පැටර්න් එක ‘ස්වාමි’කඩාවිද?

  👤  3700 readers have read this article !
2018-09-20

"සුබ්‍රමනියම් ස්වාමි මැදමුලනට ආවෙත්, මහින්දව ඉන්දියාවට ගෙන්න ගත්තේත් හොඳකට නෙමෙයි පුතෝ. මෝදිත් මහින්දව හම්බ වුණේ නිකමට නෙමෙයිනේ. ඉන්දියාව ආයෙත් මහින්දගේ පැත්තට හැරුණොත් ඊළඟ ඡන්දෙන් මහින්දලා දිනන්නේ කප් ගහලා" ස්වාමි මහින්ද මුණගැහෙන්න ආපු එකයි, මහින්දව ඉන්දියාවට ගෙන්න ගත්තු එකයි, මහින්දට ඉන්දියාවෙදී ලැබුණු පිළිගැනීමයි අහලා කලබල වුණු ටොයියෙක් කියපු කතාවකි ඒ.

කතාව ඇත්ත ය. මහින්දගෙ සහෝදරයාගේ අවමඟුලට ස්වාමි තකහනියක් දුවගෙන ආවේ නිකන්ම නොවේ ය. මේ දේවල් ස්වාමිට හිතුමතේ කරන්නට බැරි ය. 2010 ඉඳන් රාජපක්ෂලා බලයෙන් නෙරපන්න වලි කෑ ඉන්දියාව 2014දී ආසාව ඉෂ්ට කරගත්තේ ය. වැඩි දවසක් යන්න කලින් රැල්ල අනිත් පැත්තට කැරකෙන වේගේ දිහා බලාගෙන හිටපු ඉන්දියාව, කපන්න බැරි අත ආයෙත් සිඹින්නට පටන් ගත්තේ ය. ස්වාමිලා මහින්දගේ පස්සේ වැටුණේ ඒක ය.

ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ රජුන් තනන්නාගේ භූමිකාව ඉන්දියාව හොඳින් හෝ නරකින් රඟපෑවේ ය. 1977 පැවැත්වීමට තිබූ මහ මැතිවරණය තවත් වසර දෙකකින් කල් දමා ගැනීමට මැතිනි නොගත් උත්සාහයක් නැත. ඡන්දය තිබ්බොත් තමන්ට හොම්බෙන් යන්නට සිදුවන බව මැතිනි ඉන්තේරුවෙන් ම දැන සිටියේ ය. මැතිනිට එහෙම හිතෙන්න ප්‍රබල හේතුවක් තිබුණේ ය. 1973 අප්‍රේල් 27 වැනිදා එවකට ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි හදිසියේම ලංකාවට ආවා ය. මැතිනි සමඟ දෙදිනක් සාකච්ඡා පැවැත්වූ ඇය ඉන්දියාවට ආපසු ගියා ය. එදා සිට දෙදෙනාගේම නිල කාලය අවසන් වන තුරුම දෙදෙනා ගජ මිතුරියන් විය. ඔවුන් දෙදෙනා අතර පමණක් නොව ඔවුන්ගේ පවුල් දෙක අතරද සමීප සබඳතාවක් ගොඩනැඟුණේ ය.

ඉන්දිරායි මැතිනියි දෙදෙනාගේ උත්සාහය හරි ගියේ නැත. මුළු ඉන්දියාවම පුදුමයට පත් කරමින් ඉන්දිරා 1977 ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා ය. ඒ අනුව යමින් ආණ්ඩුවට එරෙහිව ආ විශ්වාසභංග යෝජනාවට දවසකට කලින් 1977 පෙබරවාරි 16 වැනිදා මැතිනිය ද ආණ්ඩුව විසුරුවා හැරියා ය. ඉන්දිරා ගාන්ධියි, පුත් සංජේ ගාන්ධියි දෙදෙනාම ඡන්දයෙන් පරාද වුණේ ය. ඉන්දියාවේ ඡන්ද දායකයා ගාන්ධි මව-පුතු දෙදෙනාම ප්‍රතික්ෂේප කළා සේ ලංකාවේ මව-පුතු යුගලයද ප්‍රතික්ෂේප කරන්නැයි ජේ.ආර්.ලා ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඉන්දිරාට 1977දී ගෙදර යන්නට සිදුවුණේ ය. මැතිනියටත් 1977දීම යන්නට සිදුවුණේ ය. බැරි වෙලාවත් ඉන්දිරා ජයග්‍රහණය කළා නම් ලංකාවේ තීන්දුව ද වෙනස් වන්නට ඉඩක් නොතිබුණා නොවේ ය.

මැතිනියගේ දියණිය චන්ද්‍රිකා හේත්තු වුණේ අගමැති වජ්පායිට ය. කදිරගාමර්ව ඉස්සර කරගෙන චන්ද්‍රිකා වජ්පායි මුණගැහෙන්න ඉන්දියාවට ගියා ය. ලංකාවට එරෙහිව කරුණානිධි ගිරිය යටින් පුප්පද්දිත් වජ්පායි හිටියේ චන්ද්‍රිකාට හිතවත්ව ය. වජ්පායි 2004දී ගෙදර ගියේ ය. කදිරගාමර් ඝාතනය වුණේ ය. චන්ද්‍රිකාටත් 2004දීම යන්නට සිදු වුණේ ය. වජ්පායිගෙන් පසු ඉන්දියාවේ අගමැති වුණේ මන් මෝහන් සිං ය.

2004දී මහින්ද හේත්තු වුණේ සිංට ය. කපුකම් කළේ බැසිල් ය. මතුපිටින් නොපෙන්නුවත්, කොටි පරාද කරන්න සිං මහින්දට ආධාර කළේ ය. ඒවා මෙහෙය වූයේ බැසිල් ය. සිං 2014 වෙනකල් සිටියේ ය. සිං ඉන්නකන්ම මහින්දත් හිටියේ ය. සිං 2014දී ගෙදර ගියේ ය. මහින්දටත් 2014දීම යන්නට සිදුවුණේ ය.

ඉන්දීය දේශපාලනයේ ආකර්ෂණීය වෙනසක් සිදුකරමින් නරේන්ද්‍ර මෝදි 2014දී ඉන්දියාවේ අගමැති විය. මෝදි මුහුණ දුන්නේ වෙනස්ම තත්ත්වයකටය එතකොට ලංකාවේ යුද්ධය ඉවර වෙලා ය. තියෙන්නේ බලය බෙදීමේ ප්‍රශ්නයක් ය. සම්පන්දන්ලා හිටියේ මහින්දව තිත්ත වෙලා ය. මෝදිලාගේ පස්සේ වැටුණු සම්පන්දන්ලා මෛත්‍රිව රජ කරවන්න පාර කැපුවේ ය. මෛත්‍රි ජනාධිපති වෙච්ච ගමන් මෝදි ලංකාවට දුවගෙන ආවේ ය. ඉන්දීය අගමැතිවරයෙක් වසර 28කින් මෙහා ලංකාවට ඇවිත් තිබුණේ නැත. මෝදි ඒ තරමට මෛත්‍රිට හිතවත් වුණේ ය.

ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමි ලංකාවේ විජයදාස රාජපක්ෂ වගේ පොරක් ය. කොයිවෙලෙත් ඉන්නේ දෙපැත්තටම කකුල තියාගෙන ය. ඕන මොහොතක ඕන පැත්තක් ගොඩ දා ගන්න හරි හපනා ය. ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි දැඩි හින්දු භක්තිකයෙක් ය. ඉන්දියානු ජාතික වාදියෙක් ය. ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නෙක් ය.

ස්වාමි සිය ජනතා පක්ෂය භාරතීය ජනතා පක්ෂය සමඟ එකතු කරගන්නේ මෝදි සමඟ ඇති දැඩි සබඳතාව නිසා ය. සුබ්‍රමනියම් ස්වාමි, මෝදිගේ න්‍යායාචාර්යවරයා ලෙසත් හඳුන්වයි. ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හදාරා වසර දහයක් එම සරසවියේ දේශන පැවැත්වූ ස්වාමි, මෝදිට එකතු වුණේ කල් යල් බලලා ය. සංඛ්‍යාත්මක විශ්ලේෂකයකු සහ ආර්ථික විශේෂඥයකු ලෙස ද විශාල ගෞරවයක් දිනාගෙන ඇති ස්වාමි, මෝදිගේ ආණ්ඩුවේ ප්‍රබල බල කණුවකි. එහෙම බැලුවම ස්වාමි, මහින්දගේ මල්ලිගේ මළ ගෙදර ආවෙත්, මහින්දව ඉන්දියාවට එක්කගෙන ගියෙත්, මහින්දට මෝදිව මුණගැස්සුවෙත්, රාහුල් ගාන්ධිව මුණගැස්සුවෙත් නිකන් නොවේ ය.

ලංකාවේ මෛත්‍රිට ආවෙත් ඉන්දියාවේ මෝදිට ආවා වාගේ වෙනස් රැල්ලක් ය. ඉන්දියාවේ මෝදිත්, ලංකාවේ මෛත්‍රිත් ඡන්ද දිනන පැටර්න් එක කැඩුවේ ය. පැටර්න් එක කැඩූ වේගෙන්ම දැන් ජනතාවට ආණ්ඩුව තිත්ත වී ඇත. මෛත්‍රිගේ ආණ්ඩුව පෙරළන්න දැන් තියාම විපක්ෂය කඳවුරු බඳින්නේ ය. වැඩි දවසක් යන්නට කලින් අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ය. ඉන්දියාවෙත් එහෙම ය මෝදි ආණ්ඩුවට එරෙහිව ගාන්ධිලා ආයෙත් කඳවුරු බඳින්නේ ය. ආණ්ඩුවට එරෙහිව රාහුල් ගාන්ධිලා විශ්වාසභංගයක් ද ගෙනාවෝ ය. මෝදියි-මෛත්‍රියි ඉන්දියාවෙයි-ලංකාවෙයි ඡන්ද දිනන පැටර්න් එක කැඩුවා වගේ. ස්වාමි ඉන්දියාවෙයි ලංකාවෙයි රාජ්‍ය නායකයන් ගෙදර යන පැටර්න් එක කඩාවිද කියා කියන්නට දැන්ම කල් වැඩි ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon