‍යාලයක් ඇරැඹීමට කළ සටන

  👤  3138 readers have read this article !
2018-11-04

ඉංගී්‍රසි යටත්විජිතයක්ව තිබියදීම ඉන්දියාව 1857දී එරට විශ්වවිද්‍යාලයක් ඇරැඹුවේය. එහෙත් ශ්‍රී ලංකාවාසීන්ට විශ්වවිද්‍යාලයක් පිහිටුවා ගන්නට 1942 දක්වාම බලා සිටීමට සිදුවිය. එතෙක් මෙරට වැසියන්ට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමට සිදුවිය.

එකලද විදේශයේ උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි වූයේ ධනවතුන්ට පමණකි. එවැන්නන් බොහෝ විට නැව් නැඟ ගියේ එංගලන්තයටය. එහිදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර සිසුන් ලෙස ලියාපදිංචි වී උසස් අධ්‍යාපනය හැදෑරූහ. එදා යටත්විජිත පාලකයන්ද ලංකාවාසීන් උදෙසා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වා ඇති බවට සාධක දක්නට නැත.

මෙරට විශ්වවිද්‍යාලයක් ඇරැඹීමට මුලින්ම උත්සාහයක් දරා ඇත්තේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සහ පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු පිරිසක් බව සඳහන් වේ. 1900 මුල් කාලයේදී මෙරට අධ්‍යාපන කටයුතු භාර ඉංගී්‍රසීහු විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව පාලකයන්ට පෙන්වාදී ඇතත් 1907 - 13 අතර කාලයේ ලංකාණ්ඩුකාර හෙන්රි මැකලම් ඊට විරුද්ධත්වය පෑ බව කියැවේ. ඔහුගේ යටත්විජිත ලේකම්වරයා ලෙස කටයුතු කළ (පසුව ආණ්ඩුකාර ධුරයට පත්) හියු ක්ලිෆර්ඩ් ද ඊට විරෝධය පා තිබේ.

එහෙත් එස්.ජී. පෙරේරා පියනම "ලංකා ඉතිහාසය බි්‍රතාන්‍ය හා නිදහස් යුග - 1796-1956" කෘතියෙන් පවසන්නේ අනාගත විශ්වවිද්‍යාලයක් බිහි කිරීමේ මුල් පියවරක් වශයෙන් "විශ්වවිද්‍යාලීය මහා පාසලක්" පිහිටුවිය යුතු බව ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කළ කාරක සභාවක් මඟින් යෝජනා කර ඇති බවය.

කෙසේ වුවත් දැඩි උද්ඝෝෂණ නිසා ලන්ඩන් විශ්වවිද්‍යාල විභාග සඳහා සිසුන් පුහුණු කරන ආයතනයක් ලෙස රාජකීය විදුහල පරිවර්තනය කිරීමටත් එම ආයතනය විශ්වවිද්‍යාලයක තත්ත්වයට අඩු "යුනිවර්සිටි කොලේජ්" නමින් හැඳින්වීමටත් තීරණයක් ගෙන තිබිණි.

යුනිවර්සිටි කොලීජිය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පවත්වා ගැනීමට සලකා බැලුණත් එයද කළ නොහැකි විය. මේ නිසා රාජකීය විදුහල වෙනසකට ලක් නොවී එලෙසම පවතිද්දී යුනිවර්සිටි කොලීජිය සඳහා වෙනත් ස්ථානයක් සෙවීමට සිදුවිය.

1913දී හෙන්රි එඩ්වඩ් මැකලම් ආණ්ඩුකාරයාගෙන් පසු මෙරට ආණ්ඩුකාර ධුරයට නව පත්වීම ලැබුණේ රොබට් චාමර්ස් හටය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පිළිබඳ අධ්‍යාපනය ලැබූවෙකි. එනිසාම ඔහු ලංකාවට පැමිණි පසු උසස් අධ්‍යාපනය ගැන විශේෂ අවධානයක් යොමු කළේය.

ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්වූයේද ඒ පිළිබඳ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළේද ආණ්ඩුකාර චාමර්ස්ය.

මූලික වශයෙන් පිහිටුවන විශ්වවිද්‍යාල කොලීජිය ඇරැඹීමට රොබට් චාමර්ස් උත්සාහ ගත් අතර ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් බවට පරිවර්තනය වූයේද ඔහුගේ පාලන යුගයේදීය.
ආණ්ඩුකාර හෙන්රි මැකලම් විශ්වවිද්‍යාලයක් ඇරැඹීමට කැමැත්තක් නොදැක්වූ නමුත් ආණ්ඩුකාර රොබට් චාමර්ස් ඊට කැමැති වීම හේතුවෙන් 1921දී යුනිවර්සිටි කොලේජ් ඇරැඹුණේ සිසුන් 115ක් සමඟිනි. පසුව ලංකා විශ්වවිද්‍යාලයට හැරුණේ මේ යුනිවර්සිටි කොලීජියයි.

ලංකා විශ්වවිද්‍යාලය ඇරැඹුණු ගොඩනැඟිල්ල එදා හැඳින්වූයේ "කොලේජ් හවුස්" නමිනි. අද එය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලන කාර්යාලයයි. මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කලා උපාධි සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබිණි.

1930 වසරේදී විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට කෙටුම්පතක් ඉදිරිපත් කෙරිණි. එනමුත් ව්‍යවස්ථාදායකයේ සංශෝධන හා ආර්ථික පරිහානිය සාකච්ඡාවට බඳුන් කරවීම මූලික කටයුත්තක් සේ සැලකුණු නිසා විශ්වවිද්‍යාලයක් ඇරැඹීමේ කෙටුම්පත සැලකිල්ලට ගැනීම පසුවට කල් තැබිණි. ඒ වන විට යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 338කි.

වසර ගණනාවක් තිස්සේ විවිධ බාධක මැදින් විරෝධතා හා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලය මෙරට ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වූයේ 1942 ජූලි 01 වැනිදාය. 1941දී යුනිවර්සිටි කොලීජියේ ප්‍රධානියා ලෙස මෙහි පැමිණි ශ්‍රී මත් අයිවර් ජෙනිංස් එහි මුල්ම උපකුලපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

බන්ධුල ගුණරත්ත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon