තොටියයි,හබලයි එක ඔරුවයි

  👤  3589 readers have read this article !
2018-10-05

රටක ආර්ථිකය දියුණු කිරීමට සැබෑ බුද්ධිමතුන්ගේ සහාය අවශ්‍යය. ඉනුත් ප්‍රායෝගික දැනුම ඇති වෘත්තිකයන්ද එක්වීම යනු යහපත් ප්‍රවණතාවකි.

ඒ සියල්ලගේම මැදිහත්වීම මත ඉදිරි දැක්මක් සහිත ආර්ථික ඉලක්ක සකස් කරගත යුත්තේ ලෝක ආර්ථිකයේ ප්‍රවණතාවන් මෙන්ම කඩා වැටීම්ද සිහි නුවණින් අවබෝධ කරගෙන යථාවාදී දැක්මකිනි.

පසුගිය කාලය පුරාම ලෝකයේ ආර්ථික තත්ත්වයන්හි පැහැදිලි වෙනසක් ඇතිවෙමින් තිබීමත් ඊට අප අනුගතව, ප්‍රායෝගිකව මුහුණ දිය යුතුව තිබුණු අසීරුතා රැසකද සිර වී සිටියේ, ඉන් පෙර දැක්මක් සහිතව, ඇතැම් තීන්දු තීරණ නොගෙන තිබුණු බැවිනි. හදිසියේ ආර්ථිකය කඩා වැටුණේ නැති මුත් යම් අසීරුතා රැසක් එකපිට එකක් ලෙසින් පෙළ ගැසෙමින් තිබෙන්නේ මේ කාරණා පසුබිම්ව තිබෙන නිසාය.

යහපාලනය උදෙසා ආණ්ඩුවක් පිහිටුවාගත් මෛත්‍රිටත්, රනිල්ටත් පටන් ගන්නට තිබුණේ නරක තත්ත්වයක් මැදින් බව නොරහසකි.

එහෙත් එම නරක තත්ත්වය දුගඳ හැමුවත්, අපිරිසුදු වුවත් ඒ හැටි ලොවට ප්‍රකට නොවන තරමට, ඊට පෙර පැවැති පාලනය වසා දමා සුවඳ උලා, දසත මල් ගවසා මල් වට්ටියක් සේ පෙන්වා තිබිණි.

යහපාලකයන් ඒ මල් වට්ටියේ සැබෑ වීම කතාව හරි හැටි ජනතාවට කියා පෑවේ නැති වීම නිසාත් මේ ලෝක ආර්ථික අවපාතය හමුවේ අසරණය. ඇත්ත පසුව කියන්නට වීම නිසාද මහත් අසීරුතාවකට පත්ව ඇත. එය රාජ්‍ය මාධ්‍ය කියා පාන්නේ ඉතා දුර්වලම තත්ත්වයකිනි. ආණ්ඩුවකට කඩේ යන්නේ නැතිව අතීතයේ සිදුවූ සැබෑව කියාපාමින් වර්තමානයේ පෙළගැස්වී ඇති ගැටලු ගැන යහපත් අවබෝධයක් ජනතාව අතරට ඒ නිසාම යන්නේ නැත. මේ නිසාම පොදුවේ ගත් කල ජනතාව බඩු මිල වැඩිවීමත්, ජීවන තත්ත්වයේ පහත වැටීම ගැනත් අවබෝධයකින් තොරව ආවේගශීලීව, හැඟීම්බරව එක එක අදහස් ප්‍රකාශ කරන තැනට වැටී ඇත. මෙය ඕනෑම රජයකට අහිතකර වන්නා සේම වත්මන් රජයටත් එය බරපතළ ලෙස බලපාමින් ඇත.

මෙය දේශපාලනයට ගළපා ගන්නා විරුද්ධ පාර්ශ්වයේ දේශපාලනඥයන් සත්‍යයෙන් එහා ගිය හුදු දේශපාලනික පරමාර්ථ වෙනුවෙන් තම තමන්ට රිසි පරිදි ආර්ථික විද්‍යාත්මක සිහින ලෝකවල රැඳී සිටිමින් එක එක කතා කියති. ඒ කතා දේශපාලන සීනි තවරා රස කර, තලු මරමින් රසවිඳින්නට, භාරගන්නට සැදී පැහැදීගත් හිතවාදී පාක්ෂිකයන්ද සිටීම තවත් තත්ත්වයකි. ඔවුහු රට පුරා පතුරුවන්නේද තමන්ගේ දේශපාලන, ආර්ථික විද්‍යා ඔස්තාර්ලාගේ අමන කතාය. පුහු කතාය. වෛරී කතාය. මෙය රනිල්ට හෝ මෛත්‍රිට හෝ පාලනය කළ නොහැකි තත්ත්වයකි.

මෙවැනි පසුබිමක් මැද රු. 10,000කින් පඩි වැඩි කර රාජ්‍ය සේවකයාගේ වැටුප තර කිරීමත්, එතෙක් පැවැති වැඩිම ගෑස් මිල හිතුවාටත් වඩා අඩු කරදීමත් තවත් දැනෙන සහන රැසක් භුක්ති විඳීමට සලස්වා තිබීමත් අමතක කර දමා තිබෙන්නේය. මේ නිසාම රටේ මේ වන විට ආර්ථිකයේ යම් අපහසුතාවක් සිදුවී තිබීම හරිහැටි පෙන්වා දෙන්නටත් එය ජනතාවට හරි හැටි තේරුම් යන සේ කියා දීමටත් රාජ්‍ය මාධ්‍ය බරපතළ ලෙස අපොහොසත්ය.


රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පල් හෑලි ‍ෙදාඩ ‍ෙදාඩා දන්නා කියන මුහුණු ටිකක් හැමදාමත් කැන්දාගෙන කරන, සාලයේ කතාබහකට එහා ගිය ගුණාත්මක ක්‍රියාන්විතයකට අවතීර්ණ වී නැත.

කිහිපවරක්ම බි්‍රතාන්‍යයේ ආර්ථිකයේ සිතාගත නොහැකි කඩාවැටීම් සිදුවීමට ආසන්න වෙද්දීත්, කඩා වැටුණු පසුත් එය යථා තත්ත්වයට පත් කරගත යුතු අන්දම ගැනත් රජයට හිතවත් මාධ්‍ය හැසිරුණු ආකාරය විශිෂ්ටය. ඇතැම් විද්‍යුත් මාධ්‍ය රූපවාහිනි නාළිකා හරහා ආර්ථිකයේ කඩා වැටීමේ සැබෑවන් දැවැන්ත පසුතල දර්පණ මත සංඛ්‍යාලේඛන සහිතව ඒ ඒ වසරවල ඇතිවූ සැබෑ තත්ත්වයන් දක්වමින් විවරණයක යෙදුණේ සරලව වටහා ගත හැකි ආකාරයටය.

ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රථම ඒ ඒ වකවානු තුළ සිටි අග්‍රාමාත්‍යවරුන් හා මුදල් ලේකම්වරුන් ආර්ථිකය යථා තත්ත්වයට හරි හැටි ගත්තාද, නැද්ද? ඒ නැත්තේ ඇයිද යන්නත් ඒ ඒ තත්ත්වයන් සැබෑ ලෙසම ස්පර්ශ කරමින් දැක්වූයේ විශිෂ්ට ලෙසය. කිසිවකුටත් වහසි බස් ‍ෙදාඩා පැනලා යන්නට බැරිවෙන තරමට ඒ ඒ විෂයයන්හි ප්‍රගුණ දැනුවත් මාධ්‍යවේදීහුම මේවා නිසි ලෙස කළමනාකරණය කළහ.

වරෙක යුරෝපයේ තත්ත්වයත් යුරෝපා සංගමයට එක්වීමෙන් ඇතිවන හානියත් වාසියත් ඉතා විශිෂ්ට ලෙස අර්ථ නිරූපණය කළේ ආර්ථික විද්‍යා දැනුමක් නැති ඕනෑම බාලයකුටත් තේරුම් යන ආකාරයෙනි. මේ තත්ත්වය කොයිතරම්ද කියතොත් වරක් ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ දරු පවුලත් සමඟ ගෙදරට අවශ්‍ය පාන් ගෙදරදීම පුච්චාගෙන කන්නට තමන් පෙලඹී සිටින බව නොසඟවා කීවේය.

එය බි්‍රතාන්‍ය මාධ්‍ය ඉතා හොඳින් රටට පෙන්වා දුන්නේය. මේ වැදගත්, යහපත් මාධ්‍ය භාවිතය හා දැක්ම මෙරට රාජ්‍ය මාධ්‍ය මෙහෙය වන්නන්ට නැති වීම බරපතළ ඛේදවාචකයකි. ශරීර කූඩු කිහිපයක් සුවපහසු පුටුවල සතපවා ඉහළ වැටුප් සහිතව පවත්වාගෙන ගියද ඔවුන් අතින් මේ ජනතාවාදී සද්කාර්යය ඉටු වන්නේ නැති බව හොඳහැටි ඔප්පු කර හමාරය. එක්කෝ ඔවුන් එය කරන්නට සූදානම් නැත. නැතහොත් කරන්නට දන්නේ නැත. දන්නා අය ළඟා කරගෙන යන්නට සූදානමක් නැතිවා වන්නටද පුළුවන.

මේ රික්තය පුරවන්නට විරුද්ධ පාර්ශ්වයේ සිටින ආණ්ඩුවට එරෙහි මාධ්‍යකරුවන්, මාධ්‍ය ආයතන යුහුසුලුව සිටින්නේ තමන්ට ඕනෑ කරන මතවාදයම දක්වන්නටය. ඊට දැක්මක් ඇත. එනම් තමන් කැමැති බලවේග රජ කරවන්නටය. ඒ සඳහා ඕනෑම දෙයක් කරන්නට, ආර්ථිකය ගැන ඕනෑම කතාවක් කියන්නටත්, දක්වන්නටත් පෙලඹෙන්නේය. එය දුර්වල රාජ්‍ය මාධ්‍ය භාවිතය හමුවේ ඉතා ඉහළ තිබෙන ප්‍රතිචාරාත්මක තත්ත්වයකි. මෙය ආණ්ඩුවට අවාසි සහගතය.

ආර්ථිකය මෙහෙය වන අමාත්‍යාංශ සියල්ල තිබෙන්නේ රනිල් හා ඔහුගේ පාර්ශ්වය අත නිසා ආර්ථිකයේ යම් කඩාවැටීමක් සිදුවී නම් සිදුවන්නට ඉදිරියේ තිබේ නම් ඒ සියල්ල පහදා දෙන්නට වන්නේ රනිල්ටය. ඔහුට සහාය වන දැක්මක්, දැනුමක් ඇති අයටමය. එහෙත් මෙහිදී හර්ෂ ද සිල්වා වැනි ප්‍රායෝගික දැනුමක් ඇති අයට පමණක්, රනිල්ට පමණක් මෙය තනිව කරන්නට පුළුවන් දෙයක් නොවේ. එහි අරුත නම් මේ දැනුවත් වීම ජනතාවට නොදුන්නොත් එය ආණ්ඩුවට අවාසියක්ම වන නිසාය.

එනිසා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට මහින්ද රාජපක්ෂ සමයේ ඇතිවූ ආර්ථික අර්බුද තුළ සිදුවූ දේත්, සිදුවූ මිල වැඩිවීම් කිහිපයත් ඒවා කළමනාකරණය කරන්නට ගිය විධිමත් නොවූ තත්ත්වයන් ගැනත් ලේඛනයක් සොයා ගැනීමට කවුරු කවුරුත් උදවු කළ යුතුය. එදා තත්ත්වයත් අද තත්ත්වයත් පවතින යම් අර්බුදකාරී තත්ත්වයන් මත මේ තරමින් හෝ සහනයක් දෙමින් සිටීම ගැනත් තොරතුරු සොයා ගන්නට කිව යුතුය.

ඒවා ඉතා සිත්ගන්නාසුලු, මහ පොළොවේ පය ගසා සිටින ආකාරයෙන් දැක්විය හැකි ආකාරයේ තාක්ෂණික හරඹයන් දැක්විය හැකි ශිල්පීන් ළඟා කරගත යුතුය. රූප රාමුවේ පටන් අවසන් තත්පරය දක්වා වැඩසටහන් ජනතාවට යථාවාදීව සමීප කරවිය හැකි ආකාරයේ ප්‍රවණතාවක් ඇතිවිය යුතුය.

කෙසේ වෙතත් හන්දියක් හන්දියක් ගාණේ, රැස්වීමක් රැස්වීමක් ගාණේ, රනිල්ට පමණක් මේ දේ කියමින් රට වටේ යන්නට බැරිය. එහෙත් රනිල්ට මේ තත්ත්වයේ බරපතළකම හොඳහැටි වැටහේ. එහි උච්චතම අවස්ථාව සලකුණු කරමින් ඔහු පසුගියදා වනාතවිල්ලුවට ගොස් කී දේ සැලකිය යුතුය.

"2008 වන විට ඇමෙරිකානු ආර්ථිකය බිඳ වැටී තිබුණා. ඩොලරයට ලැබෙන පොලිය ඉතා අඩු වී තිබුණා. ඒ නිසා ඇමෙරිකානු ආයෝජකයන් තම මුදල් ඇමෙරිකානු බැඳුම්කරවල තැන්පත් නොකර වෙනත් රටවල ආයෝජනය කිරීමට පෙලඹුණා. ඒ මුදල් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ තුළ නොව වෙනත් රටවල කොටස් වෙළෙඳපොළවල්හි ආයෝජනය කෙරුණා."

"එදා පැවැති ආණ්ඩුව ඒ මුදල් ශ්‍රී ලංකාව තුළට ගෙන්වා ගැනීමට තීරණය කළා. ඒ මුදල් සඳහා වැඩි පොලිය ගෙවීමට සිදුවුණා. ඕනෑම ආයෝජකයකුට ඕනෑම අවස්ථාවක කොටස් වෙළෙඳපොළට ඇතුළු වී කොටස් මිලදී ගැනීමටත්, නැවත විකිණීමටත් අවසර ලැබුණා. ඒ මුදල් ගැනීම හරහා මහාමාර්ග ආදිය ඉදිකරමින් ඔවුන් රට පාලනය කළා. ඒ අවස්ථාවේදී අපි කිව්වේ මේ ආකාරයට විශාල වශයෙන් විදේශ ණය නොගන්නා ලෙසයි. ඇමෙරිකානු ආර්ථිකය නැවත ශක්තිමත් වන විට සියලු මුදල් නැවතත් එරටට ගලා යන බැවින් අප විශාල අර්බුදයකට ලක්වන බව මා එදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. එදා ඇති වී තිබුණේ වැස්සකට මඟ නතර වෙනවා වැනි තාවකාලික තත්ත්වයක්. ඒ ක්‍රියාමාර්ගයට යොමු නොවී විදේශ ආයෝජකයන් වෙත අවධානය යොමු කරමුයි මා කිව්වා"

රනිල් කියූ මේ ටික මීට වඩා හොඳින් දැනෙන විදියට, ජනතාවට බලපාන විදියට, ජනගත කරන්නට බැරි රාජ්‍ය මාධ්‍යයන්ගෙන් වැඩක් නැත. ඒවා බරපතළ ලෙස වගකීම්වලින් දුරස් වී නම් යථා තත්ත්වයට පත් කළ යුතුය.

රනිල් පමණක් නොව වගකිව යුතු විෂය ගැන දන්නා ඇමැතිවරුද මීට වඩා ජනතාව ගැන සිතා මේ තත්ත්වය වටහා දිය යුතුය. එය නොවූයේ නම් ප්‍රතිඵලය ඉතා නරකක් මිස හොඳක් නම් නොවනු ඇත.

ඒ නිසා හැමෝම යන ඔරුවට එක හබලක් පමණක් ප්‍රමාණවත් නැත.

කවුරුත් එක පෙළට වාඩි වී එකාවන්ව වෙර යොදා එක හබලක් නොව හබල් සිය ගණනක් ගෙන හෝ මේ සැඩ දිය පහර හරහා ඔරුව තරණය කළ යුතුමය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon