පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නාගේ ළමා බිරිය රුතී

  👤  3675 readers have read this article !
2018-10-07

සුරතලයට "රුතී" යන නමින් හැඳින් වූ රත්තනබායි ඉපදෙන්නේ 1900දී එකල සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවේ බොම්බායේදීය. ඇය අයත් වන්නේ ඉතා ඉහළ ව්‍යාපාරක පසුබිමක් ඇති ධනවත් පාරිස්වරුන්ගෙන් සැදි සමාජයකටය. ඇගේ පියා සර් දින්සෝ පෙට්ටිය. පාරිස්වරු යනු අරාබි ආක්‍රමණ පැවැති සමයේ පර්සියාවෙන් ඉන්දියාවට පැමිණි අයගෙන් පැවත එන්නන්ය.

මුම්බායිහි මලබාර් කඳු වැටිය අසල පිහිටි 'පෙට්ටි හෝල්' නම් නිවාඩු නිකේතනය රත්තනබායිගේ පවුලේ අය ප්‍රිය කළ ස්ථානයකි. එහි නිතර ආ ගිය ඉතා පිළිවෙළට ඇඳුම් පැලඳුම් කළ, කඩවසම්, උගත්, බුද්ධිමත්, ධනවත්, අසීමිත ආත්ම විශ්වාසයකින් හෙබි පෞරුෂයකින් යුතු වූ පියාගේ මිතුරු නීතිඥවරයකු විය. රත්තනබායිගේ පියාට වඩා ඔහු බාල වූයේ තෙවසරකට පමණය.

ඔහු නම් පසු කලෙක ඉන්දියානු දේශපාලනයේ පතාක යෝධයකු වූ මුස්ලිම් ජනතාවට පාකිස්තානය දිනා දුන් මොහොමඩ් අලි ජින්නාය. ඒ වනවිට පළමු විවාහයෙන් ඉවත්ව හතළිස් වියේ සිටි තනිකඩයකු වූ ඔහු පවුලේ හිතවතකු වූ බැවින් තවම දහසය වැනි විය වත් සම්පූර්ණ කර නැති දියණියක බඳු වූ රත්තනබායි සමඟ නිදහසේ අදහස් හුවමාරු කර ගනිද්දී කිසිවකු ඔවුන්ගේ ඇසුර සැක නොකළහ. ඔවුහු සුන්දර ස්ථානවල චාරිකා කළහ.

ක්‍රමයෙන් ප්‍රේමයෙන් බැඳුණු ඔවුන් දෙදෙනා කාටත් හොරා විවාහ ගිවිස ගත්හ. ඔවුන් අයිති වූයේ ආගම් දෙකකටය. මිතුරු කැල ප්‍රියසම්භාෂණයේ යෙදී සිටින අවස්ථාවක තම විවාහ යෝජනාව රත්තනබායිගේ පියාට ඉදිරිපත් කළේය. මෙය ඇගේ පියාට වැදුණු හෙණ පහරක් මෙන් විය.

ඔහු කෝපාවිෂ්ට වී ඒ මොහොතේම අලි ජින්නාට තවත් වචනයක්වත් කතා නොකර පිට වී යන ලෙස අණ කළේය. ඔවුන් ආගමික භේදයටත් වඩා මෙයට විරුද්ධ වූයේ දෙදෙනා අතර වූ අවුරුදු විසි හතරකටත් වඩා වූ වයස් පරතරයටය. දෙදෙනාගේ ඇසුර තහනම් විය.

තවත් වසරක් පමණ ගත විය. පිරිමි දරුවන් තිදෙනෙක් සිටි පවුලේ එකම දියණිය රත්තනබායි බැවින් ඇගේ උපන් දින සාදය ජයටම ගැනීම ඔවුන්ගේ සිරිත විය. දහසය වැනි උපන් දිනය ගැහැනු ළමයකු ‍ෙදාරට වඩින විශේෂ අවස්ථාවක්ද වූ බැවින් මුම්බායිහි පිහිටි ටජ් මහල් හෝටලයේ උත්සවය ලක ලෑස්ති විය. පරිපූර්ණ රසවත් භෝජන සංග්‍රහයකින් පසු අමුත්තන් නැඟිට කතා කරන අවස්ථාවේ රත්තනබායිද අමුත්තන් ඉදිරියේ නැඟිට සිටියාය. කිසිවකුත් නොසිතූ ලෙස මෙසේ පැවසුවාය.

"පියාණනි, ඔබට බොහොම ස්තුතියි මා වෙනුවෙන් මෙතෙක් කලක් කළ සියලු දේට. එහෙත් මම අද ඔබ සැම ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා මොහොමඩ් අලි ජින්නා මට විවාහ යෝජනාවක් කර ඇති බවත් මම එය පිළිගන්නා බවත් නොබෝ දිනකින්ම අප අතර විවාහය සිදුවන බවත්, ඔබ සියලු දෙනා මට සුබ පතනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" ඇය එසේ පවසා හිඳ ගන්නා විට ඇති වූයේ කන් බිහිරි කරවන තරම් දැඩි නිශ්ශබ්දතාවකි. රත්තනබායිගේ පියාට අමුත්තන් ඉදිරියේ ඇගේ ස්ථිරසාර තීරණයට එරෙහි වන්නට නොහැකි විය.

පසුව මවුපියන් කොතෙක් උත්සාහ කළත් තම ජීවන ගමනේ සහකරු ඔහු හැර වෙන කිසිවකු නොවන බවට ඇය දැඩිව සිටියාය. 1918දී 18 හැවිරිදි රත්තනබායි තම ආගම හැර දමා මුස්ලිම් ආගම වැලඳ ගෙන, මුස්ලිම් ආගමානුකූල විවාහයකින් 42 වියැති අලි ජින්නා අත ගත්තාය.

රත්තනබායිගේ පියා තමාට ද්‍රෝහි වූ තම මිතුරා අලි ජින්නා සතුරකු සේ සැලකූ අතර දියණියට උරුම වූ මහා දේපළ ධනස්කන්ධයෙන්ද සතයකවත් හිමි කමක් නොදී, පවුලෙන් පිටමං කළේය. ඔවුන් දෙදෙනා පාරිස් සමාජයෙන්ම සමුගත්තෝය. ඉන්දියාවේ කපු කර්මාන්තශාලා මුල් වරට පිහිටු වූ දක්ෂ ව්‍යාපාරිකයකුගේ මිනිබිරියක වූ රත්තනබායි පාකිස්තානය නිර්මාණය කළ දේශපාලන වීරයාගේ බිරිය බවට පත් වූයේ එසේය.

ඔවුන්ගේ එකම දරුවා වූ දිනා උපදින්නේ ඉන් වසරකට පමණ පසුවය. හුදෙකලාව මකා ගැනීමට ඔහු ඇයව නිතර යුරෝපා සංචාරවල ගෙන ගියාය. දිගැති කේශ කලාපය මලින් සරසාගෙන, විවිධ ඇඳුම් මෝස්තරවලින් සැරසී ගෙන, තවමත් දැරියක මෙන් වූ රත්තනබායි තම වැඩිහිටි සැමියාත් සමඟ සංචාරය කරන විට කාගේත් දෑස් ඇය වෙත යොමු විය. ඇයට දිගු කලක් තම සැමියාගේ අවධානයේ සුරතල් වෙමින් ඉන්නට නොහැකි වූයේ 1922 වන විට ඉන්දියාව කලඹාගෙන ඉදිරියට විකාශනය වෙමින් පැවැති හින්දු-මුස්ලිම් ගැටුම් සංසිඳවීම වෙනුවෙන් නායකත්වය දීමට මොහොමඩ් අලි ජින්නාගේ පූර්ණ අවධානය යොමු වූ බැවිනි.

මවුපියන් හැර දමා තමා හා පැමිණි තම බාල වියේ සිටි බිරිය සැනසීම එක් පසෙකත් තවත් පසෙකින් විශාල දේශපාලන සටනකත් නිරත වෙමින් මුස්ලිම් ජනයාගේ සුබසිද්ධිය තකා අවධානය දීමත් අතර මොහොමඩ් අලි ජින්නාගේ පෞද්ගලික ලෝකය තවදුරටත් සතුටුදායක එකක් නොවීය. විවාහය බිඳවැටුණු අතර ඔහු පූර්ණකාලීනව දේශපාලනයට යොමු වී මුස්ලිම් ජනතාවට වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ සටනේ පෙරමුණ ගත්තේය. 1947 අගෝස්තු 14 ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානය බිහි විය.

රත්තනබායි 1929දී පිළිකා රෝගයෙන් මිය යන්නට පෙර ලියූ අවසන් ලියුම අෑ තුළ ඔහු වෙත නොනැසී සැමදා පැවතුණු ආදරය ඉමහත් ලෙස ප්‍රකාශ කර තිබුණු අතර, මොහොමඩ් අලි ජින්නාද ඇය මිය ගිය මොහොතේ ප්‍රසිද්ධියේ කඳුළු සැලීමද අපට පවසන්නේ දෛවයේ හැලහැප්පීම් නිසා වෙන්ව සිටින්නට සිදු වුවද ඔවුන් දෙදෙනා පිවිතුරු ආදරයකින් බැඳී සිටි බව නොවේද?

"ඇය ළමයෙක්ව සිටියේ. මම ඇයව විවාහ කර ගැනීම ජීවිතයේ සිදු වූ බරපතළ අත්වැරැද්දක්" ඔහු වරෙක මිතුරකු හා පවසා තිබිණි.

කොතරම් දැඩි මතධාරියකු තුළ වුවද සංවේදී මිනිසකු ජීවත් වන බව අපට කියා පාමින්, මොහොමඩ් අලි ජින්නා ඇගේ මරණයෙන් ‍ෙදාළොස් වසරකට පසුව පවා, මධ්‍යම රාත්‍රියේ තම බිරියගේ ඇඳුම් පැලඳුම් සහිත විශාල ලීමුවා පෙට්ටිගම ගෙන්වාගෙන එහි ඇති ඇඳුම් එකින් එක ඉවතට ගෙන, කාපට් එක මත එළා ඒ දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටින්නට පුරුදුව සිටි බව ඔහුගේ නිවෙසේ සේවකයෝ පවසති.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon