වර්ධරාජාගේ සිට විග්නේශ්වරන් දක්වා...

  👤  2928 readers have read this article !
2018-10-24

ප්‍රථම වරට පිහිටුවා ගත් උතුරු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. එහි අවසන් රැස්වීම ඊයේ පැවැත්විණි. 2013 දී පැවැත්වූ උතුරු පළාත් සභාවේ ප්‍රථම මැතිවරණයෙන් බලය හිමි වූයේ දෙමළ ජාතික සන්ධානයටය. මන්ත්‍රි ධුර 38න් 30ක්ම ඔවුහු දිනාගත්හ. ඊ.පී.ඩී.පී., එජනිස, ලංකා මහජන කොංග්‍රසය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සෙසු ආසන 8ට හිමිකම් කීවේය.

උතුරු පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති වීමේ වරම හිටපු ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේශ්වරන් මහතාට හිමිවිය. පළාත් සභාවේ කාලය අවසන් වන විට ටී.එන්.ඒ. නායකයන් හා විග්නේශ්වරන් මහතා අතර මතභේදයක් ඇති වී තිබෙන බව පැහැදිලිය. පක්ෂ කිහිපයක එකතුවකින් ගොඩනැඟී ඇති'දෙමළ ජාතික සන්ධානය' (ඊව්ඒ) බිඳී යෑමටද මේ අනුව බොහෝදුරට ඉඩ ඇත. ඉදිරි පළාත් සභා මැතිවරණයකදී මහ ඇමැති ධුර අපේක්ෂකත්වය විග්නේශ්වරන් මහතාට හිමි නොවන බව පැහැදිලිය. ඔහු වෙනත් පක්ෂයකින් මහ ඇමැති ධුරයට තරග කිරීමට ඇති ඉඩකඩ වැඩිය.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රි ධුර දෙකක් හිමිකර ගෙන සිටි ඊ.පී.ඩී.පී. හෙවත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා ද උතුරේ මහ ඇමැති ධුරයට තරග කරන බව මෑතකදී ප්‍රකාශ කර තිබිණි.

කාරණය අනෙකකි.
අද දිනපතා'මව්බිම' සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් චෝදනා කර ඇත්තේ ඔහු හිතපු කිසිදු දෙයක් කිරීමට ආණ්ඩුව ඉඩ නොදුන් බවය. මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාටද මහ ඇමැතිවරයා චෝදනා කර ඇත. මධ්‍යම ආණ්ඩුවට මෙවැනිම චෝදනාවන් එල්ල කළේ ප්‍රථම උතුරු-නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් විසිනි. පළාත් සභා ප්‍රධාන කාර්යාලය ඉදිරියෙන් දිවෙන මාර්ගය සංවර්ධනය කරන්න බලයක් තමන්ට නැතිනම්'බලය බෙදීම' පල රහිත බව හෙතෙම ප්‍රසිද්ධියේ චෝදනා කළේය. ඉන් නොනැවතී'ඊළාම්' පාලනයක් ප්‍රකාශයට පත් කර ඉන්දියාවට පලා ගියේය.

සිංහල ජාතික ඇමැතිවරුන් දෙදෙනකු හා මුස්ලිම් ජාතික ඇමැතිවරයකු සිටි උතුරු- නැඟෙනහිර පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන විට උතුරේ සන්නද්ධ අරගලයක නිරතව සිටි එල්ටීටීඊයෙන් ලැබුණේ මාරාන්තික විරෝධයකි. අවසානයේ උතුරු-නැඟෙනහිර පළාත් පොලිස් හමුදාව එල්ටීටීඊය විසින් සමූල ඝාතනය කරනු ලැබීය. එදා මෙදා තුර පොලිස් බලතල ක්‍රියාත්මක කළ එකම පළාත් සභාව වර්ධරාජා පෙරුමාල්ගේ උතුර - නැඟෙනහිර පළාත් සභාව පමණි.

අධිකරණ තීන්දුවකින් උතුරු - නැඟෙනහිර ඒකාබද්ධය අහෝසි වීම නිසා පළාත් දෙකට පළාත් සභා වෙන වෙනම පිහිටුවනු ලැබීය. සී.වී. විග්නේශ්වරන් උතුරු පළාත් මහ ඇමැති වූයේ ඒ අනුවය. කොතරම් ජාතිකවාදී ස්ථාවරයක සිටියද අන්තවාදී ලෙස කටයුතු කළද විග්නේශ්වරන් මහතාට පවා'පොලිස්' බලතල උතුරේ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. යථාර්ථය නම් දේශපාලන ඉලක්ක හඹා යමින් සිටියා මිස මහ ඇමැතිවරයා උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සමඟ පොර බැදීමක් නොකළ බවය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ චෝදනාවද එයයි.

ඒ අර්ථයෙන් බැලූ විට විග්නේශ්වරන් මහ ඇමැතිවරයා සෙසු පළාත් සභාවල මහ ඇමැතිවරුන්ට වෙනස් නැත. ඒ මහ ඇමැතිවරුන් ඇතුළු පළාත් සභාවේ පාලක පක්ෂය කරන්නේද පටු දේශපාලන න්‍යාය පත්‍ර හා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව වැඩ කිරීම මිස ඒ ඒ පළාතේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ.

මේ වන විට උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභාවල නිල කාලය අවසන් වී වසරකටත් වැඩි කාලයක් ගත වී ඇත. වයඹ හා මධ්‍යම පළාත් සභාවල ආයු කාලය පසුගිය සතියේ අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ ආයු කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. එහෙත් මැතිවරණය පවත්වන දින ගැන නිශ්චිත කිසිවක් ආණ්ඩුව පවසන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුව කඩින් කඩ හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීය. මේ තත්ත්වය තුළ මැතිවරණ කොමිසමද අසරණ වී සිටී. මැතිවරණ දිගින් දිගටම කල් දැමීම ගැන නඩු පැවැරිය හැක්කේ සිවිල් සංවිධානවලට හෝ දේශපාලන පක්ෂවලට පමණි.

උතුරු - නැඟෙනහිර ජනතාවට බලය බෙදීමේ අරමුණින් පිහිටුවා ගත් පළාත් සභා අද රටටම හිසරදයක් වී ඇත. අඩුම ගණනේ මූලික අරමුණ වූ උතුරු - නැඟෙනහිර ජනතාවට බලය බෙදීමවත් මින් සිදු වී නැත. ඒ බව උතුරු පළාත් මහ ඇමැතිගේ කතාවෙන් පැහැදිලිය. මීට අවුරුදු 30කට පමණ පෙර උතුරු-නැඟෙනහිර මහ ඇමැති කියූදේම අද උතුරු පළාත් මහ ඇමැති කියන්නේ නම් කොතැනක හෝ වරදක් ඇති බව පැහැදිලිය. දෙමළ අන්තවාදීන්ගේ කතාවලට කලබල විය යුතු නැතැයි තවත් අන්තවාදියකුට කිව හැකිය. එහෙත් උතුර ප්‍රමුඛ පළාත් සභා මුහුණදී ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon