ඉතිහාසය කුමක් කියාවිද?

  👤  3240 readers have read this article !
2018-10-23

'නයාට ගහලා පොල්ල වරද්දා ගන්න එපා' යනු පුද්ගලයන් අතර ආරවුල් ගැන කතා කරන විට නිතර කියැවෙන ගැමි වහරකි. මෙය දේශපාලන ක්‍ෂේත්‍රයට විශේෂයෙන්ම වැදගත් වන්නේ බලගතු දේශපාලනඥයන් හා ගැටෙන්නට ගොස් ඉලක්කය වරද්දාගෙන දේශපාලන අහිකුණ්ඨිකයන් බවට පත්වූ බොහෝ අය සිටින බැවිනි.

මෑත කාලීන ලාංකික දේශපාලනය තුළ මේ තත්ත්වය බොහෝ විට දක්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරන්නට ගත් විවිධ උත්සාහයන් අතරය. 1994 සිට එක්සත් ජාතික පක්ෂ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විටින් විට අෑලි මෑලි දුබල කුමන්ත්‍රණ කළ කාටකාටත් සිදුවූයේ එක්කෝ දේශපාලනයෙන් සමුගන්නට හෝ පක්ෂය හැර යන්නටය. නැත්නම් බලු කුක්කන් මෙන් කීකරුව නායකතුමා විසි කරන කට්ටක් කා අසරණව කල් ගෙවන්නටය. මෙය කියවන විට දේශපාලනය ගැන දැනුවත් පාඨකයන්ගේ මතකයට උදාහරණ ගණනාවක් එන බව නිසැකය.

2015 ජනවාරිවල බිහි වූ හවුල් ආණ්ඩුව මේ වන විට අර්බුද රැසකට මැදි වී සිටින බව කවුරුත් දන්නා කරුණකි. ඒ අතර අලුත්ම ගැටලුව වී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර දිනෙන් දින වර්ධනය වන සීතල යුද්ධයයි. කොටින්ම කියනවා නම් දැන් ජනාධිපතිතුමා පොල්ල අතට ගෙන ඇත. කවුරුත් බලා ඉන්නේ රනිල්ට ගසා පොල්ල වරද්දා ගනීද කියාය. මන්ද පසු ගිය කාලයේම අප දුටුවේ ටිකක් කොනිත්තා ආපසු සැඟ වෙන්නාක් වැනි තත්ත්වයන් මිස යම් මතයක් දිගටම පවත්වාගෙන යන බවක් නොවේ.

නමුත් මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යම් සාධාරණයක් ඉටු විය යුතුමය. මන්ද ඔහු බොහෝ විට ප්‍රතිපත්තිමය තීරණ සාකච්ඡා වූ අවස්ථාවලදී තාවකාලිකව හෝ තම පක්ෂයේ සාම්ප්‍රදායික මතවාදය වෙනුවෙන් පෙනී සිටි බැවිනි. අවාසනාවකට මෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඔහුගේ සෙන්පතියන්ගේ සියලු තීරණ තීන්දුවල වගකීම භාරගන්නට සිදු වී ඇත්තේ රාජ්‍ය නායකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටය.
ඒ කෙසේද?

• රට තුළ විශාල දේශපාලන මර්දනයක් දියත් කොට කිසිදා අමතක නොවන වෛරයක් ප්‍රතිවාදීන්ගේ
සිත් තුළ ඇති කරගත් ආණ්ඩුවේ නායකයා ලෙස

• ජිනීවා 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වා
රට පාවා දුන් ආණ්ඩුවේ නායකයා ලෙස

• ජිනීවා යෝජනා ඉටුකිරීම සඳහා බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ ප්‍රඥප්තිය අස්සන් කිරීම,
අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ
පනත සම්මත කිරීම, වන්දි ගෙවීමේ කාර්යාල පනත සම්මත කිරීම වැනි ජනතා විරෝධයට
ලක්වෙන කටයුතු රැසක් සිදු කළ ආණ්ඩුවේ නායකයා ලෙස

• රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒමට දරන උත්සාහය නිසා ජනතා අප්‍රසාදයට ලක් වී ඇති
ආණ්ඩුවේ නායකයා ලෙස

• රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් වන්නට නියමිතව තිබූ හම්බන්තොට වරාය රටට අහිමි කළ,
තව තවත් ජාතික සම්පත් විකුණන්නට සැලැසුම් කරමින් අනාගත රටපුරා වින කරන ආණ්ඩුවේ
නායකයා ලෙස

• තොරණේ තහනම, පෙරහරේ අලි ගෙනයෑම තහනම, කෙටි කාලයක් තුළ වැඩිම භික්ෂුන් ගණනක් සිරගත කිරීම, පින් කැටවලට සීල් තැබීම වැනි ක්‍රියාවන් නිසා ක්‍රමයෙන් බෞද්ධ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ නායකයා ලෙස

• මහ බැංකු, බැංකු හොරකම හරහා
රටට විශාල මූල්‍ය පාඩුවක් කළ
ආණ්ඩුවේ නායකයා ලෙස

• අල්ලස් ගෙන අහුවුණ ඇමැතිලා,ආයෝජකයන්ගෙන් කොමිස් ඉල්ලා
පච වුණ ඇමැතිලා, සොරකම් කරන ඇමැතිලා රකින ආණ්ඩුවේ නායකයා ලෙස

• ඉතාමත් පක්ෂග්‍රාහී පොලිසියක් හා නීතිපති දෙපාර්තමේතුවක් යොදාගනිමින්,දිගින් දිගටම නීතිය නමමින් කටයුතු කරන,
ජනතාව ඉදිරියේ පිස්සු නටන පොලිස්පතිවරයකු සිටින ආණ්ඩුවේ නායකයා ලෙස

• දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන
ආණ්ඩුවේ නායකයා ලෙස

• කලකට පෙර අසන්නටවත් නොතිබී පසුගිය වසර කිහිපය තුළ වේගයෙන් යළි මතු වූ පාතාලයට
වගකිවයුතු ආණ්ඩුවේ නායකයා ලෙස

• රට පුරා පැතිර ගිය කුඩු වසංගතය පාලනය
කරගත නොහැකි ආණ්ඩුවේ නායකයා ලෙස

• දුර්වල ආර්ථික කළමනාකරණය නිසා එතෙක් හොඳින් සංවර්ධනය වෙමින් තිබූ ලංකාව විශාල
ආර්ථික අර්බුදයක පැටල වූ ආණ්ඩුවේ නායකයා ලෙස

• අහස උසට නඟින ජීවන වියදම පාලනය කරගත නොහැකිවා මදිවාට ජනතාව මත බදු බරත්
100%කින් වැඩිකළ ආණ්ඩුවේ නායකයා ලෙස

• ආනයනික භාණ්ඩ මත විශාල බරක් පටවමින් 28%කින් රුපියල බාල්දු කරගත්
ආණ්ඩුවේ නායකයා ලෙස

ඇත්තෙන්ම හවුල් ආණ්ඩුවේ මේ අවුල් කිසිවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පෞද්ගලික තීරණවල ප්‍රතිඵල නොවේ. නමුත් අවාසනාවකට මෙන් රාජ්‍ය නායකයා ලෙස ඔහුට ආණ්ඩුවේ තීරණවල වගකීමෙන් මිදිය නොහැකිය.

'වර්තමාන දේශපාලනයේ වැඩියෙන්ම නින්දා අපහාස විඳිනා දේශපාලනඥයා මමයි' කියා කියන්නට සිරිසේන මහතාට සිදු වී ඇත්තේ තම පෞද්ගලික මතය කුමක් වුවත් ජනතාව ඉහත කී සියල්ලේ වගකීම රාජ්‍ය නායකයා වෙත පටවන නිසාය. ඒ නිසා සැබැවින්ම තමා මේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ නම් ඒවාට වගකීම ගත යුතු අයව විටින් විට කොනිත්තමින් සිට ප්‍රශ්නය විසඳෙන්නේ නැත. නයාට පොල්ලෙන් ගසා වැඩේ වරද්දා ගත්තාට පසු පටන් ගත් කාරිය අවසන් කරනවා මිස වෙනත් විකල්පයක් නැත. මන්ද නයා ආපසු හැරී දෂ්ට කරන බව නිසැක නිසාය. සමහර විට නයා වෛරය සිතේ තබා ගන්නා බවත් දෂ්ට කරන්නේ පසු දිනක බවත් කියා ජන වහරේ කියැවේ.

ජනාධිපති මැතිවරණයට තව ඉතිරිව ඇත්තේ සති 49ක පමණ කාලයකි. මේ අනුව මෙතෙක් බොරුවට රඟපෑ සහජීවන ජවනිකාව වෙනුවට තම සැබෑ ශක්තිය ජනාධිපතිවරයාට පෙන්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරු අනාගතයේදී ක්‍රියා කරනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔහු අතට ගෙන ඇති බලතල ගැන බොහෝ දෙනකුට තවමත් අවබෝධයක් නැත. ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන්ට ප්‍රසිද්ධියේ විරුද්ධ නොවුණත් ඔහුගේ අභිමතයන් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව දැන් දැන් ප්‍රමාද කෙරෙන බව ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයකින් සිටිනා ඕනෑම අයකුට පැහැදිලිය. දැන් ආරම්භ වී ඇත්තේ ජනාධිපති නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් ඔහුව උපහාසයට ලක් කිරීමේ පළමු පියවරයි. ඊළඟ පියවර ලෙස ජනාධිපති නියෝග සහමුලින්ම ප්‍රතික්ෂේප කොට ජනතාව ඉදිරියේ ඔහුව අපහාසයට ලක්කරන දිනය වැඩි අෑතක නොවන බව කෘතහස්ථ දේශපාලනඥයෙක් වන මෛත්‍රිපාල සිරිසේන මහතාද නොදන්නවා විය නොහැකිය. අවසානයේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට ගොස් කියනු ඇත්තේ මෙම වසර පහේ අසාර්ථකත්වයට සම්පූර්ණ වගකීම ගත යුත්තේ හවුල් ආණ්ඩුවේ වැඩවලට දිගින් දිගටම බාධා කළ ජනාධිපතිවරයා බවය.

ලංකා ඉතිහාසයේ රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයකුටම ඉතිහාසය විසින් ජන මනසේ යම් පැහැදිලි ස්ථානයක් ලබාදී ඇත. ඒ අතර ජනතාව විසින් අදත් අසාර්ථක නායකයන් ලෙස දකින්නන්, ජනතා අප්‍රසාදයට ලක්වූ නායකයන් ලෙස දකින්නන් මෙන්ම ජනතා ප්‍රසාදයට ලක්වූ නායකයන් ලෙස දකින්නන් සිටිති. යම් රාජ්‍ය නායකයකු පිළිබඳ අදාළ අවසාන විග්‍රහය ජනගත වන්නේ ඔහු බලයෙන් ඉවත් වී කාලයක් ගත වූ පසුවය. ඒ සඳහා විශේෂයෙන්ම බලපාන්නේ අදාළ රාජ්‍ය නායකයා විසින් ගන්නා ලද සුවිශේෂී තීරණ, ඔහුගේ හෝ ඇයගේ කාලය තුළ වූ සුවිශේෂී සිදුවීම් මෙන්ම විශේෂයෙන්ම ඔහුගේ හෝ ඇයගේ පාලනයේ අවසාන කාලයේ ක්‍රියාකලාපයයි.

වර්තමාන ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් පහළ වූ රටට අහිතකරම ආණ්ඩුව බව ඔප්පු කරන්නට ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය.
2012-2014 පැවැති දළ ආර්ථික 7%ක සංවර්ධන වේගය 2017 වන විට 3.1%ට අඩු විය.

2014 දී රුපියල් බිලියන 7391ක් වූ රාජ්‍ය ණය 2018 මැද වන විට රුපියල් බිලියන 12,000 දක්වා 60%කින් ඉහළ ගොස් ඇත.

2014 න් පසු රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 28%කින් බාල්දු වී ඇත. ඒ නිසා රාජ්‍ය ණයවල දේශීය අගය රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇත.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රැසක් බංකොලොත් වී වසා දමන ලද අතර තවත් ව්‍යාපාර රාශියක් නුදුරු අනාගතයේ වැසී යනු ඇත. තිබුණ රැකියා ප්‍රමාණයත් අඩු වී ඇත. 2014 දී රැකියා ලක්ෂ 84ක් වාර්තා වුවද 2017 එය ලක්ෂ 82ට අඩු වී තිබිණි. අලුතින් දෙනවා කී රැකියා ලක්ෂ 10 වාෂ්ප වී ඇත.

රටේ දුප්පත්කම හොඳටම වැඩි වී ඇත. ජීවන බර අද ජනතාවට තදින්ම දැනේ. පවුල් ලක්ෂ ගාණකට අද තුන්වේල කෑමේ හැකියාව නැත.

ණය ගැනීම, බදු ගැසීම හා රටේ සම්පත් විකිණීම හැර ආදායම් උපයන අන් කිසිදු මාර්ගයක් වත්මන් පාලකයන් නොදන්නා බව දැන්නම් සක් සුදක් සේ පැහැදිලිය. වත්මන් රජය බලයට පැමිණ වසර 3කුත් මාස නවයක් ගත වන විට රාජ්‍ය ණය 60%කින් වැඩි වී රාජ්‍ය බදු 100% කින් වැඩි වී ඇත. හම්බන්තොට වරාය හා ඒ අවට හෙක්ටයාර් 2000ක භූමිය අපට අහිමි වී අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි, ශ්‍රී ලංකන් ගුවන් සේවය, හයට් හා හිල්ටන් හෝටල ඇතුළු තවත් බොහෝ ජාතික සම්පත් මේ වන විට විකුණුම් ලැයිස්තුවේ ගැනුම්කරුවන් සොයමින් ඇත. තවත් කලක් වත්මන් ආණ්ඩුව බලයේ සිටියහොත් මේ සියල්ල හා තවත් බොහෝ ජාතික සම්පත් අපට අහිමි වනු නියතය.

මෙවැනි තත්ත්වයක් යටතේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට හිතූ මතයට ලබාදීමේ අගමැතිවරයාගේ උත්සාහයට ජනාධිපතිවරයා විරෝධය පෑම ප්‍රශංසා කටයුතුය. දැඩි ලෙස වංචා දූෂණ සිදුවෙන ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයෝජන මණ්ඩලය හා ප්‍රධාන රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ උත්සාහයද එවැන්නකි. ජාතිය ඉදිරියේ විහිළුවක් බවට පත්ව ඇති පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කිරීමෙන්ද ඔහු මේ වන විට ජනතා මතයට වඩාත් සංවේදී බව පෙන්වයි. එහෙත් දිනෙන් දින බලවත් වන අගමැතිවරයාගේ අභිමතයට එරෙහිව යෑමට හවුල් ආණ්ඩුව තුළම සිට තවකොපමණ කලක් ජනාධිපතිවරයාට හැකි වේවිද යන්න ජනතාවට ඇති ගැටලුවකි.

මේ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අත ජාතික වගකීමක් ඇත. ඒ දැනටමත් යම් ප්‍රමාණයකට සීමා කොට ඇති බලතලවලින් ඉතුරු වී ඇති බලතල භාවිත කොට රට පත්වෙමින් සිටිනා ව්‍යසනයෙන් ගලවා ගැනීමටය. එය කළ නොහැක්කක් නොවේ. ප්‍රශ්නය නිවැරැදිව හඳුනාගෙන ඇති බව එතුමාගේ මෑත කාලීන ක්‍රියා කලාපයෙන් පෙනී යයි. පිළිතුරද එතුමා දනී. තමා ඉතිහාස ගත වන්නේ කුමන ආකාරයකටද යන්න තීරණය කිරීම දැන් ඔහු සතුය.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon