හානිපූරණය සඳහා කාර්යාලය පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  2766 readers have read this article !
2018-10-11

විශ්‍රාම වැටුප් වැඩි වීම සම්බන්ධ ගැටලුවලට සහන සලසන්නට ඇති හැකියාව ගැන අවධානය යොමු වී තිබෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

විශ්‍රාමිකයන් අතරින් 2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට සහන සලසන්නට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රජයේ විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ "2015 අතුරු අය - වැය යෝජනාව අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට නව වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කළා. රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. 2016 ජනවාරි 01 දිනෙන් පසු විශ්‍රාම ගන්නා විශ්‍රාමිකයන්ගේ වැටුප් රුපියල් 1000කින් වැඩි කළා."

"2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට මෙම වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවලට සහන සලසන්න ඇති හැකියාව පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබෙනවා"

"මේ සඳහා යෝජනා ගණනාවක් ලැබී තිබෙනවා. තවමත් අවසන් තීරණයක් ගෙන නෑ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 750ක් පමණ වැය කරනවා. විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200කට අධික මුදලක් වැය කරනවා. විශ්‍රාමිකයන් 145,000කට පමණ රුපියල් බිලියන 75කට අධික ණය මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා"

 

මේ පනතින් කරන්නට හදන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට වන්දි ලබා දීමටයි - ජයන්ත සමරවීර

"මේ පනත මඟින් කරන්න හදන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට වන්දි ලබා දීම යැයි" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය.
මෙය කොටින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයක්. මේ රට සොහොන් පිටියක් කරපු එල්ටීටීඊ කොටින්ට වන්දි ගෙවනවා. කොටින්ගෙන් මේ රට බේරාගත් රණවිරුවන් හිරේට දානවා. එරන්ත පීරිස් බුද්ධි අංශ නිලධාරියා අද හිරේ. දුරකථන පණිවුඩයකටයි ඔහු හිරේට දැම්මේ.

ඝාතන කුමන්ත්‍රණ කරපු ඩී.අයි.ජී. නාලක සිල්වා අද එළියේ. මේ පනත කොටින් ප්‍රවර්ධනය කරන පනතක්. මේක දේශද්‍රෝහී පනතක්. මේ දේශද්‍රෝහී පනත පරාජය කළ යුතුයි.

 

උතුරේ තුවාලය තවදුරටත් නඩුවලින් විසඳන්න බෑ- බිමල් රත්නායක

"අද උතුරේත්, දකුණේත් අමු අමුවේ ජාතිවාදය වපුරනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

"මේ පනත යටතේ ඇති කරන හානිපූරණ කාර්යාලය සාමය වපුරන පැත්තට භාවිත කළ යුතුයි. එසේ නොවී, ජාතිවාදය වපුරන පැත්තට භාවිත කළොත් අපි විරුද්ධයි"
"ලෝකයේ වැඩියෙන් අපරාධ කරන්නේ ආණ්ඩු. ඊට පස්සෙ සමාගම්. පුද්ගලයන් ඉන්නේ ඊට පසුවයි.

"මේක සටන් පිරුණු රටක්. උතුරේ තුවාලය ඉතා හෙමින් සුව වෙන්නේ. මේ තුවාලය තවදුරටත් නඩුවලින් විසඳන්න බැහැ. මේ පනත ජාතිවාදය පැත්තට පාවිච්චි කරන්න එපා."

එල්ටීටීඊ සාමාජිකයන් ලෙස හිටපු අය පුනරුත්ථාපනය කර ඔවුන්ට උදවු කළ යුතුද? යන මතයක් සමාජය තුළ අද පවතිනවා. මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කළා. ඔවුන් සමාජගත කරන්න ආණ්ඩුවෙන් උදවු කරන්න ඕන. එය එල්ටීටීඊ එකට උදවු කිරීමක් කියා අපි දකින්නේ නැහැ."

 

සන්නද්ධ අරගලයේදී හානියට පත් සියලු දෙනාටම හානිපූරණය ඕනෑ - විපක්ෂ නායක ආර්. සම්පන්දන්

"හානිපූරණය නැවත ඇතිවීම වැළැක්වීමට කටයුතු කළ යුතුව ඇතැයි" විපක්ෂ නායක ආර්. සම්පන්දන් පැවැසීය.

හානිපූරණය සඳහා වන පනත් කෙටුම්පත ප්‍රමාදවෙලා හරි අද ඉදිරිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා. මේ රටේ වසර ගණනාවක් තිස්සේ සන්නද්ධ අරගලයක් පැවතුණා. හානිපූරණය ජනතාවට පිරිනැමීමේදී ඔවුන්ට සම්පූර්ණ නිදහස ලබාදිය යුතුයි.

"හානිපූරණය සැලසීමේදී අතුරුදන් වූ පුද්ගලයන්ට යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුයි. බොහෝ පිරිසක් සන්නද්ධ අරගලයේදී හානියට පත්වුණා. ඔවුන් සියලුදෙනාටම හානිපූර්ණය ලබා දෙන්න ඕනෑ"

යුද්ධය නිසා හානියට පත්වූ ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදෙන්න. බොහෝ තැන්වල හමුදාව ඉඩම් නිදහස් කර තිබෙනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕන. එයත් හානිපූරණ කාර්යාලයට අයත් කාර්යයක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon