වෙන්නේ මොනවාද දන්නේ කොහොමද ?

  👤  4211 readers have read this article !
2018-10-19

රනිල් වට්ටලා ආණ්ඩුවත් පෙරළලා යූ.එන්.පී.යත් පන්නලා ශ්‍රී ලංකා හවුල් ආණ්ඩු හදන උන්දැලා තවමත් ලහිලහියේ වැඩ. ඒ අතර ඒ හදන ආණ්ඩු හදා ගන්න බැරිවෙන තරමට රනිල්ගේ පාර්ශ්වයෙනුත් මොනවා හෝ කරමින් ඉන්න බවක් පෙනෙන්න තියෙනවා. ඒ ඔක්කොම මැද්දෙ එජාපයෙන් ගෙනෙන යෝජනා අකර්මණ්‍ය වෙනවා.

මේක ඇත්තටම රට ආර්ථික අතින් තියෙන නරක තත්ත්වය හමුවේ නරකම දෙයක්"ය කියා එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය ගැන දන්නා ප්‍රවීණ වෘත්තිකයෙක් මෛත්‍රි පිලේ ප්‍රබල ඇමැතිවරයකුට කීවේ නිකමට නොවේ. ඒ නිසා මහින්දගෙන් හිරවුණු ආර්ථික මලපුඩු ලෙහන්නට ගිහින් රනිල් අමාරුවේ වැටී ඇති බවත් ඒ අයුරින් දෙපැත්තටම අහිතකර තීන්දු ගැනීම හොඳ නැතැයි ප්‍රකාශ වෙමින් තිබේ. මෛත්‍රි රනිල් සමඟ මේ ගැන යහපත් ලෙස කතිකා කරගෙන යම් කළ හැකි තැනකට එකඟ වී ක්‍රියාත්මක වීම යහපත් ක්‍රියාවක් වුවත් මෛත්‍රිගේ උපදේශකයන් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට නොව පෙට්රල් හලන්නට යුහුසුලු වූ බවක් පෙනෙන්නට තිබිණි.

රනිල් මුල් වූ ආර්ථික කමිටුවේ ඇතැම් තීන්දු තීරණ ප්‍රායෝගික නැතැයි මෛත්‍රි පිලේ විවේචන බොහෝ තිබිණි. එහෙත් ඒ විවේචන නැඟූ අයම එය මෛත්‍රි හා කතා කළේ, විසැඳුමක් හොයන්න සූදානම් බව පෙන්නුවේ "රනිල්ලාට කෙළවන්නම්"ය යන නියායෙනි. මෙය නරක ප්‍රතිඵල දෙන තරමට ඔඩුදුවා ගොස් ඇත.

මෙය රටට බරපතළ ලෙස සකලවිධ අංශයන් හරහාම බලපානු ලබන්නේය. ඒ නිසා රනිල් හැම පැත්තෙන්ම හිර කරනවාය කියන්නේ මෛත්‍රි මුල් වී ජනවරමක් ලබාගත් සම්මුතිවාදී ආණ්ඩුව දෙදරීමකට ලක් කිරීමක්ය. එය ආණ්ඩුවේ ප්‍රධානියා වූ ආණ්ඩුවක පදනමට යකුළු පහරක් එල්ල කිරීමක් හා සම වන්නේය. මෙහිදී මෛත්‍රිව ඒ තැනට තල්ලු කරන ශ්‍රී ලනිපයේ සැලසුම්කාරයන් යැයි කියා ගන්නා ශ්‍රී ලනිප ප්‍රබලයන් හිතාමතාම කරන දෙයක් දෝයි ජනතාව අතර වෙන කතා බහද වැදගත්ය.

"මෛත්‍රි ජනාධිපතිතුමා හැම පැත්තෙන්ම හිරවෙලා. එයාට එයා වටේ ඉන්න අයගෙ කීම අහන්නෙ නැතිව ඉන්නත් බෑ. රනිල් එක්ක හප්පන්න දරදිය අදින්නේ මේ කියන උප්පරවැට්ටිකාරයෝ. මෙහෙම ගියොත් මෛත්‍රිව තවත් එපා කරවන තැනට තමයි මේ අය ගේන්න හදන්නෙ"

මේ මෛත්‍රි ගැන දැන් හොඳට දන්නා එජාපයේ රනිල්ගේ පිලේ ප්‍රබලයකු කී කතාවය. එහෙත් මෛත්‍රි පාර්ශ්වයේ මධ්‍යස්ථ යැයි සිතාගත හැකි නායකයන්ගේ ආරංචිවලින් කියැවෙන්නේ,
මෛත්‍රි යම් තරමක පෞද්ගලීකරණය කෙරෙහි අකැමැත්තක් ඇති නිසා ලිබරල්වාදී ආර්ථික උපාය උපක්‍රම හා තීන්දු තීරණ ගැනීමට පසුබාන බවය. එය මතයක් හැටියට ඇතැම් තැන්වලදී විවේචනාත්මකව කියා පෑවේ වුවද මෛත්‍රි ආණ්ඩුව වට්ටන්න හෝ ආණ්ඩුව වට්ටවා වෙනත් අයගේ යටිකූට්ටු වැඩවලට සහාය දක්වන්නකු නොවන බවය.

"සමහරු හිතනවා මෛත්‍රිගේ ස්වභාවය අනුව එයාව උගුල්වල දාන්න පුළුවන්ය කියලා. නමුත් එයා වෙනස් විදියේ නායකයෙක්. හිතපු නැති විදියට ජනාධිපති තනතුරට පත් වුණා වුණත් එයා කෙළෙහිගුණ දන්නෙ නැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවට බාහිරින් ඉන්න අයත්, ආණ්ඩුව ඇතුළෙ මෛත්‍රිත් එක්ක ඉන්න නූල්සූත්තරකාරයො කවුද කියලත් එයා දන්නවා. එයා කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම එයාව ජනාධිපති කරන්න දක්වපු තීරණාත්මක උදව්ව අමතක කරන්නෙ නෑ. නමුත් ඇතැම් තීන්දු තීරණවලදී එයාටත් මතයක්, විවේචනයක් තියෙන නිසා යූ.එන්.පී.යේ රනිල් වගේම එයා වටා ඉන්න සමහර අයගේ යම් වරදක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්නත් පුළුවන් වෙන්න ඕන."

මෙසේ මෛත්‍රිට සැබෑවටම හිතවත්, මහින්ද හා ඒකාබද්ධයට තදබල ලෙස විරුද්ධ මෛත්‍රිගේ ප්‍රබලයන්, එජාපයේ ප්‍රබලයන් හමුවෙද්දී මේ විරසකය ගැන පැහැදිලි කරන්නේ එලෙසය.
"ඒ කියන්නෙ... ජනාධිපතිතුමා අපේ නායකතුමාට ඕනෑකමින් වෙට්ටු දාන්නෙ නෑ කියලද? එහෙම නැත්නම් ජනාධිපතිතුමත් ඉඳලා හිටලා හරි පෙණේ පුප්පන්න ඕනේ කියලා පෙන්නිල්ලක්ද?" යූ.එන්.පී.යේ හිතවතුන් මෛත්‍රිගේ පිලේ අය හමුවී විමසන්නේ එලෙසය.

පක්ෂ විපක්ෂ බොහෝ අය පිළිගන්නා හැටියට මේ ආර්ථික අර්බුදය මෙසේ වන්නට ඉඩ තිබෙනවාය යන දැක්ම මෛත්‍රි පිලේ සහ රනිල් පිලේ මේ ගැන දන්නා විෂය දැනුම ඇති පාර්ශ්වයන් කල්තියා දැන සිටියා නම්, ඒ වෙනුවෙන් ඒ දෙපාර්ශ්වය එක්වී කතා බහ කරගෙන කල් යල් බලා ඒ ආර්ථික අභියෝගය භාර ගන්නට ඔවුන්ට ඇත්තටම පෙර සූදානමක් තිබුණාද යන්න දැඩිලෙස කතාබහට ලක් වන්නේය.

මේ කිසිවක් නොදන්නා පොදු මහජනතාව පෙට්රල් මිල වැඩි කරද්දීද, බස් ගාස්තු වැඩි කරද්දීද සියලුම භාණ්ඩ වැඩි වීම්වලදීද දෙස් දෙවොල් තියන්නේ ආණ්ඩුවටය. ආණ්ඩුව යනු රනිල්ගේ ආණ්ඩුවක්ය යන්න තනිකරම කියා මෛත්‍රි පිලේ අයටත් අතසෝදා ගන්නට බැරිය. රනිල්ගේ පිලේ අයටත් මෙය ලෝක වෙළෙඳපොළේ තත්ත්වයක්ය, ඩොලරයේ අගය උච්චාවචනය වීම නිසා සිදුවූවක්ය යන්න දිගින් දිගටම කියා සිටින්නට බැරිය. එහෙත් මතු පිටට පෙනෙන්නට තිබෙන නරකම තත්ත්වය නම් මේ තත්ත්වය තේරුම් නොගෙන දෙපාර්ශ්වයම අඬදබර කරගන්නා පුවත් නම් නිතර නිතර එළිදකින්නට තිබීමය. ඒ එළිදැකීම ජනතාව දකින්නේ ආණ්ඩුවේ ඒකමිතියක් නැතිකමක් ලෙසය. එහිදී කලකිරීම රනිල්ට පමණක්ය, මෛත්‍රිට පමණක්ය කියා කාටවත් හිත හදා ගන්නට බැරිය.

රටකට දරා ගන්නට බැරි තරම් ලෝක ආර්ථික අවපාතයන් හමුවේ සිදුවූ හැම මොහොතකදීම ඊට යහපත් ලෙස, සැලසුම් සහගතව මුහුණ දුන් රටවල අත්දැකීම් ඇත. එහිදී සිදුවූයේ මොහොතකට දේශපාලන බල අරගල පසෙක තබා එම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමය. මෙහිදී එම ප්‍රශස්ත පියවර වෙත මේ දෙපාර්ශ්වයම එකහා සමාන ලෙස පිවිසීම ඉතාමත් අත්‍යවශ්‍ය මොහොතක් දැන් එළැඹ තිබෙන්නේය. බල අරගලයට වඩා ආර්ථිකය ගොඩ ගත යුතුවන අරගලය එහිදී බලවත්ය. කාටවත් එහිදී තම වගකීමෙන් බැහැරව ගොස් සිල්ලර කතා කියමින් බලය වෙනුවෙන් ගැලරියට කතා කළ නොහැකිය.

ඩොලරයේ අගය උස් පහත් වීමේ තත්ත්වයට කවුරු කවුරුත් මුල සිටම සූදානම් විය යුතුව තිබිණි. දැන් එය මුව විටට තබා රටකට දරාගන්නට බැරි තැනට පත්වී තිබෙද්දී දෙපිලේ ගෙදර ගෝරි වලංගු වන්නේ නැත. මෛත්‍රිත් රනිලුත් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මොහොතකට පසෙක තබා, මේ අර්බුදය හමුවේ අවංකව එකට එකතු විය යුතුව ඇත.

මේ ගැටුම සැබෑ ගැටුමක්ය. ඒ නිසා අපට බලය ලැබෙන්නට පාර කැපෙන්නේය යන සිහිනයේ සිටින මහින්ද හා ඒකාබද්ධයටද මේ ගැටලුව දඩමීමා කරගෙන විවේචන පමණක් කරමින් සිටින්නට බැරිය. හේතුව මේ ආර්ථික අර්බුදවල බරපතළ ලෙස වගකිවයුත්තෝ ඔවුහුම වන නිසාවෙනි.

මෛත්‍රි රනිල්ට කරගහන්න වූයේ ඒ අර්බුදයේ බරපතළම තැනදී බව මෛත්‍රිත් - රනිලුත් අමතක කර ගහමරා ගන්නට යනවා නම් එතැනදී ඒ දෙදෙනාම බරපතළ අගාධයකට එකවර වැටෙන්නේය. ඒ ජනතාවගේ ජනමතය හරහාය. මෛත්‍රිට බලය දුන්නේ යම් පරමාර්ථ රාශියක් නිසාවෙන් බව මෛත්‍රිටද අමතක කර වෙනත් වෙනත් කෙටි ක්‍රම හා වැරැදි මංමාවත් දිගේ යන්නට බැරිය. රනිල්ටද - මෛත්‍රිට පිටුපාමින් ගමනක් යන්නට බැරිය. මේ මොහොතේ මේ දෙදෙනාම සිහිනුවණින් මේ තත්ත්වය අවබෝධ කර නොගන්නේ නම් ඒ දෙදෙනාම විපතකය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon