වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  2624 readers have read this article !
2018-09-20

වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය දෙන්න හිතුවේ යහපාලන ආණ්ඩුව විතරයි - - ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය දෙන්න යහපාලන ආණ්ඩුව එන්න කලින් කිසිම කැබිනට් පත්‍රිකාවක් දාල තිබුණේ නැහැ"යි, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

"සෑම වතු කම්කරුවකුටම පර්චස් හත බැගින් ඔප්පුවක් විතරක් නෙවි, ඒ අයට ලියවිල්ල සමඟ බුක්තියත් ලබාදෙනවා. බුක්තිය කියන්නේ අයිතියෙන් සියයට අනූනවයක් කියල මේ අය දන්නෙ නැතිව ඇති. කිසිම වතු කම්කරුවකුට ඉඩම්වල බුක්තිය තිබුණේ නැහැ. ඔබලා අවුරුදු 10ක් රට පාලනය කළා. ඇයි කළේ නැත්තේ.

"අපි පර්චස් හතක් දුන්නා. අපි බුක්තිය භාරදීලා තියෙනවා. බුක්තිය විතරක් නෙවෙයි, ප්‍රාදේශීය සභාවෙන් ඒ අයගේ අයිතිය ලියාපදිංචි කරන්නත් පුළුවන්."
"සමහර අය දැන් ඒ ඉඩම්වල ගෙවල් හදන්න ආරම්භ කරල තිබෙනවා. අපි කොහොම හරි මේක කළා."

"හිටපු ජනාධිපතිතුමා අවුරුදු දහයක් රට පාලනය කළා. ඊට කලින් අවුරුදු දහයක් තිබුණා. එතකොට අවුරුදු 20යි. කවදාවත් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මේක මහ විප්ලවයක්. මේක ක්‍රියාත්මක කරන්න අපට සහයෝගය දෙන්න කියල මම විපක්ෂයට කියනවා.

අප ඉල්ලුවේ නිදහස මිස ඊළමක් නෙවෙයි - - එස්. සිරිතරන්

ගණකාධිකාරි විභාගයෙන් දෙමළ ජාතිකයන් වැඩි දෙනකු සමත්වීම නිසා වෙනත් හේතු දක්වමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අත්හිටුවීම ජාතිවාදී අරමුණකින් සිදුවූවක් බව සඳහන් කරනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. සිරිතරන් පැවැසීය. වතුකරයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ලයිම් කාමරවල ජීවත්වන පිරිසක්.ඔවුන්ටය කියා නිවෙසක් ලබාදීම ඉතාමත් වැදගත්. හැමදාම වතුකරයේ ජනතාවට සිදුවුණේ අඩු සැලකිලි ලබමින් ජීවත් වීමටයි. ලංකාවේ වරලත් පිරිස් කළමනාකරණ ආයතනය ඇති කිරීම ඉතා වැදගත්. වරලත් ගණකාධිකාරි විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

තරග විභාගයෙන් සමත් වූ සිසුන්ට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදීම සාධාරණ නැහැ. වැඩි පිරිසක් දෙමළ සිසුන් සමත්වීම නිසා තමයි වෙනත් හේතු පෙන්වමින් මේ විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අත්හිටුවා තියෙනවා.

මේ රටේ යුද්ධයක් ඇතිවුණේ මෙවැනි ක්‍රියා නිසයි. අපි ඊළමක් ඉල්ලුවේ නැහැ. අපි වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ අපේ ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් ඇති කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.සී. මුතුකුමාරණ
මේ මන්ත්‍රිතුමාගේ ප්‍රකාශය ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශයක්. කවුරු හරි ආණ්ඩුවේ ප්‍රධානියෙක් මේ ප්‍රකාශය ගැන අදහසක් පළ කරන්න ඕන.

 

වතු කම්කරු වැටුප් වහා වැඩි කළ යුතුයි - විජිත හේරත්

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන අපි කතා කළාට අවුරුදු 19කට ඔවුන්ගේ වැටුප වැඩි වී තිබෙන්නේ රුපියල් 399ක් බැවින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමක් වහාම සිදුකළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය. එදා වතු ටික පෞද්ගලික අංශයට පැවැරුවා. එදා ගිවිසුම් අස්සන් කරන කොට කළයුතු දේ නොකළ නිසා තමයි වතුකරයේ ජනතාවට යන්න පාරක් නැතිවුණේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තමයි මේ වතු සමාගම්වලට පැවැරුවේ. ඒ පවරපු අවස්ථාවේ ඇතිකරගත් ගිවිසුම්වලට, ජනතාවගේ අවශ්‍යතාවකට බිම් කොටසක් පවරා ගැනීමට හැකි වන සේ වගන්ති ඇතුළත් වුණේ නැහැ"

"වතු 449ක්, සමාගම්වලට පැවරීමේදී 1992දී අක්කරය රුපියල් දෙකට, තුනට තමයි වතු සමාගම්වලට පවරා දුන්නේ" වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය, යටිතල පහසුකම් තිබෙන්නේ ඉතාමත් පහළ මට්ටමක. අද වතු කම්කරුවකුට ලැබෙන්නේ රුපියල් 500යි. අවුරුදු දෙකෙන් දෙකට සාමුහික ගිවිසුම් අත්සන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ
"වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න ඕන. අපි එතැන ඉන්නවා. ජනවසම සභාපතිතුමා ඉඩම් ඔප්පුවක් වෙනුවට නිකම් කාඩ්බෝඩ් කෑල්ලක් දෙනවා. මිනිස්සු නිකං රවට්ටන්න එපා."

විජිත හේරත්

"වතුකරයේ ජනතාවට නීත්‍යනුකූල ඔප්පුවක් දෙන්න ඕනේ"

 

නව ගම්මාන සංවර්ධන අධිකාරියෙන් වතුකර ජනතාවගේ සුබසාධනය ක්‍රියාත්මක කරනවා - ඇමැති පලනි දිගම්බරම්

වැවිලි කලාප සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය ඇති කිරීමෙන් පසු වතුකරයේ ජනතාවගේ සුබසාධනය ක්‍රියාත්මක කෙරෙනවා" යැයි කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමැති පලනි දිගම්බරම් පැවැසීය.

"අපේ අමාත්‍යාංශය නව අමාත්‍යාංශයක් නිසා, පහසුකම් තිබුණේ නැහැ. නමුත් මෙය සාර්ථක කර ගැනීම සඳහා අපි කැපවෙලා වැඩ කළා"
"මෙම අධිකාරිය පිහිටුවීමේ යෝජනාව ගෙනාවේ 2012 වසරේදී. නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අවස්ථාවේ එය ක්‍රියාවට නැංවීමට හැකි වීම ගැන සතුටු වෙනවා.

"මෙය ක්‍රියාවට නැංවීමට සහභාගි වුණු දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් සිහිපත් කරනවා වගේම ස්තූති කරන්න ඕන. වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම, අධ්‍යාපනය ලබාදීම, තරුණ පුහුණුව ආදී ක්ෂේත්‍ර ගණනාවක් මෙම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙනවා. වතු ජනතාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණිලා 2020 වනවිට වසර 200ක් වෙනවා. අපේ ජනතාව කවදාවත් ඊළමක් හෝ වෙනම රටක් ඉල්ලුවේ නැහැ. අපේ ජනතාවට කිසිම රජයක් සැලකුවේ නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු කාටත් මේ අධිකාරිය පිහිටුවීම ගැන ස්තුති කරනවා.

 

පාසල හැර යන සිසුන්ට ඉදිරියේදී පාඨමාලා - - ඇමැති රවීන්ද්‍ර සමරවීර

පාසල් හැර යන සිසුන් සඳහා ඉහළම පාඨමාලා පැවැත්වීම ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත් කෙටුම්පත සංශෝධන මඟින් සිදු කෙරෙන බව කම්කරු හා කම්කරු සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර පැවැසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කුඩා පරිමාණයේ ආයතනවල මානව සම්පත් ඉහළ මට්ටමින් පවත්වාගෙන යෑමට ක්‍රියා කරනවා වගේම ශ්‍රී ලංකා පිරිස් සේවා කළමනාකරණ ආයතනය පිරිස් පුහුණු කිරීමට කටයුතු කරනවා. මෙම ආයතන ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණය කරන සුවිශේෂී වැඩ කොටසක් සිදු කරන ආයතනයක්.

අවුරුදු හැටකට අධික කාලයක් මානව සම්පත් කළමනාකරණ ආයතනය, වරලත් ශ්‍රී ලංකාවේ පිරිස් කළමනාකරණ ආයතනය වශයෙන් ගෝලීය වශයෙන් ඉහළ මට්ටමකට පත් කෙරෙනවා ඇති. මානව සම්පත් කළමනාකරණ සේවා පහසුකම් සලසන මෙම ආයතනයේ නාමකරණයේ වෙනස්කම් සිදු කෙරෙනවා. ඉදිරියේදී වරලත් මානව සම්පත් කළමනාකරණ ආයතනය බවට පවත්වාගෙන යමින් කටයුතු කරනු ලබයි.

මානව සම්පත් පිළිබඳ උනන්දුවක් දක්වන පාසල් හැර යන සිසුන් සඳහා මානව සම්පත් පිළිබඳ ඉහළම පාඨමාලා පවත්වාගෙන යෑම සිදු කෙරෙනවා. වරලත් ශ්‍රී ලංකාවේ පිරිස් කළමනාකරණ ආයතනය වශයෙන් නාමකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්‍ෂා කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon