දුම්රිය දෙපාර්තමේන්තුවේ අලි දඩයම

  👤  2756 readers have read this article !
2018-10-11

මේජර් තෝමස් විලියම් රොජර්ස් නමැති බි්‍රතාන්‍ය ජාතික ආණ්ඩුවේ උප ඒජන්තවරයා 19 වැනි සියවසේදී ලංකාවේ වන අලි 1600ක් වෙඩි තබා මරා දමනු ලැබූ බව බි්‍රතාන්‍ය පාලන සමයේ අපකීර්තිමත් සිදුවීම ලෙස ලංකා ඉතිහාසයේ සටහන්ව තිබේ. හපුතලේ තානායමේදී 1845 ජුනි 7 වැනිදා අකුණක් වැදී මියයන විට ඔහු ආණ්ඩුවේ උප ඒජන්ත මෙන්ම බදුල්ලේ දිසා විනිසුරුද වූයේය.

එදා ආණ්ඩුවේ ඒජන්තලා අලි දඩයමට බැස්සා සේම මෙදා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවද අලි දඩයමට බැස සිටී.

ගතවූ මාස දෙකට දුම්රියට යට කිරීමෙන් වන අලි 8 දෙනකු මරණයට පත්කර තිබේ. නිකම් නොවේ හප්පා පොඩිකර චප්පකර ගැබ්ගත් ඇතින්නියන්ගේ කුස හොත් පැටවුන් පවා විසිකර දමමිනි. එපමණක් නොව මහජන දේපොළක් වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටද කෝටි ගණනින් අලාභ කරමිනි. ඒ පාඩුවට උරදිය යුත්තේ මේ රටේ බදු ගෙවන ජනතාවය. එක පැත්තකින් ලෝකයේ අලි - ඇතුන් සිටින එකම දූපත වූ ශ්‍රී ලංකාවේ අලි සම්පත විනාශ කර දමන අතර අනෙක් අතින් විශාල මූල්‍ය හානියක්ද සිදු කෙරේ.

බි්‍රතාන්‍ය පාලන සමයේ 1864 දෙසැම්බර් 27 දින කොළඹ සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ධාවනය වූ තැන් සිට මෙවැනි අලි මැරිල්ලක් සිදුවී නැතැයි කෙනෙක් කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. දුම්රියට, එය හසුරුවන සුක්කානමක් නැති බවත් එය පීලි මත දුවත බවත් සැබෑය. එසේ වුවද එහි ඉදිරිපස තහඩු ගසා වසා නොදමා ඉදිරියට පෙනෙන වීදුරු ආවරණයක් යොදා තිබෙන්නේ ජීවිත දහස් ගණනක් හා මිලියන ගණනක් දුම්රිය නිරුපද්‍රිතව ගමනාන්තය කරා ගෙන යෑමටය. කොටින්ම එය ඉදිරියට ධාවනය කළ යුත්තේ මඟ හොඳට පෙනේ නම් පමණි. උන්නත් දාහයි මළත් දාහයි කියා දුම්රිය ධාවනය කරන්නට රියදුරු මහත්වරුන්ට අවසර දී නැත.

ජාතික වනෝද්‍යාන, අභ්‍යයභූමි හා ස්වාභාවික වන රක්ෂිත ඒ වායේ ජීවත් වන සියලුම සතුන් උදෙසා වෙන් වූ බිම්කඩවල් වේ. ඒවා මනුෂ්‍යයන් පරිහරණය කළ යුත්තේ ඒ සඳහා පැනවූ නීති රීතීන්ට අනුකූලවය. ඒ නීති පනවා තිබෙන්නේ මිනිසුන්ට මිස සතුන්ට නොවේ. ඒවා පිළිපැදිය යුත්තේ එම වන බිම් පසුකර ගමන් කරන මිනිසුන්ය. වනාන්තර හරහා වැටුණු මාවත්වල වේග සීමා මෙන්ම වන සතුන් ගැවසෙන බව දැක්වෙන පුවරුද සවිකර තිබේ. ඒ කිසිදෙයක් තුට්ටුවකට මායිම් නොකොට වියරු මිනිසුන් ලෙස ක්‍රියා කරන දුම්රිය රියැදුරන් සිටින බව එක පෙළට සිදුවන අලින්ගේ මරණවලින් සනාථ වේ.

දුම්රියගේ හැපී අලි - ඇතුන් මියයෑම වැළැක්වීමට කාලයක සිටම බොහෝ විසඳුම් ඉදිරිපත් කර තිබේ. වේග සීමා යෙදීම, දුම්රිය කැබින් එකේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ගමන් කිරීම, අලින්ට හොඳින් ඇසෙන සංඛ්‍යාත සහිත නළා සවි කිරීම ඉන් සමහරකි. මේවා කිසිදු සාර්ථක භාවයක් අත්කර නොගත් පැලැස්තර විසඳුම්ය. තවත් එවැනි යෝජනා ගෙන ඒමේ කිසිදු තේරුමක් නැත.

වනාන්තර හරහා වැටී ඇති දුම්රිය මාර්ගවල අලිමංකඩ හා අලි ගැවසෙන නිශ්චිත සංවේදී ස්ථාන විද්‍යාත්මකව හඳුනාගෙන එම ස්ථාන හරහා දුම්රිය මාර්ගය පාලම් මතින් ගෙන යෑමෙන් අලින්ට පාලම් යටින් පහසුවෙන් එහා මෙහා ගමන් කරන්නට සැලැස්විය හැකිය. එකී ස්ථාන හැර සෙසු දුම්රිය මාර්ග අලි වැට මඟින් ආවරණය කළ හැකිය. එය සාර්ථක පියවරක් වනු ඇත.

එය අධික මුදල් වැය වන ව්‍යාපෘතියක් බැවින් ඒ සඳහා රජය මැදිහත්ව විශේෂ අරමුදලක් පිහිටුවා ඊට ලෝකය පුරා සිටින වන සත්ත්ව ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල හා සතුන්ට ආදරය කරන මිනිසුන්ගේ ආධාර ලබාගෙන මෙම ව්‍යාපෘතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යා හැකිය. ලෝකයේ බොහෝ රටවල දුම්රිය මාර්ග හා අධිවේගී මාර්ග මේ ක්‍රමය දැනටමත් අනුගමනය කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon