සියලු සත්ත්වයෝ නිදුක් නොවේවා?

  👤  3210 readers have read this article !
2018-09-24

යහපාලන ආණ්ඩුව ස්වකීය පාලන කාලයේ තුන්වැනි වසර ඉක්මවමින් සිටියදී ජාතික ආර්ථිකයේ පසුබෑම සම්බන්ධයෙන් අලුත් සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. රටේ ආර්ථික අවපාතයට ප්‍රමුඛ හේතුව වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන සමයේ අසීමිත ණය කන්දක රට සිර කිරීම බව යහපාලනය ප්‍රථමයෙන් ප්‍රකාශ කළේය. දැන් තවත් අපූරු හෙළිදරව්වක් කර තිබේ.

ආණ්ඩුවේ නව සොයා ගැනීමට අනුව ශ්‍රී ලංකාවේ ජාතික බෝග නිෂ්පාදනයෙන් 30-35% අතර ප්‍රමාණයක් රිළවුන් සහ වඳුරන් නිසා විනාශයට පත්වේ. එය දළ වශයෙන් රුපියල් කෝටි 1800ක් වේයැයි ගණන් බලා ඇත. නවතම සංගණනයට අනුව ලංකාවේ වඳුරන් සහ රිළවුන් ලක්‍ෂ 15ක් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එපමණක් නොව එම වඳුරන් සහ රිළවුන් විසින් වර්ෂයකට කුරුම්බා ගෙඩි ලක්‍ෂ 5 සිට 8 දක්වා ප්‍රමාණයක් විනාශ කරන බවටද නවතම වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය එළි දක්වා තිබේ. ආණ්ඩුව ජාතික ආර්ථිකයට හානි පමුණුවන ඊළඟ හතුරන් ලෙස නම් කර ඇත්තේ වල් අලි සහ වල් උෟරන්ය.
රිළවුන්, වඳුරන් බෝග විනාශ කරන නිසා ඔවුන් විනාශ කළ යුතු බව ජනාධිපතිවරයාම පසුගියදා ප්‍රකාශ කළේය. මොනරුන් සහ දඬුලේනුන්ද හානිකර සතුන් ලෙස හෙතෙම එහිදී හැඳින්වීය. මෙම සතුන් විනාශ කිරීම සඳහා වායු රයිෆල් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා ආණ්ඩුවට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඕනෑම ප්‍රශ්නයකදී බුදු දහමේ පැවැත්ම හා ආරක්‍ෂාව පෙරට ගන්නා පාලකයන් මෙහිදී එය සැලකිල්ලට ගෙන නැත. අපට බුදු දහමේ මාහැඟි පණිවුඩය රැගෙන පැමිණි මිහිඳු මා හිමියන් අම්බස්තලය, අබියසදී දේවානම්පියතිස්ස රජුට පැවැසුවේ 'මහරජ ගොඩබිම සරණ සත්ත්වයන්ගේද, අහසේ පියා සලන පක්‍ෂීන්ගේද, දියෙහි පිහිනන මාළුන්ගේද, ආරක්‍ෂකයා සහ භාරකරුවා බව ඔබ සිහියේ තබා ගන්න' කියාය. දේවානම්පියතිස්ස රජු දුන්න බිම දැමුවේ ඒ උතුම් සදහම් පණිවුඩය වටහාගත් නිසාය. 'සියලු සත්ත්වයෝ නිදුක්වේවා' කියන බුදු වදන ඔස්සේ ගොඩනැඟුණු වසර දහස් ගණනක මහා සංස්කෘතියක් ගැන මේ රට උදේ සවස උදම් අනන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

බිම දැමූ දුන්න වෙනුවට වායු රයිෆලය අතට ගන්නැයි 21 වැනි සියවසේදී අපේ පාලකයෝ අපට කියති. වගාවලට හානි කරන වල් උෟරන් ඝාතනයට අවසරදී තිබුණද උෟරු මස් ප්‍රවාහනය හා අලෙවිය සඳහා අවසර තිබුණේ නැත. එහෙත් ඒ නීති අහෝසි කරන කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ රටේ රට කරවූ සහ කරවන පාලකයන් ජාතික ධනයෙන් සොරකම් කළ හා තවමත් සොරකම් කරමින් සිටින පංගුව ගැන සලකන කල 'රිළව්' කළ හානිය ගණන් ගන්නට බැරි තරම් සොච්චමක් බව ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වාදීමට අපට සිදුවේ. වසර දහස් ගණනක් අප ජීවත් වූයේ මේ සියලු සත්ත්වයන් සහ සමාගමයෙන් සහ සංහිඳියාවෙන් බව අද සිටින බටහිරින් විසඳුම් සොයන විශේෂඥයෝ නොදනිති. හේන් ගොවියෝ කන්නය නිමා වූ පසු හේන වල් අලින්ට, වල් උෟරන්ට ගිරවුන්ට අතහැර ගමට ගියහ. කුඹුරු අස්වැන්න කපා ගත්තේ කුරුල්ලන් සඳහා කුරුලු පාළුව ඉතිරි කරමිනි. උණු වතුර බිමට නොදැම්මේ සතුන් මියෙන නිසාය. වන්නිලැ ඇත්තන් කියන්නේ වැදි ජනයා ගැබ්බර සතාට හෝ ආහාර බුදින සතාට කිසිවිට ගිනි බින්දේ නැති බවය.

අපට හැමදාමත් වැරදුණේ මේ රටේ පාලකයන් මේ දූපත ඔවුන්ට සහ ඔවුන්ගේ සනුහරයට පමණක් අයිති යැයි සිතූ නිසාය. ආණ්ඩුව යෝජනා කරන මේ මැරිල්ලේ කෙළවර කුමක්දැයි අපි නොදනිමු. ඊළඟට ගිරවුන්, මයිනන්, ලේනුන්ද මරන්නට යෝජනා කළොත් පුදුම විය යුතු නැත. අවසානයේ මිනිසා පමණක් මහ පෙළොව බෙදාගෙන යහතින් ජීවත් වෙන්න සිතනවා නම් ඊට වඩා මුළාවක් තවත් නැත. ආණ්ඩුව විසින් ඊනියා සංවර්ධනයේ මුවාවෙන් සිදුකළ මහ වන විනාශය හේතුවෙන් පරිසරයේ තුලනය බිඳ වැටීම සතුන් සම්බන්ධයෙන් මතුවන මේ ප්‍රශ්නවල ආරම්භයත්, හේතුවත් බව පාලකයන්ට වැටහෙන්නේ නැත. ශ්‍රී ලංකාව තෘෂ්ණාවෙන් පරිපීඩිතව අසීමිත පරිභෝජනයක් භුක්ති විඳින 'මනු' සතාට අතහැර අනෙකුත් සියලු සත්ත්වයන් ඉන්දියාවට හෝ පීනාගොස් දිවි රැකගත යුතු අවිචාර සමය එළැඹ තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon