විජේවීර හමුවන්නට අලි, කොටි, වලසුන් මැද මහ රෑ කැලේට ගිය ගමන

  👤  3186 readers have read this article !
2018-10-07

එකල ජවිපෙ නායකයන් සිටියේ පක්ෂ තහනම නිසා යටිබිම් ගත දේශපාලනයට හැඩගැසෙමිනි. බොහෝ දිස්ත්‍රික් සංවිධායකයන් තමන් වැඩකළ දිස්ත්‍රික්කවලින් මාරු කරන ලදී. 1983 අගෝස්තු මාසය එළැඹෙන විට ලයනල් බෝපගේ, සෝමරත්න කළුආරච්චි යන දේශපාලන මණ්ඩල සාමාජිකයන් සිර භාරයට ගෙන සිටියේය. විජේවීර වන ගතව සිටි අතර සෙස්සෝ තමන් නිතර ගැවසුණු දිස්ත්‍රික්කවලින් මාරු කරන ලදුව තරමක්දුරට හෝ වෙස් මාරු කරගෙන පක්ෂ සංවිධාන කටයුතුවල නිරත වූහ.

ගාලු දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කළ මට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට ගොස් වෘත්තීය අංශයේ වැඩ භාරගන්නට නියම විය. දේශපාලන මණ්ඩලයෙන් එවකට වෘත්තීය අංශය භාරව සිටි ගමනායක එයින් ඉවත්ව වෙනත් සංවිධාන වැඩවල නිරතව සිටියේය. පක්ෂ තහනම නිසා වෘත්තීය අංශයේ කටයුතු සෑම දිස්ත්‍රික්කයකම පාහේ බිඳ වැටී තිබිණි. සෑම දිසාවකටම ගොස් වෘත්තීය අංශයේ දිස්ත්‍රික් කමිටු රැස්කොට විධිමත් කිරීම මට පැවරුණු රාජකාරිය වූයේය. දේශපාලන මණ්ඩලයෙන් මගේ කටයුතුවලට නායකත්වය සැපයුවේ සුමිත් අතුකෝරලය.

සුමිත් එකල රහසිගතව පදිංචිව සිටියේ පැලැන්වත්තේ නිවෙසකය. කොට්ටාව හන්දියෙන් 255 පාරේ පින්හේන හන්දියට ගොස් හොරණ පාරේ බස් පින්හේන හන්දියට ගොස් හොරණ පාරේ බස් හෝල්ට් දෙකක් පමණ ගිය තැන පාර අයිනේ නිවෙසක සුමිත් නතරව සිටි ඇනෙක්සිය පිහිටා තිබිණි. සුමිත් කවුදැයි එම නිවැසියෝ දැන සිටියේ නැත. එකල සුමිත් අතුකෝරලට මාස දෙකක තරමේ දරුවකුද සිටියේය. ලංකාව පුරා දුවන ඔහු මා හමුවන්නේ කලින් නියම කරගත් දිනකය. නියම කරගත් තැනට ගොස් ඔහු හමුවන්නට මට හැකි විය.

අගෝස්තු මැද හරියේ දිනක සුමිත් මට දැනුම් දුන්නේ ඔහු සඳහන් කළ දින උදේ 9.00ට පිටකොටුව මධ්‍යම බස් පොළේ මහනුවර නැවතුමේදී සුදු අයියා හමුවන ලෙසය. පක්ෂ තහනමෙන් පසු සුදු අයියා යනුවෙන් අප හැඳින්වූයේ පක්ෂයේ ලේකම් පියදාස රණසිංහය. කෙසේ වුවද නියමිත දින, නියමිත වෙලාවට මම මහනුවර නැවතුම කරා යමින් සිටියදී පිටකොටුවේ බෝධිය ඉදිරිපිටදී මට සුදු අයියා හමුවිය. අපි දෙදෙනාම නොදුරෙන් වූ වීර හෝටලයට ගොස් ප්ලේන්ටි බොන ගමන් අවශ්‍ය කරුණු කතා කර ගතිමු.

සුදු අයියා පැවැසුවේ,
'අන්න ඔහේව එවන්න කියලා එඩ්වඩ් පණිවුඩ කිහිපයක්ම එවලා තිබුණා. (ඒ දිනවල එඩ්වඩ් කියන නම භාවිත කළේ විජේවීරටය)
'මට පණිවුඩ ලැබුණෙ නැහැනෙ. ඉතින් ලැබුණා නම් මම යනවනෙ.'

'හරි. 18 වැනිදා රෑ 7.00ට තිස්සමහාරාමෙ බස් ස්ටෑන්ඩ් එකට යන්න. එතෙන්ට කෙනෙක් එයි. හැබැයි සරම ඇඳලා හේන්වලට යන විදියට යන්න. තව වැඩක් කරන්න තියෙනවා.
ටෙන්ට් රෙදි වාගෙ හොඳට ඝනකම රෙදි යාර දෙකක් විතර දෙපැත්තෙ වාටි පළලට මහලා ගෙනියන්න. හදිසියක් වුණොත් ලෙඩෙක් ගෙනියන්න පුළුවන් ස්ටේචර් එකක් හදා ගන්න. වෘත්තීය අංශෙ ප්‍රගති වාර්තාත් ගෙනියන්න වෙයි' සුදු අයියා කීවේය.

පිටකොටුවේ හරස් වීදිවල ඇවිද සුදුසු ඝනකම් රෙද්දක් සොයාගත් මම මැලිබන් වීදියේ සිටි වයසක ටේලර් මහතකු ලවා පොලු දෙකක් දැමිය හැකි පරිදි වාටිද මස්සවා ගතිමි.

ඔහුට පිළිතුරු දුන්නේ බාලදක්ෂ ජම්බෝරියකට ගෙනයෑම සඳහා එවැන්නක් අවශ්‍ය බවය. 18 වැනිදා උදෑසනම පිටකොටුවට පැමිණියේ කතරගම බසයක් අල්ලා ගන්නා අදහසිනි. හවස 5.00 පමණ වෙද්දී තිස්සමහාරාමයේ පුංචි පාලම අසලදී බසයෙන් බැස රබර්වත්ත පාරේ ප්‍රේමසිරිලාගේ ගෙදරට ගියෙමි. එහිදී ඇඳුම් මාරු කරගෙන ප්‍රේමසිරි සමඟ ඇළට ගොස් දිය නා පැමිණෙනා විට ප්‍රේමසිරිගේ අම්මා කෑමද සූදානම් කර තිබිණි. එහි සිටි සහෝදරයකු සයිකලයකින් මා බස් නැවතුම්පොළට ගෙනැවිත් දමා පිටව ගියේය.

නගරයේ විදුලි ආලෝකය තිබුණත් බස් නැවතුම පැවැතියේ අඳුරේය. කතරගම සහ තංගල්ල බස් රථ දෙකක් පමණක් එහි නවත්වා තිබිණි. මඳ වේලාවකින් මා අසලට පැමිණි තරුණයකු කතරගම බසයට නඟින්නැයි කියා ඉවත් විය. මම එයට නැඟ අසුන් ගත්තෙමි. බස්රියේ මගීන් හත් අට දෙනකුට වඩා සිටියේ නැත. මා අත වූයේ සිමෙන්ති කවරයක ඔතනු ලැබූ ස්ටේචරය සඳහා සකස් කළ රෙද්ද පමණි.

කතරගම බස් රථය ප.ව. 7.30ට පිටත් වූ අතර මා සමඟ කතා කළ සහෝදරයා රියැදුරු අසුනට පසුපස අසුනේ වාඩි වනු පෙනිණි. මා විමසිල්ලෙන් සිටියේ බසයෙන් බසින්නට ඔහුගෙන් සංඥාවක් ලැබෙන තුරුය. දෙටගමුවට බසය පැමිණි විට සීනුව නාද කළ ඔහු මට සංඥා කළෙන් මම පසු පස ‍ෙදාරෙන් බසයෙන් බැස ගත් අතර ඔහු ඉදිරිපස ‍ෙදාරෙන් බසිනු දුටුවෙමි.

වෙලාව රාත්‍රි 8.00ට ආසන්නව තිබිණි. අප දෙදෙනා සිටියේ ගන අන්ධකාරයකය. අප සිටි බස් නැවතුමෙහි විශාල සියඹලා වෘක්ෂයක් විය. කොළඹින් තවත් කෙනෙක් එන්න ඕන.

අන්තිම කොළඹ බස් එක එනකන් අපිට ඉන්න වෙනවා. එයා මෙතැන බහින්න දන්නවා. අපි ටිකක් බලලා යමු ඔහු කීවේය. අපි දෙදෙනා සියඹලා ගසට මුවා වී අඳුරට වී සිටියෙමු. මෝටර් රථයක් දෙකක් ඉඳහිට පාරේ ගමන් කළේය. අප සිටි සියඹලාව අසලින් ගමට යන ගුරුපාර වැටී තිබිණි. බොහෝ වේලා ගතවන තුරුත් කොළඹ බසය පැමිණියේ නැත. මේ අතර විදුලි පන්දම් එළියක් සමඟ කතරගම පැත්තේ සිට කිහිපදෙනකු අප සිටින දෙසට පැමිණෙන අයුරු අන්ධකාරය තුළින් ඇදී ගිය මෝටර් රථයක එළියෙන් දැක ගත හැකි විය. 'ඒ එන අය සහෝදරයව දන්නවා. ඔහේ මේ වෙලාවෙ මෙතැන ඉන්නවා දැක්කොත් සැක හිතන්න පුළුවන්. අපි ටිකක් එහාට යමු' යැයි කියමින් ගම්මානයට යන පාරේ යාර කිහිපයක දුරක් ගිය ඔහු පාරට ආසන්නව පිහිටි කෙසෙල් කොටුවක් තුළට රිංගන්නට මට උපදෙස් දුන්නේය.

මම කළුවරේම කෙසෙල් වගාව තුළට රිංගා වාඩි වුණෙමි. සහෝදරයා අත වූ කුඩා ගමන් මල්ලද මා අතට දී ඔහු නැවතත් ප්‍රධාන පාරට ගියේය. මා සිටි කෙසෙල් වගාව මැදින් එම ඉඩමේ නිවෙසට යන පාර වැටී තිබිණි. යාර 20ක් තරම දුරින් නිවෙස පිහිටා තිබූ අතර එහි ඉස්තෝප්පුවේ පහනක් දැල්වෙමින් තිබූ අතර දෙදෙනකු වාඩි වී කතා කරමින් සිටිනු යන්තමින් ඇසිණි.

මා සිටින තැනට අෑතින් කතරගම පාරේ සියඹලාව පෙනෙන්නේ ඉඳහිට දුවන වාහනවල එළියෙනි. පාරේ ඉදිරියට පැමිණි තරුණයන් සියඹලාව යට නැවතී උස් හ¾ඩින් කතා කරති.

පාපැදියක්ද එහි තිබේ. ඔවුහු වරින් වර කොක් හඬලා සිනාසෙනුද ඇසුණේය. එහි ප්‍රතිඵලය වූයේ මා සිටින ඉඩමේ පිහිටි නිවෙසේ බල්ලා බුරමින් කඩුල්ල දෙසට දිව ඒමය. බල්ලා දිවයන්නේ මා සැඟවී සිටින කෙසෙල් පඳුරුවලට යාර දෙක තුනක් ආසන්නයෙනි. වියළි කෙසෙල් පිති ගොන්න නිසා කෙසෙල් පඳුරු අස්සේ අන්ධකාරය දැඩිය. පළගැටියකු නඟන කීස් හඬ කන සිදුරු කරමින් ආසන්නයෙන්ම ඇසේ. කෙසෙල් පඳුරු ගොන්නේ සිටි කුහුඹුවන් විශේෂයක් ඇඟ පුරා ගමන් කරති. එහෙත් අත පය සෙලවුවොත් වියළි කෙසෙල් පරඬැල්වලින් සර සර හඬ නැඟේ.

මම නිසොල්මනේ සිටියෙමි. කඩුල්ල අසලට දුවන බල්ලා දෙවරක් බුරා නැවතත් නිවෙසටම දිව ගියේ වරක් දෙකක් නොවේ. මට නොදුරෙන් දිව යන බල්ලාට වත්තට ඇතුළුව සිටින ආගන්තුකයාගේ ඉව නොවැටීම ගැන මම පුදුම වුණෙමි.

යාළුවා මා අතට දී ගිය ගමන් මල්ල තරමක් බරය. කෙසෙල් ගොන්නේ සිටම මම ඊට අත දමා බැලුවෙමි. එහි සීනි, තේ කොළ මුල් කිහිපයක් සහ පිස්තෝලයකි. එයට පතරොම් දමා ඇත්දැයි සැක සිතුණු බැවින් එය අතපත නොගාන්නට පරෙස්සම් වුණෙමි. ටික වේලාවකින් සියඹලාව යට සිටි තරුණයන් විසිර ගියේය. පාපැදියක නැඟුණු දෙදෙනකු ගම්මානයට වැටුණු පාර ඔස්සේ ගියේය. තවත් ටික වේලාවකට පසු බස් රථයක් නද දීගෙන කතරගම දෙසට යනවා ඇසිණි.

කිසිවකු කෙසෙල් කොටුව ආසන්නයට පැමිණ ටොක් ටොක් හ¾ඩින් සංඥා කළෙන් මම එළියට ආවෙමි.

'අපි යමු. කොළඹ බස් එක ගියා. එන කෙනා ආවෙ නෑ.' යාළුවා කීවේය. අපි ගම්මානයට වැටුණු පාරේ අඳුරේම ගමන් කළෙමු. මම ඒ අතර කමිසය ගලවා හොඳින් ගසා දැමුවේ කූඹින්ගේ සපා කෑම ඉවසිය නොහැකි තැනය.

චි-- ගස් ගඳේ බෑ' යාළුවාද කමිසය ගලවා ගසන්නට විය. 'ඇයි මොකද වුණේ.'

'මම අර සියඹලා කඳ බදල ගහට නැග්ගනෙ. ගහඋඩ හිටියෙ. අර හිටිය තිලක්ල අපි පක්ෂෙ වැඩ බව දන්නවා. එයාල දැක්ක නම් දහසක් ප්‍රශ්න අහනවා. කොහේද යන්නෙ, ඇයි මේ වෙලාවෙ, කවුරු එනකන්ද ඉන්නෙ. ඕව කටින් කට ගියාම ලෙඩක්. ඒකයි මම උදේනි සහෝදරයටත් මඟ අරින්න කිව්වේ.'

අපි ඉක්මන් ගමනින් දෙටගමුව ගම්මානය පසු කර ගියෙමු. වේලාව රාත්‍රි 9.00 පසු වී තිබූ බැවින් දෙටගමුව ගම්වාසීන් නින්දට යමින් සිටියහ. ඉඳහිට කටහඬක් ඇසුණද ඒ ගෙවල් අභ්‍යන්තරයේ කෙරෙන කතා බහය. ඉන් පසු අපට දිගටම ගමන් කරන්නට සිදු වූයේ කුඹුරු යාය මැදිනි. අප කුඹුරු යායට පිවිසෙද්දී යන්තමින් හඳ මෝදු වෙමින් තිබිණි. අඳුරේ ගමන් කළ හැකි සහන් එළියක් යන්තමට වැටී තිබුණත් එය පාර මාරුවන සතා සිවුපාවා දකින්නට තරම් ප්‍රමාණවත් නොවීය.

මා සමඟ ගමන් කරන සහෝදරයා මා දන්නා හඳුනන අයකු නොවේ. එසේ නොවුණත් ඔහු නිහඬ අයෙකි. අසන පැනයට පමණක් පිළිතුරු දී මුනිවත රකින්නෙකි. අප කුඹුරු යාය ඔස්සේ වංගු වැටුණු පාරේ යමින් සිටියෙමු. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයේදී මඟතොට විස්තර විමසීමද එතරම් උචිත නොවන බව මට වැටහුණේ වරින් වර ඔහුගෙන් ප්‍රශ්න මාලාවක් ඇසීමෙන් අනතුරුවය.

හෝරාවක් පමණ ගමන් කර අපි ගොඩවුණේ කරවිල වැවේ වැව් බැම්මටය. එය තරමක වංගුවක් සිටින සේ කිලෝමීටරයකටත් වඩා අෑතට විහිදේ. අපට පිටුපසින් අෑත අහසේ තරු පොකුරක් වලාකුළු අතරින් පෙනේ. ඒ වැඩිහිටි කන්දේ ලයිට්. මා තරු පොකුර පෙන්වූ විට යාළුවා පැහැදිලි කෙළේය. අපේ ගමනේදී වරක දකුණු පසිනුත් නැවත වම් පසිනුත් වැඩසිටි කන්දේ ලයිට් පාර වලාකුළු අතරින් මතුව පෙනුණේය. කාට හොරෙන් රාත්‍රියේ ගමන් කළත් උෟට හොරෙන් ගමනක් යන්නට ඉඩ නොදෙන සතෙක් වියළි කලාපයේ සිටී. ඒ කිරලාය. අප වැව් බැම්මට ගොඩ වූ තැන් සිටම කිරලුන් දෙදෙනකු විලාප දුන්නේ පරිසරයේ නිහැ¾ඩියාව බිඳ දමමිනි.

අප කරවිල වැව් බැම්මේ මැද හරියේ ගමන් කරමින් සිටියදී අෑත වැව් මායිමේ ගමන් කරන මොටෝරියක විදුලි පහන් එළිය වැවට වැටී රිදී ඉරක් පෙන්වා නොපෙනී ගියේය. ඒ පැත්තේ මිනින්දෝරු වාඩියක් තියෙනවා. එහාට යන වාහනයක් වෙන්න ඇති යාළුවා කීවේය.

එහෙත් තවත් විනාඩි පහකට පසු ඒ එළිය අනෙක් පැත්තට ගමන් කරනවා පෙනිණි. එවර සහෝදරයා වැව් බැම්ම මත නතර වී කල්පනාකාරීව මෝටර් රථයේ එළිය දෙස බලා සිටියේය. ඒ වන විට අප සිටියේ කරවිල වැවේ වැව් බැම්මේ හරි මැදයි. එක් පැත්තකින් ජලාශය වූ අතර අනෙක් පැත්තෙන් කුඹුරුවලට බෑවුම් වූ ප්‍රපාතයය.
ඇයි? සහෝදරයා ප්‍රශ්නයක්ද මම පිළිවිසියෙමි.

ඔය එන්නෙ මිනින්දෝරු ජීප් එකක් නොවේ. කතරගම පොලිසියේ ජීප් එක. ලයිට් ඩබල ළඟ ළඟ තියෙන්නෙ ඒකයි. ඕක ඔය රවුම් ගගහ එන පාර මේ වැව් බැම්ම දිගේ අන්තිමට එන්නේ. තව විනාඩි හත අටකින් ජීප් එක මෙතැනට එනවා.'

'දැන් මොකද කරන්නෙ හැතැප්ම භාගයක් විතර ආපසු යන්න එපැයි මඟඅරින්නත්' මම ඇසුවෙමි.

'හේන්කාරයො කියල ගාණක් නැතිව යන්නත් ඉඩ තියෙනවා. ඒත් නතර කරලා ප්‍රශ්න කළොත් ප්‍රශ්න ගොඩයි. අපි ඉක්මනට වැව පැත්තෙ පල්ලමට බැහැලා ගල් අතරේ දිගා වෙමු.'

'අපි දෙදෙනා ගල් අස්සට රිංගන විටත් ජීප් රථය වැව් බන්ට් එක දිගේ ඉදිරියට එමින් තිබිණි. අපි ඉක්මනින්ම ගල් අතර ඇලවුණෙමු. ජීප් රථයේ ලයිට් පාර අප සිටි ගල් අතරට අෑත සිටම වැටුණු නමුත් ආසන්නයට එද්දී ප්‍රධාන පාරට යොමු විය. එහි සිටි පොලිස් නිලධාරීන් උස් හ¾ඩින් කතා කරනු අප දෙදෙනාටම ඇසිණි.

අප පියමං කොට කතරගම පොලිසියේ ජීප් රථය ගිය පසු අප දෙදෙනා නැවත වැව් බන්ට් එක දිගේ ඉදිරියට ගියෙමු. තවත් පැයක් පමණ යද්දී අපි කරවිල වැව ඉස්මත්තේ ගමන් කරමින් සිටියෙමු. ඉන් පසු අපට ගමන් කරන්නට සිදුවූයේ වැව් තාවුල්ලේ පතන් බිම අතරිනි. වැව් තාවුල්ලේ මඩ වළ උෟරු රංචු ජක බක ගා දඟලන හඬ අෑතින් ඇසිණි.

අපි ටිකක් අඩිය ඉක්මන් කරල යමු. ඊයේ රෑත් නින්දක් නෑ ගමනෙමයි. කුරුණෑගල පාල සහෝදරයා ආව. එයාව එක්කන් ගියානෙ' යාළුවා කීවේය.

කොළඹදී බස්වලම ගමන් කර හොර වී සිටි මා නම් සිටියේ ඒ වන විටත් තෙහෙට්ටුවෙනි. අෑතින් පෙනුණු වැඩසිටි කන්දද දැන් නොපෙනේ. අප කුඹුක් ගස් මණ්ඩියක් පසු කර හංගුන්ආරට පැමිණියෙමු. කමිස ගලවා ඇඟ පත තෙමා ගෙන කුස පිරෙන්න වතුරද බී අප දෙදෙනා හංගුන්ආර තරණය කරන විට රාත්‍රි 11.00 පසුව තිබෙන්නට ඇත.

ඉන් පසු දිගටම අපට ගමන් කරන්නට සිදු වූයේ සමුදුරක් සේ පැතිර ගිය ඉළුක් මණ්ඩියක් මැද්දෙනි. තැනිතලාව පුරා වගාවක් මෙන් ඉළුක් වැවී තිබිණි. අප ගමන් කරමින් සිටියේ අලි පාරකය. එහි පළල අඩි 1 1/2කට වඩා වැඩි නැත. දෙපැත්තෙන් විශාල තාප්ප දෙකක් මෙන් ඉළුක් පැතිර තිබේ. ඒවා අපේ හිස මට්ටමට උසය. එබැවින් එහි අප ගමන් කරන බව අඩු තරමින් අලින්ටවත් නොපෙනේ. මගේ ගමන් සගයා අත කුඩා විදුලි පන්දම ඇති නමුත් ඔහු පුරුද්දක් ලෙසම එය දල්වන්නේ නැත. මම ඔහු පසු පසම ගමන් කළෙමි. අපට වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. හැම පැත්තකින්ම වන අලි අතු බිඳින හඬ ඇසෙන්නට විය. එහෙ ඉළුක් මැද්දේ සිටින අපට අහස මිස කිසිදු අලියෙක් නොපෙනේ. එහෙත් අලින් අතු බිඳින හඬත් අලි ගඳත් ළඟ ළඟම ඇසේ.

'ඉස්සරහ අලිනෙ අපි වෙන පාරකින් යමුද' මම ඇසුවෙමි.

'අපි මේ පැත්තටයි යන්න ඕන. වෙන යන්න දිහාවක් නැහැ. ඉන්න මම බලන්නම්' යැයි කී සහෝදරයා දැල් වූ විදුලි පන්දම සහිත අත ඉළුක්වලින් උඩට හැකිතාක් ඔසවා චී අලියා, චී අලියා යැයි කෑ ගැසුවේය.

බියපත් අලි රංචුව ලෝක විනාශය මෙන් මහ හඬක් සහ දුහුවිලි නංවමින් කැලය බිඳගෙන දුවන්නට වූයේය. සිදුවන්නේ කුමක් දැයි වටහා ගත නොවුණු මා එක තැන ගල් වූයේ අපට ඉදිරියෙන් සහ පිටුපසින්ද අප යට කර ගෙන වාගේ අලි දිව ගිය නිසාය.

'සහෝදරයා පාර දෙපැත්තෙම අලි ඉඳලා නේද. තව පොඩ්ඩෙන් අපිව පෑගෙනවා නේ.'

'මම හිතුවෙ පාරෙන් පල්ලෙහා විතරයි අලි හිටියෙ කියල. දෙතුන් දෙනෙක් මේ පැත්තෙත් ඉඳලා' ගමන් සගයා ගානක් නැතිව කියමින් ඉදිරියට යන්නට විය. ඉළුක් මණ්ඩිය පසු කර නොබෝ වේලාවකින් අපි ඇතුළු වූයේ ගන වනයටය. එතැන් සිට ඉදිරියට යන්නට නිශ්චිත පාරක් නොවීය. කටු අකුල් සහ ගනව වැඩුණු පඳුරු මඟහරිමින් රිංගා යමින්ද වරෙක වැල්වල එල්ලී රූටායමින්ද අපි ඉදිරියට ගමන් කළෙමු. අලින්ට නොපෑගී බේරීමේ ත්‍රාසය වේලාවේ හැටියට ඉදිරියට යන්නට හොඳ ජවයක් හා උත්තේජනයක් වූයේය. රාත්‍රි 12.00ද පසු වී තිබූ බැවින් පිනි වැටී ගහකොළ තෙත්ව තිබිණි. සැතපුම් දෙක තුනක් තරම යන විට අප ඇඳ සිටි ඇඳුම් පින්න නිසාම තෙත් විය.

'මම හිතුව කොහොමත් අපි එනකොට එක පහු වෙයි කියලා' යාළුවා කී බැවින් ගමනාන්තය කරා අපි පැමිණ සිටින බව මට වැටහිණි. වෙලාවේ හැටියට තවත් දුර යන්නට බැරි තරම් වෙහෙසක් හා කුසගින්නක්ද දැනී තිබිණි.

සහෝදරයා එතැන් සිට ගමන් කළේ විදුලි පන්දම වරින් වර දල්වමිනි. ඔහු කෙසේ පාර සොයා ගන්නවා දැයි සිතා ගැනීමත් අසීරුය. කටු අකුල් අතරින් තවත් කෙටි දුරක් යෑමෙන් අනතුරුව ගමනාන්තය කරා ළංවීමට අපට හැකිවිය.

ගස් දෙකක් අතර අදින ලද වැල් පොටක් හරහා දෙපැත්තට ඇද කූඤ්ඤ ගසන ලද කොළ පැහැති ඉටි රෙද්දක් යට සහෝදරවරු නිදා සිටියේය. අන්ධකාරයේ කවුරුන් නිදනවා දැයි දැක ගත නොහැකිය. එය ගුහාවක් වැනිය. පාන්දර පින්නෙන් බේරෙන්නට නම් ප්‍රමාණවත්ය. මමද එයට රිංගා ආසන්නයේ වූ ගෝනි කෙළවර වාඩි වුණෙමි. මගේ ගමන් සගයාද වැඩි කතාබහක් නැතිව පසෙකින් ඇල වුණේ තද නිදිමත නිසා විය යුතුය.

මේ වෙලාවට නිදා ගන්න ඇත්නම් තැන මොකක් වුණත් එය දිව්‍ය ලෝකයක් යැයි සිතමින් මමද වටපිට බැලුවෙමි.

'උදේනි සහෝදරයා' කුරුණෑගල පාල සහෝදරයා මට පිටට තට්ටුවක් දමා කතා කළේය. අඳුරේ මා ඔහු හඳුනා ගත්තේ කටහ¾ඩිනි.

'මහත්තයො ඔහේ හතරට මට ඇහැරවන්න. මම මෙච්චර වෙලා ගාඩ් එකේ හිටියේ. මං නිදා ගන්නවා ආ මේක ගන්න.' පාල නිදන්නට විය.

තුවක්කුවකුත් එස්.ජී. වර්ගයේ පතරොම් තුනකුත් මා අතට දුන්නේය. තුවක්කුව අතට ගත් මම පතරොම් ඔඩොක්කුවේ තබා ගෙන අන්ධකාරය දෙස බලාගෙන සිටියෙමි.

අෑත අහසේ බැස යන සඳ එළියෙන් වනාන්තරය යන්තමට පෙනේ. සියල්ල නිහඬය. නිශ්චලය. නිසැකවම මෙහි රෝහණ සහෝදරයාද නින්දේ ඇත. කැලය බිඳ ගෙන දුවන අලියකු අප සියල්ලන් මතින් දිව ගියොත් මොනවා කරන්න දැයි මට සිතිණි. අඳුරට ඇහැ හුරුවූ විට වට පිටාව තරමක් පෙනෙන්නට වූයේය. මේ දුක් වැලඳීමේ අවසන් ප්‍රතිඵලය සමාජවාදී ශ්‍රී ලංකාව නම් ඊට වැඩි යමක් කොයින්ද. පාලට ඇහැරවන්නේ නැතිව අරුණ නැඟෙනතුරු සහෝදරවරුන්ගේ ආරක්ෂාව බලාගන්නට මම තීරණය කළෙමි.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon