කොග්ගල මහා ප්‍රාඥයා දිනමිණ කැලේ ගියා ලක්මිණ රජ වුණා

  👤  3246 readers have read this article !
2018-09-30

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ දියණිය රූපාගේ මතක සටහන් තුළිණි

1928 දී පමණ දිනමිණ හැරුණු විට අනෙක් දිනපතා සිංහල පත්‍රය වූ ලක්මිණ මාතලේ ඉඩම් හිමියකු හා වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ නෝනිස් ද සිල්වා මුදලාලි විසින් මිලයට ගන්නා ලදී.

ඔහුට එම පත්‍රය කරගෙන යෑමට කර්තෘ කෙනකු හා උප කර්තෘ කෙනකු අවශ්‍ය වූ බැවින් ඔහුගේ ඥාතියකු වූ මාගේ පියාට ආරාධනා කළේය. එම ආරාධනය පිළිගත් තාත්තා ලක්මිණ කර්තෘ ධුරයට පත් වූ අතර වික්ටර් ද ලැනරෝල් උප කර්තෘ ධුරයට පත් වුණේය. මගේ පියා ලක්මිණට යෑම වළක්වන්නට ඩී.ආර්. විජේවර්ධන මහතා "අලුත් වැඩවලට අත ගසන්නට ගොස් අතරමං වෙන්න එපා" යැයි ඔහුට අවවාද කෙළේය. ඔහු එම අවවාදය නොපිළිගත්තේය.

ලක්මිණ බොහෝ සෙයින් දියුණු විය. ලක්මිණ මෙසේ දියුණු වූයේ ඔහු දිනමිණෙහි නොවූ නොයෙක් විශේෂාංග ඊට එකතු කිරීම නිසාය. එපමණක්ද නොව "මාර්ටින් වික්‍රමසිංහ එය පවත්වාගෙන ගිය අපක්ෂපාතී ප්‍රතිපත්තිය නිසා යැ"යි වික්ටර් ලැනරෝල් මහතා කියයි. මගේ පියා ලක්මිණ භාර ගන්නා විට එහි අලෙවිය පිටපත් තුන්හාර සියයකට වැඩි නොවීය. ඔහු කර්තෘ වී තුන් හාර මාසයක් යන්ට පෙර එට අටදාහ දක්වා වැඩි විය. උදේ පාන්දර ලක්මිණ විකුණන කොලුවෝ එය විකුණුවේ "දිනමිණ කැලේ ගියා - ලක්මිණ රජ වුණා" යි කෑගසමිණි.

නමුත් මීට අවුරුදු තුනකට පමණ පසු ඔහු ලක්මිණෙන් ඉල්ලා අස් වූයේ එයි කළමනාකාර තැන සමඟ පැනනැඟි මතභේදයක් නිසාය.

"වික්‍රමසිංහ අතරමං විය." ඔහු අම්මාත්, අයියලා දෙන්නාත් කොග්ගලට පිටත් කළේය. "එසේ කොට ගල්කිස්සේ කුඩා අච්චු කන්තෝරුවක් පටන් ගත්තේය.

"මවුන්ට් යන්ත්‍රාලය" යනුවෙන් ප්‍රකට වූයේ ඒ කුඩා මුද්‍රණාලයයි. ඔහු දුෂ්කරතා මැද මෙසේ ජීවත් වන අවධියේ ඩී.ආර්. විජේවර්ධන මහතා යළිත් දිනමිණට එන්ට යැයි ඔහුට ආරාධනා කළේය. එක්වරටම එම ආරාධනය නොපිළිගත් ඔහු තුන් මසකට පමණ පසු සිළුමිණ කර්තෘ වශයෙන් වැඩ භාර ගත්තේය.

වැලිවිට මහතා රෝගාතුර වි දිනමිණ කර්තෘ ධුරයෙන් ඉල්ලා අස් වුණාට පසුව ඔහු දිනමිණ කර්තෘ ධුරයට පත්විය. 1947දී ඔහු ලේක්හවුස් සමාගමෙන් අස් විය. ලේක් හවුසියෙන් ඔහු අස්වූයේ අසනීප වූ බැවිනි. එසේ වුවද ඩී.ආර්. විජේවර්ධන මහතාගේ ඉල්ලීම පිට සතියකට වරක් අධ්‍යක්ෂවරුන්ගේ සාකච්ඡාවලට සහභාගි විය. එහෙත් මඳ කලකින් එය ද අත්හළේය. මින් පසු ඔහුගේ මුළු කාලයම ගත කළේ ග්‍රන්ථකරණයටය.

තාත්තා ලක්මිණෙන් අස්වුණාට පසු කොග්ගලට ගිය අම්මා, ඔහු සිළුමිණට බැඳුණු පසු දරුවනුත් කැටුව නැවත ගල්කිස්සට පැමිණියාය. ගල්කිස්සේ 'ලිස් ඔලිව්' නමැති කුලී ගෙයක කලක් අපි වාසය කළෙමු. මෙය ලෑලි සොල්දර සහිත ගෙයකි. උඩ එක කාමරයකි. මේ කාමරයට යටින් තිබූ කාමරය තාත්තාගේ කන්තෝරු කාමරයයි. සොල්දරේ උඩ කාමරයේ අපගේ ලොකු නැන්දාගේ පුතා නැවතී සිටියේය. ඔහු 1 වැනි ලෝක මහා යුද්ධයේදී යුරෝපයේ නිර්භීත ලෙස සටන් කොට මැඩ්ල් දිනා ගත්තෙකි. ආපසු මෙරටට ආවායින් පසු ඉබාගාතේ ඇවිද යමින් පිස්සුකම් කරයි.

උදෙන්ම එළිය වැටෙන්නටත් කලින් නැඟිට කන්තෝරු කාමරේ මේසයට වී ලිවීම හෝ පොත් කියැවීම තාත්තාගේ සිරිතය. පීටර් අයියා උදේට රැවුල බාන්නේ ඔහුගේ කාමරයේ තිබෙන පිල්ටරයෙන් බුරුසුවට වතුර වත් කර ගෙනය. වතුර සොල්දරේ ලෑලි මත වැටුණුවිට ලෑලි අස්සෙන් කාන්දු වී පහළට වැටේ.

සෑමදාම ඔහු මෙසේ කරන විට වතුර බින්දු ටොක් ටොක් ගාමින් තාත්තාගේ මේසේ මත වැටෙයි. කීප වතාවක්ම කිපී ඔහු පීටර් අයියාට බැන්නේය. ඔහු මෙසේ බැන්න විට පීටර් අයියා ටික දවසක් බුරුසුවට වතුර වත් කිරීම නතර කොට කෝප්පයකට වතුර ගෙන බුරුසුව තෙමා ගනියි. එහෙත් ටික දවසකින් නැවත එම ඇබ්බැහිකමටම වැටෙයි. දවසක් දා තාත්තා යමක් ලියමින් සිටින විට වතුර ඔහු ලියමින් සිටි කඩදාසිය මත වැටෙන්නට විය.

"පීටර් යැයි ඔහු කෑ ගැසුවේය.

"අන්න තාත්තා පීටර් අයියාට අඬගසනවා" යැයි මම සොල්දරය උඩ සිටි පීටර් අයියාට කීවෙමි. ඔහු තරප්පු පෙළින් බැස තාත්තා සිටි කාමරයට ගියේය.

"උඹට ගොනෝ හැමදාම කියන්න ඕනද සොල්දරේ උඩ වතුර වත්කරන්න එපාය කියා. උඹට කෝප්පයකට දාලා ඔය බුරුසුව තෙමන්න බැරිද?

ගොනා! හුළං අස්පයා"
"උඔනේ ගොනා" යැයි පීටර් අයියාගේ කටින් පිටවිය.

එයින් කිපුණු මගේ පියා "පලයන් බූරුවා මෙතැනින් යන්න" යැයි සැර කළේය. කිපුණු පීටර් අයියා සොල්දරය උඩට නැග්ගේය. ටික වේලාවකට පසු ඔහු සූට්කේස් එකත් රැගෙන පහළට බැස්සේ අම්මාට ඔහු යන බව කීමටය.

"පිස්සුද පීටර්, මාමා කෑගැහුවාම ඕවා ගනන් ගන්නවාද?"

පීටර් අයියා කිසිවක් නොකියාම ආපසු ගෙයින් පිට වී ගියේය. අම්මා කන්තෝරු කාමරයට ගොහින් එබුණේය. තාත්තා සියලු දේ අමතක කොට ලියමින් සිටියේය. අම්මා කාමරේ ඇතුළට ගොස්,


"අර ළමයට මොකටද බැන්නේ. අන්න යන්න ගියා"


"යන්න ඕන නම් යන එකයි තියෙන්නේ. ගොනා" යැයි කිවූ තාත්තා නැවත ලියන්නට විය.
ලියන දෙය මිස අන්කිසිවක් ඔහුට දැන් අමතකය. ලියන විට, විටින් විට කෙස් අහුරක් අතින් ගෙන ඇදීමත් එය අදින ගමන් දත් විරිත්තීමත් ඔහුගේ සිරිතයි. ඇතැම් විට ඔහු වෙරෙන් කකුල පොළොවේ ගසයි. යමක් ලියමින් සිටින විට ඔහුගේ කාමරයට ගිය කෙනකු දෙස ඔහු ඔළුව උස්සා බැලුවත් කල්පනාවෙහි ගිලී සිටින ඔහුට කිසිවකු නොපෙනේ. ඔහු නොනවත්වා ලියයි. ඔහු හමුවීමට පැමිණි එක් මුදලිතුමෙක් දවසක් දා කෙළින්ම ඔහු සිටි කාමරයට ගියේය. යමක් ලියමින් සිටි ඔහු ඔළුව උස්සා බැලූ නමුත් මුදලිඳු ඔහු ඉදිරියේ සිටිනු නුදුටුවේය. ටික වේලාවක් ඔහු ඉදිරියේ සිට ගෙන සිටි මුදලිඳු නොබැන ආපසු ගියේය. ඔහු ගමට ගොසින් තාත්තාට නොසෑහෙන්න බැන්නේය. ඔහු ලියන විට අපි කොපමණ ඝෝෂා කළත් එයින් ඔහුට හිරිහැරයක් නොවේ. අපට නිශ්ශබ්දව සිටින්ට යැයි අණ නොලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon