ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග අංක 1 සහ 2 පිළිබඳව පැවති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3514 readers have read this article !
2018-10-12

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

පසුගිය ආණ්ඩුව කළේ ගජ යාළුවන්ට තීරු බදු සහන දීමයි එක කාලෙක එතනෝල් ගෙනාවා
තව කාලෙක බලු කෑම ගෙනාවා - ඇමැති කබීර්
හෂීම්

අද විපක්ෂයේ ඉඳගෙන කෑගහන උදවිය ආණ්ඩු කරන කාලේ ආර්ථිකය හැසිරුවේ කොහොමද කියල අපි දැක්කා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කළේ දේශපාලන හිතමිතුරන්ට ගජ යාළුවන්ට තීරු බදු සහන දීමයි. එක කාලෙක එතනෝල් ගෙනාවා. එක කාලෙක බලු කෑම ගෙනාවා, යැයි මහාමාර්ග ඇමැති කබීර් හෂීම් පැවැසීය.

අපි විවෘත ආර්ථිකය විශ්වාස කරනවා. අපි ආර්ථිකය ස්ථාවර කරගන්න කටයුතු කළා. අපේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය ගැන වැදගත් තීන්දු රැසක් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයනය අතින් අපේ රටේ ආර්ථිකය ඉහළ තැනකට ගෙනාවා. එතැනින් එහාට තවම එවැනි කටයුත්තකට අපි අතගහලා නෑ. ඒ වගේම ජී.එස්.පී. සහනය අපි ලබා ගත්තා.

ඒවා තමයි අපි ලබපු ආර්ථික ජයග්‍රහණ. නමුත් කිසිකෙනෙක් මේවා අගය කරන්නෙ නැහැ. චීනය ලෝකයේ බොහෝ රටවල්වලට භාණ්ඩ අපනයනය කරනවා. ඉන්දියාවත් එහෙමයි. අපිත් අපේ අපනයනය වැඩි කරගන්න කටයුතු කරන්න ඕන. අපේ නිෂ්පාදන විවිධාංගිකරණය කළ යුතුයි. එතැනින් තමයි අපිට ජයගත හැක්කේ."

ව්‍යවස්ථාදායක සභාව කියන්නේ ආණ්ඩුවේම කොමිටියක් - වාසුදේව නානායක්කාර

"ව්‍යවස්ථාදායක සභාව කියන්නේ ආණ්ඩුවේම කොමිටියක්" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

"ආණ්ඩුව පත්කරගත්ත විපක්ෂ නායකයි, ආණ්ඩුවේ අගමැතියි, ආණ්ඩුව පත්කරගත්ත කථානායකයි, අගමැති පත්කර ගත්ත ජනාධිපතියි, එකතු වෙලා ව්‍යවස්ථාදායක සභාව පත්කරගෙන තිබෙනවා"
"මේකෙ අපේ නියෝජනයක් නෑ.

ඔක්කොම ඉන්නේ ආණ්ඩුවේ කට්ටිය. ස්වාධීනව කටයුතු කරන්න ඕන තැනක
පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කෙනෙක් ඉන්නවා. පක්ෂග්‍රාහී නොවී සාපේක්ෂව ස්වාධීනව කටයුතු කරන්න ඕන.

" "අද රබර් කම්කරුවන්ට යන එන මං නැතිවෙලා. නිසි ආරක්ෂක මෙවලම් නැති වාහන ගෙන්වන්න දෙන්නේ නැහැ කියනවා. මොන මෝඩකමක්ද මේක? අද බස්වල, ත්‍රිරෝද රථවල, මෝටර්සයිකල්වල තියෙන
ආරක්ෂක මෙවලම මොකක්ද? මෝටර්සයිකල්වලට තියෙන්නේ හෙල්මට් එක විතරයි. ඒකෙන් ඔළුව බේරගන්න පුළුවන්."

කඩා වැටෙන ආර්ථිකය
ගොඩගන්න පෙනෙන තෙක් මානයකවත් වැඩපිළිවෙළක් නෑ- ටී.බී. ඒකනායක

"විදේශ රටවලින් කුළුබඩු ගෙනල්ලා අපේ රටේ ගුණාත්මක කුළුබඩුවලට කලවම් කරලා විකුණනවා. මේවා පිටිපස්සේ විශාල නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේවයින් ලොකු කොමිස් කුට්ටියක් ගන්නවා. ඒකයි මේක නතර කර ගන්න බැරි වෙලා තියෙන්නෙ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක පැවැසීය.

"ආසනික් මිශ්‍ර ආහාර අනුභවය නිසා අද වකුගඩු රෝගය පැතිරිලා. අද කෘෂිකර්මාන්තයට වල්අලි ගැටලුවක් වෙලා. ඒ සඳහා නිසි පිළියමක් සැකසිය යුතුයි. නැත්නම් ඒ අලි විදේශ රටවල්වලට තෑගි දෙන්න පුළුවන්. ඇමරිකාවේ ජනාධිපතිතුමාට බලු පැටව් දෙන්නෙක් තෑගි ලැබිලා තිබුණා කියලා මාධ්‍යයේ පළවුණා. අපිට බලු පැටව් දෙන්න ඕනෙ නෑ. අපට හොඳ අලි පැටියෙක් දෙන්න පුළුවන්. එතකොට වල්අලි ගම්වදින එකටත් එක පැත්තකින් පිළියමක් වෙයි.

කෘෂිකර්මාන්තය ගොඩගන්න මේ ආණ්ඩුවට කිසිම
වැඩපිළිවෙළක් නෑ. ආර්ථිකය කඩාගෙන වැටිලා. ඒක ගොඩගන්න පෙනෙන තෙක් මානයකවත් වැඩපිළිවෙළක් නෑ. හදන්න වුවමනාවකුත් නෑ. ඒකයි මේ ආණ්ඩුව දිනෙන් දින පිරිහෙන්නෙ."

වාහනවලින් නිකුත් වන දුම් නිසා සියයට හැටපහක් වායු
දූෂණය වෙනවා- රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

"වාහනවලින් නිකුත් වන දුම් නිසා සියයට හැටපහක් වායු දූෂණය වෙනවා" යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පැවැසීය.

වාහන සම්බන්ධයෙන් යුරෝ 4 සහතිකය අවශ්‍යයි. වායු
දූෂණයෙන් සිදුවන අනතුරු හා වාහන අනතුරු අවම කර ගැනීම සඳහා විදේශ රටවලින් ගෙන්වන වාහනවලට යුරෝ 4 සහතිකය ලබා ගැනීමට මේ නියෝග පනවනවා.

ජපානයේ නිපදවන සමහර වාහනවලට යුරෝ 4 සහතිකය නැහැ. අනාගතයේදී සියලුම වාහනවලට යුරෝ 4 සහතිකය සහිතව වාහන ලබාගන්න පුළුවන් වේවි.

අපි කාර්මික රටක් නෙවී. වායු දූෂණය අපේ රටේ පවතිනවා. ප්‍රායෝගිකව ගැටලු හඳුනාගෙන පරිසරය ආරක්ෂා කෙරෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.

අපි කොළ පරිසරයක් ඇති කිරීමටයි බලාපොරොත්තු වන්නේ. විදුලි වාහන නිසා වායු දූෂණය අඩුවෙනවා. අපි තවදුරටත් වායු දූෂණය අවම කෙරෙන අන්දමට කටයුතු කරනවා.

අනාගතයේදී 'ග්ලයිෆොසේට්' තේ සහ රබර් වගාව සඳහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම විශේෂඥ කමිටුව මේ වනවිට තේ සහ රබර් වගාව සඳහා 'ග්ලයිෆොසේට්' පාවිච්චි කිරීමට අවස්ථාව සලසා තිබෙනවා."

අද තේ කර්මාන්තයත්
විශාල අර්බුදයක තියෙන්නේ- සුනිල් හඳුන්නෙත්ති

"සරුංගලයේ, වෙසක් කූඩුවේ ඉ¼දලා හැම එකක්ම ආනයනය කරනවා. මේවට යන වියදම් නතර කරන්න බැරි ඇයි" දැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.
"ලංකාවට එන ආනයන ගැන බලන්න.

ආහාර එනවා. කිසිම පාලනයක් නැහැ."
"සෙස් අරමුදලේ මුදල් භාවිත කරලා අපේ තේ කර්මාන්තකරුවා, ප්‍රවර්ධනය කළ යුතු වුවත්, ඒ සඳහා මැදිහත්වීමක් සිදුවන බවක් නම් පේන්න නැහැ"

"තේ අරමුදලේ බිලියන හයක මුදල එකවර යොදාගෙන ලෝකයේ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනය කරන්න යනවා. තේ ප්‍රවර්ධනය වුණාට පස්සේ ලෝක අවශ්‍යතාව සැපයීම සඳහා අපට තිබෙන හැකියාව කුමක්ද? අපි තේ අපනයනය සඳහා සූදානම් කිරීම සඳහාත් අවධානය යොමු කරන්න ඕන."

"තේ අපනයනය කිරීමෙන් ලබාගන්න සෙස් අරමුදලේ

අභිලාෂය, තේ කර්මාන්තය නඟා සිටුවීම වුණත් අද එය සිදු වෙනවාද? නැහැ. අද තේ කර්මාන්තයක් විශාල අර්බුදයක තියෙන්නේ. අපේ තේ ලෝක වෙළෙ¼දපොළේ අවශ්‍යතාවට සපයනවාද? විවිධ හේතු මත අපේ තේ කර්මාන්ත පිරිහිලා තියෙනවා."

මිනිස්සු බලාගෙන ඉන්නෙ
ඊළඟ පාර ඡන්දෙදි යූඑන්පී එකට
පාඩමක් උගන්වන්නයි- මහින්දානන්ද අලුත්ගමගේ

"රටක් දේශපාලනමය වශයෙන් අස්ථාවර නම් විදේශ ආයෝජකයො රටට එන්නේ නෑ. ඒ වගේම රටේ ආර්ථික අස්ථාවරභාවයක් තියෙනවා නම් විදේශ ආයෝජකයෝ එන්නේ නෑ. අපිත් හිතුවා ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවෙලා රට කරනකොට ආයෝජන ඇවිල්ලා රට සරු වෙයි කියලා. එහෙම දෙයක් වුණේ නෑ. අද රට විනාශ වෙලා ඉවරයි" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

කුලියාපිටියේ මහා ලොකු උත්සවයක් තියලා අකිල ඇමැතිතුමා අගමැති එක්කගෙන ගිහිල්ලා "වොක්ස්වැගන්" කොම්පැනියක් දාන්න මුල්ගල තිබ්බා. අන්තිමේට කොම්පැනිය තියා ඒකට ඇණ මුරිච්චියක් හදන එකක්වත් දාන්න බැරිවුණා. ජනතාව රවට්ටලා ලැජ්ජා වුණා.

අද විදේශ ආයෝජන මණ්ඩලයෙන් වැඩක් නෑ. ඔක්කොම ඩීල් එක කතා කරගන්නේ ඇමැතිත් එක්ක. ඇමැතිතුමා ලියුම් ගහලා ආයෝජකයන්ට කියනවා ඔක්කොම කතා කරගන්න ඕනා මාත් එක්ක කියලා. එහෙනම් බී.ඕ.අයි. එක මොකටද? ඔක්කොම ආයෝජකයෝ රටින් පිටව යනවා මේ නිසා. අද රටේ දේශපාලන ස්ථාවරය නිසා කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ.

මේ දේශපාලන පක්ෂ දෙකට වෙනම ගමන් දෙකක්. මෛත්‍රිපාල ජනාධිපතිතුමා කොච්චර යූ.එන්.පී. ඡන්ද ගත්තත් එතුමාට දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ ගමන දේශපාලන පක්ෂයේ තීන්දුවලින් එහාට යන්න බෑ. පුළුවන්නම් හදන්න යූ.එන්.පී. තනි ආණ්ඩුවක්. අපි ඒකට විරුද්ධ නෑ. එහෙම නැත්නම් අපට දෙන්න. අපි කරලා පෙන්නන්නම්. අපි ආණ්ඩු කරන්න දන්නවා. අපි රට කරන්න දන්නවා.

මොනවා කරන්නත් අපට රටක් තියෙන්න ඕනේ. අපේ දරුවන්ට රටක් තියෙන්න ඕනේ. ඊළඟ පාර ඡන්දෙදී මිනිස්සු බලාගෙන ඉන්නෙ පාඩමක් උගන්වන්න. යූ.එන්.පී. එකට ඒක ස්ථිරයි. හැබැයි තව අවුරුදු 20කට හරි යූ.එන්.පී ආණ්ඩුවක් ගන්න හිතාගෙන ඉන්නවානම් දෙයියන්ගෙ නාමයෙන් ආණ්ඩුව දාලා යන්න. "

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ස්ථාවර නියෝග යටතේ ඇසූ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නෑ- අනුර කුමාර දිසානායක

ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි 95ක් ඉන්දියාවට විකිණීමට යන බව දැනගන්නට ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරචැ සභාවට දැනුම් දෙන ලෙස ඉල්ලමින් ස්ථාවර නියෝග 27(2) යටතේ තමා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට විෂයභාර ඇමැතිවරයාගෙන් පිළිතුරු ලබාදෙන බවට සභානායකවරයා ප්‍රකාශ කළත් මේ වන තෙක් පිළිතුරු ලබා නොදුන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රීති ප්‍රශ්නයක් නඟමින් පැවැසීය.

'ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයාගෙන් මම ප්‍රශ්නය විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදීමට ඇමැතිතුමා හෝ නියෝජ්‍ය ඇමැතිතුමිය සභාවේ සිටියේ නැහැ. ඊට පසුව මේ

පිළිබඳව මම සභානායකතුමාගෙන් විමසුවා. පිළිතුරු ලබාදෙන බව සභානායකතුමා කීවත් අද වනතුරු පිළිතුරු ලැබුණේ නෑ.'

'අපි 27(2) යටතේ ප්‍රශ්නයක් අහන්නේ හදිසි වැදගත් ප්‍රශ්නයක්. මේ තෙල් ටැංකි විකුණුවට පස්සේ පිළිතුරු දීල වැඩක් නැහැ.'
සභානායක - ඇමැතිතුමාට දන්වා පිළිතුරු ලබා දෙන්නම්.

ජාවාරම්කරුවො තමයි බදු ප්‍රතිපත්තිය
තීරණය කරන්නෙ- බන්දුල ගුණවර්ධන

"ආණ්ඩුවේ එක කොටසක් කරන දේවල් අනෙක් කොටස දන්නෙ නෑ. ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න තේරෙන්නෙ නෑ. එක දවසකට කියනවා ඇස්බැස්ටෝස් තහනම් කියලා. උළු කර්මාන්තය දියුණු කරන්න ඕනෑ කියනවා. ආයෙත් පහුවදාට ඒ තහනම අයින් කරනවා. මේක මහ විහිළුවක්' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.

"ජාවාරම්කරුවෝ තමයි බදු ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ. ජාවාරම්කරුවො නිසා සාධාරණ නිෂ්පාදනකරුවන්ට කර්මාන්තශාලා කරගෙන යන්න බෑ. යුද්ධය පැවැති කාලේ උතුරු නැඟනහිර විශාල බිම් ප්‍රමාණයක් අපට අහිමිව තිබුණා. ඒ ප්‍රදේශවල කෘෂි නිෂ්පාදනය. අපේ ආර්ථිකයට එකතු කරගන්න බැරි වුණා.

2014 අපි ආණ්ඩුව භාර දෙනකොට ලංකාවේ ආර්ථිකය ඉහළට ගෙනාවා. ඒ නිසා අපේ රට මැදි ආර්ථිකයක් තියෙන රටක් බවට පත් වුණා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ප්‍රභාකරන් නන්දිකඩාල්වලින් ඉවර කළාට පස්සේ තමයි අපේ ආර්ථිකය උතුරේ නිෂ්පාදන දායකත්වය ලැබුණේ.

අපේ ආණ්ඩුව ආර්ථිකය ගොඩනඟන්න කරපු දේවල්වලින් අබමල් රේණුවක් මේ හවුල් ආණ්ඩුවට කරගන්න බැරි වුණා. අද රුපියල මස්තමබාල්දු වෙලා ඉවරයි. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඉවරයි."

ආර්ථිකය ගොඩ නඟන්න විදෙස් ආයෝජකයෝ එනතුරු බලා ඉන්න ඕන නෑ- ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

"මම වයඹ මහ ඇමැති කාලේ අපේ පළාතෙන් කෘෂිකර්මය නඟාසිටුවන්න විශාල වැඩකොටසක් කළා. අඹ ගම්මාන, මිදි ගම්මාන, කරපිංචා ගම්මාන හැදුවා. ඒවායින් විශාල ආදායමක් ලැබුවා. අදටත් කටුගම්පොල මගේ ගමේ මුරුංගා වගාවක් තියෙනවා අක්කර ගණනක" යැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවසීය.

"මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න විදේශීය ආයෝජකයෝ එනකන් බලාගෙන ඉන්න ඕනෙ නෑ. අපේ දක්ෂ නිෂ්පාදකයෝ ඉන්නවා. පළාත් මට්ටමින් වැවෙන බෝග වගාව ප්‍රචලිත කරගත්තනම් ඇති. ලෝකේ හොඳම තේ, කෝපි, පුවක් අපට තියෙන්නෙ. ලෝකේ ඉතාම හොඳ කුරුඳු අපට තියෙනවා. වියට්නාමයෙන් ගෙන්නලා දැන් කලවම් කරන්න හදනවා.

එතකොට කැත වෙන්නෙ අපේ රටේ නම. ඇයි එහෙම කරන්න ඉඩ දෙන්නෙ.

අද වස විසවලින් මිදෙන්න ගොවියෝ පුරුදුවෙලා. මේ වස විස කෘෂිකර්මයට තවත් ලබා දුන්නොත් ගොවියෝ ටික මැරෙනවා. ගොවියන්ගෙ පවුල්වල ඉන්න අයත් මැරෙනවා. ඒ නිසා අපි ඕගනික් ගොවිතැනට පුරුදු වෙන්න ඕන. ඇයි අපි ඒකට මුල් තැන දෙන්නෙ නැත්තේ. අපි ඒවට නව නීති ගේන්න ඕන."

ආනයනය වැඩි වෙලා අපනයනය අඩු වෙනකොට
ඒක අර්බුදයක් - හර්ෂණ රාජකරුණා

'රටක් දියුණු වෙනකොට ආනයනය වැඩි වෙනවා. ආනයනය වැඩිවෙලා අපනයනය අඩු වුණාම අර්බුදයක් වෙනවා. ඒක දැන් අපට වෙලා තියෙනවා. රුපියල අවප්‍රමාණය වීමට මේක හේතුවෙලා තියෙනවා.' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පැවැසීය.

දැන් විපක්ෂයේ මන්ත්‍රිවරු කියන්නෙ ලංකාවේ රුපියල ඉතියෝපියාවේ රුපියලට වඩා බාල්දු වෙලා කියලා. ඒක ගැලරියට හොඳ කතාවක්. නමුත් ඇත්ත ඒක නෙවේ. අද අපට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලුවට අපි මුහුණ දෙමින් තියෙනවා. ආණ්ඩුව සාර්ථකව මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා.

අපි දැන් විදේශීය ආයෝජන සඳහා අවස්ථාව ලබා දෙනවා. එහෙම කරන්න නම් ඒ අයට තවත් පහසුකම් ලබාදෙන්න ඕන. තවමත් අපි ඒ පහසුකම් ලබාදීමට කටයුතු කරලා නෑ.

නීතියේ ආධිපත්‍යය අද රැකිලා තියෙනවා. අද අධිකරණය ස්වාධීනයි. ඇඟිලි ගැසීම් නෑ. විදේශීය ආයෝජන එන්න ඒවත් බලපානවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරි කාලය තුළ නව ආයෝජන රැසක් ලැබෙයි කියලා. ආයෝජන මණ්ඩලය මේ සඳහා වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම සඳහාත් කටයුතු කළ යුතුයි.

පසුගිය කාලෙ තියපු එක විරෝධතාවකදීවත් මිනියක් මරාගන්න බැරි වුණා : ඒකයි පොලිස්පති අයින් කරන්න කියන්නෙ- චමින්ද ගමගේ

"පොලිස්පතිවරයාට විරුද්ධව විවිධ චෝදනා කරනවා. එතුමගේ අඩුපාඩු තියෙනවානම් අපි ඒකට පිළියම් ගන්නම්. හැබැයි විපක්ෂයට වුවමනා වෙලා තියෙන්නෙ විරෝධතාවලදී බිල්ලක් ගන්න. පසුගිය කාලේ තියපු එක විරෝධතාවකදීවත් මිනියක් මරාගන්න බැරිවුණා. ඒකයි පොලිස්පති අයින් කරන්න කියන්නේ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද ගමගේ පැවැසීය.

"අද විපක්ෂයට සටන් පාඨ නෑ. විරෝධතාවලට ආණ්ඩුව ගහන්නෙ නෑ. ඒකයි මේ අයට තියෙන අමාරුව. අද මාධ්‍යවේදීන් නිදහසේ ඔවුන්ගේ කාර්ය කරනවා.

සුදු වෑන් එන්නේ නෑ. අතුරුදන් වෙන්නේ නෑ. යහපාලන ආණ්ඩුව ඒ සියල්ලටම තිත තිබ්බා. මහින්ද රාජපක්ෂ මහත්තයා විදුලි පුටුවක් ගැන කතා කළා. එතුමා තවදුරටත් බලයේ හිටියනම් විදුලි පුටුවෙ ඉඳගන්න වෙනවා. අපි තමයි එතුමව විදුලි පුටුවෙන් බේර ගත්තෙ.

හැබැයි දැන් ආපහු එතුමා ජනතාව රවට්ටමින් ඉන්නවා. පසුගිය මැතිවරණයේදී අගමැති වෙනවා කියලා රැවැට්ටුවා. ඊට පස්සේ මිනිස්සු කොළඹ ගෙනල්ල ආණ්ඩුව අල්ලනවා කිව්වා. කෝ ඇල්ලුවද කියලා ජනතාව දැන් ඒ අයගෙන් අහනවා."

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය ගැන
විපක්ෂයෙන් විරෝධයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) සිය විරෝධය පළ කළහ.
ව්‍යවස්ථාදායක සචභාවේ සිවිල් සාමාජිකයන් පත් කරන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙලෙස සිය විරෝධය පළ කළ අතර පොලිස්පති ඇතුළු ඉහළ නිලධාරීන් ව්‍යවස්ථාදායක සභාව පත් කළද ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට නොහැකිවීම ගැනද ප්‍රශ්න කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා
ව්‍යවස්ථාදායක සභාවේ රීති පිළිබඳව අපි කවුරුත් දන්නේ නැහැ.

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පලුදු වී ඇති බවට පුවත් පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්ථාදායක සභාව මඟින් මෙතෙක් කළ පත් කිරීම වැරදි බව තොරතුරු හෙළි වෙනවා. ව්‍යවස්ථා සභාව පත් කරන කොමිෂන් සභා දෙන නියෝග ව්‍යවස්ථාදායක සභාවම පත් කරන ඉහළ නිලධාරීන් පිළිගන්නේ නැහැ. පොලිස් කොමිසම දෙන නියෝග පොලිස්පති පිළිගන්නේ නැහැ. ව්‍යවස්ථා සභාව දෙන නියෝග පොලිස්පති පිළිගන්නේ නැහැ. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන නිර්ණායකද යොදා ගන්නෙ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
දිනේෂ් ගුණවර්ධන මහතා පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව කිසිම විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිට ඕනෑ විදියට විනිසුරුවරු, පොලිස්පති හමුදාපතිවරු පත් කළා. එදා මෙතුමා රාජපක්ෂ සපත්තුවට යට වෙලා හිටියේ. අපි 19 වැනි සංශෝධනය ගෙනැල්ලා මේ අයව එයින් නිදහස් කළා. අද ජනාධිපති එවන නම වුණත් ව්‍යවස්ථාදායක සභාවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ තරමටම අපි ස්වාධීන ආයතන ඇති කළා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා
19 වැනි සංශෝධනය සම්මත කරන කොට ආණ්ඩුවේ හිටියේ 42ක් පමණයි. නමුත් එදා ඔය කතා කිව්වේ නැහැ.

සභානායක
මෙයාල මේක කරන්න දෙන්නේ නැතිනම් අපි ඡන්දයකට යමු.

උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා
විපක්ෂයේ සහාය ඇතිව තමයි අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුවෙ. ඒක ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙද්දි යම් යම් අඩු පාඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් සිවිල් නියෝජිතයන්ට කවුරුත් විරුද්ධයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ අය සිවිල් සමාජයේ ඉතාම වැදගත් පුද්ගලයන්. මේ විදියට ගියොත් ඔවුන් මේ තනතුරු ගන්න එකකුත් නැහැ. ඒ නිසා තියෙන අඩුපාඩු අපි පස්සේ කතා කරලා විස¼දා ගනිමු. මේ පත් කිරීම් අපි මුලින්ම කරලා ඉමු.

වාසුදේව නානායක්කාර මහතා
ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනේ. ව්‍යවස්ථා සභාවේ කටයුතු ගැන අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව මේ ගැන දන්නේ නැහැ.
කථානායක

එහි කටයුතු ගැන පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ස්වාධීන කොමිෂන් සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

දයාසිරි ජයසේකර මහතා
අපි අහන්නේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන රීතීන් මොනවාද කියලායි. ඒවා අපි දැන ගන්න ඕනේ. මෙතන වෙන්නේ මොනවාද කියලා පාර්ලිමේන්තුව දන්නේ නැහැ.
කථානායක
එහෙම නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතු නිසා එහි කරුණු සභාවට දැනුවත් කරන්න කටයුතු කළ යුතුයි. වගකියනවා කිව්වාට වගනොකියන බවක් තමයි පේන්නෙ. ඒ නිසා එය හදාගත යුතුයි.
උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා

ව්‍යවස්ථාදායක සභාව මඟින් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමිකයන් පත් කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ කියන විවේචනය මටත් තියෙනවා. එම නිසා ඒ සියලු කාරණා වෙනස් කරන්න ක්‍රමයක් අපි හදමු. එතෙක් මෙය සම්මත කර සිටිමු.

කථානායක


ඉදිරියේදී අපි කතා කරලා මේ ක්‍රමය හදමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon