චිතගොං දේශප්‍රේමී ත්‍රස්තවාදීන් සමඟ එකතුව ලංකාවේ සුද්දන් පන්නන්න ඕනෑ

  👤  3036 readers have read this article !
2018-11-04

මේ අන්දමින් බලන විට අද අපේ තත්ත්වය ඉතා භයානක අන්දමින් පහත වැටී තිබේ. දැන් අපට කල්පනා කිරීමටත් කඳුළු හෙළීමටවත් කාලයක් නැත්තේය. දැන් අපට මේවාට ප්‍රතිකාර කිරීමට කාලය පැමිණ තිබේ. මේවාට ප්‍රතිකාර කිරීමට වුවමනා කල්හි හිතවත් පරාර්ථකාමී ධනවතුන්ගෙන් අපට ආධාර වුවමනා වන්නේය. ඒවාට රටේ තරුණයෝ ප්‍රබෝධ විය යුත්තෝය. මීට පසු ටික කලක් යනතුරු අපේ තත්ත්වය අප රට ගම්වාසීන් අතරත් ප්‍රචාරය කොට ඔවුන් ප්‍රබෝධ කළ යුතු වේ. එසේ නොකළ කල්හි ජාතිය පිරිහෙනවා ඇත. විනාශ වෙනවා ඇත. එවිට සිංහලයා විදේශීය වෙළෙන්දාගේත්, වතු කාරයාගේත්, ආණ්ඩුවේත් කුලීකාරයා වෙනවා ඇත. සිංහලයනි, මේවාට ප්‍රතිකාර කිරීමට ප්‍රබෝධ වෙනු, සමඟි වෙනු, තවම කාලය තිබේ.

"විදේශීය ආණ්ඩුවකින් අපට වුවමනා සියලු දේ සිදු නොවේ"
මේ පොත් පිංච ලිවීම නිසා මට එකල බි්‍රතාන්‍ය රහස් පොලිසියට පවා යෑමට සිදුවිය. රහස් පොලිසියේ ලොක්කන් ගැන මම දැන නොසිටියෙමි. පොලිසියේ පැය කීපයක් වාඩිවී සිටීමෙන් පසු ඇතුළු කාමරයකට කැඳවා මේ පොත පළ කිරීමට කල්පනා කළේ මන්දැයි ආදී වශයෙන් නිලධාරියෙක් මගෙන් ප්‍රශ්න රාශියක්ම ඇසුවේය.

මගේ ඉගෙනීම ශාන්ති නිකේතනය, රවීන්ද්‍රනාත් තාගෝර්තුමා, ධර්මපාලතුමා, මහත්මා ගාන්ධිතුමා හා ඉන්දියාවේ විමුක්ති සටන ආදිය ගැන තොරතුරු විමසා ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන ලෙස මට අවවාද දුන්නේය. රජුට හිතවත් වීම හොඳ භික්ෂුවකගේ ගුණයක් යැයි හෙතෙම මට භික්ෂු විනය ගැනද කියා දීමට අමතක නොකළේය.

"එංගලන්තයේ රජුට කීකරු වීම අපේ රජුට විරුද්ධ වීමක් නොවේදැ"යි මම ප්‍රශ්න කළෙමි. එහිදී පොලිස් නිලධාරියා කීවේ "දැන් එංගලන්තෙ රජ්ජුරුවෝ තමයි අපේ රජ්ජුරුවෝ. වෙන රජෙක් කොහෙද ඉන්නේ?"යන්නයි. මම එයට විරුද්ධ වීමි. අපේ රජ සුද්දන් විසින් අල්ලාගෙන ගොස් මරා දැමූ බවත්, අපේ රටේ සිටි දේශප්‍රේමී නිලමේවරුන් බල්ලන් මෙන් කැති ගා දැමූ බවත් කී විට ඕවා අනගාරික ධර්මපාල පිස්සා ඉගැන්වූ බණදැයි නිලධාරියා මගෙන් ප්‍රශ්න කළේ තරමක කෝපයෙනි. ධර්මපාල කියන්නේ පිස්සු කෝළමකැයි කී නිලධාරි තැන ධර්මපාලතුමාට තදින්ම දෝෂාරෝපණය කළේය.
මා එයට කිසිවක් නොකීවේ වැඩි කතාවට ගියොත් මට නැවත ඉන්දියාවට යෑමට පවා නොලැබේය යන සැකයක් ඇති වුණු බැවිනි. එහෙත් මගේ සිත එඩිතර විය. ඉංග්‍රීසීන්ට පළමු මේ ඉංග්‍රීසීන්ට දහ බලුකම් කරන ලාංකිකයන් තුරන් කර දැමීම අවශ්‍ය බව මම සිතා ගත්තෙමි.

එකල ඉන්දියාවේ සිටි ත්‍රස්තවාදී නායකයන් සමඟ මා තුළ දැන හැඳුනුම්කම් තිබුණේය. ඒ නිසාම මෙවර ආපසු ඉන්දියාවට ගොස් ඒ ත්‍රස්තවාදී නායකයන් මුණගැසී එවැනි සංස්ථාවක් ලක්දිවද ඇති කර ගැනීමට කල්පනා කළේ මෙරට ජාති ද්‍රෝහීන් වනසා දැමීමේ පරමාර්ථයෙනි. මේ සම්බන්ධව එකල ලංකාවේ සිටි ධර්මපාලතුමාගේ ශිෂ්‍යයන් කීප දෙනකු සමඟ සාකච්ඡා කළෙමි. සෝමපාල මහතාත් දේශබන්ධු මහතාත් මගේ අදහස තදින් අනුමත කළහ. නැඟෙනහිර බෙංගාලයේ දේශප්‍රේමී කණ්ඩායමක් විසින් චිටගං නුවර අවි ආයුධ ගබඩාව අල්වාගෙන බි්‍රතාන්‍යයන්ට විරුද්ධව උග්‍ර සටනක් කළේද මේ දිනවලය.
විද්‍යාලයන්හි ඉගෙන ගනිමින් සිටි තරුණ ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමන්විත මේ පිරිස ජාතික විප්ලවාදී වැඩපිළිවෙළක් ඇති කරගෙන බි්‍රතාන්‍ය විරෝධී මහා සටනක් ඇති කිරීමට සැලැස්මක් යොදා ගත්හ. ඒ සැලැස්මට ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රදේශයත්, පංජාබයත්, බෙංගාලයත් සම්බන්ධ වී තිබිණි.

යටත්විජිත යුගයේ ඉන්දියාවේ උපන් චින්තකයන්ගෙන් වැඩිදෙනා බෙංගාලයට අයත් වූවෝ වෙති. සමාජමය හා දේශපාලනමය ප්‍රතිසංස්කරණයක් ඇති කළ රාජාරාම් මොහාන් රායි වංග ජාතිකයෙකි. ඉන්දියානු ජාතික ගීයේ පියා බංකිම් චන්ද චැටර්ජි මහතාය. ව්‍යක්ත කථිකයන් වූ සුරේන්ද්‍රනාථ බැනර්ජි, දේශබන්දු චිත්තරංජන්දාස් ආදී වංග ජාතික නායකයෝ මුළු ඉන්දියාවේ ජාතික සටන්වලට නායකත්වය දුන්හ. රවීන්ද්‍රනාත් තාගෝර් විශ්ව සම්භාවනීය කවියෙකි. චින්තකයෙකි. එකල ඉන්දියාවේ සිටි එකම විද්‍යාඥයා වූ ජගදීශ චන්ද්‍රබෝස් මහතාද වංග ජාතිකයෙකි. ඔහු ලෝකයේ උසස්ම විද්‍යාඥයන්ගේ සංස්ථාව වූ එංගලන්තයේ රාජකීය සමාජයෙහි සාමාජිකත්වයක් ලබාගෙන සිටියේය. ලංකාවේ කිසිම විද්‍යාඥයකුට තවම ඒ තත්ත්වය හිමි වී නැත.

1930 මුල් භාගයේදී චිටගං මහ අවි ගැටුම ගැන ඇසූ මට එහි යන්නට සිතිණි. ඒ අර සටනට සහභාගි වූ තරුණයන් මුණ ගැසීමට ඇති ඕනෑකම නිසයි. එහෙත් ඒ දිනවල චිටගං යෑමට බි්‍රතාන්‍යයෝ පහසුවෙන් අවසර නොදුන්නෝය. ඒ නිසා මා කළේ අසමත් වූ මැටි්‍රක් විභාගයට පෙනී සිටීමට චිටගං යෑමට අවශ්‍ය බව කියා එහි පිටත්වී යෑමය.

චිටගං ඉන්දියාවේ එකම බෞද්ධ ප්‍රදේශයයි. එහි බෞද්ධයෝ නූගත්තුය. සැදැහැවත්තුය. සඟුන් කෙරෙහි මහත් හරසර දක්වන්නෝය.

මා කලින් තීරණය කරගත් පරිදි 1930 ජුනි මාසය අවසානයේදී කල්කටාවට පැමිණ මිතුරන්ගේ සහයෝගයෙන් චිටගං නුවර දේශප්‍රේමී ත්‍රස්තවාදී කණ්ඩායමේ අප්‍රසිද්ධව කටයුතු කළ නායකයන් කීප දෙනකු හමුවීමට ගියෙමි. කල්කටාවෙන් ගෙන ගිය රහස් ලියමන දුටු ඔවුහු මා ඉතා ඕනෑකමින් පිළිගෙන චිටගං නගරයෙන් බැහැර බෞද්ධ සැදැහැවතුන් වසන ගමකට යෑමට මං සලස්වා දුන්හ.

චිටගං නුවර සිට ඒ පෙදෙසට යා යුත්තේ ඔරුවලිනි. ඉංග්‍රීසීන් සියවස් ගණනක් පාලනය කළ චිටගං පෙදෙසේ මහා ජනයා යෑම ඊම කළේ ඔරු පාරු ආධාර කොටගෙනය. පැයකට වැඩි වේලාවක් ඔරුවෙන් යාත්‍රා කළ මම උදේ 10ට පමණ චිටගං නුවර පසුකොට සක්පුරා නම් ගමට පැමිණියෙමි.

සක්පුරා වෙහෙරේ නතරව සිට සක්පුරා විද්‍යාලයට මා යන්නට පටන් ගත්තේ රජයේ උසස් විද්‍යාලයකට බැඳී උපාධියක් ලබා ගන්නා අටියෙනි. පළමුවර මා මැටි්‍රක්‍යුලේෂන් විභාගයෙන් අසමත් වූයේ ගණිතයෙනි.

එබැවින් මාගේ විශේෂ උත්සාහය යෙදුණේ ගණිතය හැදෑරීමටය. ශාන්ති නිකේතනය වැනි උසස් විදුහලක උගත් සිසුවකු මේ පිටිසර බද පාසලකට බැඳී ඉගෙනීම විහිළුවකැයි පාඨකයාට හැඟී යනු ඇත.

මා තුළ බලාපොරොත්තු රැසක් විය. එයින් එකක් නම් ප්‍රදේශයේ බෞද්ධ ජනයා රටේ විමුක්ති අරගලයට සම්බන්ධ කරවීම විය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon