විජේවීරගෙන් කතරගම් කැලේ සිට ජේ.ආර්.ට ලිපියක්

  👤  3500 readers have read this article !
2018-09-30

රෝහණ විජේවීර ඇතුළු වන වාසී කණ්ඩායමේ ආහාර හිඟය නිමා වූයේ නෙත්ති කුමාරලා තහනම් කැලේට මෙපිටින් හේනක් කොටන්න පටන් ගත්තාට පසුවය. හේනක් කෙටුවොත් වැසි ලැබෙන විට මිරිස් හෝ සුදුසු වෙනත් බෝගයක් දැමිය හැකිය. රක්ෂිත වනය මායිමේ උස් ගසක් පාමුල පැල් කොටයක්ද ඉදිකරන ලද්දේ හේන් වගාව නිශ්චිතවම හේන් ගොවියන්ගේ වැඩක් බව හැඟෙන්නටය.

කැලේ සිටින කිහිප දෙනාට ආහාර ගෙනයෑම පිණිස වෙනමම සහෝදරවරු දෙදෙනෙකුට වගකීම් පවරා තිබිණි. හේන කරන දිහාවට හාල් සිල්ලර කරතබා ගෙන යාමේ අමුත්තක් නැත. ඔවුන් ද අනෙක් වෙලාවට හේන එළි කරන්නට දායක වූහ. විජේවීර සිටින කැලෑ මණ්ඩිය නිතර මාරු කිරීම නිසා ආහාර සපයන්නන්ට වැඩිපුර දුර ප්‍රමාණයක් ඇවිදින්නටද සිදුවිය. ඒ වන විටත් ඔවුන්ගේ ආරක්ෂාවට තිබුණේ සාමාන්‍ය තුවක්කුවක් හා බෙහෙත් කොටන තුවක්කුවකි. ආහාර ගෙන ඒම පිණිස නිතර හේනට යන එන දෙදෙනා තුවක්කුව ගෙන ගිය අතර කැලේ සිටි අයට ඉතිරි වූයේ බෙහෙත් කොටන තුවක්කුවය.

දිනක් හවස නෙත්ති සෙස්සනට තුවක්කුවට වෙඩි බෙහෙත් කොටන අන්දම කියා දෙමින් සිටියේය. විජේවීර සිටියේ තරමක් අෑතින් වූ කොටයක් මත වාඩිගෙනය. ආරියසේන, ධනපාල, ඩිංගි මල්ලි ආදීන් අෑතට වී යකඩ කූරෙන් වෙඩි බෙහෙත් සිර කරන අන්දම බලා සිටියහ. ආසන්නයේම සිටියේ සේපාලය. ඔහු ඊට පහත්වී බලා සිටියේය. කවුරුත් නොසිතූ මොහොතක එක්වරම තුවක්කු කඳ තුළ ගිනි මලක් නැඟුණෙන් කොටමින් සිටි උණ්ඩය පිපිරී ගියේය. විශාල ගිනි ජාලාවක් නැඟුණු අතර අවට පරිසරය දුමෙන් වැසී ගියේය. සේපාලගේ අතක්, පපුව සහ කොණ්ඩය පිලිස්සී ගියේය.

කවුරුත් කලබල වූ නමුත් ක්ෂණිකව ගත හැකි පියවරක්ද නොවීය.

වගකීමෙන් තොරව වැඩ කිරීම ගැන විජේවීර සියල්ලන්ටම ‍ෙදාස් පැවරීය.

සේපාල රෝහලකට ගෙන යාමද ප්‍රශ්නයකි. පිලිස්සුණේ කොහේදිද, වෙඩි බෙහෙත් යොදා ගත්තේ කුමක් සඳහාද යනාදී ප්‍රශ්න වැලක ආරම්භය එය විය හැකිය. එහෙත් තුවාල බරපතළය. ක්ෂණිකව සාකච්ඡා වුණේ කළ යුත්තේ කුමක්ද යන්නය. සේපාලගේ වම් අතේ වැළමිටේ සිට මැණික් කට්ටු දක්වා තදින් පිලිස්සී තිබූ අතර පුපුරා ලේ ගලා යමින් තිබිණි. ආරියසේන රාලහාමි අසුරු සැණින් සරමක් පටි පටිවලට ඉරා සේපාලගේ පිලිස්සුණු අත වෙළුවේය. හඳුනාගත් කිසියම් කැලෑකොළ විශේෂයක් කොටාගත් ධනපාල ඒවා පිලිස්සුණු ස්ථානවල තබා වෙළා දැමීය.

වෙඩි හඬත් දුමාරයත් නිසා අවට සිදුවන්නේ කුම්කදැයි නිරීක්ෂණයටද කිසිවකු පිටව ගියේය. අවසානයේ එළඹී තීරණය වූයේ සේපාල තිස්සමහාරාම රජයේ රෝහලට ගෙන ගොස් භාරදී විජේවීර ඇතුළු පිරිස වෙනත් ඉසව්වකට මාරුවී යාමය. එය ප්‍රශ්න වැලක ආරම්භය විය හැකි නමුත් ඊට මුහුණ දෙනවා හැර වෙනත් විකල්පයක්ද නොවීය. ලෙඩා අසීරුවට පත් කරන්න බෑ. අපි සේපාලව ඉස්පිරිතාලෙට ඇඩ්මිඩ් කරල මෙතනින් අෑත කැලේට යමු. විජේවීර කීවේය.

සේපාල ගෝනියක් මත වකුටු වී මේ කතා බහට සවන් දී සිටියේය. තවමත් හමන සුළඟේ වෙඩි බෙහෙත් ගඳ තුනී වී නැත. සිද්ධිය වනවිට වෙලාව සවස 4.00 වන්නට ඇත. දැන් රාත්‍රි 7.00ට ආසන්නය. මින් ඉදිරියට රාත්‍රි කැලයේ ගිනි මැල නොගසන්නට තීරණය කළේ එදාය. කිසිවකු කැලයේ ගමන් කළ හොත් ගින්දර එළිය අෑතට පෙනෙන සංඥාවකි.

සේපාල අරන් යන දෙදෙනා ලුණුගම්වෙහෙර රක්ෂිතය ඔස්සේ පන්නි ගමුව වැව් තාවුල්ලට ගොස් එතනින් 'තිහවට' යා හැකිය. ඒ පළාතේ මිනිස්සු තිස්සමහාරාමයට කියන කෙටි නම 'තිහව' යන්නය. එය මූසල රාත්‍රියකි. කවුරුත් අන්ධකාරය මැද සෙමෙන් කතා කරමින් සිටිති.

ඩිංගි මල්ලි උදෙන්ම පිටත් වෙන්න හේන්වලට එන මිනිසුන්ට මුලිච්චි වෙන එක හොඳ නෑ. රාමනායක කීවේය.
සේපාල සිටියේ වරින් වර වේදනා දෙන අතට පිඹිමිනි. එකවරම ඔහු කතා කළේය.

"අත කුණු වෙළා වැටුණත් මම යන්නෙ නෑ. සහෝදරවරු යන තැනකට මාව ගෙනියන්න බැරි නම් මට වෙඩි තියල දාල ඔහේල යන්න."
ඊට කිසිවකු පිළිතුරු දුන්නේ නැත. ආරක්ෂාවට සිටින සේවා මුරය භාර සහෝදරයා හැර සෙස්සෝ නින්දට පිවිසුණහ.

පසු දින උදෑසන රෝහලට යන අදහස සාකච්ඡා වුණේ නැත. කණ්ඩායම සැතපුම් කිහිපයක් අෑත වෙනත් ඉසව්වකට ගමන් කළෝය.

හේන කෙටුවේ වලස් ආරි සහ කරුණේ දෙදෙනාය. වලස් ආරි යන නම ඔහුට පටබැඳුණේ ඔහු වලස්මුල්ලේ නිසාය. නමින් හෙතෙම ආරියදාසය. විලඹ වැවත් කල්ලි වැවත් අතර හේන කොටා තිබිණි. හේනක් කීවාට එයත් එක්තරා ආකාරයක මවා පෑමකි. පසු කලෙක එම ප්‍රදේශය රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කරන ලද නිසා දැන් මිනිසුන්ට ඇතුල්වීම තහනම්ය. නෙත්තිලා හේන් කරන බව ආරංචි වීම නිසා හේන් කොටන අපේක්ෂාවෙන් තවත් අය එන්ට ඉඩ ඇත. එහෙත් එසේ වුවහොත් අනවශ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. ඇරත් එසේ එන්නේ පක්ෂයට හිතවත් පක්ෂයේ සහෝදරවරුය. නෙත්ති ගමට පණිවිඩයක් යවා තිබුණේ විලඹ වැව පැත්තේ තමා හේනක් කරන නිසා ඒ පැත්තේ කිසිවකු නොඑවන ලෙසය.

සේපාලගේ පිලිස්සුම් තුවාල දියපට්ටා ඇවිත් වැඩි දියුණවීම වළක්වා ගන්නට කැලෑවෙන් සොයාගත් අත්බේත් සමත් විය. තුවාල සුවවීම පිණිස ඉඪතමඥප දඪබපචබඥ අඩංගු බේත් ටියුබයක් විජේවීර ලියා දුන්නේය. 'තිහව' ටවුමෙන් එය ගෙන්වා ගැනීමෙන් පසු සේපාලගේ පිලිස්සුම් තුවාල කෙමෙන් සුව අතට හැරුණි.

එක් දිනෙක බැලුම් කුලුන ලෙස හඳුන්වන උස් ගසකට නැග නිරීක්ෂණයේ යෙදෙමින් සිටි අයෙක් සැතපුම් කිහිපයක් අෑත දෙදෙනකු ගමන් කරමින් සිටින බව දැන්වීය. ඔවුන් පිළිබඳ සෝදිසියෙන් සිටින අතර ආනන්ද සහ ධනපාල දිය මංකඩක් සොයා වතුර බූලිද රැගෙන ඉදිරියට ගොස් සිටියහ. පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනා පහත් බිම්, ඉළුක් මණ්ඩි, වන ලැහැබ් වටේ රවුම් ගසමින් ඔවුන් සිටින ඉසව්ව කරා ළංවන බව පැහැදිලිවිය.

එහෙත් දුර සිට බලන බැවින් ඔවුන් හඳුනා ගන්නට තරම් දර්ශනය පැහැදිලි නොවීය. පසුකලෙක වෙහෙරගල ජලාශ ව්‍යාපාරය බිහිවූ ස්ථානය එකල මුළුමනින්ම වනන්තරයට යටව තිබිණි. කලකින් වැසි නොවැටුණු බැවින් ඔය කුඩා දිය පහරක් බවට පත්ව තිබූ අතර තැන තැන ජලය රැඳුණු වතුර කඩිති පමණක් දක්නට ලැබිණි. ඒවායේ ඉස්සන් විශේෂයක් සිටින බව දැක වතුර ගෙනෙන්නට ගිය ආනන්දත් ධනපාලත් පැමිණි කාරණය පසෙක තබා ඉස්සන් අල්ලන්නට වූහ. දිය කඩිති කළම්බා වතුර වැල්ලට ඉස්ස විට ඉස්සෝ උඩ පනිති. උන් අල්ලා තරමක් විශාල කැලෑකොළ කිහිපයක් එක්කොට තැනූ ගොට්ටකට පිරවීම ඔවුන් දෙදෙනාගේ විනෝදාංශය විය. ඔවුන් ඉස්සන් අල්ලමින් සිටියදී ඔය ඉවුර දිගේ පැමිණි ඉහත කී ආගන්තුකයන් දෙදෙනා දුටුවිට සිවු දෙනාම විමතියට පත් වූහ.

එහි සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සුමිත් අත්කෝරළ සහ පැන්ටිස් අයියාය. 1965දී විජේවීර සමඟ ජවිපෙ ගොඩනගන්නට එකතු වූ ආරම්භක සාමාජිකයන් හත් දෙනාගෙන් කෙනකු වූ පැන්ටිස් අයියා විජේවීරට දිවිහිමියෙන් ආදරය කළ තැනැත්තෙකි. ඔහුගේ ලෝකයේ සිටියේ එකම එක මහත්තයෙකි. ඒ විජේවීරය.

පැන්ටිස් අයියා සහ සුමිත් දෙදෙනා විජේවීර හමුවන්නට පැමිණියේ විජේවීර වනගතව සිටින ඉසව්ව ගැන ලබාගත් හෝඩුවාව පමණක් ඇතිවය. මොනරාගල තණමල්විල අතර පාරේ කිතුල්කොටේ කඩ මණ්ඩියෙන් කැලයට අතුළුවූ ඔවුන් දෙදෙනා සූර්යයා ගමන් කරන මාර්ගය ඔස්සේ පාර සොයා ගෙන සැතපුම් 15ක් පමණ මඟ ගෙවා කතරගම් කැලයට ඇතුළුව තිබිණ. ආගිය කතා මොනවත් නැති පැන්ටිස් අයියා ඉස්සෝ අල්ලන්නේ මෙහෙමයි කියා ඉස්සන් මල්ලක්ම අල්ලා පෙන්වීය. ඔවුන් සිවු දෙනා හේනේ වාඩියට ගොස් ඉස්සන් වෑංජනයත් හදා ගෙන දිවා ආහාරත් රැගෙන විජේවීරලා සිටින තැනට එන විට පස්වරු 2.00ට ආසන්නව තිබිණ.

විජේවීර සහ සුමිත් ගේ කතා බහට කිසිවකු එක් වූයේ නැත. බාධා කළේද නැත. ඒ වා හුදෙක් දේශපාලන කාරණාය. ඉතා කුඩා ලස්සන අකුරින් ලියන්නට සුමිත් අති දක්ෂයෙකි. සිගරැට් බඳුනක කොළය දිගහැර පුල්ස් කැප් පිටු තුන හතරක ලිපියක් කුඩා අකුරින් එහි ලියන්නට සමතෙකි. විජේවීර සුමිත්ට කරුණු පැහැදිලි කරමින් සුමිත් ලවා ලිපි කිහිපයක්ම ලියැවීය. ඉන් එකක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටය. එය ඒ දිනවල පුවත්පත්වලද පළවිය. කිසිදු නීති විරෝධී කටයුත්තක නියැළුණේ නැති ජවිපෙ තහනම් කිරීමට හේතු සාධක කවරේදැයි විජේවීර ජනපති ජයවර්ධනගෙන් ලුණුගම්වෙහෙර රක්ෂිත වනාන්තරයේ සිට ප්‍රශ්න කළේය.

විධායක බලය යොදා නීති විරෝධී අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජවිපෙ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් උදුරා ගන්නේ නම් එහි අනිටු විපාක රටට විඳින්නට සිදු වුණු ඇතැයි එම ලිපියෙන් අනතුරු හඟවා තිබිණි. එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ මර්දනය කිරීමට එජාපයට ජනතාව, වරමක් දී නැතැයිද විජේවීර එම ලිපියේ සඳහන් කළේය.

විජේවීර රජය අමන්ත්‍රණය කරමින් ජේ.ආර්.ට ලියූ ලිපියේ ලිපිනය ලෙස සටහන් කළේ රෝහණ විජේවීර ශ්‍රී ලංකාව යන්නය, විජේවීර ලංකාවෙන් පැන ගොස් ඇතැයි එකල ඇතැම් මාධ්‍ය තම හිතලු මත අවලාද නඟා තිබිණි. ඊට පිළිතුරු දෙමින් විජේවීර සඳහන් කර තිබුණේ කවර අසීරු තත්ත්වයන් යටතේ නමුත් තමා මාතෘභූමිය හැර නොයන බවය. ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කොට අසාධාරණ අයුක්ති සහගත ජවිපෙ තහනම ඉවත් කරන ලෙසත් තමන් කැමැති දේශපාලන මතයක් දැරීමට ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන ලෙසත් විජේවීර ජනාධිපති ජයවර්ධනට මතක් කර තිබුණේය. සුමිත් වන රක්ෂිතයෙන් පිටව ගොස් දින කිහිපයකට පසු ජවිපෙ ජේ. ආර්. අමතන ලිපිය පුවත්පත්වල පළ විය.

කැලෑව නගරයට වඩා හුරු පැන්ටිස් අයියා ඉන් පසු අවස්ථා ගණනාවක්ම විවිධ කෑම වර්ගද රැගෙන විජේවීර බලන්නට කැලයට ආවේය. (විජේවීර 1989 ඝාතනය කිරීමෙන් ටික දිනකට හසු පැන්ටිස් අයියා වස පානය කොට දිවිනසා ගෙන තිබූ බව බොහෝ දෙනා නොදනී.) හේන් කොටන්නට පටන් ගත් සගයන් දිනපතා ඔවුන්ගේ වාඩියේ උයා පිහා කැලයට කෑම ගෙනාවේය.

මේ අතර වන ගතව තිබූ කුඩා වැව එහි බැම්ම බිඳී ගිය තැන පිළිසකර කරන්නටද ඔවුන්ට හැකි විය. එම වැව මෝසම් වැසි ලැබුණු විට ජලයෙන් පිරුණු අතර අද පවා එය හඳුන්වන්නේ එය ප්‍රතිශ්ඨාපනය කරන්නට මුල් වූ ආරිගෙ නමිනි. එය 'ආරිගෙ වැව' යනුවෙන් එකල පක්ෂයේ අය හැඳින්වූ නිසා පසුව ගම්මුද ඒ නමටම හැඩ ගැසී ඇත. තවත් කලක් ගිය පසු මාගම රාජධානියේ විසූ "ආර්ය" නම් ප්‍රාදේශීය පාලකයකු ගොඩනැඟූ වැවක් ලෙස එය ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත. වනයේ සිටියදී ඔවුන් බොහෝ සේ පීඩාවට පත් වූ අවස්ථාවක් වූයේ අතුරු පාරවල් ඔස්සේ කැලයට ඇතුළු වන ජීප් රථයක හඬය. බොහෝවිට එසේ පැමිණ තිබුණේ වන ජිවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon