බල්ලන්ට පැනලා මැරෙන්න හිතෙන අමුතු අද්භූත පාලමක්

  👤  2958 readers have read this article !
2018-10-07

ස්කොට්ලන්තයේ 'ග්ලාස්ගෝ' නගරයේ ඉඳන් උතුරු දෙසට පැය භාගයක පමණ වාහන ගමනකින් පසුව හමුවන වෙස්ට් ඩම්බර්ෂයර් පළාතේ 19 වැනි සියවසට අයත් මන්දිරයක් පිහිටා තිබෙනවා. මේ මන්දිරය හඳුන්වන්නේ ඕවර්ටවුන් (ර්ණීමඥපබධඹද) හවුස් යනුවෙනුයි. ඕවර්ටවුන් සාමිවරයා සතු වූ මේ මන්දිරයට පහසුවෙන් ප්‍රවේශවීම සඳහා මේ ඕවර්ටවුන් පාලම ඉදිකොට ඇත්තේ 1895 වසරේදීය.

පසුගිය වසර 160ක පමණ ඉතිහාසය තුළ ඕවර්ටවුන් මන්දිරය චිත්‍රපට රූගත කිරීමේ දර්ශන තලයක්, මාතෘ නිවාසයක් සහ දෙවැනි ලෝක යුද්ධය සමයේ මිත්‍ර හමුදාවට අයත් සොල්දාදුවන් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් භාවිත කොට තිබෙනවා. නමුත් මේ සියලු දෙයට වඩා මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මන්දිරයට ප්‍රවේශ වන ඕවර්ටවුන් පාලම වෙතයි.

1895 ඉදිවීමෙන් අනතුරුව දශක ගණනාවක්ම කිසිදු විශේෂත්වයක් නොවූ මේ අපූරු පාලම ගැන කවුරුත් කතාබහ කරන්න පටන් ගත්තේ 1950 ගණන්වලින් අනතුරුවයි. ඒ බල්ලන් මේ පාලමෙන් පැන දිවි නසාගැනීමට පෙලඹීමත් සමඟයි. ගෙවී ගිය වසර 60ක පමණ කාලය තුළ මේ පාලමෙන් පහළට කිසිදු හේතුවකින් තොරව බල්ලන් 600 දෙනකු පමණ පැන ඇති අතර ඉන් 50 දෙනකු පමණ මියගොස් තිබෙනවා.

දිවි ගලවා ගැනීමට සමත් වූ ඇතැම් බල්ලන් දෙවැනි වතාවේත් නැවත මේ පාලමෙන් පැනීමේ හෝ පැනීමට උත්සාහ දැරීමේ සිද්ධීන් වාර්තා වෙනවා.

මේ දිවි නසා ගන්නා බල්ලන් හැම එකෙක්ම පාලමේ එකම තැනකින් පහළට පැනීමත් විශේෂත්වයක්. එම ස්ථානයෙන් පැන්න විට උන් වැටෙන්නේ අඩි 50ක් පමණ පහතින් පිහිටි කළු ගල් තලාවක් මතටයි. ඒ වගේම මේ සෑම බල්ලකුම පාහේ දඩයම් කිරීම සඳහා යොදා ගනු ලබන හොඳ ඉවක් සහිත හොම්බ දිග වර්ගයේ බල්ලන් වීමත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවෙයි උන් පහළට පැන ඇත්තේ හොඳින් හිරු පායා තිබූ දිනවලයි.

වතාවක් මේ පාලමෙන් තම දෙසතියක් වයසැති දරුවා පහළට විසි කොට මරා දමා දිවි නසාගැනීමට උත්සාහ දැරූ පියකුද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ විශ්වාසය වූයේ එම දරුවා යක්ෂයාගේ ආත්මයක් බවයි.

මේ මරණයේ පාලම පිළිබඳ බොහෝ විද්‍යාඥයන් විවිධ පර්යේෂණද සිදුකොට තිබෙනවා. නමුත් මේ ආකාරයෙන් බල්ලන් දිවි නසාගැනීමට පෙලඹීම පිළිබඳ කිසිදු හේතුවක් සොයා ගැනීමට කිසිවකු සමත් වී නැහැ.

මේ අන්දමින් පර්යේෂණ සිදු කළ පිරිස අතරට භූත විද්‍යාඥයන්ද අයත් වෙනවා. ඒ අතරෙන් කීප දෙනකු පවසා ඇත්තේ ඕවර්ටවුන් ආර්යාවගේ සාපයක් නිසා මෙය සිදුවන බවයි.


ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon