එංගලන්තයට රෝහල් 30ක් හැදූ ශ්‍රී ලාංකික දානපතියා

  👤  3929 readers have read this article !
2018-09-30

කොළඹ පුරහල අසල ලිප්ටන් වට රවුමේ ලෝහමය පිළිරුවක් දක්නට ලැබේ. ඒ 1800 ගණන්වලදී ජීවත් වූ මෙරට අසහාය දානපතියකු ලෙස සැලකුණු චාර්ල්ස් හෙන්රි ද සොයිසාගේ පිළිරුවකි.

තරුණ ජෙරෝනිස් ද සොයිසා විවාහ වූයේ මොරටුවේ විසූ ප්‍රැන්සිස්කා කුරේ මෙනෙවිය සමඟය. ඔවුනට 1831 මාර්තු 13 වැනිදා උපන් පුත්‍රයාට නම තැබුවේ චාර්ල්ස් හෙන්රි ද සොයිසා ලෙසිනි.
තරුණ වියට පත් චාර්ල්ස් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණව හලාවත, පුත්තලම ප්‍රදේශවලින් ඉඩම් මිලට ගෙන පොල් වගාවක් ඇරඹීය. අනතුරුව පියාගේ සමාජ සේවා අඩිපාරේම යමින් ව්‍යාපාරවලින් ලද ලාභයෙන් කොටසක් ජන සුබසෙත පිණිස යෙදවූයේය. කොළඹ අවට ලක්ෂ සංඛ්‍යාත මවුවරුන් පිරිසකට සෙත සැලසෙන සොයිසා කාන්තා රෝහල ගොඩනැඟුණේ ඔහුගේ ධනයෙනි. එකල මුළු රටටම ඇස් රෝහලක් නොතිබිණි. ඒ අඩුව සපුරන්නට කොළඹ ඇස් රෝහල පිහිටුවීමටද තම ධනය පරිත්‍යාග කළේය.

එපමණක් නොව දස දහසක් දරුවන්ගේ නැණැස පාදනු සඳහා මොරටුවේ වේල්ස් කුමාර විදුහල හා වේල්ස් කුමරි විදුහල ගොඩනැඟුවේද ඔහු සතු ධනයෙන් හා ඔහුට අයත් ඉඩම්වලය.

ඉන් නොනැවතුණු චාර්ල්ස් හෙන්රි ද සොයිසා එංගලන්තයේ රෝහල් 30ක් ඉදි කිරීම සඳහා තම ධනය පරිත්‍යාග කළ බව සඳහන් වේ. ඒ සඳහා කීප වරක්ම එංගලන්තයට ගිය චාර්ල්ස්ට වරක් බකිංහැම් මාලිගයේදී ඔහු වෙනුවෙන් රාජකීයයන් භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබේ.

මෙවන් සමාජ සත්කාර්යයන් හේතුවෙන් ඔහුට බි්‍රතාන්‍ය රජය මඟින් මුදලි තනතුරක් පිරිනමා ඇත. නිසි වයස් පැමිණි විට චාර්ල්ස් විවාපත් වූයේ එදා නයිට් නාමයකින් පුද ලබා සිටි මොරටුවේ ජුසේ සිල්වාගේ එකම දියණිය වූ කැතරින් ද සිල්වා මෙනෙවිය සමඟය. ඔවුන් දෙපළට දූ පුතුන් 15 දෙනකුගේ දරු සුරතල් බැලීමට වාසනාව ලැබිණි.

1870 මාර්තු මාසයේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා මහේෂිකාවගේ පුතුන් වූ එඩින්බරෝ ආදිපාදයා සහ ඇල්ෆ්‍රඩ් කුමරු ලංකාවට පැමිණි විට ඔවුන් වෙනුවෙන් කොල්ලුපිටියේ අක්කර 112ක භූමියක් තුළ කාමර 100කින් යුතු මහා මන්දිරයක් ඉදි කර එහි භෝජන සංග්‍රහයක් පවත්වා ඇත. රාජ කුමාරවරුන් දෙදෙනාට ආහාර ගැනීම සඳහා පිඟන්, හැඳි, ගෑරුප්පු ආදිය රත්රන්වලින් තනා ඒවා කැටයම් කොට රන් හැඳි හා ගෑරුප්පුවලට රතු මැණික් ඔබ්බවා තිබූ බව කියැවේ.

1870 මාර්තු 16 වැනිදා නිකුත් වූ " සත්‍ය මාර්ගය" පුවත්පතේ පිටුවක ඒ සම්බන්ධයෙන් මෙසේ පළ කර තිබිණි.

"කුමාරයාට කෑම කන පිනිස හැඳි ගාර්පු කුසලාන් ආදිය රත්රනෙන් සාදවන පිනිස සොයිසා උන්නැහේ රත්රන් කාසි රාසියක් මකන්ට දුන් බව සැලයි..."
කුමාරවරුන් සඳහා චාල්ස් ද සොයිසා පැවැත්වූ උත්සවය පිළිබඳව 1870 අප්‍රේල් 30 වැනිදා "ලක්රිවිකිරණ" පත්‍රය මෙසේ සඳහන් කර තිබිණි.

"සවස හතේ පටන් පයින් ආ සෙනග ඇර කරත්තවලින් ආ සෙනග මහත් රාශියක්ය. කරත්ත ඇවිත් පැයකට වඩා පාරේ නවත්වාගෙන සිටියාය.

මෙසේ උනේ කරත්ත තුන් පේලියක් වසයෙන් නැවතී සිටිය නිසාය. කුමාරයා සහ උතුමානන් වහන්සේද රාත්‍රි 10 ½ ට පමන සොයිසා උන්නැහේගේ දනව්වට ළඟා වුනාය.

කුමාරයා ආ කරත්තයද කරත්තවල වැඩිකම කරණකොට ගෙන පැය කාර්තුවකටත් වැඩිවේලාවක් පාරේ නතර උනා සහ සොයිසා උන්නැහේලාගේ ගෙදර ‍ෙදාරකඩ ළඟදීද ප්‍රමාද උනාය. වන්සාදිපති අ¼වකාත් ආර්.ඇප්. මෝර්ගන් උන්නාන්සේ සහ පුතනුවොත් මේ ගැන ක්‍රියාකරනවා දුටිමු.

කුමාරයා සහ උතුමානන් වහන්සේ ඉස්තෝප්පුවට ගොඩනැඟුªණු කඩිනමින් වන්සාධිපති අළුවකාත් ආර්.ඇප්. මෝර්ගන් උන්නාන්සේ සොයිසා උන්නැහේව කුමාරයාට අඳුන්වා දුන්නාය. එවිට සොයිසා උන්නැහේ කුමාරයාට ආචාර කලාට පසු කුමාරයා සොයිසා උන්නැහේට ආචාරකොට කුමාරයා සහ උතුමානන් වහන්සේ ආදී මහත්තැන් සහ පිරිවරත් සොල්දරේ උඩට කැඳවාගෙන ගියේය.

ඒ සමඟ ඇක්සිකිව්ටියු මන්ත්‍රී සභාවේ සහ ව්‍යවස්ථාදායක මන්ත්‍රී සභාවේ මහත්තැන්ද වෙනත් ඉංගී්‍රසි මහත්තැන්ද සොල්දරය උඩට නැඟුනෝය. ඒ ටිකවේලාවකින් සොල්දරය උඩ නැටීමට තනා තිබුනු සාලාවේද නෝනාවරු සහ මහත්තුරු නැටුමට පටන් ගත්හ. මේ බාලට රැස්වූ සමූහයට බලන පිනිස ඉතා ලක්ෂනට සහ කරකැවෙන ක්‍රමයට තනා තිබුනු මඩුවේ ඇහැලපලේ නාඩගම නටනවා දුටිමු."
1870 මැයි 7 දා "ලක්රිවිකිරිණ" පත්‍රයේ මෙසේ පළ විය.

"සොයිසා උන්නැහේගේ බගතලා යන නමින් කොල්ළුපිටියේ සාදා තිබෙන මහත් විසාල වූ ඒ අළුත් ධනව්වට ඇල්ෆ්‍රඩ් හවුස් යන නාමය ව්‍යවහාර කිරීමටත්..."

මෙරට ජනතාවගේ සුබසෙත උදෙසා ක්‍රියා කළ චාර්ල්ස් හෙන්රි ද සොයිසා මහා දානපතියා මිය ගියේ තමන් සුරතලයට නිවෙසේ ඇති කළ බැල්ලක සපා කෑම හේතුවෙන් හටගත් රෝගී තත්ත්වයෙනි. ඒ 1890 සැප්තැම්බර් 29 වැනිදාය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon