බොරුව රජ වූ රටක ඉරණම

  👤  3678 readers have read this article !
2018-10-16

ලංකා ඉතිහාසයේ අපට සැබැවින්ම ආඩම්බර විය හැකි පරිච්ඡේද කිහිපයක් ඇත. දුටුගැමුණු රජු එළාර පරාජය කිරීම, ලංකාව පෙරදිග ධාන්‍යාගාරය යැයි නම් ලත් මහා පරාක්‍රමබාහුගේ ස්වර්ණමය පාලන සමය, මහා විජයබාහු හා වළගම්බා රජවරු චෝලයන් පරදවා රට එක්සේසත් කොට විනාශ වෙමින් පැවැති බුදු දහම යළි ස්ථාපිත කිරීම, 6 වැනි පැරකුම්බා යටතේ සිදුවූ කලා හා සංස්කෘතික පුනරුදය ඒ අතර වේ.

ඉන් පසු මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන්ට යළිත් ජාතිවාත්සල්‍යය ඇති කළ සුවිශේෂී සිදුවීම වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුද වැදුණු, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් කිසි දිනෙක පරාජය නොකළ හැකි යැයි බටහිර උපදේශකයන් කී, ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සහමුලින්ම පරාජය කොට රට මුදා ගැනීමයි.

ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්‍ෂ දක්වා සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්ත ක්‍රියාවන්ට මුහුණදුන් අතර 2006 වසරේදී මහින්ද රාජපක්‍ෂ ත්‍රස්තවාදය අවසන් කරන්නේ යුද්ධයෙන්මය යන දැඩි තීරණයට එළඹෙන තුරු ඔහුටත් ඔහුට පෙර සිටි සෑම රාජ්‍ය නායකයකුටමත් ලංකාවේ ත්‍රස්තවාදය විසඳීමට බාධා කළේ විදේශ බලවේගයන්ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ කුරිරුකම් අත්දකිමින් සිටි අපට මහ බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් දිගින් දිගටම අවවාද කළේ ඉවසීමෙන් කටයුතු කොට ත්‍රස්තවාදීන් හා සාකච්ඡාවෙන් ප්‍රශ්න විස¼දා ගන්නා ලෙස කියාය.

වෙනෙකක් තබා ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධයේ අතිශය තීරණාත්මක අවස්ථාවක් වූ 2009 අප්‍රේල් මස බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ්ව ප්‍රංශයේ විදේශ ඇමැති බර්නාර්ඩ් කුෂ්නර් ද සමඟ ලංකාවට එව්වේ කෙසේ හෝ ශ්‍රී ලංකාවට බලපෑම් කොට මුලතිව්වල කොටුවී සිටි ත්‍රස්ත නායක ප්‍රභාකරන් ගලවාගෙන බෙදුම්වාදයට තවත් අවස්ථාවක් ලබා දෙන්නට බව අපට අමතක කළ නොහැකිය.

වාසනාවකට මෙන් එදා ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ කොන්ද පණ ඇති මිනිසෙක් නිසා හිස් අතින්ම ආපසු යන්නට ඩේවිඩ් මිලිබෑන්ඩ්ට හා බර්නාර්ඩ් කුෂ්නර්ට සිදු වූහ.

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය එදා ගත් මෙම කාලෝචිත තීරණය බටහිර බලවේග ඉවසුවේ නැත. ඔවුන් එය සැලකුවේ තම අභිමතයට එරෙහිව කුඩා රටක් විසින් කළ අභියෝගයක් ලෙසය. 2009 සිට මහින්ද රාජපක්‍ෂ 2015 බලයෙන් ඉවත්වන තුරු දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට අරියාදු කළේ එබැවිනි. ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් අවසන් කළ රණවිරුවන් වරදකරුවන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ කිරීමට යෝජනා පිට යෝජනා ගෙන එන ලද අතර අලුතින් පත්වූ යහපාලන ආණ්ඩුව මේ යෝජනාවලට සම අනුග්‍රහය දක්වන තරම් නින්දිත තත්ත්වයකට අප රට පත් කරන ලදී.

අද ලංකාවේ බොහෝ දෙනකුට අතීතය මතක නැත. ත්‍රස්තවාදයෙන් සාමාන්‍ය ජන ජීවිතය මොන තරම් අවුල්ව ජනතාව කෙතරම් බියෙන් දිවි ගෙව්වාද යන්න ඔවුන්ට මතක් කරදීම සඳහා ත්‍රස්තවාදය අපේ ‍ෙදාරකඩටම පැමිණි අවස්ථා කිහිපයක් පමණක් පහත දක්වා ඇත.

1985 මැයි 14දා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් විසින් ශ්‍රී මහා බෝධිය අබියසදී සාමාන්‍ය වැසියන් 120ක් මරා දමා 85 දෙනකුට තුවාල කරන ලදී.

1987 අප්‍රේල් 17දා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කරන ලදී.

1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පළේ පිපිර වූ බෝම්බයකින් 106 දෙනකු මියගොස් 295 දෙනකුට තුවාල සිදුවිය.

1987 ඔක්තෝබර් 6දා මඩකළපුව තැපැල් දුම්රියට ගිනි තැබීමෙන් 40 දෙනකු මියගොස් 24 දෙනෙක් තුවාල ලැබූහ.

1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බෝම්බයක් පුපුරා 23 දෙනකු මියගිය අතර 106 දෙනකුට තුවාල සිදුවිය.

1989 අප්‍රේල් 13දා ත්‍රිකුණාමල නගරයේ කාරයක තිබූ බෝම්බයකින් 51 දෙනකු මියගොස් 43කට තුවාල සිදුවිය.

1990 අගෝස්තු 3දා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් විසින් මඩකළපුවේ කාත්තන්කුඩිවල පල්ලියකට පහරදී 147 දෙනකු මරාදමන ලද අතර 70 දෙනකුට තුවාල සිදුවිය.

1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34 දෙනකු මරාදමා තිබිණි.

1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුළ බෝම්බ පිපිරීමකින් 28 දෙනකු මියගොස් 36 දෙනකුට තුවාල සිදුවිය.

1994 ඔක්තෝබර් 24දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් තොටළඟදී 54 දෙනකු මරාදමන ලද අතර 72කට තුවාල සිදුවිය.

1995 අගෝස්තු 7දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23 දෙනකුට මරු කැඳවන ලද අතර 40 දෙනකුට තුවාල සිදුවිය.

1996 ජනවාරි 31දා මහ බැංකුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 80 දෙනකු මියගොස් 1200ක් තුවාල ලැබූහ.

1996 ජූලි 24දා දෙහිවල දුම්රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57 දෙනකු මියගොස් 356ක් තුවාල ලැබූහ.

1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බෝම්බයක් නිසාය.

1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්තවාදීන් විසින් බිම හෙළීම නිසා සාමාන්‍ය වැසියන් 54 දෙනකු මරණයට පත්විය.

1999 දෙසැම්බර් 18දා ටවුන්හෝල්හිදී ඡන්ද රැස්වීමකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනකු මියගොස් 106 දෙනකුට තුවාල සිදුවිය.

2000 ජුනි 7දා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු විසින් රත්මලානේදී 24 දෙනකු මරාදමන ලද අතර 60 දෙනකුට තුවාල සිදුවිය.

2000 නොවැම්බර් 28දා අනුරාධපුරයේදී පුපුරා ගිය ක්ලේමෝ බෝම්බයක් නිසා 16 දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලැබීය.

2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බෝම්බ දෙකක් පුපුරා 64 දෙනකු මියගොස් 87 දෙනකුට තුවාල සිදුවිය.

2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මියගිය අතර 65 දෙනකුට තුවාල සිදුවිය.

2008 ජුනි 6දා කටුබැද්දේදී බසයක් තුළ බෝම්බයක් පුපුරා 23 දෙනකු මියගිය අතර 28 දෙනෙක් තුවාල ලදහ.

2008 ඔක්තෝබර් 6දා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් අනුරාධපුර ඡන්ද රැස්වීමකට සහභාගි වී සිටි 27 දෙනකු මරාදමා 84 දෙනකුට තුවාල සිදුකරන ලදී.

මෙහි සඳහන් නොවූ එවැනි තවත් ත්‍රස්ත ක්‍රියා සිය ගණනක් එකල සිදුවූ අතර එවැනි යම් අනතුරක් රටේ කොහේ හෝ ප්‍රදේශයකින් වාර්තා නොවූ මාසයක් මෙම යුගය තුළ නැති තරම්ය.

වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් බටහිර රටවලින් ඉටුකරන ලද බව රහසක් නොවේ. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම එය තමන්ගේ දායකත්වයෙන් වූවක් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර නව රජයට සුබ පැතුම් එවන්නටත් අවවාද කරන්නටත් බටහිර රටවල් දිව ආවේ එක පොදියටය. ඔවුන් මේ උපකාරය කළේ නිකමට නොවන බවත් බලය ලබා දීම සඳහා කළ උදව්වට වන්දි ගෙවිය යුතු බවත් තේරුම් ගන්නට එදා පටන් ඊනියා මානව හිමිකම් කොමිසම හමුවේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හොඳටම ප්‍රමාණවත්ය.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවක්, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව විසින් අගය කරමින් පිළිගෙන එයට සම අනුග්‍රහයද දක්වන ලද්දේ මේ අනුවය.

2015 ජනවාරි මස ආණ්ඩුව වෙනස් වූ වහාම නව විදේශ ඇමැතිවරයා ලහිලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට අස්සන් කළේය. කගේ වුවමනාවට කළත් මෙය අනාගතයේ ලංකාවට විශාල හානි ගෙන දෙන පියවරක් විය.

මීළඟ පියවර වූයේ 'අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත' ලංකාව තුළ සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්‍ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුළම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත.

තුන් වැනි පියවර නම් 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය සම්බන්ධයෙන් වූ පනතයි'. එම පනතේ මූලික අරමුණ වන්නේ 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය' ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමයි. මේ පනත සම්මත කළ විට සමස්ත ක්‍රියාවලියම සම්පූර්ණය. ඊළඟට තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ සිතැඟි පරිදි රණවිරු දඩයම ආරම්භ කිරීමටය. දෙමළ ඩයස්පෝරාව දිගින් දිගටම ජිනීවාවල ඉල්ලන්නේ අපේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන ලෙසය.

මේ දිනවල පාර්ලිමේන්තුවේ වාද කරමින් පවතින 'වන්දි ගෙවීමේ කාර්යාලයක් පිහිටුවීමේ පනත' පවා ජිනීවාවල වූ පොරොන්දුවකි. මේ කාර්යාලය ගැනද විශාල ගැටලුවක් ඇත. වන්දි ගෙවන්නට සූදානම් වන්නේ කාටද?

එදා රට වෙනුවෙන් සටන් කළ රණවිරුවාත් අහස පොළොව නුහුලන අපරාධ කරමින් ලංකාවේ අහිසංක ජනතාව මරා දැමූ ත්‍රස්තවාදීනුත් එකසේ සලකන මේ ක්‍රියාවලියට ජනතාවට එකඟ විය හැකිද? දැනට දින කිහිපයකට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්‍ෂක උපදේශකවරයකු වන ජෝන් බෝල්ටන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 'තමන්ගේ රටේ රණවිරුවන් ගැන ප්‍රශ්න කරන්නට ආවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර අධිකරණවලට හොඳ පාඩමක් උගන්වන බවත් එම අධිකරණ පවත්වාගෙන යෑමට මුදල් ආධාර දීම නවතා දමන බවත් ඒවායේ විනිසුරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරන බවත් යම් විනිසුරුවරයකුගේ වත්කම් ඇමෙරිකාවේ ඇත්නම් ඒවා රාජසන්තක කරන බවත්' ය.

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණ පිළිනොගන්නා බව පවසා සිටි ඔහු පෙන්වා දුන්නේ' 'තමන් ක්‍රියා කරන්නේ ඇමෙරිකාවේ නීතිය අනුව බවත්, තම රටේ ව්‍යවස්ථාවට උඩින් එන කිසිදු උපදෙසක් භාර ගැනීමට ඇමෙරිකාව සූදානම් නැති බවය.' ජාතික අභිමානයක් හා ආත්ම ගරුත්වයක් ඇති රටවල එහෙම වුණාට ජාතික අභිමානය හා ආත්ම ගරුත්වය අඩු රටවල තත්ත්වය මෙහෙමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon