ලන්ඩන් නුවරදී ඩයස්පෝරාව අගමැතිව වටලයි

  👤  4140 readers have read this article !
2018-10-14

ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව උණුසුම් කළ හැටි

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයන් පත් කිරීමට සිදුවූ ප්‍රමාදය ගැන ගතවූ සතියේ විවිධ අදහස් මතුවෙමින් තිබිණි. විපක්‍ෂය චෝදනා කළේ ආණ්ඩුව හිතාමතාම මෙහි සාමාජිකයන් පත්කිරීම ප්‍රමාද කරන බවයි. කෙසේ හෝ බ්‍රහස්පතින්දා වන විට ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්කරන සියලු සාමාජිකයන් පත්කර අවසන් කර තිබිණි.

අගමැතිවරයාගේ සහ විපක්‍ෂ නායකවරයාගේ කැමැත්තෙන් පත්කරන විපක්‍ෂ සාමාජිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ පත් කිරීමද විශේෂත්වයකි. ඊට අමතරව අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාල පත්කිරීමේදී යම් බලපෑමක් සිදුවීමට හැකි බවට විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් බ්‍රහස්පතින්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් පත් කරන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙලෙස සිය විරෝධය පළ කළ අතර පොලිස්පති ඇතුළු ඉහළ නිලධාරීන් ව්‍යවස්ථාදායක සභාව පත් කළද ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට නොහැකි වීම ගැනද ප්‍රශ්න කළේය.

"ව්‍යවස්ථාදායක සභාවේ රීති පිළිබඳ අපි කවුරුත් දන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පලුදු වී ඇති බවට පුවත්පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්ථාදායක සභාව මඟින් මෙතෙක් කළ පත් කිරීම් වැරැදි බව තොරතුරු හෙළි වෙනවා. ව්‍යවස්ථාදායක සභාව පත් කරන කොමිෂන් සභා දෙන නියෝග ව්‍යවස්ථාදායක සභාවම පත් කරන ඉහළ නිලධාරීන් පිළිගන්නේ නැහැ. පොලිස් කොමිසම දෙන නියෝග පොලිස්පති පිළිගන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාව දෙන නියෝග පොලිස්පති පිළිගන්නේ නැහැ. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන නිර්ණායකද යොදා ගන්නේ" දිනේෂ් ගුණවර්ධන කීවේය.

"දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ කිසිම විරුද්ධත්වයක් දැක්වූවේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිට ඕනෑ විදියට විනිසුරුවරු, පොලිස්පති, හමුදාපතිවරු පත් කළා. අද ජනාධිපති එවන නම වුණත් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ තරමට අපි ස්වාධීන ආයතන ඇති කළා." කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

"19 වැනි සංශෝධනය සම්මත කරන කොට ආණ්ඩුවෙ හිටියේ 42ක් පමණයි. නමුත් එදා ඔය කතා කිව්වේ නැහැ." සුසිල් කීවේය. "මෙයාලා මේක කරන්න දෙන්නේ නැති නම් අපි ඡන්දයකට යමු." කිරිඇල්ල තරමක් කේන්තියෙන් කීවේය.

"ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනෙ. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ගැන අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව මේ ගැන දන්නේ නැහැ." වාසු පැහැදිලි කළේය. "එහි කටයුතු ගැන පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ස්වාධීන කොමිෂන් සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා." කථානායකවරයා කීවේය. "අපි අහන්නේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන රීතීන් මොනවාද කියලායි. ඒවා අපි දැන ගන්න ඕනේ. මෙතන වෙන්නේ මොනවාද කියලා පාර්ලිමේන්තුව දන්නේ නැහැ.

අධිකරණ ඇමැතිතුමිය මේකට පත් කළාම යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපිට එතුමිය එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ." දයාසිරි කීවේය.

"නෑ, නෑ, එහෙම බලපෑමක් නෑ." කලින් අධිකරණ ඇමැති විදියට හිටපු විජයදාස රාජපක්ෂ ඇමැතිතුමත් මේකේ හිටියා." කථානායකවරයා කීවේය.
මේ අවස්ථාවේ තලතා අතුකෝරල ඇමැතිවරියද සභාවේ සිටි අතර ඇය මෙම වාදයට මැදි නොවීමද කැපීපෙනිණි.

මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ පළමු හමුව සිකුරාදා පෙරවරුවේ පැවැත්වුණු අතර එහි පළමු කාර්යවූයේ නව අගවිනිසුරුවරයා පත්කිරීම ගැන තීන්දුවක් ගැනීමය.

ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය. නව අගවිනිසුරුවරයා සඳුදා සිය ධුරයේ දිවුරුම්දීමට නියමිතය.

එහෙත් මීට පෙර අගවිනිසුරු තනතුර සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරියකගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨතම නිලධාරියකුගේ නම් දෙකක් මේ සඳහා යෝජනා වී තිබිණි. ඔවුන් දෙදෙනා අතරින් විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව සිතුවේ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරිය එම තනතුරට පත්වනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශ්ව විශ්වාස කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨතම නිලධාරියකු ඒ සඳහා පත්කර ගැනීම සුදුසු බවය.
අවසානයේ සිදුවූයේ ජනාධිපති විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමය.

මෛත්‍රිගේ සීෂෙල්ස් ගමන

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය ඉරිදා රාත්‍රියේ සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය. මේ අවස්ථාවට ඇමැති ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ගේ‍ර්රු සහ මන්ත්‍රි දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක්ද එක්වූහ. සඳුදා අලුයම 5.30ට පමණ ජනාධිපති ඇතුළු මෙරට දූත පිරිස සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූහ. එරට ජේ‍යෂ්ඨ කැබිනට් ඇමැතිවරියක ඇතුළු නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

පිළිගැනීම් අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා නවාතැන් ගැනීම සඳහා ගියේ 'සැවෝයි' හෝටලය වෙතය.

එදින පස්වරු 1.00ට සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ විසින් ජනපති මෛත්‍රි ඇතුළු පිරිස එරට රාජ්‍ය මන්දිරයේදී පිළිගනු ලැබීය.

එම රාජ්‍යයේ කෝට් පැලඳීම මේ වන විට සිදු නොවන අතර අත් දිග ෂර්ටය සහ ටයි පටය පමණක් පැලඳීම සිරිත වී තිබේ. ඩැනී ෆෝ ජනාධිපතිවරයා සැරසී සිටියේද එම ඇඳුමෙනි. එසේ නොමැති නම් මෙරට ජාතික ඇඳුමින් සැරසී සිටීමට එහි ගිය මැති ඇමැතිවරුන්ට සිදුවිය.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ජාතික ඇඳුමක් රැගෙන ගොස් තිබූ අතර ඔහු ඉන් සැරසී සිටියේය. ලක්‍ෂ්මන් සෙනවිරත්න ඇමැතිවරයා ජාතික ඇඳුමක් රැගෙන ගොස් තිබුණේ නැත. එම නිසා ඔහු ෂර්ටය සහ ටයි පටයකින් සැරසී සිටීමද විශේෂයකි.

එරට නියෝජිතයන් සහ මෛත්‍රි ඇතුළු දූත පිරිස ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයේද එරට රාජ්‍ය මන්දිරයේදීය. එහිදී සීෂෙල්ස් ජනාධිපතිවරයා මෛත්‍රිගෙන් උපකාරයක් ඉල්ලුවේය.

'අපේ වෙරළ සංරක්‍ෂණයට ඔබේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන යාත්‍රාවක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්' ඩැනී ෆෝ කීවේය.
'ඒක ගැටලුවක් නෑ අපි යාත්‍රා දෙකක්ම දෙන්නම්' මෛත්‍රි කීවේය.

ඉන් අනතුරුව සීෂෙල්ස් රාජ්‍යයේ දරුවන් දස දෙනකුට වාර්ෂිකව ජර්මන් ටෙක් ආයතනයේ ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන ලෙසද ඩැනී ෆෝ ඉල්ලීමක් කළේය. ඒ සඳහාද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළේය.


ධීවර ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාර කිරීමට ඩැනී ෆෝ ජනාධිපතිවරයා පොරොන්දු විය.

'මෙච්චර කල් ලංකාව අපට දැනුණේ අපේ මිතුරෙක් විදියට. නමුත් මින් ඉදිරියට ලංකාව අපට දැනෙන්නේ මිතුරෙක් විදියට පමණක් නොවේ අපේ ළඟම සහෝදරයෙක් හැටියට' සීෂෙල්ස් ජනාධිපතිවරයා කීවේය.
සඳුදා රාත්‍රියේ රාජ්‍ය මන්දිරයේදී මෙරට දූත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජනයක්ද සූදානම් කර තිබිණි.

අඟහරුවාදා පෙරවරුවේම මෛත්‍රි එරට ජාතික උද්භිද උද්‍යානයට ගියේය. පැමිණීම සනිටුහන් කරමින් එහි පැළයක් රෝපණය කිරීමද මෛත්‍රි අතින් සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස සීප්ලේන් එකකින් ප්‍රාලේන් දූපතට ගියේ ලෝක උරුම ස්වාභාවික රක්‍ෂිතය නැරැඹීමටය.

එදින දහවල් එම දූපතේ පිහිටි හෝටලයකදී එරට උප ජනාධිපති වින්සන් මෙරිටන් විසින් මෛත්‍රි ඇතුළු පිරිසට දිවා භෝජනයක් සූදානම් කර තිබිණි.
එම සංචාරයේදී දෙරටේ ආර්ථික ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමද සිදුවිය.

ඉන්දීය සාගර සමුළුව

ඉන්දියානු සාගර සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි. ඉන්දීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය භාවිත කරන රටවලට පොදු වූ අභිලාෂයන් සහ ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

මෙම සමුළුව සඳහා විපක්ෂ නායක ආර්. සම්පන්දන්, කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඊට එක්ව සිටියහ.

මෙම උත්සවය සඳහා පැමිණි ජනාධිපතිවරයාටද ප්‍රධාන වේදිකාවේ අසුන් පනවා තිබූ අතර ඔහු එහි අසුන් නොගෙන ඊට පහළින් තිබූ වට මේසයක අසුන් ගත්තේය. විපක්ෂ නායකවරයා සහ කථානායකවරයාද එහි අසුන් ගෙන තිබිණි.

'සර්.. උඩට යමුද?' උත්සව සංවිධායකයකු මෛත්‍රිට කීවේය.

'නෑ මම මෙහෙම ඉන්නම්. මොකද මට තව ටික වේලාවකින් තවත් උත්සවයකට යන්න තියෙනවා' මෛත්‍රි කීවේය.

අනතුරුව මඳ වේලාවක් එහි සිටි ජනාධිපතිවරයා අගමැතිවරයා සමුළුව ඇමැතීමට පටන්ගෙන මිනිත්තු කිහිපයක් ගතවෙද්දී අරලියගහ මන්දිරයෙන් පිටව ගියේය.

ඒකාබද්ධයේ සිහින දකින පිරිසක් ගැන විජයදාසගෙන් ඉඟියක්

අගමැතිවරයා දින 08ක නෝර්වේ හා එංගලන්ත නිල සංචාරයකින් පසු බදාදා ලංකාවට පැමිණියේය. එම සංචාරයේදී අගමැතිවරයා ඇතුළු මෙරට දූත පිරිසට ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී අකරතැබ්බකට මුහුණදීමට සිදුවිය. එම විශ්වවිද්‍යාලයේ දේශනයකට අගමැතිවරයා පැමිණෙන විට දෙමළ ඩයස් පෝරාවේ පිරිසක් විශ්වවිද්‍යාල ‍ෙදාරටුව අබියස විරෝධතාවක නිරත වූහ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් අගමැතිවරයාට චෝදනා කළහ.

මේ නිසා එහිදී අගමැතිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කළහ. දේශනය අවසන් වී විශේෂ ආරක්ෂාවක් යටතේ අගමැතිවරයාව විශ්වවිද්‍යාල භූමියෙන් ඉවතට රැගෙන යෑමට සිදුව තිබේ.
අනතුරුව මෙරටින් ගිය මාධ්‍යවේදීන්ටද දෙමළ ඩයස් පෝරාවේ විරෝධතාකරුවන් විරෝධය දැක්වූහ. ඒ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් වහා පැමිණ මාධ්‍යවේදී පිරිස එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට රැගෙන ගියහ. විනාඩි 45 කාලයක් මෙම විරෝධය නිසා මාධ්‍යවේදී පිරිසට පුස්තකාලයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රැඳීමට සිදුවිය.

අනතුරුව විශ්වවිද්‍යාල භූමියේ වෙනත් ‍ෙදාරටුවකින් ආරක්ෂක අංශ මැදිහත් වී මාධ්‍යවේදී පිරිස එළියට ගෙන ඔවුන් රැඳී සිටි හෝටලය වෙත කැඳවාගෙන ඒමද විශේෂත්වයකි. අගමැතිවරයා පැය 12ක ගුවන් ගමනක් නිම කොට තරමක් විඩාවට පත්ව සිටියද නිවෙසට පැමිණි වහාම පාර්ලිමේන්තුවට ගියේ ව්‍යවස්ථා සභාවට අදාළ සාමාජිකයන් පත් කිරීමේ සාකච්ඡාවටය. අනතුරුව සභා ගැබට ගිය විට ජ.වි.‍ෙ.ප. නායකයා තෙල් මිල සූත්‍රය ගැන විමසූ පැනයකටද අගමැතිවරයා උත්තර දුන්නේය.

'ලෝකයේ තෙල් මිල තාම ඉහළ යනවා. ඩොලරය නඟිනවා. ඒක අපේ වැරැද්දක් නිසා වෙන දෙයක් නෙවෙයි නොවැම්බර්වල ඉරාන තෙල් හිරවීමකට එනවා. එවිට ඒ අඩුව පුරවන්නේ කවුද? ඒ නිසා වෙන්නේ මොනවද කියලා අපි වගේම ලෝකයම බලාගෙන ඉන්නවා. තෙල් මිල සූත්‍රය අනුවද ඉන්දියාවේ මිල දිනපතා වෙනස් වෙනවා. ඒ තාක්‍ෂණය තාම අපට නෑ. මාසෙට වරක් සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ ඒකයි.

සූත්‍රය තිබුණත් නැතත් තෙල් මිල වැඩි වෙනවා. සූත්‍රය තිබුණත් නැතත් ලංකාව හා හැම රටක්ම තෙල්වලට බදු අය කරනවා. තෙල් මිල අඩු වුණාම අපි ජනතාවට ඒ සහනය දෙනවා. ගිය රජය කාලේ තෙල් බැරලය ඩොලර් 40ට අඩු වුණත් ජනතාවට සහාය දුන්නේ නෑ' අගමැතිවරයා කීය.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ ඉන්දීය සාගර සමුළුවට එක් වීමටය. ජනපති මෛත්‍රිද ඊට එක් වීමට නියමිතව තිබූ නිසා ඔහු පැමිණෙන තෙක් පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟ කතාබහ කිරීමට අගමැතිවරයා පියවර ගත්තේය.

'නෝර්වේ එංගලන්ත සංචාරය කොහොමද? ජනාධිපති, අගමැතියි දෙන්නම එක වෙලාවට රටේ නොහිටපු එක ගැන මිනිස්සු එච්චර කැමැති නෑ වගෙයි' සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
'ඉතා හදිසියෙන් එහෙම දෙයක් වෙන්නේ. මම රට ගියාම ජනාධිපතිතුමාටත් හදිසි සංචාරයක් යන්න වුණා. අගමැති කීවේය.

'ජනාධිපතිතුමයි පොහොට්ටුවේ අයයි රහස් කතා කරලා අගමැති මාරු කරලා භාරකාර ආණ්ඩු හදලා මොකක්ද මේ කරන්න හදනවා කියන්නේ. ජනමාධ්‍ය මේක තවත් රස කරලා දුන්න නිසා මිනිස්සු වෙන්නේ මොකක්ද අහනවා' චමින්ද විජේසිරි ඇසුවේ කුතුහලයෙනි.

'මේ ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න ක්‍රමයක් නෑ. ආණ්ඩුවක් විසිරෙව්වම තමයි භාරකාර ආණ්ඩුවක් හදන්න පුළුවන්. විපක්ෂය කියන විකාර ජනමාධ්‍ය රටට දෙන්නේ වගකීමක් නැතිවයි. පොහොට්ටුවේ සමහරු මේ දවස්වල රෑට නිදා ගන්නේ උදේ නැඟිටින කොට මහින්ද අගමැති වෙලා අලුත් ආණ්ඩුවක් හැදිලා ඇති කියලා සිහින දකිමිනුයි. ඒ මිනිස්සු පවු එක අතකට' විජයදාස රාජපක්‍ෂ කීවේ සිනා මැදය.


'මගේ විදේශ සංචාරය ඉතා සාර්ථකයි. නෝර්වේ එක්ක ඇති අපේ දේශපාලන හා ආර්ථික සබඳතා තවත් වැඩි කරගන්න හා ඉන්දීය කලාපයේ එකට වැඩ කිරීම ගැන අපි තීන්දු කිහිපයකට ආවා. ගෝලීය සංවර්ධනය විධිමත් කරන ගමන් දෙරටේ පෞද්ගලික අංශවල එකතුවෙන් ලංකාවට නෝර්වේ ආයෝජන ගේන්න කතා කරගත්තා' අගමැති කීවේය.

'එංගලන්ත කොටස් වෙළෙඳපොළ තනිකරම දුවන්නේ ලංකාවේ අය වීම ලොකු දෙයක්. ලෝකයේ සියලු ප්‍රධාන කොටස් වෙළෙඳපොළේ ඉන්නේ අපේ අයයි' නවීන් දිසානායක කීය.

'නවීන් හරි. ඒ තත්ත්වය තව වර්ධනය කර ගැනීම අපි කරන්න ඕනෑ. මම එංගලන්තේ ගියේ වැඩ දෙකකට. ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ උත්සවයකට මට ආරාධනා ලැබුණා. එයාලගේ තාක්‍ෂණය වැදගත් ඊළඟට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ලලිත් ඇතුලත්මුදලිලාත් හිටපු 'විවාද සමාජය' මට ආසියාව ගැන දේශනයකට ආරාධනා කරලා තිබුණා' අගමැතිවරයා පැහැදිලි කළේය.

'නීතිපති ඒකේ ඉහළම නිලධාරියෙක් හා තවත් හතර දෙනෙක් චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවලා නඩුවක තොරතුරු හා ලිපි ලේඛන ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය හැම ජනමාධ්‍යයකම ගියා. නිලධාරීන්ට ඒ කරපු වැඩේ ඉතා වැරැදි බවට ජනමතයක් පවා දැන් ඇතිවී තිබෙනවා. නීතිපති එකේ නිලධාරීන් මීට පසු ඒ වගේ වැරැදි නොකරන්න මේ සිද්ධිය හොඳ පූර්වාදර්ශයක් වේවි' ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.

'එතකොට ඒ නීතිඥයා ඒ සිද්ධිය ගැන පොලිස්පති, නීතිපති, අග්‍රවිනිශ්චකාරවරයා සහ අදාළ ඇමැතිවරුන්ට කරපු පැමිණිලි විභාග වෙන්නේ නැද්ද' චමින්ද විජේසිරි ප්‍රශ්න කළේය.

'පැමිණිල්ල අනිවාර්යයෙන් අදාළ සියලු පාර්ශ්ව විසින් විභාග කළ යුතුව තිබෙනවා. නීතිපති දැනටම සිද්ධිය ගැන නිරීක්‍ෂණ වාර්තාවක් කැඳවලා කියලත් ආරංචියි' අගමැතිවරයා කීවේය.

'නඩුවක තොරතුරු හා ලිපි ලේඛන ඉල්ලන්න පුළුවන් අධිකරණයට විතරයි. ඒකටත් දැඩි සීමා තිබෙනවා. නීතිපති ඒකේ නිලධාරීන් ඒ තත්ත්වය අමතක කරලා මීට පස්සේ වැඩ කරන එකක් නෑ' ප්‍රවීණ නීතිඥයන් වන විජයදාස රාජපක්‍ෂ මේන්ම අජිත් පෙරේරා කීවේද එකම කතාවකි.

'ජනාධිපතිතුමයි පොහොට්ටුවයි එකතු වෙලා කරන්න හදන්නේ මොකක්ද?' චමින්ද විජේසිරි යළිත් විමසීය.

'චමින්ද මන්ත්‍රිතුමා ළඟදී පත්තරේකට කරටි කැඩෙන කතාවක් කියලා තිබුණා. ආප්ප කාලා පැනලා තමන්ගේ පක්‍ෂය පරද්දපු හා තමන් රටේ නායකත්වයට ගෙනාපු පක්‍ෂයටත් කොකා පෙන්නන කෙනෙක් එක්ක පොහොට්ටුවේ අය ලැජ්ජා නැතිව එකතු වෙනවා නම් ඒක අටවැනි පුදුමය බවයි ඒකේ කියලා තිබුණේ' එ.ජා.ප. නීති නිලධාරියෙක් කී විට සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්තේය.

'මහා පරිමාණ මූල්‍ය වංචා ගැන හොයන ජනාධිපති කොමිසම පත්කරලා ඒ වාර්තාව අනුව නඩු දාන්න ජනාධිපතිතුමා යෝජනා කළා. පවතින නීතිය අනුව නඩු දාන්න බැහැ. අලුතින් සංශෝධන පනත නීතිපති එකේ පරක්කු වුණා. එයාලා රවි පස්සේ දිව්වා මිසක් මේක බැලුවේ නෑ කියලා ආරංචියි. මම සිකුරාදා පනත පාර්ලිමේන්තුවට දානවා. එතකොට යම් ජනාධිපති කොමිසමක විභාග වෙන සාක්කි යළි සාක්කි විමසීමකින් තොරව අල්ලස් කොමිසමටත් ගන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ පනත පරක්කු වීම ගැන හිත් අමනාපයෙන් හිටිය බව පේනවා. ආණ්ඩු පෙරළන කතා ආවෙත් ඒ එක්කමයි' ලක්‍ෂමන් කිරිඇල්ල පැහැදිලි කළේය.

'ජනාධිපතිතුමා අල්ලගෙන පොහොට්ටුව එක එක ගේම් ගහන්න උත්සාහ කරාවි. එතුමා මේවට යට වේවි කියලා මම හිතන්නේ නෑ' දයා ගමගේ කීවේ එවැන්නකි.

'පොහොට්ටුවයි, ශ්‍රී ල.නි.ප. ප්‍රබලයෝයි හමුවූ වෙලාවේ එක එක්කෙනා එතැනදී එක එක කතා කිව්වට රාජපක්‍ෂලාගේ මතය නම් කොහොම ගණන් හැදුවත් මන්ත්‍රිවරු 90 පන්නන්න අමාරු නිසා ආණ්ඩුව පෙරළන්නේ කොහොමද කියලා අහලලු' රන්ජන් රාමනායක කීවේ තමාට ලැබුණු තොරතුරකට අනුවය.

'ගෝඨාභයගේ කැම්පේන් එක වැටීමයි ජනබල මෙහෙයුම අසාර්ථක වීමයි නිසා මහින්ද බැසිල් ලංකාවට ගෙන්නලා කියලත් ආරංචියි' නවීන් දිසානායක කීය.

'රවිටයි දයාසිරිටයි ඇමැතිකම් දෙන්න යනවලු නේද රවි ළඟදී අර නඩුවකින් නිදහස් වුණා. මේ ආණ්ඩුව හදන්න රවිලා අපි කොච්චර කැප වුණාද? ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.

'දයාසිරිට ඇමැතිකම දෙන්න ප්‍රධාන පක්‍ෂ දෙකේම ලොකු එකඟත්වයක් නැති බව පේනවා. රවීට දැන් ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රී ල.නි.ප. පැත්තෙන් විතරයි. ඒක ඉක්මනින් විසඳේවි කියලා ආරංචියි' වජිර අබේවර්ධන කීවේය.


'කොළඹ කුණු ප්‍රශ්නය ගැන රෝසියි ඉඩම් ගොඩ කිරීමේ සභාපතියි එළියේ විකාර කියෙව්වා. ඒ දෙන්නම පණ්ඩිතයි. ඇතුළේ ප්‍රශ්න බේරගන්න මේ මිනිස්සුන්ට මොළයක් නැද්ද?' අගමැතිවරයා කීවේ මඳක් ආවේගයෙනි.

වන්නිල ඇත්තන් මහින්දගෙන් සහ මෛත්‍රිගෙන්
කළ ඉල්ලීම

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රිනි සන්ධ්‍යා සිරිවර්ධනගේ සහ මීරිගම ශ්‍රී ලනිප සංවිධායක සංජය සිරිවර්ධනගේ දියණිය වන නිලුෂා සිරිවර්ධනගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේ කුරන මීගමුව ග්‍රෑන්ඩිසා හෝටලයේදී පැවැත්විණි. ඇයගේ අත ගත්තේ මනෝජ් ප්‍රියංකරයි. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

පාර්ලිමේන්තු මන්ත්‍රි වන නිමල් ලන්සා, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක්ද වැදිනායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝද මේ අවස්ථාවට එක්ව සිටියහ. වන්නිල ඇත්තන්, මෛත්‍රි සහ මහින්ද අසුන් ගෙන සිටියේ එකම මේසයකය.

'දැන් හොඳයි ඔබතුමාලා දෙන්නට එක්කාසු වෙන්න' වන්නිල ඇත්තන් මහින්ද සහ මෛත්‍රි දෙස බලමින් කීවේය. ඔවුන් දෙදෙනාද සිනාසුණා මිස ඊට කිසිවක් නොකීමද විශේෂත්වයකි.

'සරණත් ඇවිල්ලා' මහින්ද මෛත්‍රිට සරණ පෙන්වමින් කීවේය.

'ආ... කොහොමද සරණ. හුඟ කාලෙකින් දැක්කෙ?' මෛත්‍රි කීවේය.

'වැඩිපුර ඉන්නෙ හිරේනෙ සර්.. ඒකයි පේන්න නැත්තේ.' සරණද ඇඟටපතට නොදැනී කීවේය.

'ඕව... ඔහොම තමයි ගනන් ගන්න එපා' මෛත්‍රි කීවේය.

'සර්.. දන්නවද සරණ ඒ කාලේ කිව්ව කතාවක්. ඒ දවස්වල සරණ අපේ ගම්පහ ගෙදර එනව යනවා. 2001දී චන්ද්‍රිකා මැතිනිය සරණව මීරිගම සංවිධායක කළා. සරණ දවසක් අපේ ගෙදර ඇවිල්ලා මට කිව්වා.

මහලේකම්තුමා, බලන්නකෝ මැඩම් මට මීරිගම දුන්නනෙ කියලා. මම කිව්වා ඉතින් හොඳයිනෙ ඔයාට පාර්ලිමේන්තු එන්න පුළුවන් අල්ලපු ආසනවලත් ඡන්ද ටික එකතුකරගෙන කියලා. එතකොට සරණ මට කියනවා. නෑ සර්.. මේ ආසනයට වැඩිපුර හෙණ ගහනවා. කෙළවෙලා යන්න තමයි මට මේක දුන්නෙ කියලා.' මෛත්‍රි මහ හයියෙන් සිනාසෙමින් අතීත ආවර්ජනයක නිරත විය. මෛත්‍රි කිව්ව කතාවට මහින්දටත් හිනා ගියේය.
'සර්... දන්නවද පස්සෙ මමත් ඒක හොයල බැලුවා. බලපුවාම වැඩේ ඇත්ත. මීරිගම ප්‍රදේශයට වැඩිපුර අකුණු ගහනවා.' මෛත්‍රි කීවේය.

'දැන් ඉතින් මම නම් බේරුණා. සංජය ඔයා පරිස්සමින් ඉන්න' සරණ මීරිගම නව සංවිධායක සංජය සිරිවර්ධන දෙස බලමින් කීවේය.
මඳ වේලාවක් ආගිය තොරතුරු කතා බහ කරමින් සිටි මහින්ද ඉන් පිටව ගියේ කෑගල්ල බන්ධනාගාරයේ සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ සුවදුක් විමසීමටය.

සභාග ආණ්ඩුව ගැන ජී.එල්.ගේ ගෙදර ගත්තු තීන්දුව

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදීය. මහින්දද එදින රැස්වීමට සහභාගි වී සිටියේය. එහිදී ප්‍රථමයෙන් සාකච්ඡා කෙරුණේ පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙනි.

අනතුරුව මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ආණ්ඩු කතාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

"මොකද්ද සර් මේ ආණ්ඩුවක් හදන කතාව?" මන්ත්‍රිවරුන් විමසා සිටියේ මහින්දගෙනි.

"මේ ගැන යෝජනාවක් ඇවිත් තියෙනවා. අපි ඒක ගැන තීන්දුවක් ගන්න ඕනේ කණ්ඩායමක් විදියටයි. එහෙම තීන්දුවක් ගත්තට පස්සේ එක එක්කෙනා විවිධ තැන්වලට ගිහින් තමන්ගේ මත ප්‍රකාශ කරන්න යන්න එපා. කණ්ඩායමක් විදියට ගත්තු තීන්දුවේ තමයි අපි ඉන්න ඕනේ. මයික් ටිකක් දැක්කම මාධ්‍ය ඉස්සරහට ගිහින් හිතුමතේට ප්‍රකාශ කරන්න ගියොත් හානිය වෙන්නේ අපිටමයි. අපි සාකච්ඡා කරලා මේ ගැන තීන්දුවක් ගමු" මහින්ද පැවැසුවේය.

රැස්වීම නිමා වී මහින්ද පිටතට පැමිණියේ සී.බී. සමඟය. පිටතදී මහින්ද විමලවීර හමුවිය.

"පේනවනේ මෙයාලා රැස්වීම්ලවලට එන වෙලාව" මහින්ද පැවැසීය.

"අනේ නෑ සර් මම ටිකක් පරක්කු වුණා. වැස්සනේ" විමලවීර කීවේය.

"හා හා කමක් නැහැ. මම නිකමට කිව්වේ. කොහොම හරි රැස්වීමට ආවානේ ඒ ඇති" කී මහින්ද යන්නට ගියේය.

රටේ කොයි කාගෙත් අවධානය යොමුව තිබූ තවත් රැස්වීමක් එදින රාත්‍රියේ පැවැත්වුණේ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස්ගේ නිවෙසේදීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සඳහා ජී.එල්. එදින රාත්‍රි ආහාරය සූදානම් කර තිබුණේය. මන්ත්‍රිවරුන් 41 දෙනකු එහි පැමිණ සිටි අතර හිටපු ඇමැති බැසිල්ද පැමිණියේය. භාරකාර ආණ්ඩු කතාව ආරම්භ කළේ චමල්ය.

"අපි මේ වගේ දෙයක් කරන කොට පාක්ෂිකයන්ගේ පැත්තෙනුත් කල්පනා කරලා බලන්න ඕනේ. අපේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් , නියෝජිතන් මේකට කැමැති නැහැ. ඒ නිසා මේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා" චමල් පැවැසීය.

"මේ යෝජනාව ගැන විවිධ අදහස් තියෙනවා. අපි තීන්දුවක් ගන්න කොට ඒ සියලු අදහස් ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ." මහින්ද පෙන්වා දුන්නේය.
"මට නායකයෝ දෙන්නෙක් නැහැ. ඉන්නේ එක නායකයයි. ඒ මහින්ද මහත්තයා විතරයි. එතුමා ගන්න ඕනෙම තීන්දුවකට මම එකඟයි" ජනක බණ්ඩාර පැවැසීය. සිය එකඟතාව පළ කළ ජනක එතැනින් පිටත්ව ගියේ ප්‍රතිකාර ගැනීමටය.

"ඔබතුමා හොඳ නායකයෙක්. පසුගිය කාලයේ අපිව අමාරුවේ දාන්න මේ අය විවිධ දේවල් කරන කොට ඔබතුමා ඒවාට රැවටුණේ නැහැ. මෛත්‍රි එක්ක හෝ යූ.ඇන්.පී. එක එක්ක ආණ්ඩු හදන වැඩේට නම් මම කැමැති නැහැ. නමුත් ඔබතුමා අපේ නායකයා විදියට ගන්න තීන්දුවකට එකඟ නොවී ඉන්න අපිට බැහැ. ඒ නිසා එහෙම දෙයක් වෙනවා නම් මට විපක්ෂයේ වාඩි වෙන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා" වෙල්ගම පැවැසීය.

"අපි තීන්දුවක් ගන්න ඕනේ කිසිම කෙනකුගේ හිත නොරිදෙන විදියටයි. ඒ තීන්දු එක්කෙනෙක්වත් විරුද්ධ නොවන සාමූහික තීන්දුවක් වෙන්න ඕනේ" මහින්දානන්ද පැවැසීය. මේ කතාබහ යන අතරතුර චමල් දිගින් දිගටම කියා සිටියේ මේක හරියන වැඩක් නොවන බවය.

"මේ වගේ යෝජනාවක් ගැන සලකලා බලන කොට විශ්වාසය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. අපිව කිහිප වතාවක්ම රැවටීමට ලක් කළා. ඒ නිසා කොහොමද විශ්වාසයක් තියන්නේ? හැබැයි ගන්න තීන්දුවට මමත් එකඟයි." රමේෂ් පැවැසීය.

"නිමල් සිරිපාල ඇමැතිතුමා කියලා තිබුණා ඒ අය ගාවට එන්න කියලා. ඒකෙන් පේන්නේ අපි එතැනට යනවා වගේ අදහසක්. අපි ගම්වල ගොඩනඟා ගත් දේවල් තියෙනවා. මම හිතන්නේ ඒවා ගැනත් අපි කල්පනා කරන්න ඕනේ කියලයි මමත් ගන්න තීන්දුවකට එකඟයි" පවිත්‍රා පැවැසුවාය.

"මම මෛත්‍රිව හමුවුණා කියන කතාව ඇත්ත. ඒක වුණේ කොතැනකදීද කවුද හිටියේ කියලා අහන්න එපා. හැම තිස්සෙම කතාවක් යනවා ඒකාබද්ධ විපක්ෂයේ දේවල්වලට මම විරුද්ධයි කියලා. එහෙම දෙයක් නැහැ. ඒ වගේම මේ හමුවීම ගැන වැරැදියට හිතන්නත් එපා. ඒකෙයි මේ යෝජනාවෙයි කිසිම සම්බන්ධයක් නැහැ" බැසිල් පැහැදිලි කළේය.

"මේ ගැන තමුන්නාන්සේලා තැන් තැන්වල අදහස් පළ කරන්න යන්න එපා. මේක යෝජනාවක් විතරයි. ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපි කතා කරලා තීන්දුවකට එමු. මේ වගේ යෝජනාවක් ආවම ඒකේ හොඳ නරක දෙකම අපි කතා කරන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම විදියට අපි තීන්දුවක් ගමු. මේ ගැන කෙරෙන ක්‍රියාමාර්ග ගැනත් තමුන්නාන්සේලාව දැනුවත් කරන්නම්" මහින්ද පැවැසීය.
හැමෝගේම අදහස් ඉතාම අවධානයෙන් අහගෙන සිටි බැසිල් අන්තිමේදී අදහස් දැක්විය.

"මේ ආණ්ඩුව ඉතා දරුණු විදියට අපෙන් පළිගත්තා. හැබැයි ඒ පළිගැනීම්වලට මූණ දීගන්න බැරුවවත් ඉදිරියේදී තවත් පළිගනී කියලා බයෙන්වත් ආණ්ඩුවක් හැදීමේ වුවමනාවක් අපිට නැහැ.
ඒ වගේම පොහොට්ටුවට පුළුවන් ඊළඟ ඕනෑම ඡන්දයක් දිනන්න. ඒ හින්දා ඊළඟ ඡන්දෙ දිනන්න බැරි වෙයි කියලා බයෙන් ආණ්ඩුවක් හදන්නත් අපිට වුවමානවක් නැහැ......අපි ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ උපක්‍රමික තෝරා ගැනීමක් විදියට විතරමයි...." බැසිල් කීවේය.

ෆයිසර්-අතාවුල්ලා
ආයෙත් ඇවිලෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ තීරණයක් අනුව ආණ්ඩුවෙන් ඉවත් වීම සහ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කර තීන්දුවක් ගැනීම සඳහා පත් කළ කමිටුව පසුගිය බදාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූහ.

මේ අවස්ථාවට සන්ධාන නියෝජනය කරන පක්ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, අසංක නවරත්න, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ශ්‍රී ලනිපය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ශාන්ත බණ්ඩාර ද 15 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී. දිසානායක එක්ව සිටියහ.

මෙහිදී මුල්ම අවධානය යොමු වූයේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳවය. පැරැණි ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට හෝ ඡන්දය හැකි ඉක්මනින් තිබිය යුතු බව දිනේෂ් මෙහිදී කීවේය.

අනතුරුව මෙහිදී නීති සම්පාදනය කිරීමේදී ඇමැති ෆයිසර්ගෙන් අඩුපාඩු වූ බව හිටපු ඇමැති අතාවුල්ලා කීවේය. ඒ අවස්ථාවේ ෆයිසර් ඇමැතිවරයාට හොඳටම කේන්ති ගියේය. එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවූ අතර එය පාලනය කිරීමට සෙසු මැති ඇමැතිවරුන්ටද සිදුවිය.

පසුව හමුවේ දැඩි අවධානය යොමු වූයේ ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්් වීම ගැනය.

" ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් මොකක්ද ක්‍රමවේදය කියලා අපි බලන්න ඕනෑ. පේනවා නේ දැන් 15 දෙනාට වෙලා තියෙන දේ" අමරවීර කීවේය.
"ඔව් ඒක ඇත්ත අපට මුහුදට පනිනවා වාගේ එහෙම තීරණ ගන්න බෑ"

නිමල් සිරිපාල අමැතිවරයාද කතාවට එක්විය.

"අපි... යූ.එන්පී. එකට යනවා කියලා එක එක කතා තියෙනවා. අපි එහෙම තීරණ අරගෙන නෑ. අපි කැමැතියි හෙට වුණත් ආණ්ඩුවෙන් යන්න. හැබැයි අපට කාගෙවත් අතකොළු වෙන්න බෑ" අමරවීර තරමක් දැඩිව කියාගෙන කියාගෙන ගියේය.

"ඔව්.. මේ සාකච්ඡාවට වුණත් ඒ පැත්තේ වගකිව යුතු කෙනෙක් ආවා නම් තමයි හොඳ" ශාන්ත බණ්ඩාර කීවේය.

"ඔයා එක්ක වාඩි වෙන්න පොහොට්ටුවේ අය එන්නේ නෑ. ඔයා එහෙම හිතනවා නම් වැරැදියි" එස්.බී. ශාන්ත බණ්ඩාරට තදින් කියා සිටියේය.

"නෑ නෑ මම කියන්නේ මාත් එක්ක වාඩි වෙන කතාවක් නෙවෙයි. මේක කමිටුවක් නේ. ඉතින් තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් කමිටුවට දාලා අපි මේ ගැන කතා කරමු" ශාන්ත බණ්ඩාර කීවේය.

"මේක මහින්ද ජනාධිපතිතුමයි, මෛත්‍රි ජනාධිපතිතුමයි එකට ඉඳගෙන කතා කරලා තීන්දුවක් ගන්න ඕනා. එහෙම නැතිව අපි මේ තැන් තැන්වල කතා කරලා තේරුමක් නෑ" දිනේෂ් කීවේය.

ඒ අනුව මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අදාළ කමිටුව ලබන 22 වැනිදා රැස්වීමටද තීරණය කෙරිණි.
කරුගේ උපන්දිනයදා ආබාධිත රණවිරුවන්ට සංග්‍රහයක්

ආබාධිත රණවිරුවන් පිරිසක් ගතවූ සතියේ කථානායක කරු ජයසූරියගේ නිල නිවෙසේදී කථානායකවරයා හමුවිය. එහිදී කථානායකවරයා ඔවුන් සමඟ අතීත ආවර්ජනයකද නිරත විය. එය ඉතා සංවේදීජනක අවස්ථාවක්වීමද විශේෂයකි. එහිදී ඔවුන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සූදානම් වී තිබුණු අතර කථානායකවරයාගේ උපන් දිනය නිමිතිකරගනිමින් මෙම සංග්‍රහය සූදානම් කර තිබිණි.
'ආනන්ද විද්‍යාලයේ පාසල් නිල ඇඳුමට සමුදීලා මම මුලින්ම ඇන්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල ඇඳුමයි. ඒ 1965දී.'

'ඒ කාලේ යුද හමුදාව ගොඩක් කුඩා එකක්. මුළු පිරිස් බලය 8,000යි. යුද හමුදාපති ධුරය දැරුවේ බි්‍රගේඩියර්වරයෙක්. ඒ බි්‍රගේඩියර් උඩුගම. දෙවැනි තැන සිටියෙත් බි්‍රගේඩියර්වරයෙක්. ඔහු මොරිස් ජයවීර. මම සේවය කළා පුනරීන්, අයියකච්චි, යාපනය කඳවුරුවල. ඒ කාලේ ඒ කඳවුරුවලට තිබුණේ තහඩු මඩුවක් විතරයි.' කථානායකවරයා කීවේය.

'යුද හමුදා නිල ඇඳුමට පස්සේ මට කොළඹ නගරාධිපති නිල කබාය පැලඳීමට අවස්ථාව ලැබුණා. අදත් කථානායක නිල කබාය සහ හිස්වැස්ම පලඳිනවා. තානාපතිවරයෙක්, දේශපාලනඥයෙක් විදියට ඒ ඒ වෘත්තියට ආවේණික ඇඳුම් ඇඟලා තිබෙනවා. නමුත් මා වඩාත්ම ආස්වාදජනක ගෞරවනීය හැඟීමක් ඇත්තේ යුද හමුදා නිල ඇඳුම ඇඟලීමට අවස්ථාව ලැබීම පිළිබඳව' යැයි ද කථානායකවරයා පවසත්දී හමුදා නිලධාරීහු අත්පොළොසන් නඟමින් ප්‍රතිචාර දැක්වූහ.

කථානායකවරයා මෙහිදී තවත් අපූරු හෙළිදරව්වක් කළේය. ඒ අනුව එය සුවිශේෂ ජන්ම දින සමරුමකි.

'මම නිදහසට පෙර උපන් පුද්ගලයෙක්. අපි පුංචිකාලේ උපන් දින සාද තිබුණේ නැහැ. උපන් දිනේට පන්සලකට යන්න තමයි මවුපියන් හුරු කෙළේ. ඒ පුරුද්දට මේ දක්වා මගේ හැම උපන් දිනයක්ම ගෙවුණේ ආගමික සිද්ධස්ථානයක, වැඩිහිටි නිවාසයක හෝ ළමා නිවාසයක.'

'මේ තමයි ඒ වෙනුවෙන් පවත්වපු එකම උත්සවය. හැබැයි, මට වුවමනා වුණේ සාදයක් නෙවෙයි. ඔබ රට වෙනුවෙන් කරපු උතුම් සේවය අපේ හදවත් තුළ සදාතනිකව තිබෙන බව මතක් කරන්නයි' යනුවෙන් පැවැසූ කරු හුරු බුහුටි සන්නසක ආකෘතියක දවටා පිත්තලෙන් නිම වූ කුඩා සිංහ ධජයක් ආබාධිත රණවිරුවන් අත තැබීය.

මේ අතර ගෙවුණු සතියේ කථානායකවරයා අතිශයින් කාර්ය බහුල වූයේ පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් බාහිරව යොදාගත් වැඩකටයුතු රැසක් යෙදී තිබුණු බැවිනි. විශේෂයෙන්ම ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුව වෙත කැඳවා අගය කිරීමට පසුගිය සතියේ කථානායකවරයා කටයුතු යොදා තිබිණි.

එමෙන්ම මැනිලා නුවර පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය බාලදක්ෂ සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම වෙත ජාතික ධජය පිරිනැමීමද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා අතින් සිදු විය. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ පොල්ගොල්ලේදී පැවැති ලෝක තැපැල් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ කථානායකවරයා ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය 'ශ්‍රී ලාංකික අපේ අනන්‍යතාව - විවිධත්වය අපේ ශක්තියයි' යන මැයෙන් මෙහෙය වූ චිත්‍රපට උළෙලෙහි සම්මාන උත්සවයේදී ප්‍රධානත්වය ගත්තේය.

විරුවන් නමින් ගම්මාන

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැඟෙනහිර ඉදි වූ 'බණ්ඩාර වන්නියන්' සහ 'කෛලාස වන්නියන්' 132 වැනි සහ 133 වැනි උදා ගම්මාන ලෙස සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අතින් පසුගියදා ජනතා අයිතියට පැවැරිණි. උත්සවයට පැමිණි ඇමැතිවරයා පිළිගැනීමට පැමිණ සිටියේ කේ.වී. කමලේෂ්වරන් _ උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයාය. ගම්මාන දෙක 'බණ්ඩාර වන්නියන්' සහ කෛලාය වන්නියන්' ලෙස නම් කිරීම පිළිබඳ ඔහු සිය සතුට පළ කළේය. 'අධිරාජ්‍යවාදී පර දේසක්කාරයන්ගේ බාධක කම්කටොලුවලට නොබියව මුහුණ දුන් සෙන්පතියන් දෙදෙනකුගේ නම්වලින් ඒ ගම්මාන නම් කිරීමට ලැබීම සතුටක්' සජිත් කීවේය. සජිත් කීවේ 'ජාතිය, ආගම කුමක් වුණත් ඒ අය සටන් කළේ විදේශ බලවේගවලින් රට මුදා ගෙන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කරන්නයි' කියාය.

ගම්මානයේ ගෙයින් ගෙට යමින් සිටියදී කමලේෂ්වරන් කීවේ 'ඇමැතිතුමා, මේ ප්‍රදේශයේ ජනතාව බලවත් ගැටලු ගණනාවකට මුහුණ දී සිටිනවා. විවිධ සංවිධාන මුල්වෙලා ජනතාවට ප්‍රමිතියෙන් තොර ගෙවල් හදලා දීලා. මිනිස්සුන්ට ඒවායේ ඉන්න බෑ. සමහර තැන්වල දේශපාලන මැදිහත් වීම් සිදුවෙලා' කියාය. සජිත් කීවේ 'අපේ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ කිසිසේත්ම එවැනි දේ සිදු වෙන්නේ නෑ. අපි නොමිලයේ ඉඩම් කොටස් ලබා දීලා ඒවායේ නිවාස ඉදිකර ගන්න මුදලින් උපකාර කරනවා. ජනතාව ස්වෝත්සාහයෙන් නිවෙස ඉදිකර ගන්නවා. කොන්ත්‍රාත්කරුවෝ නෑ. ප්‍රතිලාභීන් තමන් වෙනුවෙන් බාල ප්‍රමිතියේ ගෙවල් ඉදිකර ගන්නේ නැහැනේ' කියාය. 'මම ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවධානය යොමු කරලා දැනට හදන ගම්මානවලට අමතරව තවත් ගම්මාන හදන්න ප්‍රතිපාදන ලබා දෙන්නම්. අපි වැඩේ හරියට කරමු' සජිත් කීවේය.

සුව ඇමැතිගේ
ලන්ඩන් ගමන

බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන මානසික සෞඛ්‍ය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ගෝලීය සමුළුවට සහභාගි වීම සඳහා අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පසුගිය 8 වැනි දින සඳුදා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය. සිය බිරිය වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්වූහ.

ලන්ඩන් නුවරට ළඟා වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද නෝර්වේ සංචාරය අවසන් කර ලන්ඩන් නුවරට පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ද අමාත්‍යවරයාට හිල්ටන් හෝටලයේදී හමුවිය. අග්‍රාමාත්‍යවරයා එදින රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් විය. සඳුදා දින රාත්‍රියේ බි්‍රතාන්‍ය රජය විසින් සංගීතය මුසු වූ ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූ අතර ඊටද සෞඛ්‍ය අමාත්‍යවරයා එක් විය. අඟහරුවාදා (9දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ආරම්භ වූ අතර එය මෙහෙයවනු ලැබුයේ බි්‍රතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි. මානසික සෞඛ්‍ය නඟාසිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

ඉන් පසු දහවල් යළි අමාත්‍යවරුන්ගේ වටමේස සාකච්ඡාව ආරම්භ විය. ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු රටවල් 5ක සෞඛ්‍ය අමාත්‍යවරු එක්ව සිටියහ. මෙහිදී ක්‍ෂේත්‍ර 7කට අයත් ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. සමාජීය වැඩසටහන් පිළිබ¼දවද යෝජනා ඉදිරිපත් කළ අතර එහිදී යෝජනා වූයේ සංවර්ධිත රටවල් මානසික සෞඛ්‍යය සඳහා සියයට 10ක මුදලක්ද, දුප්පත් රටවල් සියයට 5ක මුදලක් ද වෙන් කිරීමටයි. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සමුළුව අමතන ලදී. එහිදී ශ්‍රී ලංකාව වසර ගණනාවක් බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් ලෙස ක්‍රියාත්මක වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සමුළුවේ සිටි සියලුම නියෝජිතයන් සිනා සුණහ.

'ශ්‍රී ලංකාව තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපන සේවාවක් ක්‍රියාත්මක වෙනවා. මානසික සෞඛ්‍යය සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කර තිබූ අතර 2016 වසරේදී එය මිලියන 50 දක්වා වැඩි කළා. 2017 වසරේදී එය මිලියන 100 දක්වා වැඩි කළ නිසා සංවර්ධිත රටවල්ද වැය කරන මුදලට සමාන මුදලක් අපටත් වෙන් කරන්න පුළුවන්' යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඊට ප්‍රතිචාර ලැබිණි.

ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂයේ
නියෝජිත බිමල්

ව්‍යවස්ථාදායක සභාවේ කාලය ඉකුත්වීමත් සමඟ නැවත සාමාජිකයන් පත්කිරීමට කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් කථානායකවරයා විපක්ෂයේ නියෝජිතයා පත් කිරීම පිළිබඳව විපක්ෂ සංවිධායක අනුර දිසානායක දැනුවත් කිරීමට කටයුතු කළේය. පසුව අනුර දිසානායක මන්ත්‍රිවරයා විපක්ෂ නායක ආර්. සම්පන්දන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා ජවිපෙ මන්ත්‍රිවරයකු පත් කිරීමට එකඟතාව පළ කරන ලදී.

ඉන්පසුව මේ පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණයකින් පසුව ඒ සඳහා බිමල් රත්නායක මන්ත්‍රිවරයා පත්කිරීමට තීරණය විය. පසුව ඒ පිළිබඳව පසුගිය සඳුදා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක කටයුතු කර තිබිණි. මීට පෙර විපක්ෂයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේ ජවිපෙ මන්ත්‍රි විජිත හේරත්ය.

සයිටම් අර්බුදය
නැවත වටයකින්....

සයිටම් ආයතනයේ සිසුවියක ගොනු කළ නඩුවක් සඳහා අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සහ පාර්ලිමේන්තුව මඟින් ලබාදුන් විසඳුම අතර මේ වනවිට ගැටුමක් පැනනැඟී තිබේ. මේ සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසු - මවුපිය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ පිරිසක් ජවිපෙ මන්ත්‍රි විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කොළඹදී හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ. "නඩු තීන්දුවෙන් පස්සේ නැවතත් අවුලක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ විසඳුමයි, නඩු තීන්දුවයි අතර ගැටුමක්. අනෙක් පැත්තෙන් සයිටම් ආයතනයට නීත්‍යනුකූලභාවයක් ලැබෙනවා.

ආණ්ඩුව පැත්තෙනුත් මේකට කිසිදු මැදිහත්වීමක් නැහැ." මවුපියෝ සහ සිසුහු පෙන්වා දුන්හ. "නඩු තීන්දුව දීලා තියෙන්නේ පැවැති තත්ත්වයටත් අලුත් තත්ත්වයට අනුව ක්‍රියාත්මක වෙන්න එය බාධාවක් නොවන බවත් කියලා. නමුත් අපැහැදිලිතාවක් තිබෙනවා" විජිත හේරත් කීය. ඒ නිසා මවුපියන් ලෙස අපි මේකට අධිකරණයෙන් අර්ථකථනයක් දෙන්න කියලා නැවත නඩුවක් ගොනු කරනවා." මවුපිය සංගමයේ නියෝජිතයන් කීය. "ඒක හොඳයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාමු. එතකොට පාර්ලිමේන්තුව විදියට මැදිහත් වෙන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්" ලාල් කාන්ත යෝජනා කළේය. ඒ අනුව ජ.වි.පෙ. නායක මඟින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ බ්‍රහස්පතින්දා දිනයේදී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය විය.

විගණකාධිපති වාර්තාවත් කූට ලේඛනයක් කරලා....

පාපන්දු සම්මේලනය පිළිබඳව කෝප් කමිටුවේ විමර්ශනයක් අතරතුරේදී විගණකාධිපති වාර්තාවට සමාන කූට ලේඛනයක් සකස් කළ නිලධාරියෙක් පිළිබඳව හෙළිදරව් විය. කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය පැවැත්විණි. "මම කෝප් කමිටුවේ වසර ගණනාවක් හිටියා. නමුත් මේ වගේ කූට ලේඛන ප්‍රශ්නයක් කෝප් කමිටුවේ විමර්ශනය කරලා නැහැ" සභාපතිවරයා කියා සිටියේය.

පාපන්දු සම්මේලනයේ මුදල් කළමනාකරු විසින් රුපියල් මිලියන 25ක වංචාවකට අදාළව විමර්ශනයකට කැඳවා තිබිණි. පාපන්දු විනිසුරුවරුන් සඳහා ගෙවීමට තිබූ රුපියල් මිලියන 25ක මුදලක් තමන්ගේ ගිණුමට බැර කරගෙන තිබීම මුදල් කළමනාකරුට එරෙහිව තිබුණු චෝදනාව සම්බන්ධයෙන් 2016 විගණකාධිපති වාර්තාවේ තොරතුරු අන්තර්ගත වී තිබේ. කෙසේ වෙතත් ඉහත කී නිලධාරියා කෝප් විමර්ශනය පැමිණීමට පෙර විගණකාධිපති වාර්තාවට සමාන වාර්තාවක් සකස් කොට අනෙකුත් පාර්ශ්ව වෙත වාර්තාව ලබාදී තිබේ. කෙසේ වෙතත් විගණකාධිපතිවරයා විසින් මෙම වාර්තාව පරීක්ෂා කිරීමේදී එය තම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව නොවන බවත් එය ඊට සමාන කූට ලේඛනයක් බවත් හඳුනාගෙන තිබේ.

මේ අතර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දුට මුදල් අක්‍රමිකතා සම්න්ධයෙන් 2016 කෝප් කමිටු නිර්දේශ අනුව නඩුවක් ගොනු කරනු ලැබ තිබේ. එම නඩුව මේ වන විට විභාග කිරීමට ආරම්භ කොට ඇත. නමුත් පුදුමසහගත කරුණ වී ඇත්තේ පාපන්දු සම්මේලනයේ වත්මන් බලධාරීන් හිටපු සභාපතිවරයාට එරෙහිව තිබෙන චෝදනා සහ විගණකාධිපති වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහු ආරක්ෂා කිරීමේ පිළිවෙතකට අවතීර්ණ වී තිබීමයි. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මේ පිළිබඳව නීතිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට තීරණය විය.

රුපියලේ අගය
වැඩි කරන්න යෝජනා කිහිපයක්...

වත්මන් ආණ්ඩුව රුපියලේ අර්බුදය ගැන පම්පෝරි ගසමින්, ඊනියා ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට බර පටවමින් සිටින අතර රටේ ඩොලර් උල්පත් කිසිදු පැකිළීමකින් තොරව විදෙස් රටවලට විකුණා දැමීමට කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සාකච්ඡා කෙරෙමින් තිබේ.

මේ අතර මේ පිළිබඳව ජවිපෙ පළාත් සභා මන්ත්‍රි, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ජවිපෙ නායකයන් දැනුවත් කළේය. "ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න අර්ජුන කැබනට් පත්‍රිකාවක් අනුමත කරගෙන. මේකෙන් වෙන්නේ රටේ ඩොලර් උල්පත් ටික වෙන රටවලට පවරාදීමක්. අපිට මේ තෙල් ටැංකි භාවිත කරලා විශාල ඩොලර් ආදායමක් ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, රුපියල බාල්දු වෙන එක නවත්වලා ජනතාවට අඩු මුදලට ඉන්ධන දෙන්නත් පුළුවන්. මේ ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතුයි." අශෝක රංවල විජිත හේරත්ට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

ඉන් පසුව මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීමට ජවිපෙ තීරණය කළේය. "රටේ ජනතාවත් ජාතික සම්පත් කියලා හිතන්නේ අතීතයේ ඉදිකරපු දාගැබ්, පන්සල්, වැව් වගේ දේවල් විතරයි. නමුත් අපේ රටේ ජාතික සම්පතක් වුණු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන අවධානයක් නැහැ. දරුවන්ට ඒ සම්පත් ගැන කියලා දෙන්නේ නැහැ. මේ තෙල් ටික අපේ රටට ඩොලර් ගේන උල්පත්. ඒත් මෛත්‍රි - රනිල් ඒ සම්පත් විකුණනවා.

රුපියල කඩා වැටිලා කියලා මුදල් ඇමැති අ‍ෙ¼දා්නා තියනවා. ඩොලර් නැති එක තමයි ප්‍රශ්නේ. නමුත් අපිට තෙල් ටැංකි පාවිචිච් කරලා ඩොලර් හොයන්න පුළුවන්. ඒ වගේම ආනයන ආදේශක කර්මාන්ත කඩිනම් පටන් ගන්න ඕනෑ. ඩොලර්වලින් විතරක් නෙවෙයි, යුරෝ, යෙන්, යුවාන් වගේ මුදල් ඒකකවලින් ගනුදෙනු කරන්න අපි අවධානය යොමු කරන්න ඕනෑ." බිමල් රත්නායක මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon