මහාචාර්ය ගුණපාල මලලසේකර පී ද එස් කුලරත්න මහත්වරු ජාතික ඇඳුමට බැසීම විප්ලවයක් වුණා

  👤  2763 readers have read this article !
2018-10-07

ස්වරාජ්‍ය පත්‍රයට මම නිතර නිතර විවේචනාත්මක ලියුම් සැපැයීමි. මේ සෑම ලිපියකින්ම පාහේ කියැවුණේ බි්‍රතාන්‍ය රාජ්‍ය පාලනයට විරුද්ධවය. ඒ ලිපිවලින් කිහිපයක් මෙහි බහා ලීම මැනැවැයි සිතමි. එසේ කරන්නේ එදා මෙරට මෙවැනි ලියුම් පළ කළ පැවිද්දන් අතේ ඇඟිලි ගණනටවත් නොසිටි බැවිනි.

මෙන්න ඒ ලිපි
ජාතික ශෝක දිනය
1915 අවාසනාවන්ත වර්ෂයේදී ඉංගී්‍රසි ආණ්ඩුව විසින් පනවනු ලැබූ මාර්ෂල් ලෝ නම් හිතුවක්කාර නීතිය යටතේ මරා දැමූ අපේ අහිංසක ජාති හිතෛෂී සහෝදරවරුන් සිහි කිරීම සඳහා වර්ෂයක් පාසා පවත්වනු ලබන ජාතික ශෝක දිනය මේ වර්ෂයේදී ලබන ජුනි මස 3 වැනි ඉරු දිනට යෙදී තිබේ.

එබැවින් ජාත්‍යාලයැ'ති බෞද්ධ-ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මේ දවස අප වෙනුවෙන් ජීවිත පුද කළා වූ ජාති හිතෛෂී වීරයන් මතක් කිරීමක් වශයෙන්ද අපේ හිතුවක්කාර ආණ්ඩුව කෙරෙහි අපේ අප්‍රසාදය පළකිරීමක් වශයෙන්ද මේ දිනය ඉතා ශෝකජනක දිනයක් වශයෙන් ගත කළ යුතුය. සියලුම ගෙවල කළු කොඩි ඔසවා රාත්‍රි පහන් දල්වා ආලෝකවත් කළ යුතුය.

බෞද්ධයන් විහාරස්ථානයන් කරා එළැඹ මල් පහන් පුදා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම ශ්‍රවණය කළ යුතුය. ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ ක්‍රිස්තියානි ආගමික පුද පූජා පවත්වා පරලොව ගියවුන්ට පින් දිය යුතුය.

තවද මෙදින සමිති සමාගම් පවත්වමින් මේ දුෂ්ට නීතිය ගැන සාකච්ඡා කළ යුතුය. සියලු වැඩපළ නවත්වා, කඩසාප්පු වසා කනගාටුව පළ කළ යුතුය. එදින පාවහන් තොප්පි පාවිච්චි නොකළ යුතුය.

(1923 මැයි - ස්වරාජ්‍යය)
"ස්වරාජ්‍යය සටනට මම නිතර සූදානම්ව සිටිමි. එහෙත් ස්වරාජ්‍යය ලැබීමට පෙර අප ලක්වැසියන් බවත්, ලංකාවාසී සිංහලයන් බවත්, ලෝකවාසීන්ට තේරුම් යන සේ පිළිගත යුතුය. දිනක් කල්කටාවේ ප්‍රසිද්ධ කරනු ලබන 'ස්වරාජ්‍ය' පත්‍රයේ කතු තුමා ලංකාව සම්බන්ධයෙන් මගෙන් තොරතුරු විමැසීය. මෙදින මගේ භක්තිමත් 'ස්වරාජ්‍යය පත්‍රය' මම ඔහුට පෙන්වූයෙමි. පත්‍රය අතට ගෙන (ර්ප. ර්ථී.ච්.ට්. ඤඥ ඉඪතමච) යන නාමය කියවා පත්‍රයේ නම ස්වරාජ්‍යය, නමුත් කර්තෘ සිල්වා ප්‍රතිකාල්කාරයෙක් නොවේද? යනුවෙන් විමැසීය. මම මෙහිදී ලැජ්ජාවට පැමිණියෙමි. ඊට පසු ලංකාවේ ඉතිහාසයට සිදු වූ දෙය විස්තර කොට කීවෙමි. අපි සෑම තැනකදීම නින්දා ලබමු. අපේ රට නිදහස් කිරීමට සටන් කරන අය සියල්ලට පෙර සිංහලයන් බව හැඳින්විය යුතුය. අප නමින් වත් ස්වාධීන නැත්නම් ජාතියක් වශයෙන් ස්වාධීන වන්නේ කෙසේද? ගුණසිංහ මහතා අප ජාතියේ අද්විතීය ජාති හිතෛෂියා යැ'යි සිතාගෙන සිටියෙමි. එතුමාගේ වර්ණය හා ජාතිය සිංහලය. ඇඳුම යුරෝපීය ඇඳුමකි. යුරෝපීයයන්ට විරුද්ධව සටන් කරන්නා යුරෝපීය සිරිත් විරිත්වත් අඩු ගණනේ අත්හැර දැමිය යුතුය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී අපට බණ කීමට ආවොත් අපි ඔහුට කිසිසේත් ගරු නොකරමු. එතුමා යුරෝපා සංචාරයට ගියේද එතුමාගේ ස්වාභාවික ඇඳුමෙනි. එය ඒ රටවල ඉතිහාසයේ ලියැවෙනවා ඇත. නමුත් එතුමාට ඇතැම් කාලකණ්ණි බැන වදිති. අපි එතුමාගේ වැරැදි නැතැයි නොකියමු. පෘථග්ජන කාගේත් වැරැදි තිබේ. ගුණසිංහ මහතා ගැන මා තුළ පෞද්ගලික අමනාපයක් නැත. එහෙත් මම කිසිම කලක කලිසම්කාරයන්ට ගරු නොකරමි.

එසේ කලිසම්කාරයන්ට ගරු කරන්නේ නම්, මරදාන පැත්තේ කලිසම් ඇඳගෙන කුණු කසළ අදින්නන්ටත් සැලකීමට සිදුවෙනවා ඇත. දඹදිව වාසීන් අතරද බොහෝ දෙනා කලිසම් අඳිති. එහෙත් ජාතික උත්සවාදියට ඔවුන් යන්නේ ජාතික ඇඳුම්වලින් සැරසීගෙනය.

අප ජාතිය ස්වාධීන කරගැනීමට රණ බිමට බැසීමට පෙර අප විසින් යුරෝපීය සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම අතහැර දැමිය යුතුය. ගුණසිංහ මහතා ජාතික ඇඳුමින් සැරසී ජාතික නිදහස ලැබීමේ රණ බිමට බැසිය යුතුය. සිල්වා මහතාද ස්වකීය පර නමට පයින් ගසා ආර්ය සිංහල නාමයක් ආරූඪ කරගැනීම සිතට ගත යුතුය. එසේ කළ කල්හි අපි ඔවුන් නියම ජන ප්‍රධානීන් වශයෙන් පිළිගන්නෙමු. ආගම් භක්තියෙන් යුක්තව ජාතික සේවයට බැසිය යුතුය. මහත්මා ගාන්ධි ආදී උතුමන්ගේ ජාතික කටයුතු කෙරෙන්නේ ආගම ඉදිරියෙහි තබාගෙන බව අමතක නොකළ යුතුයි"

(1923 නොවැම්බර් - ස්වරාජ්‍යය)
ඉහත දැක්වූ බඳු ලියුම් සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, සරසවි සඳරැස, සරස්වතී, ලක්මිණ, සිංහල බලය ආදී පත්‍රවලට නිතර නිතර සැපැයීමි. "ස්වදේශී මිත්‍රයා" පත්‍රයට රුසියාව ගැනත්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ගැනත් මුලින්ම 1926දී පමණ ලියැවුණේ මා අතිනි. එයට කලින් සිංහලයන් කිසිවකුත් ඒ ගැන ලියන ලද බවක් මම නොදනිමි.

යුරෝපීය ගති සිරිත්වලට වහල් වෙමින් හිතෙන් පවා සිංහලයන් සුද්දන් වී සිටි ඒ අවධියේදී අනගාරික ධර්මපාලතුමාගේ පෑන් තුඩින් පිටව සිංහල බෞද්ධයා පත්‍රයේ පළ කළ වේගවත් ලිපි හා සිංහල ජාතිය පත්‍රයේ පළවුණු පියදාස සිරිසේන මහතාගේ ලිපිද ජාතියේ ඉංගී්‍රසි උගතුන්ට කෙසේ වෙතත් සාමාන්‍ය සිංහල උගත් ජනයා අතර ජාතික හැඟීම් ඇති කරන්නට පොහොසත් විය. එදා කතෝලික පල්ලිය ප්‍රධාන ක්‍රිස්තියානි ආගමේ සෑම නිකායකම පරමාර්ථය වූයේ මෙරට පුංචි එංගලන්තයක් කිරීමයි. ඔවුහු මෙරැටියන් තුළ ජාතික, ආගමික හැඟීම් බැහැර කරවා සුද්දන්ගේ වහලුන් බවට පත් කරවන අධ්‍යාපනයක් පතුරුවාගෙන ගියහ.

එදා යුරෝපීය ක්‍රමයට ඇඳුම් පැලඳුම් නොකරන, සිය බසින් කතා කරන ශිෂ්‍යයන්ට පවා අනෙක් ශිෂ්‍යයන් ලවා අපහාස කැරැවූහ. ඉංගී්‍රසි පාසල්වල සිංහල කතා කිරීම තහනම් කොට එසේ සිංහල කතා කරන්නවුන්ට දඩ ගැසූහ. තවත් විටෙක වේවැල් පහර දුන්හ.

 

මෙවැනි තත්ත්වයක් පැවැති කාලයකදී ආනන්ද විද්‍යාලයේ අධිපතිව සිටි පී. ද ඇස්. කුලරත්න මහතාත්, මේ මෑතක් වනතුරු සෝවියට් සමූහාණ්ඩුවේ ලංකා තානාපතිව සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාත්, දිනක් හිටිහැටියේ යුරෝපීය ඇඳුම් අතහැර 'සිංහල ජාතික ඇඳුම' නමින් සුදු රෙද්දත්, කමිසයත්, උතුරු සළුවත්, එක්තැන් කොට සකසා ගත් ඇඳුමකින් සැරැසී විද්‍යාලයට පැමිණියහ.

අද නම් මේ ඇඳුම කොයි කවුරුත් අඳිති. ඒ ගැන සොයන්නෙක් නැත. එහෙත් එදා එය විප්ලවයක් විය. මේ දෙපොළට ඉහළ සමාජයෙන් නොයෙක් හිරිහැර ඇතිවන්නට විය. ඇතැමෙක් සිනාසුණහ. තවකෙක් පිස්සු වැඩෙකැ'යි කියා බැන වැදුණාහ. ඒ ඇඳුමට පැසසුම් ලැබුණේ ධර්මපාලතුමාගෙන් පමණකි. එහෙත් ධර්මපාලතුමා කසාවන් ඇඳුමක් හැඳ සිටි අතර සිංහල ජාතියේ කර්තෘ පියදාස සිරිසේන මහතා ඇන්දේ ටුයිඩ් රෙද්ද සහිත ඒ කාලයේ වැදගතුන් විසින් අඳිනු ලැබූ අමුතුම ඇඳුමකි. එදා කුලරත්න, මලලසේකර දෙපොළගේ අලුත් ඇඳුමෙන් සැරසීගත් පින්තූර දෙක සිංහල ජාතිය පත්‍රයේ පළ වී තිබිණි. වෙන කිසිදු පත්‍රයෙක ඒ ගැන කිසිදු සඳහනකුදු නොවීය. එකල දිනමිණ ද පළවූ නමුත් ඒ තරම් අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ පුවත්පතක් තවත් තිබුණේ නැත. දිනමිණ පත්‍රයේ සහ තවත් පත්තර කීපයක පසුව මෙම ඇඳුමට නිගා කරමින් කාටූන් පළකැරැ තිබුණු බව අපට මතකයි.

දිනමිණ අයිතිකරුව සිටි ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් කැරැගෙන යනු ලැබූ ජාතික සේවය ගැන මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 'උපන්දා සිට' පොතේ වැඩි යමක් සටහන් නොකිරීම ගැන කවුදෝ කියා තිබෙනු දුටුවෙමි.

සැබැවින්ම විජයවර්ධන මහතාගෙන් කැරුණු ජාතික සේවය ගැන කුමක් කියන්නද? ඔහුගෙන් සේවයක් සිදුවුණා නම් ඒ සිදුවුණේ ස්වජාතීන්ට නොව, අධිරාජ්‍යවාදීන්ටය. මේ රටේ අධිරාජ්‍යවාදීන්ට තදින් ගැතිකම් කළ පත්තර අතර මුල තැන ලැබෙන්නේ දිනමිණටය. ඒ බව අද දිනමිණ කරන්නවුන් පමණක් නොව, මේ රටේ බොහෝ දෙනා දන්නා කරුණකි.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon