'ඩිස්රායලි'ගෙ බොක්සිං තියරිය

  👤  3256 readers have read this article !
2018-09-21

මෛත්‍රි හා ගෝඨාභය ඝාතන සැලැස්මක් ඇතැයි කියැවෙන අදහසක් රට පුරා පැතිරෙමින් තිබුණු පසුගිය සතිය එක්තරා උණුසුම් බවකින් පිරී ගියේය. මෙය ඇත්තක්ද, ඇත්තෙන්ම බොරුවක්ද කියා හිතා ගන්නට බැරි තරම් වූ නිසා පක්ෂ, විපක්ෂ කා අතරත් දෙගිඩියාවක් තිබුණේය. විපක්ෂයේ බරපතළ උත්සාහය වූයේ පොලිසිය භාර එජාපය පැත්තට මෙය හරවා දේශපාලන වශයෙන් ප්‍රහාරාත්මක තැනකට තල්ලු වන්නටය. ඒ බව හොඳින් දැනෙන තොරතුරු එජාපයට ලැබෙමින් තිබුණේය.

"මෛත්‍රි ජනාධිපතිතුමාගෙත් සද්දයක් නෑ. මේක හරි බරපතළ කතාවක්. රනිල්ගෙත් සද්දයක් නෑ. මේ බරපතළ චෝදනාවට ප්‍රතිචාර නොදක්වා ඉන්නත් බෑ" එජාපයේ ප්‍රබලයන් තැන තැන කතා වුණේ එහෙමය. රනිල්ට අතිශයින් සමීප අය පවා මේ ගැන නිතර කතා කළේ මෙයින් වැරැදි අදහසක් රට තුළ පතුරුවා කවුරු කවුරු හෝ චෝදනා එල්ල කරවන තැනට තල්ලු කරන්නට ඉඩකඩ ඇති බව දැනුණු නිසාවෙනි.
එහෙත් මේවා කතා පමණක්ම යැයි කියන්නාක් මෙන් රනිල් එම හැදෙන කතා, කියන කතා, කියන්නට සිතා ඉන්න කතාවලට සංවේදී වන්නට ගියේද නැත. එහෙත් පාර්ලිමේන්තුවේදී දිනේෂ් මේක අත්ඇරියේ නැත. ඔහු දිගින් දිගටම මෙය එජාපයේ පැත්තට හරවා ප්‍රහාරාත්මකව කතා කරන්නට පටන් ගත්තේය.

"කාලෙන් කාලෙට ඔය වගේ කුමන්ත්‍රණ කතා මතු වෙනවා. නමුත් ඒ මතුවෙන පළියට හේතුවක්, සාධාරණ සැකයක් නැතිව වගකිවයුතු නිලධාරීන් අත්අඩංගුවට ගන්න බැහැ."
රනිල්ට උපදෙස් දෙන බොහෝ සමීපතමයන් කීවේ එවැන්නකි. "අත්අඩංගුවට ගන්න. ඊට පස්සෙ පරීක්ෂණ පවත්වන්න" යන්නද මෛත්‍රි පාර්ශ්වයේ මන්ත්‍රි කණ්ඩායම අතරින් කතාබහට ලක්වීම්, අදහස් දැක්වීම් තිබුණේය. එහෙත් රනිල්ට තිබුණේ ඒ වැඩකටයුතු පොලිසියට භාරදී තමන්ට තිබෙන ඉලක්කයට අනුව වැඩකටයුතු කරන්නටය.
ඔහු මාතලේට ගියේ සමෘද්ධි සහනාධාර බෙදා දෙන වැඩසටහනේ උත්සවයකට සහභාගි වන්නටය. කවුරුත් බලා සිටියේ රනිල් එම උත්සවයේදී රටේම කතාවෙන කුමන්ත්‍රණය ගැන මොනවා හරි කියාවි කියලාය. එහෙත් රනිල් කීවේ ඊට සම්බන්ධ නැති වෙනමම කතාවක්ය.
"පසුගිය වසර තුනේදී ජාතික ආණ්ඩුව සමෘද්ධි දීමනාව දෙගුණයක් බවට පත් කර තියෙනවා. 1995 සිට 2017 වසර තෙක් සමෘද්ධිය ගැන මට වගකියන්න බැහැ. නමුත් 2018 සිට මේ දක්වා අප කළ දේ ගැන මට කියන්න පුළුවන්"
රනිල් වික්‍රමසිංහ
2018-09-15 මාතලේදී

ඒ අනුව 1995 චන්ද්‍රිකාගේ සමයේ සිට 2017 මෛත්‍රිගේ ඇමැති කණ්ඩායමේ සාමාජිකයා දැරූ සමෘද්ධිය මෙහෙයැවීමේ කාලයට රනිල් වග කියන්නේ නැතැයි කීවේ එහි වරදක් වී ඇත්නම් ඔහු එම වගකීම භාරගන්නේ නැතැයි යන්නය. එසේනම් එයින් පැවැසුවේ,

"යූ.එන්.පි.ය භාරගත්ත වැඩේ හරියට කරලා දැනෙන්න යමක් පෙන්වනවා" කියලා විය යුතුය. එසේ කියූ රනිල් මාතලේදීම මෙහෙමත් කීවේ නිකමට නොවේ.
"අපිට අමාරු කාලයකට මුහුණ දෙන්නට වන බව අප දැනගෙන හිටියා. 2016-2017 වසරවලදී ඒ අමාරු කාලයට මුහුණ දුන්නා. ඒ යුගයෙන් පැන යන්න කිසිවකුටත් හැකියාව නැහැ. වියදම් සීමා කළා. වැට් බදු වැඩි කරන්න සිදුවුණා. ආණ්ඩුවක් විදියට එවැනි දේ කළේ කැමැත්තකින් නොවේ. එවැනි තීරණ නොගත්තා නම් ආදායම් වැඩි වෙන්නේ නැහැ. කොහොම හරි ආදායම සොයාගෙන ණය ගෙවන්න ආදායම් කොටසක් ගැනීමටත් හැකියාව ලැබුණා. 2017 වසර වන විට කන්න හතරක නියඟයට මුහුණ දුන්නා. දකුණේ ගංවතුර මෙන්ම කොළඹ කුණු කඳු ප්‍රශ්න ඇති වුණා. තෙල් මිල ඉහළ ගියා. අන්තිමට ප්‍රාදේශීය සභා ඡන්දෙදි අපට අවාසි වුණා. නමුත් අප තීරණ ගත යුතුව තිබුණා"

පූර්ණ යූ.එන්.පී. ආණ්ඩුවක් නැතිවා වුව ශ්‍රීලනිපය හා කොක්කේ එල්ලීගත් මේ ආණ්ඩුවට කරන්නට තිබුණු හරිය පහසු නැති බව රනිල් පුන පුනා කීවේ මේ ඕනෑම චෝදනාවකට වඩා රටට ඒ බව දැනගන්නට ඕනෑ නිසා විය යුතුය. අසීරුම කාලය ඉක්ම ගොස් ඇති නිසා සමෘද්ධි සහනාධාරය දෙගුණ කරන්නට හැකිවූ බව රනිල් කීවේ "දැන් සහන දෙන්නට හයියක් අපට තියෙනවා" කියලා විය යුතුය.
රනිල් වෙනදාට වඩා ගැනලා රාත්තලට මැනලා ප්‍රහාරාත්මක උත්තර දෙන බව දැන් පෙනෙන්නට තිබීම විශේෂයක් ගනී. මාතලේදීම ඔහු මෙහෙමත් කියන්නට අමතක කළේ නැත.
"මහනුවර ඉඳලා හම්බන්තොට දක්වා හොඳ මාර්ග පද්ධති ඉදිකරමින් සිටිනවා. ඒ ප්‍රදේශයේ කර්මාන්ත කලාප, වෙළෙඳ කලාප, සංචාරක කලාප ඉදි කෙරෙනවා. හෝටල් ඉදි වෙනවා. සියල්ල වීමට වසර දෙකක් හෝ තුනක් ඊළඟ පරපුරට ණය භාරදීමට හැකියාවක් නැහැ. ඊළඟ පරපුරට මීට වඩා හොඳ අනාගතයක් බිහි කළ යුතුයි. එය ආණ්ඩුවේ යුතුකමයි. සමාජ මාධ්‍ය ජාලාවලින් මඩ ගහන්න පුළුවනි. නමුත් යුතුකම වන්නේ රට හදන කාර්යය නිසි පරිදි කිරීමයි"

යහපාලනය තිබුණා හෝ නොතිබුණා හෝ එය මෛත්‍රි පිල හා යම් එකඟතාවකින් ගෙන යන ආණ්ඩුවක් බව නොකියා කියන රනිල් දැන් ඉතින් ඇතිවන ප්‍රතිලාභ පෙනෙන්නට ඇති බවක් දක්වයි. කොළඹ-නුවර අධිවේගී මාර්ගය නිමකර පෙන්වුවහොත් ඒක ගොඩයන වැඩකි. මත්තල හා හම්බන්තොට වරාය අවට කර්මාන්ත ඉදිකර රැකියා උපද්දවන තැනට වැඩකටයුතු සිදුවන්නේ නම් එයත් ගොඩ යන දෙයකි.

එහෙත් තවමත් ආණ්ඩුවේ අවසන් කාල වකවානුවට එළැඹ තියෙද්දීත් සිතූ තරම් වේගයෙන් නව කර්මාන්ත ඇරැඹීම සිදු නොවීම රනිල්ගේ ආණ්ඩුවට තිබෙන බරපතළම අභියෝගයය. පිටරට පුරා ඔහු කරක් ගහලත් තවමත් සාකච්ඡා මට්ටමේ පවතින, තාමත් අරඹන්නට පමා වී තිබෙන කර්මාන්ත ව්‍යාපෘති බොහෝය. එබැවින් රැකියා උපද්දවා, කම්හල් ඉදිකරවා, මංමාවත් ඉදිකර පෙන්වා රටට යමක් කළ බව දැක්වීමද කඩිනමින් සිදුවිය යුතුය. එහෙත් රටේ ආර්ථිකය ස්ථායීතාවකට පත් කරගන්නට තව බොහෝ දේ කළ යුතුව ඇත. එතැනට ගිය පසු ඊළඟ පියවර තැබීමට හැකි වාතාවරණය සකසා ගත යුතුව ඇත.

මාර්ග සංවර්ධනය පමණක් නොව වාහන තදබදයටද සැලසුම්සහගත යෝජිත ව්‍යාපෘති ඉදිවෙමින් තිබෙන අයුරු පෙනෙන්නට තිබිය යුතුය. තවමත් කතාවට පමණක් සීමා වී තිබෙන කණු මත දිවෙන අධිවේගී සැහැල්ලු දුම්රිය මං ඉදිවිය යුතුය. ඒ අනුව පෙනෙන්නට තිබෙන සංවර්ධන ව්‍යාපෘති අතර මොරගහකන්ද ව්‍යාපෘතිය මෛත්‍රිගේය. එය ආණ්ඩුවේ වුවත් මෛත්‍රි මුල් වී කළ දේය. ඡන්දයකදී එහි වාසිය ලැබෙන්නේ මෛත්‍රිටය.
එජාපයේ වැඩක් විදියට දැනට පෙන්වන්නට ඇත්තේ සජිත්ගේ උදාගම් ව්‍යාපෘතියය. එය 'සංවර්ධනයක් වී ඇත' යන්න තහවුරු කිරීමට සාක්ෂියක් වැනිය. තවත් ව්‍යාපෘති ගණනාවක් තිබුණද රනිල් දිනවන, එජාපය ඔසවා තබන සංවර්ධන ක්‍රියාදාමයන් ඉබි ගමනේය.
මෙය රනිල්ට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බව නිතර නිතර මෙම තීරුවෙන් දැක්වූයේද මේ ගැන රටේ තොටේ කතාවෙන බොහෝ දේ සාරාංශගත කරය. රනිල් නායකයාය කියා සියලු දේ ඔහුට තනිව කරගෙන යා නොහැකිවා පමණක් නොව ඔහු නායකයා වී සිටිද්දී ඔහු තනිකර ඔහුට කකුල් මාට්ටු දා සෙස්සන්ට ලැබෙන යහපත් අනාගතයක්ද නැත.
මේ ගැන හොඳින් දැන උන් ජේ.ආර්. 77 ජයග්‍රහණයට 10 දෙනකුගේ කණ්ඩායමක් හැදුවේ ඒ නිසාය. ඒ දසදෙනා එකිනෙකට පරස්පර අදහස් තිබුණු, දක්ෂතා තිබුණු, ගමන් තිබුණු අය වූහ. එහෙත් මේ සෑම දෙනාගේම දක්ෂතා ඉවෙන් මෙන් ජේ.ආර්. වටහාගෙන සිටියේය.

"අසවලාට දෙන්න ඕනෑ අසවල් කාරිය" යන්න ජේ.ආර්.ගේ හිතේ හොඳින් සටහන් වී තිබුණේය. හරියට දස මහා යෝධයන් එළාරට එරෙහිව යුද්ධයට සූදානම් කළාක් වැනිය.
ජේ.ආර්. එංගලන්තයේ අගමැතිවරයකු වූ ඩිස්රායලිගෙන් හැම විටම ආභාසයක් ලැබූ බව පෙනෙන්නට තිබිණි. ඔහු ඩිස්රායලි ගැන අතට හසුවූ හැම දෙයක්ම කියවා තිබිණි. ජේ.ආර්.ට අනුව ඩිස්රායලිගෙන් ගත යුතු දේ බොහෝ විය.

ජේ.ආර්. පියවරෙන් පියවර ඉවසා ඉදිරියට ගිය නායකයෙකි. ඔහු 1977 ජූලියේදී අත්කරගත් පූර්ණ ජයග්‍රහණය පිළිබඳ තැබූ දිනපොතේ සටහන මෙසේය.

"අද උදේ 9.43ට ජනාධිපති මන්දිරයේදී මම අගමැති වශයෙන් දිවුරුම් දුනිමි. 'බේ‍රමාර්' හි සිට කොළඹ කොටුව දක්වා මඟ දෙපස විශාල ජනකායක් පෙළ ගැසී සිටියහ. 1874දී වයස 70දී එංගලන්තයේ අගමැති පදවියට පත්වූ ඩිස්රායලි ප්‍රකාශ කළ අන්දමින් මමද අන්තිමේ ලිස්සන ගහේ මුදුනටම නැග්ගෙමි"

එහෙව් සටහනක් තබා සතුටට පත් වන්නට තරම් වාසනාවන්ත වූ ජේ.ආර්. තමන් ගැන මෙහෙමත් ලියුවේය. ඒ ව්ඥඹ ධ්දබඥපදචබඪධදචතඪඵබ සඟරාවටය. එය මෙසේය.

"මා උපායශීලී යටිකූට්ටුකාරයකු බව සමහරුන් සිතනවා. නමුත් උපායශීලී නොවී නායකයකු වන්නට බැහැ. දේශපාලනයේදී, යුද්ධයේදී හෝ මොනයම් මනුෂ්‍ය ක්‍රීඩාවකදී හෝ උපායශීලී විය යුතුය. බොක්සිං ක්‍රීඩාවේදීත් උපායශීලී වෙන්නට ඕනෑ. මම තරුණ කාලේ බොක්සිං ක්‍රීඩා කළා. ප්‍රතිවාදියාගේ මුහුණට පහර දෙන බව පෙන්වා මම ගහන්නේ උදරය ප්‍රදේශයටයි. ඇත්ත වශයෙන්ම ඔබ උපායශීලී විය යුතුය."

ඒ ජේ.ආර්. හිතපු හැටියටය. ජේ.ආර්.ගේ බෑනා වූ රනිල් ද ජේ.ආර්.ගේ උපායශීලී බව සහිත අයකු බව ප්‍රකටය. එය එසේ නම් ජේ.ආර්. ගහපු බොක්සිං රනිල් අමතක කරනවා කීවොත් එය බොරුවක්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon