මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග අංක 1, 2, 3 පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3439 readers have read this article !
2018-10-26

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

ආර්ථිකය කඩා වැටීමේ වගකීම අගමැති භාර ගත යුතුයි - මහින්දානන්ද අලුත්ගමගේ

පාස්කරලිංගම් ආර්ථිකය ගැන තීරණ ගත්ත මේ රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම අගමැතිතුමා භාරගත යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

'අද ඇමැතිවරු හිටගෙන හොරකම් කරනවා. ජනාධිපති රාජ්‍ය බැංකු දෙක දූෂිතයි කියනවා. එහෙම වෙන කොට මේ රටට ආයෝජකයන් ඒවිද?'

'බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කථානායකතුමාට නොහැකි වුණා. ඒ වාර්තාවේ කොටස් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. අඩු කොටස් ලබාදීම සම්බන්ධයෙන් නීතිපති විමසා ඇති බව කියනවා. නීතියෙන් අහන්නේ ඇයි? පාර්ලිමේන්තුව උත්තරීතරයි. බැඳුම්කර සල්ලි පාර්ලිමේන්තුවටත් දීලද?'

'මෙහෙම ගියොත් මේ රට ඉවරයි. ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙහෙම ගියොත් අනාගතයේ කාටවත් ආණ්ඩු කරන්න බැරි වෙනවා.'

 

මොන ආණ්ඩුව තිබුණත් ජාත්‍යන්තර අභියෝග හංගන්න බෑ - රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න

"මොන ආණ්ඩුව තිබුණත් ජාත්‍යන්තර අභියෝග හංගන්න බැහැ. තියෙන අයගෙන් බදු ගන්න ඕන" යැයි, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පැවැසීය.
"රුපියල පිළිබඳ අද ප්‍රශ්නයක් තියෙනවා. රටේ අය ප්‍රමාණයට වඩා වැය ප්‍රමාණය වැඩියි. මුදල් සම්බන්ධයෙන් ස්ථාවරත්වයක් ලබාගත හැක්කේ රටේ හොඳ ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් පමණයි."

"වචනයෙන් පමණක් සංවර්ධනය ඇති කරන්න බැහැ. අපනයනත් ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි."

"වාණිජ වශයෙන් සිදු කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා මේ පනත මඟින් බද්දක් අය කරනවා. ජී.එස්.පී. ප්ලස් සහනය අවුරුදු තුනකට අපට ලැබුණ. අපට ඉන් ඩොලර් බිලියන 480ක පමණ මුදලක් ලැබෙනවා."

"ලෝකයේ අද වාණිජ යුද්ධයක් පවතිනවා. අපටත් එහි බලපෑම තියෙනවා. මේක සමථයකට පත්වීම ලෝක ආර්ථිකයට හොඳයි. අද බොහෝ රටවල මුදල් අවප්‍රමාණය වී තිබෙනවා."

"මොන ආණ්ඩුව තිබුණත් බඩු මිල වැඩි වෙනවා. නමුත් අපේ ආණ්ඩුව යටතේ උද්ධමනය අඩුවී තිබෙනවා."

 

රුපියල කඩා වැටුණු බව පිළිගන්නවා; ඒ අභියෝගය ජය ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා - රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා

රුපියල කඩාවැටී ඇති බව පිළිගන්නා බවත් එම අභියෝගය ජයගැනීම සඳහා ආණ්ඩුවක් ලෙස ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

රුපියල කඩාවැටීම රාජ්‍ය බැංකුවලට කිසිදු බලපෑමක් නොමැති බවත් ඇමැතිවරයා කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
"පසුගිය ආණ්ඩු සමයේ 2011 වසරේදීද මෙවැනි අර්බුදයක් පැනනැඟුණා. එහිදී විදේශ සංචිත මුදාහැරීම නිසා රුපියල 14%කින් අවප්‍රමාණය වුණා.

එම නිසා විදේශ සංචිත මුදාහැරීමද සිදුකළ යුත්තේ යම් ක්‍රමවේදයකට අනුවයි.

ලෝක පොලී අනුපාතය විශාල ලෙස වෙනස් වුණා. ඒ නිසා බොහෝ ආයෝජකයන් බටහිර රටවලට ආයෝජන ගෙනාවා. අපටත් ආයෝජන ලැබුණා. හැබැයි එය ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් බලපාලා නෑ.

ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙක් පත් කළා. අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව යෝග්‍යතා පරීක්ෂණයක් කරලා තමයි බැංකු සඳහා නිලධාරීන් පත් කරගන්නේ. එය දැන් සිදු වෙමින් තිබෙනවා. මේ රාජ්‍ය බැංකු දෙක අස්ථාවර වෙලා නෑ. ඇ.ඩො.මි. 2.5ක විදේශ විනිමයක් 2018 අපේක්‍ෂා කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් මත නව පත්කිරීම් සිදු කෙරනවා."

 

සුක්කානමවත් දන්නේ නැති මිනිස්සු මේ රටේ වාහනවල බදු තීරණය කළා - අනුර ප්‍රියදර්ශන යාපා

"සුක්කානමවත් දන්නේ නැති මිනිස්සු මේ රටේ වාහනවල බදු තීරණය කළා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.
"අද ජංගම දුරකථනයකට රුපියල් පන්දහසක් ගෙවනවා නම් , ඒක ඇතුළේ රුපියල් 1640ක්ම බදු.

මේක දුගී දුප්පතාත් බදු ගෙවන රටක්. අපේ රටේ ආර්ථික අර්බුදය මේකෙන් පේනවා."

"රජයේ සේවකයාට වාහනයක් ගේන්න බලපත්‍රයක් දුන්නට, ඔහුට ඒ වාහනය ගේන්න බැහැ. ඒ වාහන ගෙනඒම අත්හිටුවලා. ඒ බලපත්‍රයට දුම් අල්ල අල්ල ඉන්න සිදුවෙලා."

 

මහින්දගේ ආණ්ඩුව යුද්ධය කරන ගමන් ආර්ථිකයත් බේර ගත්තා - විමල් වීරවංශ

'මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යුද්ධයක් කරන ගමන් ආර්ථිකයත් බේර ගත්තා. රටත් බේර ගත්තා. රට හදන්න කියලා ආපු කට්ටිය අද රට විනාශ කරලා. කවුද හිතුවේ මේ වගේ කට්ටියක් එකතු වෙලා රට කාලා දායි කියලා' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

"රැකියා දස ලක්‍ෂයක් දෙනවා කියලා ආපු ආණ්ඩුව ලක්‍ෂ දෙකක් රැකියාවලින් මහ පාරට ඇදලා දාලා. රුපියල වැටෙන කොට ආණ්ඩුව අහසට බැනලා වැඩක් නෑ. අද මෝඩ පුත්තු ටිකක් එකතු වෙලා ආණ්ඩුවක් හදාගෙන රට හොඳටම කනවා.

අපේ ආණ්ඩුව කාලේ ආනයනික කිරිපිටි කිලෝ එකකට රුපියල් 225ක බද්දක් ගහලා තිබුණා. අපි දේශීය කිරි ගොවියා ආරක්‍ෂා කළා. දේශීය කිරි කර්මාන්තය රැක ගත්තා. හැබැයි දැන් ආනයනික කිරිපිටි කිලෝ එකකට තියෙන බද්ද රුපියල් 2ක් දක්වා අඩු කළා. කොහොමද දේශීය කිරි ගොවියා රැකීම, සනීපයි නේද? මෙහෙම ආණ්ඩුවක් යටතේ රටක් කොහොමද නැඟිටින්නේ. කිරිපිට සහ පාන්පිටි ආනයනය කිරීමේදී දුන්නු බදු සහන නිසා වසරකට රුපියල් 52,000ක් රටට අහිමි වෙනවා. සමෘද්ධිය දෙන්නවත් එච්චර යන්නේ නෑ.

ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව අද මේ ආණ්ඩුව විනාශ කරලා. කොටින්ගේ ඥාතීන්ගේ පවුල්වල අයට වන්දි දෙනවා. ත්‍රස්තවාදීන්ට වන්දි දෙන ලෝකේ අරුම පුදුම රට තමයි මේක. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තාත්තා මරපු කොටියාගේ පවුල්වල අයට වන්දි දෙනවා. ගාමිණී දිසානායක මරපු කොටියගේ පවුලේ අයට වන්දි දෙනවා.

යුද්ධයෙන් රට බේර ගත්ත රණවිරුවන්ට නෙවෙයි මේ වන්දි දෙන්නේ. දළදා මාලිගාවට බෝම්බ ගහපු රට විනාශ කරපු කොටින්ගේ පවුල්වල අයට."

 

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මට මේ වන තුරුත් ජනතාවට සේවය කිරීමට නොහැකිව තිබෙනවා - කාවින්ද ජයවර්ධන

'ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මට ආසනයක් මේ වන තුරුත් ලබා නොදීම නිසා ජනතාවට සේවයක් කිරීමට නොහැකි වී තිබෙනවා' යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන පැවැසීය.

'ගිය ආණ්ඩුවේ වැඩ කටයුතු නිසා මේ රට විශාල ණය උගුලක හිර වුණා. ණය වෙනුවෙන් මේ අවුරුද්දේ ඩොලර් මිලියන තුන්දහසක් ගෙවන්න තිබෙනවා.'

'නව ව්‍යවසායකයන් සඳහා රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබා දෙනවා. ඒ ණය මුදලේ පොලියෙන් සියයට පනහක් ආණ්ඩුව දරනවා. එදා එතනෝල් ගෙනාපු අය බදු ගෙව්වේ නැහැ.'

 

මේ ආණ්ඩුව කාලෙ තරම් රුපියල මස්තබාල්දු වුණු ආණ්ඩුවක් තවත් නෑ - බන්දුල ගුණවර්ධන

'මේ රටේ ආණ්ඩු දාහතක් පැවැතිලා තියෙනවා. අවුරුදු තිහක දැවැන්ත යුද්ධයක් පැවැති මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තරම් අර්බුදවලට මුහුණ දුන්න වෙනත් ආණ්ඩුවක් නැහැ' යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

මේ ආණ්ඩුව කාලයේ තරම් රුපියල මස්තබාල්දු වූ ආණ්ඩුවක් තවත් නැහැ. 2015 රට භාර දෙන කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 8,041 තිබුණා.

'පිටපළාත්වලින් පිටරටවලට ගොස් සිටින අයගේ නිවෙස්වලින් ඩොලර් එකක් රුපියල් 175ට ගන්නවා. ඒවා පිටකොටුවේ, වැල්ලවත්තේ ඩොලර් එකක් රුපියල් 180ට විකුණනවා. මේක තමයි අපේ ඩොලර් එක මිල ඉහළ යෑමට හේතුව වෙලා තියෙන්නේ.'

'දැන් සුළු හා මධ්‍ය කර්මාන්ත ව්‍යවසායකයන් වැටිලා ඉවරයි. රාජ්‍ය බැංකු දෙකේ ණය විශාල ප්‍රමාණයක් බොල් ණය වශයෙන් කපා හැරලා. බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල තමන්ට ඕනෑ විදියට තමන්ගේ හිතවත් අයට අඩු පොලියට මුදල් ලබා දෙනවා.

'බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි වුණේ ජනාධිපතිතුමා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ නිසා. ඒ නිසා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ කටයුතු ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න.'

'මේ නව පනතෙන් වැට් එකට අමතරව, සියයට හතක බද්දක් දාන්න යනවා. මේ වැඩෙන් ජාතියේ මහ පහන් ටැඹත්, ජනහද හඳුනන බැංකුවක් සෙත්ත පෝච්චි වෙනවා. බැංකු එක්ක සෙල්ලම් කරන්න එපා.'

'රුපියල අවප්‍රමාණ වීමෙන් ණය බර බිලියන 1,222කින් වැඩි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ලිබරල්කරණයේ අන්තයටම ගිහිල්ලා.'

 

ශ්‍රී මුඛ පරිස්සම් කරගන්න - කථානායකවරයාගෙන් විමල්ට අවවාද

ශ්‍රී මුඛ පරිස්සම් කරගන්න යැයි කථානායක කරු ජයසූරිය ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි විමල් වීරවංශට අවවාද කළේය.

රුපියල කඩාවැටීම ගැන ඊයේ පෙරවරුවේ සභාව තුළ මතුවූ උණුසුම් තත්ත්වය හමුවේ වීරවංශ මන්ත්‍රිවරයා කථානායකවරයා ඉලක්ක කරගනිමින් නැඟූ චෝදනාවකින් පසුව කථානායකවරයා මෙලෙස අවවාද කළේය.

වරප්‍රසාද කඩකිරීමේ චෝදනාව නිසා සති 2ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වීමෙන් පසුව පළමු වරට වීරවංශ මන්ත්‍රිවරයා ඊයේ සභාවට පැමිණි අවස්ථාවේ කථානායකවරයා මෙලෙස අවවාද කිරීමද විශේෂත්වයකි.

 

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ වංචා දූෂණ සෙවීමට විශේෂ කොමිෂන් සභාවක්
පත් කළ යුතුයි - දිනේෂ් ගුණවර්ධන

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ සිදුව ඇති වංචා දූෂණ සෙවීම සඳහා පාර්ලිමේන්තු විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඊයේ (25දා) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අදාළ ආයතනවල සිදුව ඇති වංචාව, දූෂණ නිසා එහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් සිදුකර ඇතැයිද ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.

මෙහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කිසිම දූෂණයක් සිදුවී නොමැති බවය.

අදාළ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇත්තේ වසර 3ක කාලයකට බවත් ඔවුන්ගේ කාලය අවසන් වී ඇති නිසා නව නිලධාරීන් පත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.

එම නිලධාරීන් ගැන මහ බැංකුව විසින් යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකරන බවද කිරිඇල්ල ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂවරුන් ලෙස සාත්තරකාරයන් පත්කළ බවත් වත්මන් ආණ්ඩුව එම අධ්‍යක්ෂවරු පත් කරන්නේ උගත් බුද්ධිමත් සහ විෂය ගැන අවබෝධයක් තිබෙන පුද්ගලයන් බවත් කිරිඇල්ල ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon