පොලිස්පති ගැන කතා කරන්න අගමැති මහ රෑ ජනපති නිල නිවසේ

  👤  4887 readers have read this article !
2018-09-23

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ඉරිදා පෙරවරුවේ ගාල්ලට ගියේ දීපව්‍යාප්ත වෙරළ පවිත්‍රතා වැඩසටහනට හා සමුද්‍ර ආරක්ෂක කලාපීය දිස්ත්‍රික් කාර්යාලය හා පරීක්ෂණාගාරය විවෘත කිරීම සඳහායි. එදින පෙරවරුවේ කොළඹ පැවැති කොළොන්නාවේ සුමංගල නාහිමියන්ගේ නායක පදවි උත්සවයට සහභාගි වීම හේතුවෙන් මේ සඳහා මඳක් ප්‍රමාද වී පැමිණියේය. ගාල්ල දඩල්ල නව ක්‍රීඩාංගණයට ජනපති රැගත් හෙලිකොප්ටරය ගොඩබස්වන ලද අතර ඔහු පිළිගැනීම සඳහා කල්වේලා ඇතිවම මහ ඇමැති ෂාන් එම ස්ථානයට ගියේය. මහ ඇමැති ෂාන්වත් තම වාහනයට නංවාගත් ජනපතිවරයා උත්සව භූමියට යෑමට පෙර වෙනත් කටයුත්තකට යෑමට ෂාන්ට ආරාධනා කළේය.' ෂාන් මම තාම උදේට කාලත් නෑ. සුමංගල හාමුදුරුවන්ගේ උත්සවයට ගිය හින්දා කන්නත් බැරි වුණා.

අපි උදේට කාලා ඉමු' මෛත්‍රි ඔහු වෙනුවෙන් පැමිණි (කැරවන්) රථයට ගොඩවුණේ ෂාන්ටත් ඒ සඳහා ආරාධනා කරමිනි. එම රථයට ගොඩවූ පසු සිය ආරක්ෂකයකු පාර්සලයක් ජනාධිපති මෛත්‍රි අත තබමින් 'සර් උදේ කෑම එක' කීවේ ෂාන්වත් පුදුමයට පත් කරමිනි. එය දුටු ජනාධිපතිවරයා 'ඇයි ෂාන් පුදුමයෙන් වගේ බලන්නේ මම හැමදාම මෙහෙම තමයි. ගෙදරින් හදලා දෙන කෑම එක තමයි කොහේට ගියත් කන්නේ' යැයි කීවේය. 'ඔව් සර් මම කලිනුත් අහලා තිබුණා හරියටම දැක්කේ සර්ව හම්බවෙන්න සර්ගේ කාර්යාලයට ගිය වෙලාවෙ. එදත් සර් ඔය විදියටම ගෙදරින් අරන් ආපු කෑම එක තමයි කෑවේ.' ෂාන් ද මෛත්‍රි සමඟින් උදේ ආහාරය රැගෙන උත්සව භූමියට ගියේය. ඒ වන විට ගයන්ත, පියසේන ගමගේ, අජිත් මාන්නප්පෙරුම, විජේපාල හෙට්ටිආරච්චි, යූ.ජී.ඩී. ආරියතිලක ඇතුළු පිරිස ජනපතිතුමන් පිළිගැනීමට සූදානම් වී සිටියහ.

ඉන් අනතුරුව වෙරළ පිරිසුදු කිරීමේ කටයුත්තකට හා පැළ සිටුවීමේ කාර්යයට සම්බන්ධ වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමෘද්ධිලාභී පිරිසකට පත්වීම් ලබාදීම කළේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟද මඳ වේලාවක් සුහදව කතා කොට තේ පැන් සංග්‍රහයකටද සහභාගිවීමෙන් අනතුරුව සමුද්‍ර ආරක්ෂක කාර්යාලයේ සේවක පිරිස සමඟ සමූහ ඡායාරූපයකටත් පෙනී සිටියහ. ඉන් අනතුරුව නව කාර්යාලයේ ප්‍රධානීන් ඇමැතූ ජනපති මෛත්‍රි ඇයි මේ කාර්යාලයේ ඔක්කොම වීදුරු කළු කරලා (ටින්ටඩ්) කරුණාකරලා මේ කළු කරපු ඒවා ඔකකොම ඉවත් කරන්න ඕන' යැයි තරමක් තදින් කීවේ එය කාර්යාලයකට නොගැළපෙන බව පවසමිනි. පිරිස සමඟ බොහෝ වේලාවක් සුහදව කතාබස් කර පිරිසට සමුදී සවස්වරුවේ ඇඹිලිපිටියේ පැවැත්වෙන මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට සහභාගි වීම සඳහා පිටත්ව ගියේය.

සතියේ කැබිනට් හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. එහිදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. ජනාධිපතිවරයා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව රටේ බඩු මිල සම්බන්ධයෙන් කැබිනට් හමුවේ අවධානය යොමුවිය.

"අද පවතින බඩු මිලෙන් ජනතාව පීඩා විඳිනවා. මහ පාරේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් නව දෙනෙක්ම කියන්නෙ අද ජීවත්වෙන්න අමාරුයි කියලා. ඒ නිසා ජනතාවට සහනයක් ඉක්මනින්ම දෙන්න වෙනවා" සජිත් කීවේය.
සජිත්ගේ තර්කය පිළිගැනීමට එම පක්ෂයේම ඇමැතිවරුන් කිහිපදෙනකු සූදානම් වූයේ නැත. ඔවුන් සජිත් දෙස බැලුවේ පුදුමයෙන් මෙනි. මලික්, මංගල සහ කබීර් සජිත්ගේ අදහස් දැක්වීමට විරෝධය දක්වන්නට වූහ. "හාල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල කලින්ට වඩා අඩුයි. ඔයා රැස්වීම්වල හැමදෙයක් ගැනම කතාකලාට ඒව කියන්නෙ නැහැනෙ" මංගල කේන්තියෙන් කීවේය.
"ඔව් ඒක ඇත්ත තමයි, මේ දවස්වල හාල් පොල් මිල ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ගැන මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නෙ නෑ. එතැනයි ප්‍රශ්නය තියෙන්නේ. නැතුව වෙන ප්‍රශ්නයක් නෙවෙයි" මලික් සහ කබීර් සජිත් දෙස බලමින් කීවේය.
"කොහොම වුණත් එදා රාජපක්ෂ ආණ්ඩුවෙයි අපේ කාලයෙයි ගත්තම ඉන්ධන මිල අඩුයි" මංගල කීවේය.

අනතුරුව ඇමැති කබීර් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් අඩුවී ඇති බව ලේඛනයක් පෙන්වමින් කීවේය.

"හරි මම මගේ අදහස ඉල්ලා අස්කර ගන්නම්" සජිත් කීවේය. පසුව ජනපති මෛත්‍රි අදහස් දැක්වූ අතර ඔහු ගත්තේ සජිත්ගේ පැත්ත වීමද විශේෂයකි.

"ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් කූට ලෙස මිල වැඩි කරනවා. දැන් පාන් පිටි කිලෝ එකක් රුපියල් 5කින් වැඩි කළාම පාන් රාත්තලක මිලත් රුපියල් 5 කින් වැඩිකරනවා. මෙවැනි අසාධාරණකම්වලට තමයි පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුත්තේ" ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට දෙහිකපන්නට වූයේ පාර්ලිමේන්තුවේ සභා වාරයන්ට පැමිණීම පිළිබඳවයි.

"හුඟක් අය පාර්ලිමේන්තු යන්නෙ නෑ. පසුගිය දවස් කිහිපයකම ගණ පූරණය නැතිව සභාව කල්දාන්න වුණා. ආයෙත් එහෙම වෙන්න දෙන්න එපා. මේක නරක සම්ප්‍රදායක්" ජනාධිපතිවරයා කීවේය.
ටින් මාළු අවුල
මේ අතර ගම්මිරිස් හා කුරුඳු අපනයනය කරන ගොවීන්ට ගැටලු රැසක් පවතින බව විජිතමුණි සොයිසා ඇමැතිවරයා කැබිනට් හමුවේ අවධානය යොමු කර තිබේ.
'මේ ගැන කඩිනමින් විසඳුමක් දෙන්න. අදාළ අංශ එක්ක කතා කරලා මේ ගොවීන්ගේ ගැටලු නිරාකරණය කරන්න. ජනාධිපතිවරයා කීවේය.

ටින් මාළු ගෙන්වීමේදී පවතින ගැටලු කිහිපයක් ගැන ඇමැති රාජිත කැබිනට් හමුවේ අවධානය යොමු කළේය. ඒවා පරීක්ෂා කිරීමේදී සහ තොග සාම්පල් ගැනීමේදී ගැටලුවක් පවතින බවද ඇමැතිවරයා පැවැසීය.
'එම තොග පරීක්‍ෂා කිරීමේදී නුසුදුසු ටින් මාළු හම්බුණොත් මුළු තොගයම ආපහු යවන්න' ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පොලිස්පති ගැන කතා කරන්න අගමැති මහ රෑ ජනපති නිල නිවෙසට යයි

ජනපති මෛත්‍රි සහ අගමැති රනිල්ගේ විශේෂ හමුවක් පසුගිය බදාදා රාත්‍රියේ ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. මේ දිනවල පවතින ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වෙනදා එම හමුවීම්වල ඇති සුහදතාව සහ සිනහමුසු බව එදින හමුවේ නොතිබීමද විශේෂත්වයකි.

"මේ පොලිස්පතිතුමා කරන වැඩ නිසා ඒවා ආණ්ඩුවටත් බලපානවා. පොලිසියෙ වැඩවලටත් ඒක හරි නෑ. පොලිසියෙ ඉන්න පහළම නිලධාරීන්ව හදාගන්නත් බැරි වෙනවා මේ කරන වැඩ නිසා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි මිනිස්සු බලාගෙන ඉන්නවා" මෛත්‍රි කීවේය.
"ඔව් ඒක ඇත්ත. මමත් එතුමාට මේ ගැන පැහැදිලි කරන්නම්" රනිල් එසේ කියද්දී,

"ඔබතුමා කියන්න... ඒ මදිවට පොලිස් කොමිසම එක්කත් ගැටලු ඇතිකරගෙන. මෙහෙම කොහොමද වැඩ කරන්නෙ" යැයි මෛත්‍රි කීවේය.

"ඒක හරි. ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ. මේ ප්‍රශ්න විසඳන්න ඕනෑ" අගමැතිවරයා කීවේය.

"ඔව්... එතුමට තව අවුරුදු 2ක් තියෙනවා. ඒ වුණාට කමක් නෑ. තීරණයක් ගන්න කියමු. මම සති දෙකක් දෙනවා" ජනපති මෛත්‍රි කීවේය.
අනතුරුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතා කර සතිදෙකේ තීන්දුව ගැන දැනුම් දුන්නේය.

ජේ‍යෂ්ඨයන්ට තනතුරු අහිමි වූ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව
ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහගමසේකර මාවත පිහිටි ජනපති නිල නිවෙසේදී රැස්විය. මෙහිදී ඇමැතිකම් අත්හැර විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රිවරුන් 8 දෙනකුගේ ආසන සංවිධායක ධුර ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළේය. ඒ අනුව පක්ෂයේ ජේ‍යෂ්ඨ උපසභාපතිවරයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත් කඩුවෙල ආසනයෙන්ද, ජේ‍යෂ්ඨ උපසභාපති ජෝන් සෙනවිරත්න රත්නපුර සංවිධායක ධුරයෙන්ද, ජේ‍යෂ්ඨ උප සභාපති අනුර ප්‍රියදර්ශන යාපා කටුගම්පොළ සංවිධායක ධුරයෙන්ද, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හක්මණ සංවිධායක ධුරයෙන්ද, චන්දිම විරක්කොඩි හබරාදුව සංවිධායක ධුරයෙන්ද ඉවත් කර ඇත. ඒ වෙනුවට අලුතින් සංවිධායක තනතුරු සිකුරාදා පස්වරුවේ ලබා දුන්නේය.

විශේෂත්වය වන්නේ මෙම සංවිධායක ධුර ඉවත් කළ මන්ත්‍රිවරුන් අතර එම පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනෙකු සිටීමය. ඊට අමතරව ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රිවරයා දීර්ඝ කාලයක් තිස්සේ සංවිධාකයකවරයකු ලෙස සිටින අතර හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් එම සංවිධායක තනතුර ලබා ගැනීමද විශේෂයකි.

ඊට අමරතරව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙසත් කටයුතු කළ ජේ‍යෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු වීමද විශේෂත්වයකි.

මේ අතර එදින මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සඳහා කමිටුවක් පත් කළේය. එම කමිටුව සිකුරාදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රථමවරට රැස්විය. ඔවුන් සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමටද නියමිතය.

ඉවත් කළ සංවිධායකයන් වෙනුවට නව සංවිධායකයන් පත්කිරීමේදී හබරාදුව ආසනයේ නව සංවිධායකවරයා ගැන මැති ඇමැතිවරුන් කිහිපදෙනකු කතාබහ කළේය.

ඒ වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති දැනට ගාලු දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරන තිසර ගුණසිංහය. තිසර ගුණසිංහ හබරාදුවට පත්කිරිම ගැන නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමත්‍යවරයාද කතාබහ කළේය.
"එතුමා අපේ දිස්ත්‍රික්කයේ තරුණයෙක් දක්ෂයෙක්. එතුමාගේ පියත් අපේ පළාතට විශාල වැඩ කොටසක් කළහ." මුතුහෙට්ටිගම කීවේය.

මධ්‍යම කාරක සභාව විගස අවසන් කිරීමට සිදුවුයේ ඉන් පසුව ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අරක්ෂක මණ්ඩලයේ හමුවක් පැවැත්වීම හේතුවෙනි.

ඇමැති විජයදාස විෂය මාරු කරයි
දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කලම්බු සිටි සෙන්ටර් අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ අතින් කොළඹ නවම් මාවතේ දී විවෘත වූ අතර ඊට චම්පික රණවක හා ජෝන් අමරතුංගද එක් විය. දෙස් විදෙස් ආයෝජකයන් හා සමාගම් රැසක්ද එහි තම ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. රෙදිපිළි, ආහාරපාන, ජංගම දුරකථන, වෙළෙඳසල් රැසක් මෙහි අන්තර්ගතව තිබේ. බ්‍රහස්පතින්දා උදේම අගමැතිවරයා අරලියගහ මැඳුරට ගියේ පාර්ලිමේතු යෑමට පෙර සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමටය.

මැති ඇමැතිවරුන් කිහිපදෙනකුද එහි පැමිණ සිටියහ.

"පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සාමාන්‍ය ඔත්තුකරුවෙක් එක්ක දුරකථනයෙන් ජනපතියි හිටපු ආරක්ෂක ලේකමුයි ඝාතනය කරන්න කතා කරාවිද..? පොලිසියේ ඉන්නෙ ඒ තරමට වගකීමක් නැති අයද කියලායි මිනිස්සු අහන්නේ?" ඇමැති කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

"මේකෙ ඇත්ත වහාම සොයන්න පරීක්ෂණ රස පරීක්ෂකට ඒ හඬ පටි යැව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යැව්වා. පොලිසියේ ඉහළ හා පහළ නිලධාරීන් හැමදාම තරගෙට ගහගන්නවා. ඒවා ජනතාවට වැදගත් නෑ. මේ කතාවත් එහෙම ආපු එකක්දැයි අපි සොයනවා" අගමැතිවරයා පැහැදිලි කළේය.

"මේ සිද්ධිය හරහා පොලිස්පතිට ප්‍රහාර එල්ල කිරීමත් විපක්ෂයේ ඉලක්කයක්. ඔහු හොඳට වැඩ කළත් ජනමාධ්‍ය ඉස්සරහා රඟන එකනම් නවත්තන්න වෙනවා. ඒකාබද්ධෙට කඩේ යන රටේ සුළු ප්‍රශ්න දෙගුණ කරලා පෙන්නන ජනමාධ්‍යයි මේක ඇදගෙන යන්නේ" නවීන් දිසානායක කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළ විය.

"එදා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය දිනේෂ් ඇද්දාම ඔහු අභිභවා යන්න ඒකාබද්ධෙ අනිත් අය උත්සාහ කරලා වැඩේ අනාගත්තා. එක එක අය එක එක කතා කිව්වේ" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"මේ ඝාතන කතාව කොහෙන් හරි නිර්මාණය කරපු දේශපාලන නාට්‍යයක් බවත් බොහෝ දෙනකුගේ අදහසයි. ගෝඨාභය ඝාතනය කරන්නත් හිටියා කියන කතාව මේකට ඇදලා ගත්තේ ඒකාබද්ධෙ කුලප්පු කරලා එයාලාගෙ සපෝර්ට් එක ගන්න වෙන්නත් පුළුවන්" චමින්ද විජේසිරි කළ විග්‍රහය ඉතා වැදගත් බව කාගෙත් අදහස විය.

"මේ සිද්ධියේ ඇත්ත හොයනවාට වඩා විපක්ෂයට ඕනෑ මේකෙනුත් පටු දේශපාලන වාසි ගන්නයි. ඇත්තටම ඝාතන කුමන්ත්‍රණයක් තිබුණාද කියන එකයි හොයාගන්න ඕනෑ. හඬ පටිවල එහෙම එකක් නෑ කියලයි පොලිසියේ ඉහළ කෙනෙක් මට කිව්වේ" දයා ගමගේ කීය.
"ඔය නි. පොලිස්පති ජානක පෙරේරාගේ ඝාතනය ගැන විධිමත් පරීක්ෂණ කරපු හිටපු ගුවන් හමුදාපති රොෂාන් ඝාතන තැත හා ෆොන්සේකා ඝාතන තැතකුත් වැළකූ හා මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැසක් සොයාගත්ත දක්ෂ කෙනෙක් බව කියනවා. එතකොට ඔය ඔත්තුකරුට රොහින්ග්‍යා කේස් එකේදි ලක්ෂ 05ක් පොලිසිය ලබා දුන්නත් දිගන කේස් එකේ ඔත්තු දීපුවාට මුදල් පමා වූ බවට අරගල කරපු කෙනෙක්ය, මේ පාවාදීමට හේතුව ඒකය කියලත් ආරංචි පළ වෙනවා" චමින්ද විජේසිරි තවත් රහසක් හෙළි කළේය.

"අගමැතිතුමා හා රංජිත් මද්දුම බණ්ඩාර මේ ඝාතන සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේදී කතා කළාම විපක්ෂයට කටඋත්තර නැති වුණා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන විපක්ෂය අද කිඹුල් කඳුළු හෙළුවත් 2015 ජනාධිපතිවරණ කාලේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කළාම කවුද ඇඬුවේ. ඇමෙරිකානු පුරවැසියෙක් වුණත් ගෝඨා ඉල්ලුවොත් වැඩි ආරක්ෂාවක් දෙනවා. ජනාධිපතිතුමාට ආරක්ෂාව ගැන ප්‍රශ්න නැතත් ඒකාබද්ධෙ මරා ගැනිලි නිසා ගෝඨාට නම් අද ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන් බව අගමැතිතුමා කිව්වාම විපක්ෂයට කට උත්තර නැති වුණා" විජයදාස රාජපක්ෂ කීය.
"මහින්ද 2015දී රට දාලා ගියේ වසර 02කට කලින් ඡන්ද තියලායි. රටේ ප්‍රශ්නවලට එයාට විසඳුම් නැති වීම දාලා යන්න හේතුවයි. 2012 සිට 2014 දක්වා මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම් පවා මහින්ද ඉවත දැම්මා. 2015දී එයා දිනලා තිබුණා නම් ජිනීවාවලදී රටට ආර්ථික තහංචි අනිවාර්යයෙන් වැටෙනවා. අපි ඒ සියල්ල වළකලා ණය බර 60%කුත් ගෙවලා රට බේරගත්තාම දැන් මහින්ද ආපහු රට එයාට ඉල්ලනවා. මේවා විහිළු" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"ඉන්ධන මිල සූත්‍රය මෙහෙම ගියොත් මාසෙන් මාසෙට බඩු මිලයි ඉන්ධනයි වැඩිවේවි. ඒක දේශපාලන ලෙස අවාසියි" නවීන් දිසානායක කීය.

"ලෝකය ඉන්ධන මිල සූත්‍ර අනුව යන්නේ. මිල අඩු වුණාම අඩු කරනවා. ඩොලරය ඉහළ යෑමත් මෙතැනදී බලපානවා. අපි ජනතාවට උපරිම සහන දෙන්න වැඩපිළිවෙළක් හදනවා. ඊයෙත් ඒ ගැන කතා කළා" අගමැති කීය.
"රුපියල කඩා වැටීම ගැන ඒකාබද්ධ ආර්ථික ඔස්තාර්ලා කතා කළාට ලෝකයේ අනිත් සියලු රටවල මුදල් ඒකක කඩා වැටීම එයාලා හංගනවා. ඉන්දියාවේ 10%කින් ඒ රුපියල වැටෙන කොට අපේ 05%යි. තම මුදල් ඒකකය කඩා නොවැටුණු රටක් පෙන්නන්න කියලා මම ඒකාබද්ධෙට කියනවා. ඩොලර් පොලී අනුපාතය වැඩි කරන්න ඇමෙරිකානු මහ බැංකුව තීන්දු කළා. ඒ නිසා ලෝකයේම ඩොලර් ඇමෙරිකාව දෙසට ඇදුණා. ඩොලරය ඉතිහාසයේ ශක්තිමත් තැනට ආවා. ලොව හැම අනිත් රටකටම ඒක පහරක් වුණා. අපේ අපනයනය වැඩි කිරීම හා ආනයන වියදම අඩු කිරීම මේකට එකම විසඳුමයි" විජයදාස රාජපක්ෂ නීතිය මෙන්ම ආර්ථිකය ගැනද විශේෂ දැක්මක් ඇති අයකු බව ප්‍රදර්ශනය කළේ එසේය.

"විජයදාස නීතිය අතහැරලා මහ බැංකුවට ආර්ථික උපදෙස් දෙන්න පටන්ගන්න" අගමැති කීවේ උස් හ¾ඩින් සිනාසෙමිනි.

"මාණ්ඩලික ප්‍රධානියා මෙක්සිකෝ ඉඳලා ඇවිත්. එතුමාට මිනීමැරුම් චෝදනා නැතිලු. උදවු කළාද කියලා දැනගන්නයි කට උත්තර දෙන්න කියනවා කියන්නේ. නේවි එකේ ඔහුට විරුද්ධ පිරිසකුත් ඉඳීම මේ ගැටලුවලට මුල කියලා ආරංචියි" චමින්ද විජේසිරි කීය.

"ඔබතුමා මේ මාසෙට දෙපාරක් වියට්නාම් ගියා. ඒ වගේ ශීඝ්‍රයෙන් දියුණු වන රටක් එක්ක අත්වැල් බැඳ ගැනීම ලංකාවට හයියක්" නවීන් දිසානායක කීවේ අගමැතිටය.

"වියට්නාමය කියන්නේ අපට හුඟක් ආර්ථික ආදර්ශ ගත හැකි තැනක්. සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව වගේ දියුණු රටක්. එයාලා හැම වැදගත් ආර්ථික සමුළුවකටම මට ආරාධනා කරන්නේ අපි යන ආර්ථික මාවතත් නිවැරැදි නිසා බව ඔවුන් මට කිව්වා" අගමැති කීය.

ගම්පහ මන්ත්‍රිවරු මහින්දගේ රැස්වීමෙන් නැඟිට ගියේ ඇයි?

ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානයේ නියෝජිතවරියන්ගේ රැස්වීමක් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට පවිත්‍රා ඇතුළු කාන්තා සංවිධාන නියෝජිත පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ ජනබලය කොළඹට උද්ඝෝෂණය දා සහභාගි වී සිටි ජනතාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු විසින් විස යෙදූ කිරි පැකට් බෙදාදීම සම්බන්ධයෙනි. එම ක්‍රියාවට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ අනුව කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියෝ 20 වැනිදා ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිලි කළහ.
එම සාකච්ඡාවේදී නාමල්ට අදහස් දැක්වීමට ආරාධනා කළේ පවිත්‍රාය. පවිත්‍රා නාමල් හට ආරාධනා කළේ 2025 අපේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ලෙස කියමිනි. නාමල් පිළිතුරු ලෙසින් පැවැසුවේ 2025ට පෙර 2020 ජනාධිපතිවරණය ගැන සිතිය යුතු යැයි කියාය.

අපිට 2025 වෙනකම් ඉන්න පුළුවන්කමක් නැහැ. ඊට ඉස්සෙල්ලා 2020 ජනාධිපතිවරණය ගැන හිතන්න ඕනේ.

ඊට පස්සේ පුළුවන් 2025 ගැන හිතන්න. ඒ හින්දා හැමෝම මේ වෙලාවේ අරමුණු කරගන්න ඕනේ 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය ගැනයි.

පවිත්‍රා මන්ත්‍රිතුමියගෙන් මම ඉල්ලා හිටිනවා මේ වගේ කතා නම් තවත් කියන්න එපා කියලා. මොකද ඕවා කියන්න කියන්න අපිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන දවස් ගාණ වැඩි කරන්න වෙනවා. ඒ හින්දා කරුණාකරලා අපිව අමාරුවේ දාන්න නම් එපා නාමල් ඉල්ලා සිටියේය.

ඉන්දියානු සංචාරය නිමා කළ මහින්ද යළි මෙරටට පැමිණියේ පසුගිය සිකුරාදාය. පසුදින මහින්දට අනුරාධපුරය බලා යන්නට සිදුව තිබුණේ ශෝකජනක සිදුවීමක සංවත්සරයකට සහභාගි වන්නටය. ඒ සිදුවීම නම් කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීමය.

2006 වසරේ ජූලි මස 15 වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව - විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේදී බස් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා 70 දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.
එවකට ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි මහින්ද සිද්ධියෙන් පැය කිහිපයක් ගෙවෙන්නටත් මත්තෙන් කැබිතිගොල්ලෑවට ගොස් විපතට පත් ජනතාව හමුවූයේ ආරක්ෂක අංශයේ දැඩි විරෝධය මැදය. බෝම්බයෙන් මියගිය ඥාතීන් මහින්දගේ දෑත් අල්ලාගනිමින් හඬන ආකාරයත් දෑසේ කඳුළු පුරවා ගත් මහින්ද ඒවාට සවන් දෙන ආකාරයත් එකල මාධ්‍යයේ පළ විය.
එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 12කට පසු මහින්ද යළිත් එහි ගියේ මියගිය පිරිස සමරමින් සංවිධාන කර තිබුණු දානමය පුණ්‍යකර්මයකට සහභාගි වන්නටය. කැබිතිගොල්ලෑව - විහාරහල්මිල්ලෑව විහාරස්ථානයේදී පැවැති දානමය පින්කමට මහින්ද එක්විය.

එහිදී අනුශාසනාවක් කළ විහාරහල්මිල්ලෑව ධම්මරක්ඛිත හිමියෝ මේ අවාසනාවන්ත සිද්ධිය වෙච්ච වෙලාවෙත් අපේ මහින්ද මහත්තයා මෙතැනට දුවගෙන ආවා. මහින්ද මහත්තයට මතක ඇති මේ පන්සලේ තමයි ඒ දේහයන් තැන්පත් කරලා තිබ්බේ.

මම එතුමාගේ අත් දෙක අල්ලලා එදා ඉල්ලා හිටියේ මේ කොටි ත්‍රස්තවාදය නැති කරන්න, එහෙම බැරි නම් පුළුවන් කෙනකුට දීලා අයින් වෙන්න කියලයි. මහින්ද මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ මම පුළුවන් තරම් ඉක්මනට මේ ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා.

එතුමා එදා පොරොන්දු වුණා වගේම අවුරුදු තුනක් යනකොට ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරලා දැම්මා. අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩක් ලැබුණේ මේ මහින්ද මහත්තයා හින්දයි. නමුත් මේ රටේ මිනිස්සු ඒක අමතක කරලා දැම්මා. අපි ත්‍රස්තවාදයෙන් අවුරුදු තිහක් දුක්වින්දා. ඔබතුමා නැත්නම් මේ ගම්වල මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ ත්‍රස්තවාදය පැරදුවාට ඔබතුමා බුදුවෙන්න ඕන.
මම අලුත් පරම්පරාවේ අයගෙන් ඉල්ලා හිටින්නේ අපිට නිදහස දුන් මේ යුග පුරුෂයා අමතක කරන්න එපා කියලයි. එතුමා නොහිටින්න අපි අදටත් ත්‍රස්තවාදය නිසා දුක්විඳිනවා කියලා මතක තියාගන්න ඕනේ. ලෙසින් උන්වහන්සේ පැවැසූහ.

දානමය පින්කමෙන් පසු පිටතට පැමිණි මහින්ද වටකරගත් මියගිය අයගේ ඥාතීහු කඳුළු සලමින් අතීතය සිහිපත් කළහ. මහින්ද ද ඔවුන් අස්වසමින් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි. ඒ අතර මහින්ද අසලට ආ වැඩිහිටි ගැමියෙක් ආරාධනාවක් කළේය.
'ඔබතුමා අපි හදපු දුප්පත් ආහාර වේල සප්පායම් වෙන්න එන්න ඕනේ' යැයි කීවේය.

'අයියෝ ඕක මොකක්ද. මම එන්නම්' මහින්ද කීවේ මඳ සිනහවක් පාමිනි.

'අපි මේ දානය හැදුවේ අපේ ගෙවල්වල. ලොකු දේවල් නම් නැහැ. තෙප්පිලි මාළු, මුරුංගා හොදි එක්ක තමයි අද කෑම තියෙන්නේ. ඔබතුමාට සුදුසුද දන්නේ නැහැ' වැඩිහිටියා කීවේය.

'ඒ මොකද මට හොඳ නැත්තේ. මමත් ගමක හැදුණු කෙනෙක්. තමුන්නාන්සේලාට හොඳ ඕනෙම දෙයක් මටත් හොඳයි. කෝ යං යං' කී මහින්ද ගමේ මිනිසුන් සමඟ එකතු වී දිවා ආහාරය භුක්ති වින්දේය.

එතැනින් පිටත්ව යන්නට සැරසී රථයට ගොඩ වූ මහින්ද අසලට ආ ප්‍රාදේශීය සභාපතිවරයෙක් තවත් ඉල්ලීමක් කළේය.

'සර් මම කෘෂි පර්යේෂණ නිලධාරියෙක්. ඔබතුමාට සහයෝගය දක්වන හින්දා දුමින්ද දිසානායක මහත්තයා කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නකොට මගෙන් පළිගත්තා. මගේ රස්සාවත් නැති කරන්න දහන්ගැට ගැහුවා. හැබැයි මම ඔබතුමා අතහැරියේ නැහැ. මගේ දුප්පත් ගෙදරට ගොඩවෙලා තේකක් බීලා යන්න එන්න පුළුවන් නම් ලොකු දෙයක්' ඔහු ඉල්ලා සිටියේය.

'ඒ වගේ කැපකිරීමක් කරපු කෙනෙක් නම් තමුන්නාන්සේගේ ගෙදරට නොගිහින් කොහොමද? යං යං අපි මෙතුමගේ ගෙදරට යං' මහින්ද එසේ පැවැසුවේ ඒ වනවිටත් පිටත්ව යෑමට රථය හරවාගෙන සිටි රියැදුරුටය. ඒ අනුව මහින්ද එම සභාපතිවරයාගේ නිවෙසට ගොස් තේ බීමෙන් පසුව අනුරාධපුරය බලා පැමිණියේය.

ඒ එන අතරතුර මහින්ද එවකට ධීවර ඇමැතිවරයාව සිටියදී ගොඩනැඟූ ධීවර ගම්මානයක් වන හුරුළුවැව ධීවර ගම්මානය නිරීක්ෂණය කළේය. ඒ වනවිට එහි තනා තිබූ තොරණ ගරා වැටී තිබූ අතර එය ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් ලවා ප්‍රතිසංස්කරණය කරන්නැයි එස්.එම්.ට දැනුම් දුන්නේය.

මහින්ද පැමිණෙනු දුටු ගම්වැසියන් පාර දෙපස එක්රොක්ව සිටි අතර ආරක්ෂක අංශයේ උපදෙස්ද නොතකා ඔවුන් සමඟ කතා කරන්නට මහින්ද ගියේය. ගම්වැසියන් මහින්දට කීවේ 'සර්ගේ කාලේ වගේ නෙවේ දැන් අපි ගැන ආණ්ඩුවෙන් හොයලා බලන්නෙවත් මේවා නඩත්තු කරන්නෙවත් නෑ' කියාය.

'ආණ්ඩුවට ඉතින් කිසිදෙයක ඕනකමක් නැහැ. එයාලා දන්නේ මට බැන බැන යන්න විතරයි. අපි හදපුවා නඩත්තු කරලා අනාගත පරපුරට උරුම කරන්න කාටවත් ඕනේකමක් නැහැ' මහින්ද පැවැසීය.
එදින රාත්‍රියේ අනුරාධපුරයේ හිතවතකුගේ නිවෙසෙහි ගත කළ මහින්ද පසුදින ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගත්තේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ජනබලය උද්ඝෝෂණය සම්බන්ධයෙන් මෙන්ම මහින්දගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

'ජනබලය සාර්ථක කරගන්න කැපවෙලා වැඩ කරපු සියලුම තරුණ මන්ත්‍රිවරුන්ට අපේ ස්තුතිය පුද කරනවා' දිනේෂ් සාකච්ඡාව ආරම්භ කරමින් පැවැසීය.
'අපේ උත්සාහය සාර්ථක වුණේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුන්ගෙත් පක්ෂ නායකයන්ගෙත් සහයෝගය නිසයි. ඒ හින්දා අපි එතුමන්ලට කෘතඥ වෙනවා. ඒ වගේම ඉදිරියේදී කරන වැඩවලදීත් මේ වගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා' නාමල් පැවැසීය.
'මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට තීරණාත්මක පණිවුඩයක් දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි කරපු වැඩය සාර්ථකයි' මහින්දානන්ද පැවැසීය.

'මේ උද්ඝෝෂණය හොඳ වැඩක්. විපක්ෂයේ ශක්තිය කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න මේ වගේ වැඩ කරන්න ඕනේ' වාසු කීය.

'ඒක ඇත්ත මේ වැඩෙන් ආණ්ඩුව හෙල්ලුණා. මහින්ද රාජපක්ෂ කියන චරිතයට ඕනෙම වෙලාවක ජන ගංගාවක් කොළඹට ගේන්න පුළුවන් කියලා මේකෙන් පැහැදිලි වුණා' ප්‍රසන්න කීවේය.
'උද්ඝෝෂණයෙන් වගේම සර්ගේ ඉන්දියානු සංචාරයෙනුත් ආණ්ඩුව හෙල්ලිලා තියෙන්නේ' රෝහිත පැවැසීය.
'මම ගියේ මට ලැබුණු ආරාධනාවක් මතයි. ඇත්තටම මට හොඳ පිළිගැනීමක් ලැබුණා. හැමෝම මා එක්ක සුහදව කතාබහ කළා. අපි ගැන තිබුණු වැරැදි වැටහීම් ගැන දැන් ඒ අය තේරුම් අරන් ඉන්නේ' මහින්ද පැහැදිලි කළේය.
'සර් ජනාධිපති අපේක්ෂකයා ගැන කිව්ව කතාවට වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ආණ්ඩුව' ප්‍රසන්න පැවැසීය.

'මම එතැනදී කිව්වේ ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා කියලයි' මහින්ද පෙන්වා දුන්නේය. 'සර් අපේක්ෂකයා ගැන කිව්වම ඒවට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්න ගියාම ඒකාබද්ධ විපක්ෂය ගැන ජනතාවගේ තියෙන විශ්වාසය බිඳෙනවා. ඒ හින්දා අපි කවුරුත් කතා කරන්න කලින් හොඳට හිතලා බලන්න ඕනේ' රංජිත් සොයිසා පැවැසීය.
'අපේක්ෂකයා නම් කරන එක වෙලාවට සිද්ධ වෙයි. ඒ ගැන වාද විවාදවලට යන්න එපා. අපි සටනට ලැහැස්ති වෙමු. නියම වෙලාවට අපේක්ෂකයා හෙළිදරව් කරමු. දැන් ඔය සිද්ධ වෙච්ච කතාබහ අමතක කරලා අපි ඉස්සරහට කරන්න ඕනේ මොනවද කියලා කල්පනා කරමු' මහින්ද උපදෙස් දුන්නේය.
එතැන සිටි මන්ත්‍රිවරුන් සියලු දෙනාම ඒකමතිකව තීන්දු කළේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ බලය මහින්දට ලබාදෙන්නටය. ඒ අනුව සුදුසුම අපේක්ෂකයා තෝරා නියමිත වේලාවට ප්‍රකාශයට පත්කිරීම මහින්දට පැවැරිණි.
'එක එක්කෙනා අපේක්ෂකත්වයට තමන් සුදුසුයි කියනවා නම් මමත් සුදුසුයි' විදුර පැවැසුවේ පිරිස සිනහ ගන්වමිනි.

'ඒක තමයි එහෙම බැලුවොත් නම් ඕනේ තරම් අපේක්ෂකයෝ අපිට ඉන්නවා' මහින්ද ද සිනාසෙමින් පැවැසීය.

කණ්ඩායම් රැස්වීම අතරතුර ප්‍රසන්න ඉන් නැඟිට ගියේ මහින්දගේ කනට යමක් කොඳුරමිනි. අනෙක් මන්ත්‍රිවරුන්ට එය කුතුහලයක් විය.
තත්පර කිහිපයක් යද්දී ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ සහ ඩුලිප් විජේසේකරද නැඟිට ගියේය.
'ගම්පහ මන්ත්‍රිවරුන් ගෘෘප් එක වර්ජනය කරනවා දැයි' මන්ත්‍රිවරු කසුකුසු ගෑහ.
අන්තිමේදී නිමල් ලන්සාද නැඟිට ගියේය.
'නෑ එයාලා යන්නේ නෙලුම් මාවතට, ගම්පහ අයගෙ රැස්වීමක්' මහින්ද කීවේ සියලු දෙනා අස්වසමිනි.

හිටපු ජනාධිපති මහින්ද සමඟ විජේරාම පිහිටි නිල නිවසේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනකු රටේ ආර්ථිකය ගැන කතා බහක නිරත විය.

බන්දුල, ජී.එල්. සහ තවත් වෘත්තිකයන් කිහිප දෙනෙක්ද මේ සඳහා එක්ව සිටියහ.

'රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශයි. දැන් රුපියල විතරක් නෙවෙයි රටම බාල්දු වෙලා' බන්දුල ආර්ථික විග්‍රහයක් කිරීමට පටන් ගත්තේය.
'ඔව්' රටේ කිසිම ආයෝජනයක් අලුතින් සිදුවෙන්නේ නෑ.' වෘත්තිකයෙක් කීවේය.

'මෙහෙම ඩොලර් එක කඩා වැටුණොත් රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවැටෙනවා. 2009 ලෝක ආර්ථික අර්බුදය ආපු වෙලාවේ අපි ආණ්ඩුවක් හැටියට පියවර අරගෙන රුපියල කඩාගෙන වැටෙන එක වළක්වා ගත්තා. ඒකෙන් රටේ ආර්ථික ස්ථාවරය ඇති වුණා. නමුත් මේ ආණ්ඩුව තවමත් මේකට පියවර ගන්න ප්‍රමාදයි. මෙහෙම ගියොත් ජනතාව තව තවත් පීඩාවට පත්වෙලා අන්ත අසරණ වෙන එක නතර කරන්න බෑ' මහින්ද දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

මෛත්‍රි සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණයෙන් උණුසුම් වූ දේශපාලන පොරපිටිය

ජනපති මෛත්‍රි සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණයක් නිසා මේ දිනවල දේශපාලන ලෝකය මහත් උණුසුම් වී තිබේ. ඇතැම් පිරිසක් මෙම චෝදනාව ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ මෙහි පරීක්‍ෂණ මන්දගාමීව සිදුකරන බව පවසමිනි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂය මැති සභයේදීත් මේ ගැන අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පසුගිය අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ගැන අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

'පොලිසිය සහ පාතාලය එක්ව රටේ ඝාතන කුමන්ත්‍රණ කරන තත්ත්වයකට පත් වෙලා. රටේ ජාතික ආරක්‍ෂාවට මේක බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව මේ ගැන හැසිරෙන්නේ කුඩා දරුවෝ එකතු වෙලා ප්‍රශ්නයක් විසඳන ආකාරයටයි' දිනේෂ් අදහස් දැක්වීය.
'දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා ඔබතුමා දැන් හුඟාක් වෙලා කතා කළා. අපිට තව වැඩ ගොඩක් තියෙනවා. දැන් උත්තර දෙන්න වෙලාවක් දෙමු නේද?' කථානායක කරු දිනේෂ්ට කීවේය.
මේ අවස්ථාවේ දිනේෂ්ට හොඳටම කේන්ති ගියේය.
'රටේ බරපතළ කුමන්ත්‍රණයක් වෙලා තියෙන වෙලාවක්. කථානායකට මේක තේරෙන්නේ නැද්ද? බරපතළකම තේරෙන්නේ නැද්ද? අපට කතා කරන්න වෙලාව දෙන්නෙත් නෑ' දිනේෂ් තරමක් කේන්තියෙන් කියාගෙන ගියේය.
'ඕකනේ කියන්නේ ඔබතුමා හැමදාම නැට්ට පාගා ගන්නවා මම මේකෙ බරපතළකම දන්න නිසා තමයි ඉඩ දුන්නේ' කරු කීවේය.

'මේ ගැන කතා කරන්න අපට වෙලාව දෙන්න. මැතිනිගේ කාලේ මේ වගේ කුමන්ත්‍රණයක් ආවම එදා පාර්ලිමේන්තුවේ කථානායක ඒක කතා කරන්න ඕන තරම් වේලාව දුන්නා. දිනේෂ් කීවේය.

'හරි හරි මමත් මේකෙ බරපතළකම දන්නවා. මේක මාධ්‍යයෙන් ගියාම මම පොලිස්පතිතුමාට කතා කළා. එතුමා ගෙන්නලා විමසා සිටියා. ඔහොම චෝදනා කරන්න එපා' කරු කීවේය.

අනතුරුව දිනේෂ්ගේ ප්‍රකාශයට උත්තර දුන්නේ නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරය. ඔහු කීවේ පරීක්‍ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන බවය. අනතුරුව විපක්‍ෂ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ම මෙම සිදුවීම ගැන අදහස් දක්වන්නට වූහ. එහෙත් අගමැතිවරයා මේ ගැන කිසිවක් නොකියා වාද විවාද දෙස ඉතා ඕනෑකමින් බලා සිටියේය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට වුවමනා වූයේ අගමැතිවරයාද මේ දෙසට ඇද ගැනීමටය. එහෙත් අගමැතිවරයා නිසොල්මනේ සිටියේය.
'අගමැතිතුමා වෙනදා නම් හැම එකටම පැන පැන විහිළු සපයනවා. මෙච්චර බරපතළ දෙයක් වෙලත් අද එතුමා නිහඬව ඉන්නවා' සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා උපක්‍රමශීලීව අගමැතිවරයාද මීට අෑ¼දා ගැනීමට කල්පනා කරමින් කීවේය. එම වෑයම සාර්ථක විය. සිසිරගේ අදහස් දැක්වීමට අගමැතිවරයාට සිය අසුනෙන් නැඟී සිටීම නොකර සිටීමට නොහැකි විය.

'ගරු කථානායතුමනි, මම බොහොම හොඳින් මේ විවාදයට සවන් දුන්නා. ඒත් මෙතැන කියවුණා මම මොකුත් කළේ නෑ කියලා. මම විදේශ ගතවෙලා ආපු වහාම මම නියෝග කළා වහාම පරීක්‍ෂණයක් කරන්න කියලා.

අපි බලමු, ජනාධිපතිතුමා ගැන අද මේ කෑගහන අය එදා එතුමා පොදු අපේක්‍ෂකයා වෙලා ආරක්‍ෂාව නැති කරනකොට කොහෙද හිටියේ. එච්චරයි මම අහන්නේ අගමැතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර ඊට පසු දිනද මේ ගැන මන්ත්‍රිවරු ප්‍රශ්න කළහ.
'අපි දැන ගන්න කැමැතියි පොලිස්පතිවරයාට සති දෙකක් තුළ ඉවත් වෙන්න කියලා ජනාධිපති කියලා තියෙනවාද?'

ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.
'එහෙම කියලා නෑ. අපි පොලිස්පතිතුමාට තියෙන චෝදනා ගැන අවශ්‍ය මට්ටමින් වෙනම පරීක්‍ෂණයක් කරනවා' නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ අතර පසුගිය සතියේ එක් දිනයක ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පොලිස්පතිවරයාව සිය අමාත්‍යාංශයට කැඳවා තිබේ.

'පොඩ්ඩක් කට වහගෙන ඉන්න. අපි මේ ප්‍රශ්නේ විසඳනකන්. ඔයා තැන් තැන්වල මේ ගැන කතා කරන්න එපා ඒක ආණ්ඩුවට හොඳ නෑ' යැයි ඇමැතිවරයා පොලිස්පතිවරයාට පවසා තිබේ.

මේ අතර සති දෙකක් ඇතුළත ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

මේ අතර පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් දිවා ආහාරය ගෙන පිටතට පැමිණි පියල්ට මහින්ද සමරසිංහ සහ ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මුණගැසුණේය.
'කොහෙද යන්නේ?' ලක්‍ෂ්මන් පියල්ගෙන් ඇසුවේය.

'මම මේ කාලා චේම්බර් එකට යන ගමන්' පියල් කීය.

'එන්නකෝ පොඩ්ඩක් කතා කරන්න' යැයි කී මහින්ද සහ ලක්‍ෂ්මන් වෙනත් මේසයක් වෙත පියල් කැඳවාගෙන ගියහ.
'මොකක්ද ඒකාබද්ධ විපක්‍ෂයට වෙලා තියෙන්නේ?' ලක්‍ෂ්මන් ඇසුවේය.
'ඇයි මොකද වෙලා තියෙන්නේ?' පියල් ඇසුවේ පුදුමයෙනි.

'නෑ ඒකාබද්ධය දැන් කුඩේ කුඩු නේද?' ලක්‍ෂ්මන් ඇසීය.
'පිස්සුද? එහෙම ප්‍රශ්නයක් නැහැ' අපි වෙනදාටත් වඩා හොඳින් ආණ්ඩු විරෝධී සටන අරගෙන යනවා' පියල් පිළිතුරු දුන්නේය.

'එහෙම නෙමේ. ජනාධිපති අපේක්‍ෂකයා ගැන එහෙම අවුල් නේද? වෙල්ගම එකක් කියනවා. තව කෙනෙක් තව එකක් කියනවා' මහින්ද ඇසුවේය.
'කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ජනාධිපති අපේක්‍ෂකයා වෙන්නේ මහින්ද මහත්තයා නම් කරන අපේක්‍ෂකයායි. ඒකේ විවාදයක් නැහැ. එතුමා අපේ ගමේ සියනේරිස් මාමාව දැම්මොත් අපි මේ මොහොතේ ඉඳලා සියනේරිස් මාමාව දිනවන්න වැඩ කරනවා. ඒක තමයි අපේ හැටි. තමුන්නාන්සේලා අපේ ප්‍රශ්න විසඳන්න ඉස්සර තමුන්නාන්සේලාගේ ප්‍රශ්න විසඳගන්න බලන්න' පියල් කී විට ලක්‍ෂ්මන් හා මහින්ද කිසිවක් කීවේ නැත.

වක්කුඹුර සහ සොයිසා එක්ක ගන්කන්ද අස්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය

රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලට වසර 120ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්විණි.

එහි දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද ය. උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ උදෑස 8ටය. හිමිදිරි පාන්දර කොළඹින් පිටවූ ගන්කන්ද 7.45 වන විට විදුහල අසලට ළඟා විය. එහෙත් ඒ වන විටත් සෙසු ආරාධිතයන් උත්සව භූමියට පැමිණ නොසිටි නිසා ඔවුන් එනතුරු ගන්කන්ද පාසල් ප්‍රවේශ මාර්ගය අද්දර විදුහල්පතිවරයා සහ ආදි සිසුන් සමඟ සතුටු සාමීචියේ යෙදුණහ.

ආරාධිතයන් අතර, ගන්කන්ද හැරුණු විට ඒකාබද්ධ විපක්ෂයේ ජානක වක්කුඹුර, රංජිත් සොයිසා ද, දීපාල් ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද, පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න ද වූහ.
ජානක වක්කුඹුර ඇලෝසියස් විදුහලේ ආදි සිසුවකු වශයෙන් ගත කළ සමය සිහිපත් කරමින් පන්ති කාමරයේ විදුලි බුබුළක් ගැලවූ පාසල් මිතුරකු පාවා නොදී තමා දඬුවම් විඳි පුවතක් සිහිපත් කළේය. මම 2010 පාර්ලිමේන්තුවට යනතුරු කවදාවත් පාසල් සිසුවකු ලෙසින් හෝ පාර්ලිමේන්තුව දැක බලා ගන්නට ගිහින් නෑ. මගේ අදිටන වූයේ කිසියම් දිනෙක පාර්ලිමේන්තුවට යනවා නම් ඒ යන්නේ මන්ත්‍රිවරයකු වශයෙන් අසුන් ගැනීමට පමණයි. වක්කුඹුර ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිවරයාට කීවේය.
රංජිත් සොයිසා මහතා සඳහන් කළේ මිතුරන් පාවා නොදීමේ උතුම් ගුණය වක්කුඹුර මහතා එසේ නම් පාසල් වියේ පටන්ම ප්‍රගුණ කර ඇති බවය. හැබැයි එදා පන්තිකාමරයේදී විදුලි බුබුළ ගැලවීම වැනි කටයුතු අනුව යමින් දියවන්නාවේ ශබ්ද විකාශන අක්‍රිය කිරීමේ කටයුතු අදටත් වක්කුඹුර මන්ත්‍රිතුමා කරනවා." රංජිත් සොයිසා කීවේ සිනාසෙමිනි.

මේ කතා අතරතුර ගන්කන්ද රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සහ තමා ඉගෙනුම ලැබූ රාජකීය විද්‍යාලයේ ලතින් බසින් සඳහන් තේමා පාඨයන් පිළිබඳ විග්‍රහයක නියැළිනි. අපේ රාජකීය විද්‍යාලයේ තේමා පාඨය වැරැදි ලෙස උච්චාරණය කර එක්කෙනෙක් අමාරුවේ වැටුණා. එසේ කී ගන්කන්ද අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුව බලා යෑමේ අවශ්‍යතාව උත්සව සංවිධායකයන්ට දැන්වීය. එහෙත් පාසල් සටහන් පොතේ සමරුවක් ලියා යන්නැයි විදුහල්පති ඇතුළු සංවිධායකවරු ගන්කන්දට මෙන්ම වක්කුඹුර සහ රංජිත් සොයිසා යන මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

"එහෙනම් අපි දෙන්නත් කාල වේලාව ඉතිරි කර ගන්න දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිතුමා එක්ක එකතු වෙලා එකම සමරු සටහනක් තබමු." රංජිත් සොයිසා කීවේය. එම ප්‍රකාශයේ ලියා තිබුණු දේද කාගේත් කතා බහට ලක්විය.
"ශාන්ත ඇලෝසියස් විදුහලට පැමිණ මේ ගතකළ හෝරාව ඉන්දු ආර්ය, මෙසපොටේනියානු හා ග්‍රීක රෝම වැනි උතුම් ශිෂ්ටාචාර හරහා ඇවිද ගිය සක්මනක් ලෙස අපට හැඟිණි. ඒ අතරතුර අප සවන්පත්හි නින්නාද වූයේ ධම්මපදය, භගවත් ගීතාව, ශුද්ධ වූ කුරාණය හා බයිබලයේ ගාථා, ගීතිකා වේද ඇතුළු උතුම් ශාස්තෘන්වහන්සේලාගේ උත්තරීතර පණිවුඩයි" යැයි මන්ත්‍රි පිරිස ලියා තිබිණි.

සෙන්තිල් තොණ්ඩමාන් කී රහසක්

ජනතා අයිතියට පත්කළ 123 වැනි උදා ගම්මානය වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ උෟව පරණගම 'සත්හිරුගම'ය. උත්සවයට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහි පැවැතුණු අලංකාරයෙන් වශීකෘත වී සිටියේය. සජිත් සියල්ලන් ඉදිරියේ කීවේ 'උපාලි සමරවීර කියන්නේ අති දක්ෂයෙක්. බලන්න මේ ගම්මානයේ ඇති පිළිවෙළ, අලංකාරය. මම උපාලි ඔයාට සුබ පතනවා.' කියාය. ඒ මොහොතේම එහි පැමිණියේ සෙන්තිල් තොණ්ඩමාන් මධ්‍යම පළාත් සභා ඇමැතිවරයාය. උපාලි සමරවීර කීවේ 'මෙයා තමයි, ගම්මානයේ පාරවල් හදන්න ප්‍රතිපාදන ලබා දුන්නේ' කියාය. සෙන්තිල් තොණ්ඩමාන් සජිත්ගේ කනට කොඳුරා රහසක් කීවේය. 'කඳුරට වතුකරයේ ජනතාව මේ රටේ සියලුම නායකයන්ට වඩා ගරු කළේ ඔබේ පියාටයි. සෞම්‍යමූර්ති තොණ්ඩමාන්, මගේ මිය ගිය සීයා එදා මට කිව්වේ 'ප්‍රේමදාස කියන්නේ අපේ නෑදෑයෙක්' කියලයි. ඒ තරමටම එතුමා මේ වතුකරයේ අන්ත දුප්පත් ජනතාවට සේවය කරලා තිබෙනවා. අපි එතුමාට සදා ණයගැතියි. එතුමාගේ පුතා වන සර් වෙනුවෙනුත් අපි නොකරන දෙයක් නෑ' ඔහු කීවේය. එවර සජිත් කීවේ 'වතු ගම්මාන හදන්නත් මගේ අදහසක් තිබෙනවා' කියාය. 'මම මධ්‍යම පළාත් සභාවේ නිවාස ඇමැති හැටියට ඔබතුමාගේ ඒ වතු නිවාස වැඩසටහන් වෙනුවෙන් මගේ ප්‍රතිපාදන උපරිම මට්ටමින් ලබා දෙනවා. ඒ ගැන උපරිම විශ්වාසය තබන්න' සෙන්තිල් තොණ්ඩමාන් කියද්දී සජිත් කීවේ 'මේ වැඩපිළිවෙළට මම දිගම්බරම්ගේ සහයෝගයත් ලබා ගන්න ඕනෑ. ඔයගොල්ලෝ අතර තිබෙන වාද විවාද පැත්තකින් තියලා අපි එකතු වෙලා වැඩක් කරමු' කියාය. 'හරි සර් ඔබතුමා කියනවා නම් ඕනෑම දෙයකට ලෑස්තියි' සෙන්තිල්ගේ පිළිතුර විය.

කොළඹ නාගරික කොමසාරිස් හොරගල් ඇහිලීම

කොළඹ මහ නගර සභාවේ බිම් මහලේ (රෙකෝඩ් රූම් එකේ) නාගරික ලේඛනාගාරයේ ලේඛන භාරකරු ලෙස කටයුතු කරන සේවය කරමින් සිටින නිලධාරියාව නගර සභාවේම වෙනත් ස්ථානයකට මාරු කිරීම සඳහා නාගරික කොමසාරිස්වරයා හොරගල් අහුලමින් සිටින බව නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් මේ දිනවල චෝදනා කරති.
මෙයට හේතුව වී තිබෙන්නේ කොළඹ නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ තුනක් පැවැත්වීමය. එම පරීක්ෂණවලට යටත්වයි. නාගරික කොමසාරිස්වරයාව යළිත් තනතුරට පත් කර තිබෙන බව බස්නාහිර පළාතේ ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

නාගරික කොමසාරිස්වරයාට එරෙහිව මෙම පරීක්ෂණ පැවැත්වෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඉකුත් කාල සීමාව තුළදී ඇති වූ සිද්ධීන් මුල්කරගෙනය. නාගරික කොමසාරිස්වරයා විසින් නාගරික ලේඛනාගාරයේ කටයුතු කරන මෙම නිලධරියා වෙත පවරන ලද සියලු කටයුතු ඉතා හොඳින් ඉටුකරනු ලබයි. නමුත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මෙම ලේඛන භාරකරු හදිසියේම ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවට අයත් කොළඹ 10 මාලිගාකන්දේ පිහිටි මල අපවහන අංශයට 2018 අගෝස්තු මුල් සතියේ මාරු කර ඇත. එහෙත් මෙම නිලධාරියාගේ රාජකාරි කාර්යක්ෂමතාව සහ ඔහුගේ පෞද්ගලික කාරණා සලකා බලා නාගරික භාණ්ඩාගාරිකතුමිය විසින් මෙම නිලධාරියා භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුවේම සරප් අංශයේ රාජකාරි පැවැරීමට එකඟතාවය පළ කර ඇත.
මේ අතර කාලයේදී විනය ස්ථාන මාරුවක් යටතේ මේ නිලධාරියාව කොළඹ මහ නගර සභාවෙන් බැහැරව ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා නාගරික කොමසාරිස්වරයා විසින් 2018 සැප්තැම්බර් 3 දරන ලිපියෙන් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත දන්වා ඇති බව බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා වෙත මෙම නිලධාරියා ලිපියකින් දන්වා තිබේ.

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියන්න කලබලත් නෑ

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 19 වැනිදා මල්වතු පාර්ශ්වයේ මහ නායක, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැදැකීමට ගියේය. ඒ ජවිපෙ මන්ත්‍රි විජිත හේරත් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. ජවිපෙ නායකයා තම පක්ෂය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්ත්වය පැහැදිලි කළ අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ජනාධිපතිවරුද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ බවත් ජනවරම් 05ක් ඒ සඳහා ලැබී ඇති බවත් සඳහන් කළේය. "ඒත් පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්න විධායක ක්‍රමය ඕනෑ කියලා නේද කියන්නේ." මල්වතු මහ නායක හිමියෝ විමසා සිටියෝය. "අපි 13 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. 20 සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ. ඒ නිසා එතැන ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්ස." අනුර දිසානායක පිළිතුරු දුන්නේය. මහ නායක හිමියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව මන්ත්‍රිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නේය. "20න් අගමැති රනිල් මහත්තයාට වාසි වෙනවා කියලා බොහෝ අය කියනවා" මාධ්‍යවේදියෙක් විමසීය." අපිට රනිල් එක්ක බේරගන්න දෙයක් නැහැ. ඒත් රනිල්ගේ ඇප පිට එළියේ ඉන්න අය තමයි ඔය කතාව කියන්නේ. 20න් වැඩිම වාසි තියෙන්නේ මහින්ද මහත්තයාට. මෛත්‍රිපාල ජනාධිපතිතුමාටත් මේකෙන් වාසියක් ලැබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාස 07කට පෙර ආණ්ඩුව නැති වෙනවා. මොකද 20 සම්මත වෙලා ආණ්ඩුව විසුරුවන්න වෙන නිසා. ඉතිං එහෙම තියෙද්දී රනිල්ට වාසියි කියන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ. 20ට විරුද්ධ වෙන ඇත්ත ප්‍රශ්නේ රාජපක්ෂ කණ්ඩායමේ බල අරගලයයි." අනුර කුමාර දිසානායක පිළිතුරු දෙමින් කීය.

"මන්ත්‍රිතුමා එතකොට ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් දානවද?"

"අපේ මූලික ප්‍රයන්තය 20 දිනවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක. එය සාර්ථක නොවුණොත් ජවිපෙ ප්‍රමුඛව ජනතා බලවේග සමඟ විකල්ප අපේක්ෂකයෙක් ගැන පක්ෂය අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ." මන්ත්‍රිවරයා කීය. "එතකොට කවුද අපේක්ෂකයා" නැවත ප්‍රශ්නයකි. "අපි කලබල විය යුතු නැහැ. මුලින්ම 20 දිනවීමට අපි කටයුතු කරනවා." මන්ත්‍රිවරයා කියා සිටියේය. "කෙහෙළිය මන්ත්‍රිවරයා කිව්වා මේක ජවිපෙ ගෙනාපු එක තමයි ප්‍රශ්නෙ කියලා." "අපි කියනවා එයාලට ගේන්න කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ කවුරු ගෙනාවත්, අපි අවධානය යොමු කරන්නේ අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ග ගැනයි. ඔහු වරෙක එජාපයේ. තවත් විටෙක තව පැත්තක. ඒ වගේ ප්‍රතිපත්තියක් නැති අය කියන කතා ගණනකට ගත යුතු නැහැ."

මන්ත්‍රිවරයා කීය.

ජනාධිපතිතුමත් අපි වගේ කජු ඇට කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්...

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී එයාර් ලංකා ගුවන් සේවාවේ කජු ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. මන්ත්‍රිවරයා එම අදහස් පළ කළේ ගුවන් සේවා රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීය.

මෙම කතාවෙන් අනතුරුව සභා ගර්භයෙන් පිටතට පැමිණි මන්ත්‍රිවරයාට පාර්ලිමේන්තුවේ කේටරින් අංශයේ සේවකයන්ගෙන්ද ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. "ඔබතුමා කිව්වේ ඇත්ත. අපි අහලා තියෙන විදියට එයාර් ලංකා සමාගමේ කේටරින් සේවාව ඉතාම හොඳ එකක්. එයාර් ලංකා සමාගම බිලියන ගාණක ආදායමක් ලබනවා කියලා අපි අහලා තියෙනවා." සේවකයෙක් කීවේය. "ජනාධිපතිතුමා කියපු කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රටේ ගුවන් සේවය ගැන ප්‍රසිද්ධියේ මේ වගේ කතාවක් කිව්වාම ඒකට වෙන කැළල මකන්න ලේසියෙන් බැහැ. ජනාධිපතිතුමා කරන්න තිබුණේ අදාළ බලධාරීන් කැඳවලා අවශ්‍ය පියවර ගන්න නියෝගයක් දෙන එක. ජනාධිපතිවරු කෑම නරක් වුණා කියලා රට වටේ කිය කියා යන්නේ නැහැ. මේක ජනාධිපති කෙනෙක් කරන වැඩක් නොවෙයි." බිමල් රත්නායක කීවේය. "මන්ත්‍රිතුමා මේ නිවුස් එක විදෙස් මාධ්‍යවලත් පළවෙලා" තවත් සේවකයෙක් කීවේය. "ඔව්, ඉතිං, ඒ රටවල තියෙන ගුවන් සමාගම් එක්ක තරග කරන සමාගමක් තමයි එයාර් ලංකා සමාගම, එතකොට රටේ ජනාධිපති තමන්ගේ රටේ ගුවන් සමාගම ගැන ප්‍රසිද්ධියේ විවේචනය කළාම එයාලා ඒකට ලොකු ප්‍රචාරයක් දෙනවා. ජනාධිපතිතුමා හරියට චාල්ස් කුමාරයා වගේ කතාව. එතුමාත් අපි වගේ කජු ඇට කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්. ජනාධිපති විදියට කරන්න ඕන දේ නොකළාම වෙන අලකලංචි තමයි මේ" බිමල් රත්නායක කී කතාවට සේවකයන්ට සිනා ගියේය.

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon