අප්‍රිකාවේ ගල් ගුහාවකින් හමු වූ වසර 73,000ක් පැරැණි සිතුවම් කතාව මෙන්න

  👤  2836 readers have read this article !
2018-10-07

අවුරුදු 73,000කට පෙර මිනිසා විසින් නිර්මාණය කරන ලද පැරැණිතම චිත්‍රයක් පිළිබඳ සාධකය අප්‍රිකාවේ ගල් ලෙනකින් හමුවී තිබේ.

එකිනෙකා තැනින් තැනදී කැපී යන සේ එක් එක්ව යෙදුණු රතු ඉරි තුනකින් හා අමතර රේඛා හයකින්ද සමන්විතව සුමට ගල් තලාවක් මත යෙදුණු එම චිත්‍රය අරමුණක් ඇතිව කරන ලද නිර්මාණයක් යැයි විශේෂඥයෝ කියති. මෙම චිත්‍ර නිර්මාණ, මීට කලින් අප්‍රිකාව, යුරෝපය හා අග්නිදිග ආසියාව යන රටවලින් හමුවුණු චිත්‍රවලට වඩා අවුරුදු 30,000ක් පමණ පැරැණි යැයිද විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

දකුණු අප්‍රිකාවේ දකුණු කේප් ප්‍රදේශයේ පිහිටි බ්ලොම්බස් නමැති ලෙනෙන් මෙම චිත්‍ර සොයා ගන්නා ලද්දේ විට්වැටර්සුන්ඩ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ, ආචාර්ය ලුකා පොලරොලෝ විසිනි. එක හා සමාන ගල් කැබැලි දහස් ගණනක් ඉමහත් ආයාසයෙන් එකතු කර ගත් ආචාර්ය ලූක පර්යේෂණාගාරයේදී අවශ්‍ය ගල් කැබැලි තෝරා බේරා ගත්තේය. ප්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් දෙදෙනකු වූ මහාචාර්ය ක්‍රිස්ටෝපර් හෙන්ෂිල්වුඩ් සහ ආචාර්ය කැරේන් වැන් නීකර්ක්ද 1991න් පසුවද බ්ලොම්බස් ලෙනෙහි ගවේෂණ පැවැත්වූහ. වසර 1,00,000ක් 70,000ත් අතර කාලයකට පෙර යුගයකට - මධ්‍යම ශිලා යුගයට අයත් ද්‍රව්‍ය හා පශ්චාත් ශිලා යුගය වශයෙන් හැඳින්වෙන, වසර 2000ටත් 300ටත් අතර කාලයට අයත් ද්‍රව්‍යද එහි තිබිණි.

සුමට ගල් පුවරුව මත වූ රේඛා සටහන්, එතෙක් ගවේෂක කණ්ඩායමට එම ගුහාවෙන් හමු වුණු අන් කිසිවකට සමාන නොවන බව අවබෝධ වූ හෙයින් ඔවුහු එම සටහන්වලින් උද්ගත වුණු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පටන් ගත්හ. එම සටහන් අරමුණක් ඇතිව කරන ලදැයි ඔවුහු පළමුවෙන්ම නිගමනය කළහ. මෙවැනි නිරාකූල සටහන් පළමුවෙන් නිර්මාණය වූයේ වසර 40,000කට පෙර, හෝමෝසේපියන් මානවයා යුරෝපයට පැමිණි යුගයේ යැයි මේ නවතම සොයා ගැනීමට කලින් පුරාවිද්‍යාඥයෝ විශ්වාස කළහ.

ආදි මිනිසාගේ කලා නිර්මාණ පිළිබඳ නිදර්ශන
මානව සංහතියත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වසර දහස් ගණනක් තිස්සේ නොයෙක් විධියේ චිත්‍ර මෝස්තර, භාව චිත්‍ර හා ඔවුන් අවට පරිසරයෙහි දක්නට ලැබෙන දේවල් නියෝජනය වන චිත්‍ර යනාදිය නිර්මාණය කිරීමට පෙලඹී ඇති බව පෙනේ යැයි ගවේෂකයෝ ප්‍රකාශ කරති.

මුහුදු බෙල්ලන්ගේ කටුමත දක් - වක් රේඛාවලින් කැටයම් කරන ලද සිප්පි කටු ජාවාහි ටි්‍රනිල් ප්‍රදේශයේ අවසාදිත ස්තරවලින් හමුවී ඇති අතර, ඒවා අවුරුදු 5,40,000කට වඩා පැරැණි යැයි ගවේෂකයෝ පෙන්නා දෙති.

අයිබීරියන් අර්ධද්වීපයේ ගුහාවලින් මෑතදී හමු වී තිබෙන එවැනි චිත්‍ර නිර්මාණ නියණ්ඩතාල් මානවයා විසින් අවුරුදු 64,000කට ඉහතදී කරන ලද බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

නිරිත දිග ප්‍රංශයේ සුප්‍රකට ලැස්කොවැක්ස් ගුහාවෙන් හමු වුණු ජීවමානාකාර සත්ත්ව රූපවලින් සතුන්ගේ නොයෙක් චලන පිළිබිඹු වන බවත් එම චිත්‍ර මෙකල දක්නට ලැබෙන එවැනි චිත්‍රවලටද වඩා උසස් නිර්මාණ බවත්, ඒවා වසර 30,000 කටද වඩා පැරැණි බවත් පර්යේෂකයෝ ප්‍රකාශ කරති. වසර 73,000කට පෙර මිනිසා විසින් අඳින ලද චිත්‍ර අප්‍රිකාවේ ලෙනකින් 2018 දී පවා සොයා ගැනීමට ගවේෂකයන්ට හැකි වී තිබේ.

එතෙත් මෙතෙක් හමු වී තිබෙන පැරැණිම චිත්‍ර දකුණු අප්‍රිකාවේ ගුහාවලින් සොයා ගැනුණු චිත්‍රම බවද විශේෂයෙන් අවධාරණය කරති.

ප්‍රංශයේ බෝර්ඩ්යෝක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රැන්සිස්කෝඩ් එරිකෝගේ උපදේශකත්වයෙන් පැවැත්වුණු මෙම අධ්‍යයනයේදී, එම සටහන් ගලේ පිහිටි ඒවාද නැතහොත් එහි යොදන ලද ඒවාදැයි නිශ්චය කරනු පිණිස, අන්වීක්ෂයක්ද උපයෝගී කර ගනිමින් පර්යේෂකයෝ ඒවා ඡායාරූපගත කළහ. සිය කාර්යයේ ප්‍රතිඵල වඩාත් හොඳින් තහවුරු කර ගැනීම සඳහා යළිත් ඔවුහු එම සටහන්, රාමන් වර්ණාවලික්‍ෂයක හා ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයක්ද යොදාගෙන පරීක්ෂා කළහ.

එම රේඛා සටහන් ගලෙහි යොදන ලද බව තහවුරු වීමෙන් පසු ගවේෂක කණ්ඩායම නොයෙක් සායම් වර්ග හා චිත්‍ර ඇඳීමේ තාක්ෂණ විධිද අත්හදා බැලූ අතර එම චිත්‍ර නිර්මාණය සඳහා කහ පැහැති හුනු වර්ගයක් සහ මිලිමීටර් එකත් තුනත් අතර ඝනත්වයකින් යුත් තුඩක් සහිත උපකරණයක්ද යොදාගෙන ඇති බව පැහැදිලිව පෙනී ගියේය.

මෙම රේඛා සටහන් ගල් පුවරුවේ කෙළවරින් ක්‍ෂණිකව අවසන් වී තිබීමෙන් පෙනී යන්නේ, මෙම සටහන් වඩාත් දිගට තිබුණු ගල් පුවරුවක වඩාත් දිගට විහිදී තිබුණු බව යැයිද සමස්ත චිත්‍රය බෙහෙවින් සංකීර්ණව තිබෙන්නට ඇතැයි ද ගවේෂකයෝ අදහස් කරති.

ශිලා යුගයේ ඉතිහාසය
ශිලා යුගය යනු, ගල් මෙවලම්වල වර්ධනයේ ආරම්භයෙන් සනිටුහන් වන මානව, ප්‍රාග් ඉතිහාසයට අයත් කාලයකි. මානව තාක්ෂණ විද්‍යාත්මක ප්‍රාග් ඉතිහාසයෙන් සියයට 95කටද වැඩි කාල පරාසයක් ඊට අයත් වෙයි.

එය ආරම්භ වන්නේ ඉපැරැණි මානව මුතුන් මිත්තන් ගල් මෙවලම් පරිහරණය කරන්නට පටන් ගත් පැරැණි ශිලා යුගයෙනි. එය වසර මිලියන 3.3කට ඉහත යුගයකි. වසර හාර ලක්ෂයත් දෙලක්ෂයත් අතර කාලයකට ඉහතදී ශෛල තාක්ෂණයේ නව නිර්මාණ බිහිවන්නට පටන් ගෙන එය ඉතා අල්ප වශයෙන් වේගවත් වූ යුගයක් උදා වූ අතර එය මධ්‍යම ශිලා යුගය යනුවෙන් හැඳින්විණි. මෙම යුගය ආරම්භයේදී අත් පොරව වඩාත් විචිත්‍ර ශිල්ප කෞශල්‍යයකින් නිර්මාණය විය. අන්තිමේදී රළු හා බරපතළ මෙවලම් වෙනුවට, ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පැතැලි හැඩයකින් යුත්ත මෙවලම් කට්ටල ආදේශ විය.

එම මෙවලම් කට්ටල අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල අවම වශයෙන්, අවුරුදු 2,85,000ක පමණ කාලයක් තුළද, යුරෝපයේ සහ බටහිර ආසියාවේ සමහර පෙදෙස්වල වසර 2,50,000ක්, 2,00,000ත් අතර කාලයක් තුළද මුල් බැස ගෙන තිබිණි. ඉන් පසුව එළැඹි ශිලා යුගයේදී නව නිර්මාණාත්මක ශිල්ප කෞශල්‍යය අතින් එම මෙවලම් වඩාත් දියුණු තත්ත්වයකට පත්විය. හෝමෝසේපියන් මානවයෝ ඔවුනට අවශ්‍ය වූ මෙවලම් නිර්මාණය සඳහා ගල්වලට අමතරව සත්ත්ව ඇටකටු. ඇත් දළ හා මුව අං තට්ටුද අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමට අත්හදා බැලූහ. වසර 50,000ත් 39,000ත් අතර කාලයකට අයත් මානවයන්ගේ චර්යා සමඟ බැඳුණු ඇතැම් සිද්ධි හා අප්‍රිකාවේ නූතන මිනිසාගේ චර්යාවලට අදාළ සමහර සිද්ධිද අතර සමානත්වයක් දක්නට ලැබේ.

ඒ යුගයේදී විවිධ මානව කණ්ඩායම් ඔවුනටම විශේෂ වූ සංස්කෘතික අනන්‍යතා ගොඩනඟා ගැනීමෙහි නිරත වෙමින්, මෙවලම් නිර්මාණය සඳහා ද ඔවුන්ගේම ක්‍රම උපයෝගී කර ගත්හ. ඉන් පසුව එළැඹි ශිලා යුගයට අයත් මානවයන්ගේ නිර්මාණ, තාක්ෂණ විධි මෙන්ම එම මානවයෝද ඊළඟ වසර දහස් ගණන තුළ අප්‍රිකාවෙන් බැහැරට විසිර ගියහ.

අයිබීරියන් අර්ධද්වීපයේ ගල් ගුහා තුනකින් හමු චිත්‍ර, අවුරුදු 64,000කට වඩා පැරැණි හෙයින් ඒවා නියණ්ඩතාල් මානවයන් විසින් අඳින ලදැයි නිගමනය කළ හැකි බව මෑතදී ඒ සම්බන්ධයෙන් පළ වුණු ලිපියක සඳහන් විය. දකුණු අප්‍රිකාවේ බ්ලොම්බස් ගුහාවෙන් හමුවුණු රේඛා චිත්‍ර හෝමෝසේපියන් මානවයන් විසින් නිර්මාණය කරන ලද පැරැණිතම චිත්‍ර බව එයින් සනාථ වන බවත් පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

ඔවුන් තවදුරටත් සඳහන් කරන පරිදි බ්ලොම්බස් ගුහාවේ චිත්‍රවලින් පමණක් නොව එහි පුරාවිද්‍යාත්මක ස්ථරයෙන් හමු වුණු සිප්පි කටුවල දක්නට ලැබුණු සටහන්වලින්ද එම නිර්මාණකරුවන්ගේ සංකේතාත්මක සිතිවිලි භාවම නිර්මාණද පිළිබිඹු වෙයි. දකුණු කේප් තුඩුවේ මුල් කාලීන හොමෝසේපියන් මානවයා එක සමාන රේඛා සටහන් විවිධ තැන්වල යෙදීම සඳහා එකිනෙකට වෙනස් තාක්ෂණ විධි උපයෝගී කරගෙන ඇතැයි මහාචාර්ය හෙන්ෂිල්වුඩ් ප්‍රකාශ කළේය.

මේ සටහන් ස්වභාවයෙන් සංකේතාත්මක වන අතර, අප හැම දෙනාගේම මුතුන් මිත්තන් වන අප්‍රිකානු හොමෝසේපියන් මානවයන්ගෙන් වර්තමාන ලෝකයට උරුම වුණු චර්යාත්මක පැත්තක් එයින් නියෝජනය වෙතැයි යන උපකල්පනයට මෙම නිරීක්ෂණයෙන් රුකුල් ලැබෙන බවද පර්යේෂකයෝ කියති.
පරිවර්තනය

ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon