අඟුණකොළපැලැස්ස රැඳවූවන්ගේ ඊනියා විරෝධතාව

  👤  2438 readers have read this article !
2018-10-23

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් එහි සන්නිවේදන කුලුනට නැඟ විරෝධතාවක් ඇරැඹූවේ ඉකුත් 21 වැනිදාය. මේ විරෝධතාවට හේතු වී ඇත්තේ බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්‍ෂක කටයුතු හා සෝදිසි කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකායට භාරදීමට විෂය භාර අමාත්‍යාංශය තීරණය කිරීමය. අදාළ තීරණයට අනුව එස්.ටී.එෆ්. සිය රාජකාරිය පළමුව ඇරැඹුවේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙනි. වැලිකඩ ඇතුළු සෙසු බන්ධනාගාරවලටද එස්.ටී.එෆ්. ආරක්‍ෂාව ලබා දෙන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එස්.ටී.එෆ්. ඉවත් කරන ලෙසත් පිටතින් අමතර ආහාර ගෙන ඒමට ඉඩ දෙන ලෙසත්ය. රැඳවූවන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් අනවශ්‍ය ලෙස එස්.ටී.එෆ්. නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක් කරන බව ද ඔවුහු පවසති. දැනට අවසර දී ඇත්තේ බත් පාර්සලයක් රැගෙන ඒමට පමණි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොමසාරිස් ඩබ්ලිව්.පී. ධම්මික ප්‍රකාශ කර තිබුණේ පිටතින් ආහාර ගෙන ඒමට සීමා පනවා ඇති බවත් ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම තමන් අනුමත කරන බවත්ය.

මෙතෙක් බන්ධනාගාරයේ සියලු රාජකාරි සිදුකරන ලද්දේ බන්ධනාගාර නිලධාරීන් විසිනි. රැඳවූවන් බැලීමට පැමිණෙන ඥාතීන් සෝදිසි කිරීම් වලට එස්.ටී.එෆ්. නිලධාරීන් හවුල් වීම රැඳවූවන්ගේ මේ විරෝධතාවේ ඇත්ත හේතුවය. ඥාතීන්ට ඔවුන්ගෙන් හිරිහැර වන බව විරෝධතාකරුවන් නඟන චෝදනාවේ ඇත්තක් තිබෙන බව නොපෙනේ. තිත්ත ඇත්ත වන්නේ රැඳවූවන් සමහරුන්ට පමණක් නොව බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ට ද එස්.ටී.එෆ්. හිසරදයක් වී ඇති බවය.

බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් සන්නිවේදන කුලුනට නඟිනතුරු නිලධාරීන් කළේ කුමක්ද යන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානයට දැනටමත් ලක් වී ඇත. නිලධාරීන්ගේ සහාය නොලැබෙන්නට මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට රැඳවූවන්ට ඉඩ ලැබේ යැයි සිතිය නොහැකිය. විරෝධතාවට මුල් දිනයේ සියයක් පමණ සහභාගි වී සිටි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. රැඳවූවන් හා නිලධාරීන් අතර පවතින සබඳතාව සහ සිදුවන ගනුදෙනු පිළිබඳ වහා සොයා බැලිය යුතුව ඇත්තේ මේ පසුබිම තුළය.
අමාත්‍යාංශය එස්.ටී.එෆ්.

බන්ධනාගාරවලට යෙදවීමට තීරණයට හේතුව ද බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් අතර තිබෙන ගනුදෙනු මිස අනෙකක් නොවේ. දිවයිනේ සියලුම බන්ධනාගාරවල මේ ගනුදෙනුව පවතින බව නොරහසකි. නොඑසේ නම් රැඳවූවන් අතට ජංගම දුරකථන හා මත්කුඩු පැමිණීමට කිසිදු ඉඩක් නැත. පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා රැඳවූවන් බැලීමට පැමිණෙන්නන් සෝදිසි කිරීම අවශ්‍යයෙන්ම ගත යුතුව තිබූ පියවරකි. පිටත සිට එන බන්ධනාගාර නිලධාරීන් පවා සෝදිසි කිරීමේ බලය එස්.ටී.එෆ්. නිලධාරීන්ට ලබා දීම පැසසුම්කට යුතුය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංවිධාන අමාත්‍යංයේ ලේකම්වරයට අනුව එස්.ටී.එෆ්. නිලධාරීන් සියයක් යෙදවීමත් සමඟ බන්ධනාගාරය තුළට රැගෙන එන නීති විරෝධී ද්‍රව්‍ය හා උපකරණ මුළුමනින්ම පාහේ නතර වී ඇත. එය සතුටට කරුණකි. ඉන් අසතුටුවන්නන් රැඳවූවන්, නිලධාරීන් හා ඥාතිහිතමිත්‍රයන් අතර සිටින බව පැහැදිලිය. මේ විරෝධතාව ඒ නිසාය. ඒ සියලු දෙනා ඊනියා විරෝධතාව පිටුපස සිටිනවා විය යුතුය.

ගාල්ල දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදා හරින කුඩු තිප්පොළක් වැටලීමේදී ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාද එහි සිට පොලිසියට හසු වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඝාතන සිද්ධි කිහිපයකට සැකකරුවකුගේ තිප්පොළක් ලෙස සැලකෙන අදාළ ස්ථානයේ බන්ධනාගාරයක දෙවැනියකු සිටියේ රාජකාරියකට ගොස් ඒමට නොවන බව දරුවකුට වුවද අවබෝධ වේ.

බන්ධනාගාර නිලධාරීන් නීති විරෝධී ලෙස රැඳවූවන් සමඟ ගනුදෙනු කර හසුවූ අවස්ථා තිබේ. වැටත් නියරත් ගොයම් කා නම් කතාවට අනුව මෙතෙක් කල් වැඩ සිද්ධ විය. පොලිස් විශේෂ කාර්ය බළකායට පළමු වටයේදී ප්‍රධාන බන්ධනාගාරවල බාහිර ආරක්‍ෂාව පැවැරීම නිසා කවුරු කවුරුත් කලබල වී තිබේ. කවුරු කලබල වුවද බලධාරීන් ගත් පියවර ආපසු තැබිය යුතු නැත. යා යුත්තේ පෙරටය. "බන්ධනාගාර" වහා සුද්ද කළ යුතුය. නොඑසේ නම් බන්ධනාගාර වසා දැමිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon